The Leader News
BREAKING
Top Ad
Opinion

කෙබඳු ක්‍රම වෙනසක් ද? කෙබඳු ජනතාවාදයක් ද? - (සුමිත් චාමින්ද)

T

The Leader Desk

February 12, 2023 • 7:41 AM

කෙබඳු ක්‍රම වෙනසක් ද? කෙබඳු ජනතාවාදයක් ද? - (සුමිත් චාමින්ද)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑත දිනෙක මා මිත්‍ර ආචාර්ය කල්ප රාජපක්ෂ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති සම්මන්ත්‍රණයකදී වත්මන් ආර්ථික අර්බුදයට එකම විසඳුම අයි.එම්.එෆ් සරණ යාමය යන මතය තියුණු විවේචනයකට ලක් කළේය.
  • මා මිත්‍ර ධම්ම මෙහිදී අදහස් කරන්නට ඇත්තේ ඔහු සමීප සම්බන්ධයක් දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙතට කල්පගේ විග්‍රහය හඳුන්වා දීමක් විය යුතුය.
  • ජාතික ජන බලවේගය නිදසුන් කොට දක්වමින් ඔහු පෙන්වා දුන්නේ වාමාංශික නැඹුරුවක් ඇති දේශපාලන පක්ෂ පවා දක්ෂිණාංශික බවට රූපාන්තරණය වීම ඔහුව බියට පත් කරන බවයි.
  • එසේනම්, වත්මන් ව්‍යසනයේ සම කතෘවරයෙකු හා රාජපක්ෂ ප්‍රභූ තන්ත්‍රයේ අවශේෂයක් ලෙස ගිණිය හැකි ශ්‍රීලනිපය ගැන කවර කතා ද?
අකුරු ප්‍රමාණය (Font Size):

ධම්ම දිසානායක ඔහුට යෝජනා කළේ මේ අදහස් ඕනෑම දේශපාලන පක්ෂයක් සමග බෙදා ගැනීමේ වරදක් නැති බවයි. මා මිත්‍ර ධම්ම මෙහිදී අදහස් කරන්නට ඇත්තේ ඔහු සමීප සම්බන්ධයක් දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙතට කල්පගේ විග්‍රහය හඳුන්වා දීමක් විය යුතුය. නමුත්, කල්පගේ පිළිතුර වූයේ 'නැත' යන්නයි. ජාතික ජන බලවේගය නිදසුන් කොට දක්වමින් ඔහු පෙන්වා දුන්නේ වාමාංශික නැඹුරුවක් ඇති දේශපාලන පක්ෂ පවා දක්ෂිණාංශික බවට රූපාන්තරණය වීම ඔහුව බියට පත් කරන බවයි. එසේනම්, වත්මන් ව්‍යසනයේ සම කතෘවරයෙකු හා රාජපක්ෂ ප්‍රභූ තන්ත්‍රයේ අවශේෂයක් ලෙස ගිණිය හැකි ශ්‍රීලනිපය ගැන කවර කතා ද?

කොළඹ විශ්වවිද්‍යාලයේම පැවති මෙවැනිම තවත් සංවාදයක තේමාව වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කුමකටද වැන්නකි. එහිදී අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ රැකියා වෙළඳපළේ අවශ්‍යතා සැපිරීම පිළිබඳ විවාදය ඇසුරු කරමින් ආචාර්ය දර්ශි තෝරදෙණිය යෝජනා කළේ අප මැද මාවතක් තෝරා ගත යුතුය යන්නයි. එම යෝජනාව සම්බන්ධයෙන් ප්‍රදීප් පීරිස්ගේ ප්‍රතිචාරය වූයේ තියුණු ලෙසම 'නැත' යන්නයි. මැද මාවත සෙවීම යන්නෙන් බොහෝ විට ප්‍රායෝගිකව අදහස් වන්නේ පවත්නා හෙජමොනික සැකැස්ම සමග අනුගත වීමක් බව ඔහු පෙන්වා දුන්නේය. මේ අදහසට එකතු කළ යුතු යමක් ඇත්නම්, ඒ දේශපාලනයේදී මධ්‍යය පවතින්නේ සෑමවිටම හරි මැද නොවන බවයි. මා මින් ඉහතදීද පවසා ඇති පරිදි ටෝනි බ්ලෙයාර්ගේ 'තුන්වන මාවත' දකුණට බර වූවක් විය. නොබැඳි ව්‍යාපාරයේ නොබැඳිභාවය වමට බර වූවක් විය. එබැවින්, අප සියළු දෙනාම මැද තැනකට පැමිණිය යුතු යැයි යමෙකු පවසන විට එම මැද තැන වටහාගත යුත්තේ දේශපාලනිකව නිශ්චය වන්නක් ලෙසිනි. වත්මන් යුගයේ විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මැද තැනකට පැමිණීමේ යෝජනාවෙන් ප්‍රායෝගිකව අදහස් වන්නේ බොහෝ විට නව-ලිබරල් සම්මුතිවාදය සමග සම්මුතිගත වීමකි.

