The Leader News
BREAKING
Top Ad
Opinion

අරගලය ද මැතිවරණය ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

February 6, 2023 • 8:29 AM

අරගලය ද මැතිවරණය ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් තියන තවත් එක ලිහාගතයුතු දෘෂ්ටිමය ගැටළුවක් තමයි අරගලය ද මැතිවරණය ද කියන එක.
  •   ලංකාවේ සන්දර්භය ඇතුලේ ගෝඨා බලයට අවේ මැතිවරණයකින්.
  • හැබැයි දරුණු ආර්ථික - දේශපාලන ඇදවැටීමක් එක්ක ගෝඨා ඇතුළු සමස්ත පොහොට්ටු ආණ්ඩුව බිමට ඇදවැටුණේ සමාජ අරගලයක් එක්ක.
  •   පශ්චාත් නිදහස් ලංකාවේ දැවැන්තම සමාජ දේශපාලන ප්‍රතිරූපයක් නඩත්තු කරපු රාජපක්ෂ පවුල අද දේශපාලනය ඇතුලේ පස්සටම තල්ලු කරන්න ඒ අරගලය ඉවහල් උණා.
අකුරු ප්‍රමාණය (Font Size):

අරගලයක් ආවොත් මැතිවරණය කල්යයි කියල එක් පාර්ශවයක් හිතනබව පේනවා. ඒ නිසා එයාල අරගලය ගැන පරිස්සම් වෙමින් මැතිවරණය ගැන ෆැන්ටසි එකකින් වැඩකරනවා. තව පාර්ශවයක් අරගලය දිගට අරන් යන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. හරි.

 

ලංකාවේ සන්දර්භය ඇතුලේ ගෝඨා බලයට අවේ මැතිවරණයකින්. විශාල මැතිවරණ ජයග්‍රහණයකින්. ජනාධිපතිවරණය විතරක් නෙවෙයි ඒ මහ මැතිවරණය පවා තුනෙන් දෙකේ බලයක් පෙන්නුවා. හැබැයි දරුණු ආර්ථික - දේශපාලන ඇදවැටීමක් එක්ක ගෝඨා ඇතුළු සමස්ත පොහොට්ටු ආණ්ඩුව බිමට ඇදවැටුණේ සමාජ අරගලයක් එක්ක. මිනිස් මැදිහත්වීමක් එක්ක.

 

පශ්චාත් නිදහස් ලංකාවේ දැවැන්තම සමාජ දේශපාලන ප්‍රතිරූපයක් නඩත්තු කරපු රාජපක්ෂ පවුල අද දේශපාලනය ඇතුලේ පස්සටම තල්ලු කරන්න ඒ අරගලය ඉවහල් උණා.

 

රනිල් කිරිඇල්ලගෙන් නොව දිනේෂ් ගෙන් පටන් ගන්න...

අද අපි දකින මේ 'අටවාගත්ත ආණ්ඩුව' එහි අවතාරමය නෂ්ඨාවශේෂයක් (spectral presence) උනත් මුල් ආණ්ඩුවේ රාජපක්ෂල දැන් ඉන්නේ තරමක් පසුතලයේ. ජනාධිපති රනිල් යූඑන්පී. දිනේෂ් කියන්නේ රාජපක්ෂ පවුලෙන් පිටින් කෙනෙක්. ව්‍යුහාත්මක වෙනසක් නොවෙයි තමයි. හැබැයි එහෙම නොවෙන්න මේ දෙන්නම මේ පුටුවල නැහැ.

රටේ ධනය හොරාකාපු අය ගැන, ක්‍රම වෙනසක් ගැන, තරුණ මැදිහත්වීම ගැන, පාර්ලිමේන්තුවේ පසුගාමී බව ගැන, විශේෂයෙන් ජනවර්ග වශයෙන් බෙදිලා හිටපු සමාජයක නව සමාජ සම්මුතියක් (new social consensus) ගැන පරාවර්තනයක් සමාජයට ගලා ආවේ ඒ අරගලයත් එක්ක. ඒක මෙතෙක් පාර්ලිමේන්තු දේශපාලන ඇතුලේ කරන්න බැරිවෙච්ච දෙයක්. පාර්ලිමේන්තුවේ කතාකරන්න ඇති. හැබැයි සමාජ කතිකාවක් සහ අත්දැකීමක් හැටියට එළියට ආවේ නැහැ.

 

ඒ අනුව සාධනය කරන්න පුළුවන් දේ තමයි අරගලය ප්‍රාථමික (primary) කියන එක සහ මැතිවරණය ද්විතීයක (secondary) දෙයක් කියන එක. ඒ තමයි මෙතෙක් ලාංකික සමාජයේ මුල්බස්සල තිබ්බ මැතිවරණ තමයි සමාජ වෙනස්කම් ඇති කරන්නේ, ඒ නිසා අපිට චන්දෙ දෙන්න කියන මතවාදය මේ අරගලය නිසාම වෙනස් වීම. ඒක තවදුරටත් අදහසක් නෙවෙයි අත්දැකීමක් (not an idea but an experience).

 

මැතිවරණ දවසේ පෙට්ටිය අස්සට ගිහිල්ල සමාජයේ රැඩිකල් වෙනසක් කරන්න පුළුවන් කියන එක ද්විතියික අදහසක් උණා කියන එක.

නමුත් සටන්කිරීම, අරගලකිරීම ගැන විප්ලවීය ඉතිහාසයක් තියන පක්ෂයක් ඒවායේ පරාජයත් එක්ක මැතිවරණ ගැන විශ්වාසකිරීම තේරුම්ගන්න අමාරු දෙයක් නෙවෙයි.

 

මැතිවරණ කොමිසම නැති බිල්ලෙක් මවනවා' !

හැබැයි මැතිවරණ කියන්නේ දෘෂ්ටිවාදය මාකට් කරලා තමයි බලයට එන්න වෙන්නේ. ඒ නිසාම තමයි මාකටිං සහ ඇඩ්වටයිසින් ඕනි වෙන්නේ. මාකටිං වලින් කොකාකෝලා උස්සන්න පුළුවන් තමයි. හැබැයි කොකාකෝලා කියන්නේ කිසිම වැඩක් ඇති දෙයක් නෙවෙයි කියල මාකටිං කරන අය දන්නවා.

රැඩිකල් සමාජ පර්යායක් ගැන හිතන්න දෘෂ්ටිවාදය ඇතුලේ විකසිත වෙන මැතිවරණ කැම්පේන් එකකට පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්.

කොහොම හරි සතුරාට අතට අහුවෙන දෙයින් ගහන්න. හැබැයි දැනුවත් වෙන්න. අද ගොඩක් උද්‍යෝගයෙන් මැතිවරණයක් ඉල්ලල බලයට ඇවිත් එයාලත් අසාර්ථක උනොත් එදාටත් මිනිස්සුන්ට ඉතිරි වෙන්නේ අරගලය විතරයි නේද? ඒක නේද මාක්ස්වාදයේ උරුමය?

 

ඒකයි. ප්‍රාථමික දේ ඒ හැටියට තේරුම් ගන්න. ද්විතියික දේ ඒ හැටියට තේරුම් ගන්න. හැම දෙයක්ම රැඩිකල් අන්තයක් වෙත ගෙනියන්න බලන්න. හැබැයි දේශපාලනය ඇතුලේ බේසික් වරද්දා ගන්න එපා.




Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


 

JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...