The Leader News
BREAKING
Top Ad
Opinion

විපක්ෂයත් පාර අසන්නේ රනිල්ගෙනි

T

The Leader Desk

December 18, 2022 • 8:03 PM

විපක්ෂයත් පාර අසන්නේ රනිල්ගෙනි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටක දේශපාලනයත් හරියට දේශගුණය වගේ හැසිරෙන දෙයක් කිව්වට වැරදි නොවේ.
  • එලෙසම රටක දේශපාලනයත් දශක ගනනාවක් ඒකාකාරීව පවතින බවත් පෙනෙන්නට තිබේ.
  • අද ලෝකය දේශගුණික විපර්යාස වලට මුහුණ දෙන විට එය මෙරටටත් බල පා ඇති සේ ලෝක දේශපාලනය අනුව රටක දේශපාලනය වෙනස්වීම සහ ඊට බලපෑම් විම විය හැකි වුණත් විප්ලව සිදුවන්න ඊට වඩා කොන්දේසි සැපිරිය යුතුය.
  • අව්ව වැස්ස නියං ගංවතුර සුළි කුණාටු වැනි දේ මෙම දේශගුණය තුළ ඇතිවන දේය.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශගුණය සමාන්‍යයෙන් කාලාන්තරයක් යන තුරු නොවෙනස්ව පවතී. වෙනස්වීම් වුණත් එය දැනෙන තරමට පෙන්වන්නේ නැත. එලෙසම රටක දේශපාලනයත් දශක ගනනාවක් ඒකාකාරීව පවතින බවත් පෙනෙන්නට තිබේ. අද ලෝකය දේශගුණික විපර්යාස වලට මුහුණ දෙන විට එය මෙරටටත් බල පා ඇති සේ ලෝක දේශපාලනය අනුව රටක දේශපාලනය වෙනස්වීම සහ ඊට බලපෑම් විම විය හැකි වුණත් විප්ලව සිදුවන්න ඊට වඩා කොන්දේසි සැපිරිය යුතුය. නමුත් කාලගුණය වෙනස් වීම නිරන්තරයෙන් සිදුවේ. අව්ව වැස්ස නියං ගංවතුර සුළි කුණාටු වැනි දේ මෙම දේශගුණය තුළ ඇතිවන දේය. දේශපාලනයෙත් එලෙස සිදුවීම් නිතර වෙයි. පසුගිය කාලයේ සිදුවූ අරගලය එහෙම පැමිණි සුලි කුණාටුවකි. එය යම් හානියක් කර අතුරුදන් විය. අනතුරු හැඟවීම් පවා දැන් පහව ගොස්ය.


කොහොම නමුත් එම අරගලය විසින් මෙරට දේශපාලනය තුළ ඇති කළ පසමිතුරු දේශපාලනික බෙදුම පවා දැන් කෙමෙන් පහව යමින් තිබේ. එය ගෝඨාභය පාලනයට එරෙහිව රටේ ජනමතය දරුණු මට්ටමකට ගෙන ගොස් ගෝඨාභය සහ එම රාජපක්ෂවරුන්ගේ දේශපාලන අණසක අහිමි කළේය. එමෙන්ම ඉන් පසුව බලයට පැමිණ වූ රනිල් වික්‍රමසිංහට එරෙහිවත් යම් යම් බලපෑම් සිදු විය. එසේම රාජපක්ෂවරු සහ රනිල් වික්‍රමසිංහ එක් කඳවුරකට තල්ලු කරමින් ගෙන ගිය විරෝධය පවා දැන් ක්ෂය වෙමින් පවතින බවත් ක්‍රමයෙන් පැහැදිලි වෙමින් පවතී.



