The Leader News
BREAKING
Top Ad
Opinion

බලය ලබාගැනීම දිහා නෙමෙයි, එතනින් එහා තියෙන රට පාලනය කිරීම ගැන හිතන්න -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

December 27, 2022 • 6:13 AM

බලය ලබාගැනීම දිහා නෙමෙයි, එතනින් එහා තියෙන රට පාලනය කිරීම ගැන හිතන්න -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රජාතන්ත්‍රවාදය හොඳ ප්‍රමිතියක්. අපි හැම තිස්සෙම ඒ ප්‍රමිතිය සමග දේශපාලනය හා ජීවිතය සන්සන්දනය කරගන්නට ඕනැ.
  • ගම් මට්ටමේ ප්‍රභූන්ට, ජනතා නායකයන්ට මහජන නියෝජිතයන් බවට පත්වීමට හැකි ක්‍රමයක් ගොඩනගන්නට ඕනැ.
  •   මේ වෙලාවෙ තදියමේ පළාත් පාලන මැතිවරණ පවත්වන්නට තරම් පළාත් පාලන සභාවල ඇති වැදගත්කමක් නැහැ.
  • 2022 පළමු අර්ධය තුළ එය දේශපාලනිකවත් අභියෝගයට ලක්වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

පළාත් පාලන ආයතන කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට උපයෝගී කරගත හැකි, එහෙත්, දැනට නම් වැඩකට නැති නාස්තිකාර ව්‍යූහයක්. ඒවාට පත්වී සිටින බහුතරය මන්ත්‍රීලාගේ දූෂිත අතවැසියන්. පළාත් පාලනය එහෙම විය යුතු නැහැ. එය වෙනස් කරන්නට ඕනැ. ගම් මට්ටමේ ප්‍රභූන්ට, ජනතා නායකයන්ට මහජන නියෝජිතයන් බවට පත්වීමට හැකි ක්‍රමයක් ගොඩනගන්නට ඕනැ.

 

මේ වෙලාවෙ තදියමේ පළාත් පාලන මැතිවරණ පවත්වන්නට තරම් පළාත් පාලන සභාවල ඇති වැදගත්කමක් නැහැ. ඒ නිසා පළාත් පාලන මැතිවරණ කල්දැමීමේ කිසි වරදක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් නෙමෙයි. හේතුව, පවතින පළාත් පාලන මැතිවරණ ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට ලැබිලා තියෙන්නෙ අවම දායකත්වයක්. ඔය පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාවේ සිටම ප්‍රමාණය අඩුකරලා, ගුණය වැඩිකරන්නට වැඩකරන්නටයි අවශ්‍ය.

 

මේ වෙලාවේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වූවොත් විය හැකි දේවල් මං හිතන විදියට මෙහෙමයි. පවත්නා පාලනය වැඩකරන්නෙ දුෂ්කර තත්වයක. ඔවුන්ට තියුණු අභියෝග රැසකට මුහුණදෙන්නට සිදුවෙලා තිබෙනවා. එයට වගකිවයුත්තන්ගෙ ඉතිහාසය හොයමින් දඬුවම් කරන එකට වඩා මේ වෙලාවෙ ප්‍රමුඛ වෙන්නෙ ජාමෙ බේරාගන්නට හරි අවශ්‍ය පියවර කඩිනමින් ගන්න එකයි. ජනරජය බේරාගන්නට ඕනැ. මේ වෙලාවෙ එහි පැවැත්ම ආර්ථික වශයෙන් දැඩි තර්ජනයකට ලක්වෙලා තිබෙන්නෙ. 2022 පළමු අර්ධය තුළ එය දේශපාලනිකවත් අභියෝගයට ලක්වුණා. දැනුත් ස්ථාවර නැහැ.

