The Leader News
BREAKING
Top Ad
Opinion

අපේ සිංහයා අපට අමතක වූ එක් මොහොතක් - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

December 30, 2022 • 9:09 AM

අපේ සිංහයා අපට අමතක වූ එක් මොහොතක් - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සතිය තිස්සේ මාධ්‍ය ලෝකය තුළ වඩාත් ආන්දෝලනාත්මක සිද්ධිය වුණේ,
  • එවැනි මංඩි ඉතිරි වීමට තවත් එක හේතුවක් විය හැක්කේ, මනුෂ්‍ය ලිංගිකත්වයේ සහ ඇතැම් සත්ව ලිංගිකත්වයන්හි මූලික ආරය සහ හැඩය තුළ පවතින සමානත්වයයි.
  • ග්‍රීක දේවකතා සාහිත්‍යයේ එන ලීඩා නමැති සුරූපී කාන්තාව හංසයෙකු සමග රමණයේ යෙදීම පිළිබඳ නිර්මාණය වී ඇති විවිධ ප්‍රබුද්ධ කලා කෘති උදාහරණයක් වශයෙන් ගත හැකිය.
  • සිංහබාහු පුරාවෘත්තය අප පැවත එන්නේ විජයගෙන් බවත්, විජයගේ පියා සිංහබාහු බවත්, ඔහුගේ පියා සිංහයෙකු බවත් අපේ ඉතිහාසයේ දැක්වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එක් දේශපාලනඥයෙකුගේ නොමනා ලිංගික ක්‍රියාවක් පිළිබඳව තවත් දේශපාලනඥවරියක් ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට හෙළි කිරීමයි. එහි නිමිත්ත වුණේ, පශු මෛථුන්‍යයට අදාළ කාරණයකි. මේ වන විටත් බොහෝ දෙනා ඒ කතාව රස කරති. ලෝකය පුරා විවිධ නීති පද්ධති තුළ පශු මෛථුන්‍යය නමැති වරද අර්ථ ගැන්වෙන ආකාරයේ කටුසටහනක් මෙසේ සංගෘහිත කළ හැකිය:

පශු මෛථුන්‍යය යනු, මනුෂ්‍යයෙකු සහ සතෙකු අතර සිදුකෙරෙන ලිංගික ක්‍රියාවකි. සාමාන්‍යයෙන් එය, ලිංගික සංසර්ගය හෝ මුඛ කාමය හෝ වැනි දෙයක් විය හැකිය. මේ කියන සතා ජීවත්ව සිටින සතෙකු විය යුතුය. තමන් කරන ක්‍රියාව පිළිබඳ චේතනාවක් හෝ දැනුමක් අදාළ පුද්ගලයාට තිබිය යුතුය. මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ රූප ළඟ තබාගැනීම සහ බෙදාහැරීමත් මේ වරද යටතට ගැනෙන නීතියෙන් තහනම් ය.

 

Michelangelo Creation of Adam cropped

 

අපේ කතා ව්‍යවහාරයට මේ මාතෘකාව ගෙනාවොත්, මේ කියන පශු මෛථුන්‍යය, ‘අතාත්වික’ ය. ‘අස්වාභාවික’ ය. තවත් එහාට ගියොත්, ‘විකෘතියකි’. මේ සෑම වචනයක්ම අර්ථගැන්වෙන්නේ, ඒ ඒ යුග තුළ සහ ශිෂ්ටාචාරයන් තුළ, දෙවියා, මිනිසා/සත්වයා සහ ලිංගිකත්වය යන සාධක තුන අතර පවතින සහසම්බන්ධය මත ය. දෙවියා හැරුණු විට ඉතිරි සාධක දෙක, ස්වභාව ධර්මය සමග නෛසර්ගිකව සම්බන්ධයි. දෙවි කෙනෙකු කිසි දිනෙක මිනිස් චින්තාව තුළ නොපැවතියේ යැයි මොහොතකට උපකල්පනය කළත්, මිනිසා/සත්වයා සහ ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නය යම් අවස්ථාවක පැනනඟිනවා නොඅනුමානයි. හේතුව, පරිණාමය තුළ මිනිස් ශිෂ්ඨාචාරය කියා දෙයක් ස්වභාවය විසින්ම අත්‍යන්තයෙන් ඉල්ලා සිටිනු ලබන බැවිනි. එම ශිෂ්ඨාචාරය තුළ, ස්වභාව ධර්මය විසිනුත්, දෙවියන් විසිනුත් ලිංගිකත්වය පාලනය කෙරේ. ඒ අනුව ගත් විට, ලිංගික සදාචාරය යනු, දෙවියන්ගේ විධානයේ සහ සමාජ අවශ්‍යතාවයේ සංකලනයකි. (දෙවියන් යන්න මෙහිදී භාවිත වන්නේ, ආගම යන්නට පර්යාය පදයක් වශයෙනි). 