පසුගියදා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ රුපවාහිනි මාධ්‍යයක දී පවසා සිටියේ මේ ආණ්ඩුව කරන දේවල් ගැන තමන්ට වගකීමක් නැති බවය. එනම් ආණ්ඩුව ඔවුන්ගේ නොවන බවය. එහෙත් තවමත් පාර්ලිමේන්තුව තුළ බහුතර බලයකට හිමිකම් කියන පොදුජන පෙරමුණට අවශ්‍ය නම් තමන්ගේ කියා තනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ හැකියාව අහිමි වී නැත. එහෙත් එතැනට තල්ලු වීමට බැසිල් රාජපක්ෂට හෝ පොදුජන පෙරමුණට ඇති ශක්‍යතාව අවමය. එයට හේතුව ඇත්තේ එම පක්ෂය තුළමය. එනම් රට මුහුණ දෙමින් තිබෙන අර්බුද හමුවේ ඔවුන්ට විසඳුම් නොමැති වීමය. අනෙක රට මේ තැනට තල්ලු කිරීමේ වගකීමද ඇත්තේ ඔවුන් මතය. මේ නිසා තව දුරටත් තමන්ගෙම කියා ආණ්ඩුවක් පිහිටුවා ගැනීමක් ගැන ඔවුන්ට සිතන්නවත් නොහැක.



කොහොමත් බැසිල් කියන කාරණය නිවැරදිය. මේ ඔවුන්ගේ ආණ්ඩුවක් නොවේ. වත්මන් ආණ්ඩුව තුළ එජාපය, සමගි ජන බලවේගය, ශ්‍රිලනිපය නියෝජනය කරන පිරිස් ඇතුලත්ය. එමෙන්ම නිල නොවන ලෙස සහය දක්වන පිරිසක්ද ඇත. මේ අනුව අද ආණ්ඩුව කියන්නේ යම් සර්වපාක්ෂික එකඟතාවයක් අනුව කටයුතු කෙරෙන පොදු අවකාශයක් ලෙස වර්ධනය වෙමින් පවතින තැනකි. එයට තවත් හේතු තිබේ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරය බාර ගැනීමටත් පෙර සිටමත්, පසුවත් සියළු පක්ෂ වලින් ඉල්ලා සිටියේ රට මුහුණ දෙමින් තිබෙන දැවැන්ත අර්බුදකාරිත්වය හමුවේ රට යළි ගොඩනැගීම වෙනුවෙන් සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් අනුව ක්‍රියාත්මක ආණ්ඩුවක් ගොඩනැගීම විය යුතු බවය. තවදුරටත් සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය තුළ කුළල් කා ගනිමින් කටයුතු කිරීම කළ නොහැකි බවය. මන්ද මුහුණ දෙන අර්බුදය යනු එලෙස ජනධිපතිවරයාට හෝ ආණ්ඩු කරන පිරිසකට පමණක් හෝ විසඳා ගැනිමේ හැකියාව නොමැති බව ඔහු තේරුම් ගෙන තිබුණු බැවිනි. එහෙත් විපක්ෂය එම අදහස ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ පටු පක්ෂ දේශපාලනය තුළටම ගාල් විය. එහෙත් ඔවුන්ට රට මුහුණ දෙන අර්බුදය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබුණේ නැත. එය තේරුම් ගෙන තිබුණේ වෙනදා මෙන් ආණ්ඩුවක් මුහුණ දෙන සරල ප්‍රශ්න ලෙසය. එසේම ආණ්ඩුව පෙරළා පිහිටුවන තමන්ගේ ආණ්ඩුවකින් විසඳිය හැකි සරළ ප්‍රශ්න ලෙසය.
 


ඒ නිසා විසඳුම් යෝජනා ලෙස පිටරට යාළුවන්ගෙන් ඩොලර් ඉල්ලාගෙන රටේ ප්‍රශ්න මාස හයෙන් විසඳන්න පුළුවන් බව කිව් බාල නායකයන් සිටියේය. රාජපක්ෂලා හොරකම් කළ සල්ලි ටික හොයාගෙන රටේ ප්‍රශ්න විසඳිය හැකිය වැනි විසුළුකාරී යෝජනා කළ විපක්ෂයේ නායකයන් සිටියේය.
 


