The Leader News
BREAKING
Top Ad
Opinion

කාදිනල්වරයා බොරු දිවැසිවරයෙක් ද? - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

December 30, 2022 • 1:08 PM

කාදිනල්වරයා බොරු දිවැසිවරයෙක් ද? - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිතුන් සමඟ කෙරුණු 'නත්තල් විශේෂ’ සංවාදයක් දෙසැම්බර් 23 වැනිදා ‘නිවුස් ෆස්ට් ශ්‍රී ලංකා’ යූ ට්‍යුබ චැනලය ඔස්සේ සජීවීව නරඹන්නට අහඹු අවස්ථාවක් ලද්දෙමි.
  •  එය එදින, රූපවාහිනියෙන් කොපමණ පිරිසක් සජීවීව නැරඹූවා දැයි නොදන්නමුත්, යූ ට්‍යුබයෙන්  ඒ මොහොතේ මා සමඟ එය සජීවීව නැරඹුවේ 17 දෙනෙකි.
  • පැයක් ඇතුළත ලක්ෂ ගණනින් නරඹන ‘වොයිස්‍’ ඇහෙන මහරාජා රූපවාහිනියානුබද්ධ යූ ට්‍යුබ චැනලයේ  මා මෙය ලියන මොහොත වන විට මෙම සංවාදය නරඹා ඇත්තේ ‘සබ්ස්ක්‍රයිබ’ මිලියන 2.15 අතරින් 1750 දෙනෙකි.
  • ඒ සියල්ලන්ගෙන් ද කී දෙනෙක් විනාඩි 40ක් පුරා දිවෙන සංවාදය මුළුමනින් ම නැරඹුවා දැයි නො දනිමි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉංග්‍රීසි ප්‍රවෘත්ති විකාශයෙන් පසු ෆරාස් ෂකුතලී සමඟ කෙරෙන ‘නිවුස් ලයින්’ සංවාදයයි.  එය එදින, රූපවාහිනියෙන් කොපමණ පිරිසක් සජීවීව නැරඹූවා දැයි නොදන්නමුත්, යූ ට්‍යුබයෙන්  ඒ මොහොතේ මා සමඟ එය සජීවීව නැරඹුවේ 17 දෙනෙකි. පැයක් ඇතුළත ලක්ෂ ගණනින් නරඹන ‘වොයිස්‍’ ඇහෙන මහරාජා රූපවාහිනියානුබද්ධ යූ ට්‍යුබ චැනලයේ  මා මෙය ලියන මොහොත වන විට මෙම සංවාදය නරඹා ඇත්තේ ‘සබ්ස්ක්‍රයිබ’ මිලියන 2.15 අතරින් 1750 දෙනෙකි. ඒ සියල්ලන්ගෙන් ද කී දෙනෙක් විනාඩි 40ක් පුරා දිවෙන සංවාදය මුළුමනින් ම නැරඹුවා දැයි නො දනිමි.

 

.

සංවාදයේ යෙදෙන කාදිනල්වරයා යනු සමකාලීන ලාංකික කිතුනු සංඝයේ පළමු කිතුනුවා මෙන්ම ජාත්‍යන්තර ලකුණ ය. ලොව පුරා විසිරී සිටින ලාංකිකයන් මෙන්ම විශේෂයෙන් කිතුනුවන් කාදිනල්වරයා පිළිබඳ දක්වන උනන්දුව ඉන් ධ්වනිත කෙරුණ ද, සංවාදය අතිශය වැදගත් බව කිව්ව යුතු ය. එය කාදිනල්වරයා සතු යාවත්කාලීන සමාජ දේශපාලන ප්‍රඥාව විශද කරන්නකි. මෙහිදී හමුදා කැරොල් ද ඇතුළු රාජ්‍ය කේන්ද්‍රීය කිසිඳු නත්තල් සැමරුමකට නිල වශයෙන් කතෝලක සභාව සහභාගී නොවන බව පවසන කාදිනල්වරයා බරපතළ ලෙස ආණ්ඩුව විවේචනය කරයි. එහි ඖරසභාවය ප්‍රශ්න කරයි. පොදුවේ විපක්ෂය මර්දනය, අරගලකරුවන් දඟගෙයිලෑම මෙන්ම තෝරා ගත් මාධ්‍ය මර්දනය ගැන පවා කාදිනල්වරයා පවසයි. ඔවුනට අනුව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නම් ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය සමාජයට තිබ්බ යුතු ය. එසේ නොමැති බැවින් පෙනෙන්නේ පවතින ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි; ආණ්ඩුව මෙහෙයවන්නා ආඥාදායකයකු නොහොත් ඒකාධිපතියකු බවයි.