වර්තමාන ආණ්ඩුව පෙරළාදැමීම පහසු විය හැකියි. හේතුව, ඔවුන් ජනප්‍රිය නැහැ. ජනප්‍රිය විය හැකි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ලංකාවේ රාජ්‍ය බලය ලබාගන්නා කිසිදු ආණ්ඩුවකට තව අවුරුදු ගණනාවකට ජනප්‍රිය දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන අන්දමින් රජයේ උපකාර ලැබෙන, සහනාධාර සහිත, බඩු මිල අඩු, විවේකයෙන් සතුටින් ඉන්නට පුළුවන් රටක් ජනතාවට දෙන්නට කිසිම ආණ්ඩුවකට බැහැ. වත්මන් ආණ්ඩුවට කළ නොහැකි දේ කරනවාය කියා ජනතාව රවටන එකත්, දෛනික දුෂ්කරතා හේතුවෙන් ජනතාව විඳින පීඩාව සමාජ වෛරයක් බවට පත්කරන එකත් ඉතා පහසුයි. ‘අරගල’ ඇති කරන්නට පහසුයි. හැබැයි, ප්‍රශ්න විසඳන්නට බැහැ.

 

ආසාවට බලය ගන්න එක වගේ නෙමෙයි, පාලනයක් පවත්වාගෙන යන එක ලේසි නැහැ. මේ කතාව විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසටත්, ඔහු වටා එකතු වී සිටින බලයට කෑදරකම නිසා විකාර බවට පත්වී සිටින හර්ෂ ද සිල්වා වැනි අයටත්, සරත් ෆොන්සේකා වැනි අවදානම් උන්නතිකාමීන්ටත්, අනුර කුමාර දිසානායක හා ඔහු වටා ඒකරාශී වී සිටින තමන් තේරුම් ගන්නට පවා අසමත් වී සිටින බොළඳ සමාජවාදීන්ටත් අදාළයි.

 

ඒ වගේම, ඡන්දයක් තියල බලන්නැයි පුරසාරම් දොඩන පොහොට්ටු පක්ෂයටත් කියන්නට තිබෙන්නේ මේ වන විට ඔවුන් සිතනවාට වඩා ඔවුන් ජනප්‍රියත්වයෙන් පිරිහී ඇති බවයි. ඒ නිසා, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් ඔවුන් මත කඩාපාත්වී තිබෙන අර්බුදයේ වගකීමෙන් මිදෙන්නට නම් ඔවුන් වැරදි නිවැරදි කරන්නට කටයුතු කළ යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයටත් අහම්බෙන් ලැබුණු පල්ලමෙන් බලය සඳහා තිබෙන කන්ද නැගගන්නට අවශ්‍ය ශක්තිය ගොනුකරන්නට සිතනවාට වඩා වැදගත් වන්නේ මේ මොහොතේ කරන දේ හරියට කිරීමයි.

මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වුවහොත් ඔවුන්ට ඡන්ද දිනන්නට ලේසියි. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් ඉන්නා බව පැහැදිලියි. ඉන්පසු ඔවුන්ට පුළුවන් මහ මැතිවරණයක් ඉල්ලලා උද්ඝෝෂණ කරන්න. මහ මැතිවරණයකින් ඔවුන්ට බලයට පත්විය හැකියි. එහෙත්, වගකීම් විරහිත දේශපාලනයකින් අත්පත් කරගන්නා බලය රැකගන්නට ඔවුන්ට නොහැකි වෙන්නේත් ඒ වගකීම් විරහිතභාවය නිසාමයි.

 

2023 වසර වැඩකට නැති මැතිවරණ වෙනුවෙන් නාස්ති කිරීම අපරාධයක්. ක්ෂණිකව විසඳාගත යුතු ප්‍රශ්න රැසක් තිබියදී, ඒ වෙනුවට, කිසිම විසඳුමක් නොවන නාස්තිකාර මැතිවරණයක් වන පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් රුපියල් බිලියන ගණනාවක් වියදම් කිරීමේ කිසිම තේරුමක් නැහැ. පාසල් ළමයින්ට පොත්පත් සඳහා කඩදාසි හිඟවී තිබියදී, ඔවුන්ට කෑමට තිබෙන පාන් පිටි බිත්තිවල උලමින් කඩදාසිවලින් පෝස්ටර් ගහන දේශපාලනයක් මානුෂික හෝ නැහැ.