එම සම්මුතිවාදය සම්බන්ධයෙන් කල්ප සහ ප්‍රදීප් දරන 'නැත' යන ස්ථාවරය වත්මන් නිමේෂයේ දේශපාලනය ගැන සිතීමට අපට නව පර්යාලෝකයක් විවර කරයි.

 

අද දිනයේ සිස්ටම් එක සමග සම්මුතිගත වීමේ ප්‍රවේශය වඩා සූක්ෂම හා සංකීර්ණ වූවකි. එය ඔබට කිසියම් තෝරා ගැනීමක් යෝජනා කරයි. නමුත්, දවස අවසානයේ ඔබට තෝරා ගන්නට සිදුව තිබෙන්නේ එකම අන්තර්ගතය සහිත නැතිනම් අන්තර්ගත දෙයෙහි කුඩා වෙනස්කම් සහිත එකම ආකාරයේ දේවල්ය. ස්ලේවෝයී ශිෂෙක්ගේ වචනයෙන් කිව හොත්, ඔබට එක්කෝ කොකා කෝලා හෝ නැතහොත් පෙප්සි කෝලා තෝරා ගත හැකිය! සියළු තෝරා ගැනීම් අප්‍රකාශිත එකඟතාවකට යටත්ය. හරියට වත්මන් අර්බුදයට එකම විසඳුම වන්නේ 'වික්‍රමසිංහ මොඩලය' බවත් එය ක්‍රියාත්මක කිරීමේ වෙනස් ආකාර පවතින බවත් (දූෂණයෙන් තොරව, මර්දනයෙන් තොරව, රට බෙදීමෙන් තොරව යනාදී වශයෙන්...) යෝජනා කරන විපාක්ෂික කණ්ඩායම් මෙනි. ඒ වෙනුවට මෙම 'කොකා කොලා එරෙහිව පෙප්සි කෝලා' දේශපාලනයේ සීමාව ජය ගත හැක්කේ එකී තෝරා ගැනීම් සියල්ල පදනම් වන්නා වූ අප්‍රකාශිත එකඟතාවට 'නැත' යන පිළිතුර ලබා දීමෙනි. ප්‍රදීප් ඔහුගේ කතාවේදී එය සරලව තේරුම් කළේ මෙසේය; "අපි මේ පැත්තෙන් හරියට ඉන්නක් ගහන්න ඕන."

 

වාමාංශික ජනප්‍රියවාදයක් වෙනුවට ජනතාවාදයක් 

 
a8bfce1b35b25b98e185785e8a683747
 
යානීස් වරූෆකීස්

මෑතකදී නව නොබැඳි ව්‍යාපාරයක අවශ්‍යතාව අවධාරණය කරමින් යානීස් වරූෆකීස් ද පැවසුවේ සියලු දෙනාම සංස්ථාපිත ගෝලීය ආර්ථික මොඩලය සමග එක් හෝ තවත් ආකාරයකින් සම්මුතිගත වෙමින් සිටින තත්ත්වයක් තුළ එයට 'නැත' යන පිළිතුර ලබා දෙන නව ව්‍යාපාරයක් අවශ්‍ය බවයි. සැබවින්ම 2015 වසරේදී ඔහු නියෝජනය කළ ග්‍රීසියේ සිරිසා සන්ධානය බලයට පත් වූයේ යුරෝපීය සහ ගෝලීය මූල්‍ය අධිකාරීන්ට එරෙහිව වමේ පැත්තෙන් ඉන්නක් සවි කරමිනි. බලයට පත් වූ පසුව බහුතර ජනමතයටද පිටුපා සිරිසා ආණ්ඩුව ගෝලීය මූල්‍ය ආයතනවල කොන්දේසිවලට හිස නැමූ විට වරූෆකිස් මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය.
 