 

cardinal

එපමණක් නොව පසුගිය වකවානුව පුරා ම ‘ත්‍රස්ත පනතට’ විරුද්ධ නොවුණේ කවර කිතුනු පදනමකින් දැයි විග්‍රහ නොකළ ද කාදිනල්වරයා විසින්, මෑතක  ‘ත්‍රස්ත පනතට’ විරුද්ධව දිගින් දිගට ම අදහස් ප්‍රකාශ කෙරුණි.  එපමණක් නොව ඊට එරෙහිව ගොනුවුණු ‘ජස්ටිස් ෆෝ ඕල්’ පෙත්සමට පවා අත්සන පවා තැබී ය.  එය කිතුනුභාවයේ පදනමින් ම අතිශය වැදගත් ස්ථාවරයකි.

 



රාජපක්ෂවරු පරසක්වල ගසන තරමේ බරපතළ කාදිනලීය ප්‍රකාශ නිකුත් කෙරුණු මෑත කාලීන කිතුනු  භාවිතයේ සුවිශේෂ මොහොතක් වූ  ඉකුත් ජූලි මස 5 වැනිදා සිය නිල නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කාදිනල්වරයා විසින් රාජපක්ෂලාට විරුද්ධව තමන්ගේ ස්ථාවරය සලකුණු කෙරුණි. එය මාධ්‍යයන්හි පළ වූයේ ‘’මේ රට මුදා ගැනීමට ඇති ලොකු ම බාධාව රාජපක්ෂ පවුල තවමත් බලයේ රැඳී සිටීමයි’’ යන ශීර්ෂයෙනි. එහි සාරංශගත අර්ථය වූයේ රට වැටී තිබෙන තත්වයේ වගකීම භාර ගෙන ඔවුන් තම තනතුරුවලින් ඉල්ලා අස් වී රටේ අනාගතය නැවත ජනතාවට භාර දිය යුතු බවයි. දිවැසිවර උත්ප්‍රාසය පැන නැඟුණේ එතැනිනි.

 

1418980552

 

ගෙවුණු දශක දෙක පුරා මැල්කම් රංජිත් කාදිනල්වරයා කළ කී සියල්ලේ ධ්වනිය වූයේ ලංකාවේ ගැලවුම්කරුවන් යනු රාජපක්ෂවරුන් ම බව ය. කිතුනු ඡන්ද සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය හා ගැට ගැසූ ‘මහ මොළකරු’ කවුදැයි කිතුනු - බොදුනු සියල්ලන් ම දන්නා වූ සරල යථාර්ථයකි.

 

SRI LANKA 0801 Arcivescovo 01

කාදිනල්වරයා සහ රාජපක්ෂ රෙජීමය අතර තීරණාත්මක ඛණ්ඩනය සත්‍යයක් නම්,  පාස්කු දින ‘කුමන්ත්‍රණ’ බෝම්බය ‘පසුකාලීනව හෝ’ කාදිනල්වරයාගේ ‘අධ්‍යාත්මය තුළ පුපුරා යාම’ එහි කේන්ද්‍රයේ වන තර්කයයි.

ලෝකයේ බියකුරු ම ත්‍රස්තවාදීන් යැයි පැවසුණු කණ්ඩායම පරාජය කළේ මෙම පිරිස ම නේදැයි තවමත් නො විසඳුණු පාස්කු කුමන්ත්‍රණය පදනම් කර ගනිමින්, ‘නිවුස් ලයින්’ සංවාදයේදී ෆරාස් ෂකුතලී කාදිනල්වරයාගෙන් අසයි. බරපතළ ම පිළිතුර පිටවන්නේ එවිටයි.