කොහොම නමුත් රනිල් වික්‍රමසිංහ රට මුහුණ දෙන අර්බුදයේ තරම හරිහැටි දැනගෙන සිටි අතර ජනාධිපතිවරයා ලෙස ඔහුට මුහණදීමට සිදුව තිබෙන අසීරුතාවය, ආණ්ඩුව මුහුණ දෙන අසීරුතාවය ගැන කිසිවක් නොසඟවා දිගින් දිගටම ප්‍රකාශයට පත් කළේය. ජනාධිපතිවරයා එක දිගට ජාතිය අමතා ප්‍රකාශ ගනනාවක්, පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශ ගනනාවක්ද සිදු කළේය. මෙය ඒ දින වල විපක්ෂය විහිළුවට ගත්තද රනිල් විසින් ඒ සිදුකළ මෙහෙයුමේ සාධනීය ප්‍රතිපල ලෙස විපක්ෂයට සත්‍යය යම් තරමකට අවබෝධ වෙන්නට එය හේතුවක් විය. මේ මොහොතේ ආණ්ඩුව බාර දුන්නත් බාර ගත යුතු නැති බවට මේ විපක්ෂය දේශපාලන පක්ෂ රහසිගත තීන්දු තීරණ වලට එළැඹියේ ඉන් පසුවය.
 


කොහොම නමුත් ජනාධිතිවරයා සර්වපාක්ෂික එකඟතා වැඩ පිළිවෙලක් සඳහා කළ ඉල්ලීම මේ දක්වා හකුලාගෙන නොමැති අතර තවමත් ඒ වෙනුවෙන් වෙහෙසවෙමින් තිබේ. තමන් කෙරෙහි විශ්වාසය සහතික කිරීම සඳහා තම ජනාධිපතිධුරය සතුව තිබූ විධායක බලතල යම් ප්‍රමාණයක් ඉවත් කර ගනිමින් ආණ්ඩු පාලනයෙ තීන්දු තීරණ ගැනීමේ වැඩි බලතල පාර්ලිමේන්තුවට ලබා දීමටද කටයුතු කළේය. 
 
 
එසේම විපක්ෂයේ මන්තීවරුන්ට විවිධ කමිටු වල ප්‍රධානත්වය ලබා දෙමින් රජයේ කටයුතු සම්බන්ධ තීන්දු තීරණ ගැනිමේ අවස්ථා ලබා දී අත්දැකීම් වලින් හෝ ඉගෙනගන්න ඉඩ ලබාදීමට කටයුතු කළේය. මේ අනුව රටේ අර්බුදයේ තරම මේ විපක්ෂ කණ්ඩායම් වලට අවබෝධ කර දීමට ජනාධිපතිවරයාට සිදු විය. මේ වන විට එය බොහෝ සෙයිම සාර්ථක වී ඇති බවත් පෙනෙන්නට තිබේ.

රටේ අර්බුද විසඳීම වෙනුවෙන් සිදුවිය යුතු ආර්ථික සහ දේශපාලන වෙනස්කම් ගැන ජනාධිපතිවරයා සිය මතය හැම මොහොතකම සෘජුව ප්‍රකාශයට පත් කරමින් එයට එකඟ නැතිනම් විපක්ෂයේ විසඳුම ඉදිරිපත් කරන ලෙස නිතර දන්වා තිබුණද ජනපතිගේ මතය හා එකඟවීම හැර වෙනකක් සිදු වූයේත් නැත. මේ නිසා ද ජනාධිපති රනිල් ඉදිරිපත් කරන විසඳුම් ක්‍රියාත්මක කිරීමට සෘජුව සහය දීමට හෝ සාධනීය විවේචන මත සිට අනියමින් සහය දෙන තැන දක්වා විපක්ෂය හොරගල් අහුල අහුල හෝ පැමිණෙමින් තිබෙන බවත් පෙනෙන්නට තිබේ.

අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ද විපක්ෂයට රනිල්ගේ ප්‍රතිපත්තියට එකඟවීමට සිදු විය. ඡන්ද විමසීමෙදී එයට එරෙහි වීමට තරම් පදනමක් සහිත විකල්ප විසඳුම් සහිත යෝජනාවක් හෝ හේතුවක් විපක්ෂයෙන් ඉදිරිපත් වූයේ නැත. නමුත් පක්ෂ දේශපාලනය තුළ ලැග සිටීම තවදුරටත් අපේක්ෂා කරන පටු අවස්ථාවාදී වුවමණාවන් ඔවුන් තුළ පැවතීම මත සිය පාක්ෂිකයා රවටා ඇඳබැඳ තබා ගැනීම වෙනුවෙන්, ආණ්ඩුවට එරෙහි බව ප්‍රදර්ශනය කිරීම එම ඡන්ද විමසීමේදී සිදු විය. අනෙක් කාරණාවලදීද මේ තත්වයම පෙනෙන්නට තිබිණි.