p017y3bz

 

සතාගෙන් මිනිසා වෙන් වූ ‘මොහොත’, අවුරුදු දසලක්ෂ ගණනක් දිග්ගැස්සුණු කාලපරිච්ඡේදයකි. එය, අප අද කතා කරන ශිෂ්ඨාචාරයේ වයසට වඩා හුඟක් දිගයි, හුඟක් මහලුයි. ඒ නිසා, ආදි සත්වයාගේ අතුරුබිතුරු තවමත් අතරින්පතර අප අතරේ තිබෙනවාට සැකයක් නැත. එවැනි මංඩි ඉතිරි වීමට තවත් එක හේතුවක් විය හැක්කේ, මනුෂ්‍ය ලිංගිකත්වයේ සහ ඇතැම් සත්ව ලිංගිකත්වයන්හි මූලික ආරය සහ හැඩය තුළ පවතින සමානත්වයයි. උදාහරණයක් වශයෙන්, මනුෂ්‍යයා ලිංගික සංසර්ගයේ යෙදෙන ක්‍රමය සහ බොහෝ සත්ව පංති ලිංගික සංසර්ගයේ යෙදෙන ලීලාව අතර පවතින සමානත්වය දැක්විය හැකිය.

 

lkoiaswas

මේ නිසාම, මිනිස් ශිෂ්ඨාචාරයේ ඉතා මෑත අතීතය තුළ පවා, විවිධ ක්ෂේත්‍ර තුළ, විශේෂයෙන් සාහිත්‍යය/කලා, ලෙන් රූප, ශිලා රූප සහ පුරාණෝක්ති වැනි ක්ෂේත්‍ර තුළ, අප මේ කතා කරන විකෘති ලිංගික චර්යාවන් දැකිය හැකිය. ග්‍රීක දේවකතා සාහිත්‍යයේ එන ලීඩා නමැති සුරූපී කාන්තාව හංසයෙකු සමග රමණයේ යෙදීම පිළිබඳ නිර්මාණය වී ඇති විවිධ ප්‍රබුද්ධ කලා කෘති උදාහරණයක් වශයෙන් ගත හැකිය. අපේ මාතෘකාවට කෙළින්ම අදාළ වන, ගැහැනියක් සිංහයෙකු සමග සංසර්ගයේ යෙදීමේ අපේ ‘උත්පත්ති කතාව’ තවත් එවැනි එක් උදාහරණයකි. ඒ ගැන තරමක විස්තරයක් කිරීම අපේ ප්‍රස්තුතයට ප්‍රයෝජනවත් ය.


සිංහබාහු පුරාවෘත්තය


අප පැවත එන්නේ විජයගෙන් බවත්, විජයගේ පියා සිංහබාහු බවත්, ඔහුගේ පියා සිංහයෙකු බවත් අපේ ඉතිහාසයේ දැක්වෙයි. මේ සිංහයාගේ බිරිඳ වුණේ, වංග දේශයේ කුමාරිකාවක් වන සුප්පා දේවියයි. මෙය, පැහැදිලිවම පශු මෛථුන්‍යය පිළිබඳ කතාවකි. මෙතැන සිංහයා යැයි කියන්නේ, ඇත්ත වශයෙන්ම සිංහයෙකු නොව, ඒ නමින් හැඳින්වුණු හෝ සිංහයෙකු වැනි ගති ඇති පිරිමියෙකි යැයි සමහරු කියති.