‘’ඔවුන් කියනවා ඔවුන් භයානක ම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කළා කියලා. නමුත් ඔවුන් තමන්ගෙන් ම අසාගත යුතු ප්‍රශ්නය වන්නේ ඇයි ඔවුන් ත්‍රස්තවාදීන් වුණේ කියලා?’’ ලෙස අරඹන පිළිතුර දිග්ගැස්සෙයි.  බොහෝ කාලාන්තරයක් තිස්සේ අප දෙමළ ජනතාවට සලකන්නේ ‘නින්දිත’ ලෙස බවත්, එය අප තේරුම් ගත යුතු බවත් විග්‍රහ කරන කාදිනල්වරයා, නිදහස ලබන විට ‘ඔවුන්’ හෙවත් දෙමළ ජනතාව, ‘සිංහල’ අප සමඟ දිගට ම එකට සිටි බවත්, සහෝදරත්වයෙන් සිටි බවත්  පවසයි.  ඔවුන්ගේ භාෂා භාවිතයේ, අධ්‍යාපනයේ හා සංස්කෘතික අයිතියේ ඖරසභාවය පිළිගන්නා කාදිනල්වරයා 1956 සිංහල පමණක් පනත අතිශය ව්‍යාසනකාරී තීන්දුවක් බව පවසයි. මේ රට විසින් ගනු ලැබූ මේ විනාශකාරී තීන්දුව නිසා එක-තනි-පටු මඟකට අවතීර්ණ වූ රට, අවශේෂ කරුණු මඟහැර ව්‍යාකූලත්වයත්, අරාජිකත්වයත්, ජාතිවාදයත් වෙත  ඇදී ගිය අයුරු මැනවින් විග්‍රහ කරයි. කාදිනල්වරයාට අනුව පැවතියේ අනවශ්‍ය යුද්ධයකි;  අප ම නිර්මාණය කර ගත් යුද්ධයකි.

කාදිනල්වරයාගේ පිළිතුර දේශපාලනික ය.

නමුත් ප්‍රශ්නය වන්නේ මෙකී ඉතිහාසය  ගොඩනැඟීම පිණිස  වූ ‘මහා කිතුනු සම්ප්‍රදානය’ සවිඥානිකව අතැර දැමීමයි.

 

Church Bombings1 

 

st jකිතුනු අර්ථයෙන් ගත් විට මට අනුව, පාස්කු දා බෝම්බය යනු ම, දෙමළ වීම නිසා නොහොත් තමන්ගේ නොවුණු නිසා, බෝම්බ පුපුරා යෑම් නොසලකා හැරීමේ ඉතිහාසය විසින් ගොඩ නංවන ලද යථාර්ථයකි.  රාජ්‍ය ත්‍රස්තවාදය දේවස්ථානවලට බෝම්බ අතාරින්නට පටන් ගත්තේ  1993 නොවැම්බර් 13 උදෑසන හතහමාරට යාපනය ගුරුනගර් ශාන්ත ජේම්ස් දෙව් මැදුරට බෝම්බ හෙළමිනි.  උදෑසන පූජාවට ආ 9 දෙනෙක් ඝාතනය කෙරුණේ එක ම පවුලක තිදෙනෙකු ද ඇතුළුව ය. ඔවුන්ගේ සිරුරු කැබලි බවට පත්වීමෙන් ද දැඩිව පිලිස්සී තිබීමෙන් ද වෙන් කොට හඳුනා ගැනීමට නො හැකිව තිබුණු අතර සියලු කැබලි එකතු කර සාමුහිකව භූමිදානය කෙරුණි.

 

එය කතෝලික වුව දෙමළ පල්ලියකි. මිය ගියාහු කතෝලික වුව දෙමෙල්ලු වූ හ. ඉදින් ‘දේව වරම සහිත’ දකුණේ කිතුනු හඬ නො නැගුණි.

 

Navaly church bombing feature 1

ඉක්බිති නවාලියට බෝම්බ හෙළන ලදි. ඒ 1995 ජූලි 9 වැනිදා ය. රජය විසින් ම නිවේදනය කළ පරිදි ආරක්ෂාව පතා ශාන්ත පීතර මෙන්ම ශාන්ත පාවුලු දේවස්ථාන වෙත පැමිණ සිටියවුන්ගේ හිස මතට බෝම්බ හෙළා දරුවන් 13 දෙනෙකු ද ඇතුළුව 147 දෙනෙකු ඝාතනය කෙරුණි.

කතෝලික වුව ද දෙමෙල්ලුම මිය ගියා වූ ඒ පල්ලිද කතෝලික වුව ද දෙමළ පල්ලිම විය. ඉදින් වරප්‍රසාදිත දකුණේ කිතුනු හඬට අගුළු වැටී තිබිණ. 