 
bs jcඑක්සත් ජනපදයේ බර්නි සැන්ඩර්ස්ද එක්සත් රාජධානියේ ජෙරමි කෝබින්ද ශිෂෙක්ගේ වචනයෙන් කිව හොත් තම 'නම කියන්නට බිය නොවූ වාමාංශිකයින්' වූහ. ඔවුන් සමකාලීන වාමාංශික ජනතාවාදය සම්බන්ධයෙන් නිතර උපුටා දක්වනු ලබන නිදර්ශක අතරට ගැනේ. එම සියලු ධාරාවල වාමාංශික ජනතාවාදයන් හමුවේ තිබෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ වාමාංශික වන අතරම ජනතාවාදී වන්නේ (එනම් ජනතාව යන හිස් හැඟවුම්කාරකය වටා ජනතාව පෙළ ගස්වන්නේ) කෙසේද යන්නයි.
 

මේ කාරණය සාකච්ජා කිරීමේදී අප පළමුවෙන් ජනතාවාදය පිළිබඳව සමකාලීන සිංහල සංවාදය තුළ පවතින මූලික න්‍යායික ගැටළු කිහිපයක් නිරාකරණය කරගත යුතුය. පළමු ගැටළුව, 'populism' යන ඉංග්‍රීසි යෙදුම 'ජනප්‍රියවාදය' ලෙස පරිවර්තනය කිරීමෙන්ම ගම්‍ය වන්නකි. ජනප්‍රියවාදය යන්නට වඩා උචිත ඉංග්‍රීසි යෙදුම වන්නේ 'popular+ism' මිස 'populism' නොවේ. 'populism' යන්නෙන් අදහස් වන්නේ 'පාලක ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව ජනතාව' යන පසමිතුරුතාව කේන්ද්‍ර කොටගත් දේශපාලනයකි. ඒ වෙනුවට අපගේ ඇතැම් මිතුරන් වාම ජනප්‍රියවාදය යන යෙදුම භාවිතා කිරීමෙන් ගම්‍ය වන්නේ හුදෙක් භාෂා පරිවර්තනය පිළිබඳ ගැටළුවක් පමණක් නොව සංකල්පීය අවබෝධය පිළිබඳ ගැටළුවක්ද වේය යන්න මගේ අදහසයි. පොදු ජන අවබෝධයේ දේශපාලනය ගැන - (සුමිත් චාමින්ද)නිදසුනක් ලෙස, මා මිත්‍ර බූපති නලින් වික්‍රමගේ ලියූ 'අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්' (2022) කෘතියේ වාම ජනතාවාදය (ඔහුට අනුව, ජනප්‍රියවාදය) යන්න තේරුම් කරනු ලබන්නේ 'බුද්ධිය වෙනුවට ජනප්‍රිය ප්‍රතිරූප මූලික කරගැනීම' වැනි සරල අනුභූතික මිණුම් අනුසාරයෙන් මිස ජනතාවාදය පිළිබඳ න්‍යායික සංකල්ප අනුසාරයෙන් නොවේ.
 

දෙවන වැදගත් න්‍යායික කාරණය වන්නේ අර්නෙස්ටෝ ලැක්ලාවූ පැහැදිලි කළ පරිදි ජනතාවාදය තුළ කිසිදු නිශ්චිත අන්තර්ගතයක් හඳුනාගත නොහැකි වීමයි. එය වාමාංශික සේම දක්ෂිණාංශික අන්තර්ගතයකින් වුවද සමන්විත විය හැකිය. එබැවින්, ජනතාවාදය නිර්වචනය කරන්නට සිදු වන්නේ එහි කිසියම් අන්තර්ගතයක් අනුසාරයෙන් නොව එහි ආකෘතිය නොහොත් රාමුව අනුසාරයෙනි. එම ආකෘතිය වන්නේ කුමක්ද?
 
 
ලැක්ලාවූ සහ මූෆ් තේරුම් කරන පරිදි ජනතාවාදී දේශපාලනයේදී වඩා මූලික වන්නේ 'පාලක ප්‍රභූන් එරෙහිව ජනතාව' යන පසමිතුරුතා අක්ෂය වටා සමාජය දෙකට බෙදීමයි. එසේ කළ හැක්කේ සමාජයේ පවත්නා පන්ති, පාට, ජනවාර්ගික, ආගමික, ප්‍රාදේශීය, ලිංගිකමය යනාදී විවිධාකාර වෙනස්කම් සහ බෙදීම් ඉක්මවා යමින් ප්‍රභූ තන්ත්‍රයට එරෙහි පොදුභාවයක් නිර්මාණය කිරීමෙනි.
6 2 1068x601
 