 

sinhabahu

මෙවැනි පුරාණෝක්තියක් (ජනකතාවක්) පැහැදිලි කිරීම සඳහා එවැනි විශේෂ උත්සාහයක් ගත යුත්තේ මන්දැයි මට නොතේරේ. ගැහැනියක් සහ තිරිසන් සිංහයෙකුට දාව මිනිස් පිරිමි දරුවෙකු සහ මිනිස් ගැහැනු දරුවෙකු පිළිසිඳ ගැනීමේ ශාරීරික සහ ජීව විද්‍යාත්මක හැකියාවක් නැත. එසේ නම්, සිංහබාහු සහ සිංහසීවලී යනුවෙන් මනුෂ්‍ය දරුවන් දෙන්නෙකු සැබවින්ම සිටියේය යන කතාව අප විශ්වාස කරන්නේ නම්, ඔවුන්ගේ පියා විය යුත්තේ මිනිසෙක්ම ය යන්නත් අප පිළිගත යුතුය. ඒ අනුව, සිංහයා යනු සතෙකු නොව, මනුෂ්‍යයෙකු යැයි අප සිතාගත යුතුව තිබේ.

මේ ගැන, නිර්මාල් රංජිත් දේවසිරි, තමලු මලිත්ත පියදිගම සහ ෂකිල රාජකරුණා වැනි කිහිප දෙනෙකු අතර සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන හරවත් සංවාදයක් සහ අදහස් දැක්වීම් කිහිපයක් පසුගිය දිනවල දක්නට ලැබුණි. එහිදී, තමලු පියදිගම කියන්නට උත්සාහ කොට ඇති බව පෙනෙන්නේ, සිංහයා යනු සතෙකු නොවන බවයි. ඊට සාක්ෂි වශයෙන් දීපවංශයේ සිංහල පරිවර්තනයක් ඔහු ගෙනහැර දක්වයි. එහෙත්, නිර්මාල් සහ ෂකිල රාජකරුණා, අදාළ සිංහල පරිවර්තනය දෝෂ සහිත බවත්, ඒ නිසා මුල් පාලි කෘතියේ අදාළ පාඨයම දක්වමින්, එහි කියැවෙන පරිදි, සිංහයා යනුවෙන් දක්වා ඇත්තේ සතෙකු නොවන බවක් පිළිගැනීමට තරම් සාක්ෂියක් නැති බවත් පෙන්වා දෙති.

 

වැදගත් වන්නේ මෙයයි. එක පැත්තකින්, මේ කියන සුවිශේෂ (සිංහබාහු) කතාවේ ඇත්ත නැත්ත කුමක් වෙතත්, පශු මෛථුන්‍යය පිළිබඳව එදා සමාජයේ පවා යම් අවබෝධයක් තිබී ඇතැයි අප පිළිගත යුතුය. ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ (නිර්මාල්ද පෙන්වා දෙන පරිදි), සිංහල ජාතිය උත්තුංගත්වයට පත්කිරීම සඳහාම දීපවංශ සහ මහාවංශ කතුවරුන්, අපේ උත්පත්තියට සැබෑ සිංහයෙකු ආරෝපණය කොට ඇති බවයි.



එතකොට ජාතික කොඩිය?

 

National Flag 2 copy 2

ඉතිහාසය පැත්තකින් තියන්න, දැන් වර්තමානයට එන්න: මේ සිංහයාව අපේ ජාතික කොඩියට අප දාගත් බව ඔබට මතකද? සතෙකුගේ රූපයක් ඇති ලෝකයේ එකම ජාතික කොඩියත් ලංකාවේ ජාතික කොඩිය පමණක් වන බවත් ඔබ දන්නේද? හංසයෙකු හෝ කුරුල්ලෙකු වැනි සතෙකු ජාතික කොඩියකට දමා ගැනීමට වැඩි දෙයක් සහ වැඩි අරුතක්, සිංහයෙකුගේ රූපයක් ජාතික කොඩියකට දමා ගැනීම තුළ ගැබ් වෙයි.

 