 

Navaly church bombing feature 2යුද්ධය පැවති වකවානුව පුරා කතෝලික, ක්‍රිස්තියානි දෙව් මැදුරු, හින්දු කෝවිල්, පාසල්, ඉස්පිරිතාල මත බෝම්බ හෙළා ඝාතනය කරන ලද පිරිස දහස් ගණනකි. නමුත් දකුණු ඒවා දුටුවේවත්, ඊට එරෙහිව හඬ නැඟුවේවත් නැත. නමුත් දැන් කොළඹ අගරදගුරුවරයා දෙමළාගේ ප්‍රශ්නය බරපතළ මුහුණුවරකින් සමාලෝචනය කරයි. මේ වනාහී සිංහල - බෞද්ධ රටකැයි ප්‍රසිද්ධියේ පවසා සිංහල කිතුනු සිංහලභාවය යනු බොදුනු සිංහලභාවය ම බව ඔප්පු කරලූ කාදිනල්වරයාම ය. එකී දෘෂ්ටිවාදී ප්‍රවේශය කූඨප්‍රාප්තියට පත් වූයේ කාදිනල්වරයාගේ කුප්‍රකට මානව හිමිකම් ප්‍රවාදයත් සමඟිනි. මූලික මිනිස් අයිතීන් ගැන පාප්වරයා පවා බරපතළ  ප්‍රකාශ කර තිබුණු පසුබිමක ‘මානව හිමිකම්’ ජිනීවා මත තබමින් කළ  ඒ නිර්දය ගැරැහීම ඔවුන්ගේ කිතුනු හෘදය සාක්ෂිය පිළිබඳ බරපතළ ගැටළුවක් විය. එය ම භූමරංගයක් වී ජීනීවා යන්නට සිදු වුව ද,  මෙම කුප්‍රකට මානව හිමිකම් දෙසුම විග්‍රහ කරමින් එකල, ගාමිණී වියන්ගොඩ  විසින් ලියැවුණු අවරදිග ආවර්ජනාවක 'පළමුව මව්බිම, දෙවැනුව මෝක්ෂය' අත්පත් කර ගන්නා කාදිනලියානු ප්‍රවේශය විග්‍රහ කරමින් එය එක වැකියකට මෙසේ ගොනු කර තිබුණි. "සිංහලයාගේ අධ්‍යාත්මික අවශ්‍යතාවන්ට වඩා ගෝත්‍රික අනන්‍යතාවට ආමන්ත්‍රණය කිරීමේ ඇති වටිනාකම සහ පහසුව කාදිනල්වරයා වටහා ගෙන තිබේ.’’ 

 

‘බල සෙනඟට සමර ගී’ ලියමින් යුද්ධය තීව්‍ර කළ ඇල්ලේ ගුණවංශ බෞද්ධ භික්ෂුව ‘ලංකාසර’ සමඟ පසුගිය මාර්තුවේ  කළ සංවාදයකදී කීවේ "රටේ දුක දැනෙන්නේ කාදිනල්තුමාට විතරයි. මම එතුමාට ආදරෙයි" යනුවෙනි. තවමත් මෙම සිංහල බෞද්ධ හෙවණැල්ල, ආදරයේ සෙයියාවෙන් කාදිනල්වරයා පසුපස ලුහුබඳිමින් සිටියි.

 

කිතුනු ලෝකයේ ‘නිල නිර්ණායක’ අනුව පැවිදි නායකයන් යනු දිවැසිවරුන් ය. ඉදින් කාදිනල්වරයා, තමන් අයත් වන්නේ කවර දිවැසිවරයකට දැයි, අතීත ‘පාපෝච්චාරණ’ද සමඟින්, භාවිතයෙන් ඔප්පු කළ යුතුව ඇත.  එතෙක් ‘සැබෑ දිවැසිවරු සහ බොරු දිවැසිවරු’ මැ‍යෙන් බයිබලයේ එන වදන් මෙසේ උපුටා නවතිමි.

 

‘’ප්‍රිය දරුවෙනි, ඔබ දෙවියන් වහන්සේට අයිති වෙමින් බොරු දිවැසිවරුන් පරාජය කර ඇත. මන්ද, ඔබ තුළ වැඩවසන දෙවියන් වහන්සේ ලෝකයේ සිටින ක්‍රිස්තු විරෝධියාට වඩා උතුම් ය. ඒ බොරු දිවැසිවරු ලෝකයට අයිති ය. ඔවුහු ලෝක ව්‍යවහාරයට අනුව කතා කරති. එබැවින් ලෝකයා ඔවුනට සවන් දෙති. අප දෙවියන් වහන්සේට අයිති ය. දේවියන් වහන්සේ හඳුනන තැනැත්තා අපට සවන් දෙයි. දෙවියන් වහන්සේට අයිති නොවන්නා අපට සවන් නොදෙයි. සත්‍යයත් අසත්‍යයත් අපට හඳුනා ගත හැක්කේ මෙලෙසිනි.‘’
( 1 යොහාන් 4 : 4-6)


නෙල්සනීය ප්‍රවාද - (මංජුල වෙඩිවර්ධන)(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwardena@gmail.com

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 ජනවාරි 01)

සියැටෙල් ලී ක්වාන් යූ සහ රනිල් - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)


JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...