අප අතර කොතෙකුත් වෙනස්කම් පැවතියද, අපව පීඩනයට පත් කරන දූෂිත ප්‍රභූ තන්ත්‍රයට එරෙහි වීම යන කාරණයේදී අප එකිනෙකාට සාම්‍ය වන්නෙමු. න්‍යායිකව ගත හොත්, මෙහිදී ක්‍රියාවට නැගෙන්නේ සාම්‍යතා තර්කණයයි (logic of equivalence). පසුගිය අරගල සමයේදී සියලු පක්ෂ, පාට යනාදී බෙදීම් ඉක්මවා ජනතාව අතර සාම්‍යතාවක් නිර්මාණය වූ ආකාරය සිහියට නගන්න. එම ජනතාව හැඳින්වීම සඳහා 'නිර්පාක්ෂික' යන යෙදුම භාවිත වීමෙන් සංකේතවත් වූයේද එයයි. ජනතාවාදී-නොවන දේශපාලනය ක්‍රියාත්මක වන්නේ මීට වෙනස්ව ජනතාව අතර වෙනස් සහ විවිධ අනන්‍යතා යළි ඉස්මත්තට ගනිමින්ය. ලැක්ලාවූ සහ මූෆ් වෙනස්කමේ තර්කණය (logic of difference) ලෙස හඳුන්වන්නේ එයයි. මේ දිනවල රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රියාවට දමමින් සිටින්නේ එම තර්කණයයි. 
 
 
මැතිවරණ දේශපාලනය සහ සීමිත ජනතාවාදය
 

දැන් අප හමුවේ පවතින ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව වැනි බහු-පක්ෂ, බහු-සන්ධාන ක්‍රමයක් පවතින රටක් තුළ වෙනස්කමේ තර්කණය ක්‍රියාවේ යෙදවීම සඳහා මැතිවරණ දේශපාලනය භාවිත කළ හැකි නොවේද යන්නයි. මෙය තරමක පරස්පර විරෝධී තත්ත්වයකි. මන්ද යත්, බොහෝ විට ජනතාවාදී දේශපාලනයේ අංගයක් වන මැතිවරණ, ඇතැම් සුවිශේෂී තත්ත්වයන් තුළ ජනතාව අතර සාම්‍යතා දාමයක් ගොඩ නැංවීම සඳහා නොව ඔවුන් අතර වෙනස්කම් වර්ධනය කිරීම සඳහා යොදා ගත ගැනීමක් මෙයින් ගම්‍ය වන බැවිනි. අරගලය තුළ නිර්මාණය වූ ජනතා ඒකත්වය දැන් පක්ෂ අතර බල පොරය ඉස්මත්තට පැමිණීමෙන් බිඳී යනවා නොවේදැයි අපගේ ඇතැම් මිතුරන් විමසමින් සිටින්නේ මේ ප්‍රශ්නයයි.
 

1210237932.jpgනමුත්, මෙයින් අදහස් වන්නේ මැතිවරණ දේශපාලනයේ වපසරිය තුළ ජනතාවාදයට ක්‍රියාත්මක විය නොහැකිය යන්න නොවේ. අප බොහෝ විට සමකාලීන වාමාංශික ජනතාවාදය පිළිබඳ සංවාදයේදී මැතිවරණ දේශපාලනයට අදාළ නිදසුන් කොතෙකුත් උපුටා දක්වන්නෙමු. යානීස් ස්ටව්රකාකිස් පෙන්වා දෙන පරිදි එක්සත් ජනපදයේ වෝල් වීදිය අත්පත් කරගැනීමේ ව්‍යාපාරයෙන් මතු වූ ජනතාවාදී ශක්‍යතා පසුව මැතිවරණ දේශපාලනය තුළට අවශෝෂණය කර ගන්නට බර්නි සැන්ඩර්ස් සමත් විය. වත්මනෙහි ලංකාව තුළ ජාජබ වෙතට හැරෙමින් තිබෙන ජන රැල්ලද එවන් තවත් නිදසුනකි.
 