කෙසේ වෙතත් අවසානයේ සිදුව ඇත්තේ, සුප්පා දේවිය සමග රමණය කළ සිංහයා අදටත් අපේ ජාතික කොඩිය අරක්ගෙන සිටීමයි. එසේ නම්, තුන්වැනි හෝ හතරවැනි සියවසේදී දීපවංශයත්, පස්වැනි සියවසේදී මහාවංශයත් අපට කියන සිංහයා පිළිබඳ පශු මෛථුන්‍ය කතාව, අදටත්, එනම් 1948 දී වර්තමාන ජාතික කොඩිය සම්මත කරගත් දවසේ සහ එදා සිට අද දක්වාමත්, සැබෑවක් සහ තථ්‍ය තත්වයක් වශයෙන් භාරගැනීමට අප මැළිකමක් දක්වා නොමැති බව නොවේද එයින් පෙන්නුම් කරන්නේ? වැදගත් වන්නේ, හුදෙක් ඉතිහාසයම නොව, ඉතිහාසය යැයි ජනතාවක් සිතින් ගන්නා කල්පනාවයි. ඒ අනුව, සැබෑ සිංහයෙකුගෙන්ම අප පැවත එතැයි කීමට අප උපවිඥානිකව හෝ ආශා කිරීම, පශු මෛථුන්‍යය අපට ප්‍රශ්නයක් නොවන බව අධ්‍යාහාරයෙන් පිළිගැනීමකි. 

 

ගිය සතියේ අර කී දේශපාලනඥයා සහ බලු පැටවෙකු ආශ්‍රයෙන් ඇති වූ සිද්ධියක් දෙස මෙතරම් සුචරිතවාදීන් ලෙස බලන්නේ එවැනි ජනතාවකි. දැන්, ඉහත කී ඉතිහාස පුරාවෘත්තයේ ඇත්ත නැත්ත පැත්තකින් තියමු: එයින් පරිබාහිරව, පසුගිය සතියේ සිද්ධිය දෙස බැලුවොත්, අදාළ දේශපාලනඥයාගේ චර්යාව ගැන නිශ්චිත අදහසක් ඇති කරගැනීමේ හැකියාවක්, ඒ සම්බන්ධයෙන් දක්වා ඇති ‘සාක්ෂි’ ආශ්‍රයෙන් ඇති කරගැනීමට පුළුවන්කමක් නැත. එම ‘සාක්ෂි’ කූට ආකාරයෙන් සකස් කොට ඇති බවක් විත්තිකරු කියයි. ඒ කෙසේ වෙතත්, ඒ කියන සිද්ධිය චෝදකයන් කියන ආකාරයේම ගර්හිත එකක් විණැයි පිළිගත්තත් ඒ සම්බන්ධයෙන් කෙනෙකු අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? මේ කියන ක්‍රියාව, අපේ දණ්ඩනීති සංග්‍රහයට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි. අදාළ චෝදකයන් කළ යුත්තේ, නීතියේ බලධාරීන්ට එම සිද්ධිය වාර්තා කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි.

 

 



එහෙත් ඒ වෙනුවට කෙළේ කුමක්ද? ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටටම එම සිද්ධිය දන්වා සිටීමයි. ඒ ඇයි? චූදිතයා දේශපාලනඥයෙකු වීම නිසා ය. ඇත්ත, දේශපාලනඥයන්ගේ විෂමාචාරයන් ජනතා අවධානයට යොමු කිරීම වැඩදායකයි. උදාහරණයක් වශයෙන්, යම් දේශපාලනඥයෙකු තමන්ගේ දේශපාලන හෝ වෙනත් බලයක් පාවිච්චි කොට ස්ත්‍රියක් දූෂණය කොට ඇතිනම් හෝ යම් ළමා අපචාරයක් වැනි ක්‍රියාවක යෙදී ඇතිනම්, එය සමාජ යහපතට සහ සමාජ ආරක්ෂාවට කෙලින්ම බලපාන බැවින්, ජනතා අවධානයට එය යොමු කිරීම යෝග්‍ය වන්නේය. “නේම් ඇන්ඩ් ෂේම්” හෙවත් සියල්ලන් ඉදිරියේ ගර්හාවට ලක්කළ යුත්තේ එවැනි තත්වයන් ය.

එහෙත් මේ කියන සිද්ධිය, තමන්ගේ ගෙදර තමාගේ බල්ලා සමග අදාළ දේශපාලනඥයා යෙදී ඇතැයි කියන ලිංගික ක්‍රියාවකි. එයින් වින්දිත භාවයකට පත්වන කෙනෙකු ඇතොත්, ඒ අර කියන බල්ලා ය. උගේ අයිතිවාසිකම් වෙනුවෙන් කෙනෙකුට අවශ්‍ය නම් මෙහිදී පෙනී සිටිය හැකිය. එහෙත්, මේ කියන ලිංගික චර්යාව ප්‍රශ්න කරන චෝදකයන් එවැනි සත්ව අයිතියක් වෙනුවෙන් පෙනී සිටි බවක් පෙනෙන්ට නොවුණි.