මේ අය වැය විවාදය අතර තුරදීම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එස් සුමන්තිරන් දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු කාරණා අනුව ඊට වහාම විසඳුම් අවශ්‍ය බව ජනාධිපතිවරයා හමුවේ පැවැසූවේය. එහිදී ජනාධිපතිවරයා එම කාරණය විසඳීම පාර්ලිමේන්තුව මඟින් සිදු විය යුතු බව අවධාරණය කරමින් ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටි පක්ෂ නායක මන්ත්‍රීවරුන් නම් කරමින්ම සෘජුව විමසා සිටියේ මේ ප්‍රශ්නට දේශපාලන විසඳුමක් ලබා දීම වෙනුවෙන් වන සාකච්ඡාවකට එකඟවනවාද යන්නය. ඒ මොහොතේ කවර වාර්ගික මත ගැටුම් වල සිටියත් විපක්ෂය එම සකච්ඡාවට එකඟ විය. ඒ අනුව පසුගිය 13 වෙනිදා එම සර්වපාක්ෂික සමුළුව කැඳවා තිබිණි. එය බලාපොරොත්තු වූවාට වඩා සාර්ථක විය. වෙනදා දකින්න ලැබුණු වාර්ගික මත ගැටුම් ඉක්මවා ගොස් මෙම ගැටළුව විසඳාගැනීම වෙනුවෙන් සාධනීය ඉදිරිගාමී යෝජනා රැසක් ඉදිරිපත්ව තිබිණි. එමෙන්ම එළැඹෙන නිදහස් උත්සව සැමරුමට පෙර මූලික විසඳුම් ඉදිරිපත් කිරීමට දින වකවානු ප්‍රකාශ කිරීමට තරම් කාර්යක්ෂමතාවයක් පෙන්වා තිබිණි. ඒ අනුව සර්ව පාක්ෂික එකඟතාවය මේ රටේ ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් ඇති හොදම විදිහ බව මේ සමුළුව නිදසුනක් විය.
 
 
සර්ව පාක්ෂික එකඟතාවය මේ රටේ ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් ඇති හොදම විදිහ බව මේ සමුළුව නිදසුනක් විය.
 

එසේම මෙහිදී රනිල් වික්‍රමසිංහ තවත් කරුණක් අවධාරණය කළේය. මෙම සමුළුවෙ සාර්ථකත්වය අනුව ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද මෙවැනිම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඒ සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතු බවය. එය ලබන පෙබරවාරියේදී සිදු කිරීමටත් යෝජනා විය. මෙය රනිල් මුල සිටම අපේක්ෂා කළ විසඳුම් මාර්ගයය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ජාතික එකඟතාවයක් ප්‍රකාශයට පත්කරමින් ඒ අනුව කටයුතු කිරීමට එකඟ වෙනවා නම් අර්බුදය ජය ගැනීම වඩාත් පහසු වෙනු ඇති බව දැන් රනිල් පෙන්වා ඇත. රට බංකොලොත් කිරීමට ප්‍රධාන දායකත්වයක් සපයා දුන් පටු අවස්ථාවාදී බලලොභී පක්ෂ දේශපාලනය අද වලංගු නැති බව රනිල් ප්‍රායෝගිකවම පෙන්වා දී ඇත. නමුත් රටත් ජනතාවත් තවදුරටත් විනාශය කරගෙන යෑමට අවශ්‍ය නම් එම පක්ෂ දේශපාලනයෙහි කිසිවකුට හෝ නියැලිය හැකිය. ඒ සඳහාද මේ රටේ දේශපාලන අයිතිය ලබා දී ඇත. ඒ අයිතිය පාවිච්චි කරනවාද නැද්ද යන්න ඒ ඒ අය රට කෙරෙහි ඇති වගවීම පෙන්වන තීරණයකි.