 
එහෙයින්, මට මෙහිදී කියන්නට අවශ්‍ය කාරණය වන්නේ වත්මන් ලාංකීය සංධර්භය තුළ මැතිවරණ දේශපාලනය වනාහී ජනතාවාදයට එරෙහි හෝ ප්‍රතිවිරුද්ධ යමක්ය යන්න නොවේ. සහමුලින්ම එහි අනෙක් පැත්තය. එනම්, ජවිපෙ/ජාජබ නිරතව සිටින මැතිවරණ ව්‍යාපාරය ජනතාවාදී ලෙසත් අරගලයේ නැවත පැන නැගීමක් යෝජනා කරමින් සිටින කණ්ඩායම්වල දේශපාලනය ජනතාවාදී-නොවන ලෙසත් හඳුනාගැනීම න්‍යායිකව වැරදි බවයි. ආකෘතික වශයෙන් මෙම ප්‍රවණතා දෙකම ජනතාවාදීය. අනෙක් අතට, මැතිවරණ දේශපාලනය තුළ තවමත් කිසිදු සාර්ථකත්වයක් පෙන්වා නොමැති පෙරටුගාමී වාමාංශය විශේෂයෙන්ම අරගලයේ මොහොතට පසුව ස්ටව්රකාකිස්ගේ අරුතින් 'ජනතාවාදී අතිරික්තයක්' හිමි කරගෙන තිබේය යන්න මගේ නිරීක්ෂණයයි. වෙනස් වචනවලින් කිව හොත්, ස්වකීය සුපුරුදු අනුගාමික ප්‍රජාවෙන් ඔබ්බට යන දේශපාලන ආමන්ත්‍රණයක් කිරීමේ ශක්‍යතාව දැන් පෙරටුගාමී වාමාංශය විසින් හිමි කරගෙන තිබේ. ජන අරගල ව්‍යාපාරය සහ මහජන කවුන්සිල ව්‍යාපාරය මගින් සංකේතවත් වන්නේ එයයි. සරලව කිව හොත්, පෙසප යනු සසප නොවේ.
kurunegala 5 
 
අවසන් වශයෙන්, දැන් ජවිපෙ/ජාජබ මැතිවරණ ජනතාවාදය තුළ ලබමින් සිටින සාර්ථකත්වය පෙරටුගාමී වාමාංශය විසින්ද සාධනීය වර්ධනයක් ලෙස භාරගත යුතුය යන්න මගේ අදහසයි. මන්ද යත්, මා මින් පෙරද තර්ක කොට ඇති පරිදි, ජවිපෙ/ජාජබ පවත්නා සංස්ථාපිතය සමග ක්‍රමිකව සම්මුතිගත වීමේ නැඹුරුවක් දැක්වුවද, මෙරට කාලාන්තරයක් තිස්සේ පැල පදියම් වී තිබෙන දේශපාලන ප්‍රභූ ජාලයට පරිබාහිරින් මතුවන ව්‍යාපාරයක් ලෙස වත්මනෙහි පවත්නා දේශපාලන සමතුලිතතාව වෙනසකට ලක් කරන්නට එය සමත් වනු ඇත. එසේ නිර්මාණය වන නව සමතුලිතතාව, 'සිස්ටම් චේන්ජ්' දේශපාලනය සඳහා වමෙන් ඉන්නක් ගැසිය යුතු යැයි විශ්වාස කරන අප සැමට සුබවාදීව භාර ගත හැකි වර්ධනයකි. මෙහි අදහස අප ක්‍රම වෙනසක් සඳහා වූ දේශපාලනය (සංවිචාරණීය සමාජයක් ගොඩ නැගීම, සහරක්ෂි සමාජයක් ගොඩ නැගීම, මහජන බලය ශක්තිමත් කිරීම, සංවර්ධන විකල්පයක් වෙනුවට සංවර්ධනයට විකල්පයක් සෙවීම, නව බුද්ධිමය සහ සදාචාරමය නායකත්වයක් ගොඩ නැගීම යනාදී යනාදී වශයෙන්) මදක් පසෙකින් තබා ජවිපෙ/ජාජබ සම්මුතිවාදය සමග සම්මුතිගත විය යුතුය යන්න නොවේ. ගොඩ නැගෙන්නට අර අදින නව දේශපාලන සමතුලිතතාව සුබවාදීව භාරගෙන ඒ තුළ බහු-විධ විමුක්ති දේශපාලනයක් සඳහා වූ ව්‍යාපාරය වඩා වේගවත්ව හා බලවත්ව පෙරට ගෙන යා යුතු බවයි. ඒ අතරම විකල්ප සේම නිල නියෝජන ආයතන තුළ අරගලයේ නියෝජනය තහවුරු කර ගැනීමට ප්‍රයත්න දැරිය යුතුව ඇත.            


Sumith Chminda(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
sumith.chaaminda@yahoo.com

JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කෙබඳු ක්‍රම වෙනසක් ද? කෙබඳු ජනතාවාදයක් ද? - (සුමිත් චාමින්ද) | The Leader