ක්‍රියාවට වඩා, තලුමැරීම ගර්හිතයි.


අපි මෙසේ උපකල්පනය කරමු: යම් දේශපාලනඥයෙකු සිය බිරිඳ හෝ පෙම්වතිය/අනියම් බිරිය සමග ඔවුන්ගේ සිරියහනාවේ විකෘති කාමුක ක්‍රියාවක නිරත වෙයි නම්, ක්‍රියාවක් වශයෙන් එය මොන තරම් සදාචාර-විරෝධී විය හැකි වෙතත්, මොන තරම් ජුගුප්සාජනක විය හැකි වෙතත්, ඒ මගින් අපට හෝ පොදුවේ සමාජයට කිසි බලපෑමක් කෙරෙන්නේ නැත. අයථා බලය පාවිච්චි වූ බවට කිසි සාක්ෂියක් එවැනි අවස්ථාවක නොසැපයෙන බැවිනි. යම් හෙයකින් අර කියන බිරිඳ හෝ පෙම්වතිය, පිරිමියාගේ එකී විකෘති හැසිරීමට එරෙහිව නීතිය ඉදිරියට යන්නේ නම් එය වෙනම කතාවකි. එහිදී ක්‍රියාත්මක වන්නේ වෙනත් මූලධර්මයකි. එනම්, පාර්ශ්වකාරියගේ අනුමැතියකින් තොරව අදාළ පුද්ගලයා එකී ක්‍රියාවේ යෙදී තිබී ඇති බවයි. එහෙත් මේ කියන සිද්ධියේදී එවැනි කිසිවක් සිදු වී ඇති බවක් නොපෙනේ. මෙතැන තිබෙන්නේ, සිදුවිණැයි කියන ක්‍රියාව සාරාර්ථයෙන් ඇත්තක් නම්, එය ලෝකසම්මතය ඉදිරියේ අපේ සිත් තුළ අපුලක් දැනවිය හැකි සිද්ධියක් වීම පමණි.

 

ඇත්ත වශයෙන්ම සැබෑ සදාචාරය පිළිබඳ කාරණාව සැලකිය යුත්තේ මෙහිදී ය. එනම්, කෙනෙකුගේ පෞද්ගලික ලිංගික ජීවිතයක් ප්‍රසිද්ධියට පත්කිරීමට තෙවැන්නෙකුට අයිතියක් පැවරෙන්නේ මොන සදාචාරයකින්ද යන්නයි. මෙවැනි පශු මෛථුන්‍ය සේවනයක් පමණක් නොව, සමලිංගික හැසිරීමක් පවා, ජුගුප්සාජනක ක්‍රියාවක් වශයෙන් තවමත් ලෝකයේ බොහෝ තැන්වල පිළිගැනේ. එයත්, අපේ දණ්ඩනීති සංග්‍රහය අනුව, දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් එවැනි පුද්ගලයෙකු සමාජ ගර්හාවට ලක්කිරීමට අයිතියක් අපට සපයන ‘සදාචාරය’ කුමක්ද?

 

ඒ අනුව ගත් විට, අදාළ ක්‍රියාව ගර්හිත වනවාට වඩා ඒ ගැන තලුමැරීම ගර්හිත වන බව නොකියාම බැරි ය.

 

මේ සමස්ත නාටකය දේශපාලනික එකකැයි බැලූ බැල්මට පෙනේ. මෙම චෝදනාව ඉදිරිපත් කරන, අදාළ චූදිතයාගේ සහකාරිය යැයි කියන තැනැත්තිය පිළිබඳ පළවන ඇතැම් වාර්තා අනුව, මෙකී නාටකයට ව්‍යාපාරික ස්වරූපයකුත් ඇති බව පෙනේ. ඒ සියල්ල අස්සේ, අපි කවුරුත් යෝනිසෝමනසිකාරයෙන් විසීමට අලුත් අවුරුද්දේ හිතට ගමු.



අතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද? එහෙම වුණොත් වැඩේ හරිද? - ගාමිණී වියන්ගොඩ(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)


සියැටෙල් ලී ක්වාන් යූ සහ රනිල් - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපේ සිංහයා අපට අමතක වූ එක් මොහොතක් - (ගාමිණී වියන්ගොඩ) | The Leader