 

කවුරු බලයට පත්වුණත්, රාජ්‍ය ආදායම් වැඩිකරගත යුතුයි. රාජ්‍ය වියදම් අඩුකරගත යුතුයි. අපනයනය වර්ධනය කරගත යුතුයි. ආනයන ඒ අනුව තුලනය කරගත යුතුයි. ශ්‍රී ලංකාව කාලයක් තිස්සේ රාජ්‍ය ආදායම් හා වියදම් අතර පරතරය පියවාගත්තෙ ණය ගැනීමෙන්. බලාගෙන යනකොට අපට අවශ්‍ය ආනයන ටික කරගෙන තියෙන්නෙත් මේ ණයවලින්ම තමයි. දැන් එහෙම එකතු වුණ ණය එකතු වෙලා තවදුරටත් ණය ගෙවාගන්නට බැරි වෙලා රට බංකොලොත් වෙලායි තියෙන්නෙ. විදේශ ණය ගන්න බැහැ. දැනට අපේ ආර්ථිකය දුවන්නෙ විදේශ ණය නැතුව. ගත් ණය ගෙවන්නෙත් නැතුව.

හැබැයි, ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ පැවැත්ම සඳහා අවශ්‍ය තිරසර සංවර්ධනය පවත්වාගන්නට නම් අපට විදේශ ණය අවශ්‍යයි. විදේශ ආයෝජන ණයට වඩා වැදගත්. හැබැයි, බංකොලොත් රටකට විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීමත් පහසු නැහැ. මේ වෙලාවෙ ප්‍රමුඛතාව තියෙන්නෙ ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමට. රටේ කඩාකප්පල්කාරී තත්වයක් පැවතීම එයට බාධාවක්. ණය දුන් රටවල් අපට ඒ සම්බන්ධයෙන් සහනයක් ලබාදෙන්නේ රටක් විදියට අපි බල පෙරේතකමට හා කඩාකප්පල්කාරීත්වයට යට නොවී සංවර්ධනයට ප්‍රමුඛතාව දෙන බවට ලෝකයට පෙන්නන්නට පුළුවන් වුණොත් විතරයි.

ඔය වැඩේ කරන්නට ඉක්මන් මැතිවරණ අවශ්‍ය නැහැ. සජිත් ප්‍රේමදාසට දැන් වුණත් පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව ඇතුළෙන් බලය ලබාගෙන අගමැති ධුරයේ වැඩකරලා හැකියාවන් පෙන්නන්න. එහෙම නොකර මහජනයා රවටා, ඔවුන්ගේ වෛරය කිතිකවා, මුදල් විසිකර ‘අරගල’ පණගන්වා, කඩාකප්පල්කාරීත්වය ඔස්සේ බලය ලබාගත්තත්, ඔහුට හෝ වෙන ඕනෑම කෙනෙකුට වුණත් ඒ බලය පවත්වාගෙන යා හැකි වාතාවරණයක් නැහැ.

 

බලය ලබාගැනීම දිහා නෙමෙයි, එතනින් එහා තියෙන රට පාලනය කිරීම ගැන හිතන්නය කියලා අපි කියන්නෙ ඒකයි. බලලෝභී දේශපාලකයන්ට ඒ ගැන සිතන්නට අවශ්‍ය නැති වුණාට, ජීවත් වන්නට මේ රට හැර වෙනත් තැනක් නැති මහජනතාව වන අප ද එසේ සිතිය යුතුද?

 

අඥාන අසාර 'එක රටක් - එක නීතියක්' - අජිත් පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

2022 දෙසැම්බර් 25 අනිද්දා පුවත්පතේ පළවිය.


320723070 553561629955212 5233208659897488127 n

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බලය ලබාගැනීම දිහා නෙමෙයි, එතනින් එහා තියෙන රට පාලනය කිරීම ගැන හිතන්න -අජිත් පැරකුම් ජයසිංහ | The Leader