කොහොම නමුත් පසුගිය අරගල කාලයේ වතුර හැලියට වැටුණු කකුළුවන් මෙන් ප්‍රීතියෙන් දැඟලූවද දැන් වතුර හැලිය රත්වන බව විපක්ෂයට දැනී තිබේ. එදා රාජපක්ෂ – වික්‍රමසිංහ ආණ්ඩුවක් හා පසමිතුරු ජනතාවක් බෙදා වෙන් කිරීමට නිර්මාණය කළ ඊනියා බෙදුම් කඩ මත විපක්ෂය හුදු ආණ්ඩු විරෝධී දේශපාලනය තුළ තහවුරු වන්න උත්සහ කළද එම බෙදුම යථාර්ථයක් නොව හුදු මායාවක් බව දැන් පැහැදිලි වෙමින් ඇත. දැන් පවතින්නේ සර්ව පාක්ෂික, සර්ව ජන එකඟතා සමයක අවශ්‍යතාවයකි. ඒ නිසා මේ පැරණි පක්ෂ දේශපාලනය වෙනස් කළ යුතුය. දැන් වතුර හැලියෙන් එළියට පැනිය යුතුය. එහෙත් තවදුරටත් උගුරට හොරා බෙහෙත් කන්න ගන්නා උත්සාහය මෙන් මේ වැඩ කළ නොහැකිය. 
 
සෘජුව තීන්දුව තීරණ ගෙන රට ගොඩනඟන වැඩ පිළිවෙලක් හා එකඟ විය යුතුය. එසේ නොමැතිව තමන්ගේ පක්ෂ දේශපාලනය නැතිනම් එළඹෙන මැතිවරණයක දී ඔළු ගෙඩි ගාන වැඩි කරගැනීමේ පටු ස්ථාවරයන් තුළ සිටියහොත් තමනුත් විනාශ වී තමන්ගේ පාක්ෂිකයාත් අහිමි කරගනිමින් රටක් කියා කිව හැකි යමක්ද ඉතිරි නොකරනු ඇත.


අද ජනතාවට වැදගත්ම දේ අර්බුදයට කඩිනම් විසඳුමක් ඇවැසි වීමය. එසේ නොවුණහොත් අද තරුණ පරපුරට හෙට රට අහිමි වෙනු ඇත. මතු උපදින දුවා දරුවන්ට රටක් කියා කිසිවක් නොමැති වෙනු ඇත. අප රට කියන්නේ මේ තිබෙන භූමිය නැතිනම් මේ කුඩා දූපත නොවේ. නිකම් ඉඩම් කැබැල්ලක් රටක් වෙන්නේ නැත. රටක් වීමට නම් පූර්ණ විය යුතු තවත් සාදක ගනනාවක් තිබේ. ඒ අනුව වැදගත්ම දේ මෙය රටක් විදිහට පිළිගන්නා පුරවැසි ජනතාවක් සිටීමය. මේකෙන් වැඩක් නැහැ කියා රට අතහරින තැනට වැඩ හදන්නේ නම් රටක් ඉතුරු වන්නේ නැත. එසේම ඒ ජනතාවට රට තුළ පවතින්න ආර්ථික සමාජීය දේශපාලනික සාධක ගනනාවක් තිබිය යුතුය. විශේෂයෙන්ම රටේ ආර්ථික පදනම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ගොඩනැගීම විය යුතුය. බංකොළොත් රටක ජනතාවක් ඉන්නෙ නැත.

කොහොම නමුත් මේ වන විට දේශපාලනයේ නරක කාලගුණය යහපත් අතට හරවා ගැනීමට ජනාධිපතිවරයාගේ දේශපාලන උපාය මාර්ග සමත්වෙමින් පවතින බව පැහැදිලි කරුණකි. 
 
 
ජනාධිපතිවරයා අද උත්සහ කරන්නේ සියළු දෙනාට පහසු ජීවිතයක් ගත කිරීමට හැකි රටක් ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය ආර්ථික හා දේශපාලනික පදනම ගොඩනැගීමටය. පදනම ශක්තිමත් වුවහොත් රට ඒ මත නියමාකාරයෙන් ඉදිකිරීම කළ හැකි වෙනු ඇත. අනාගත පරපුරට ඒ හැඩ වැඩ කරගැනීමට පහසු වෙනු ඇත.
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...