The Leader News
BREAKING
Top Ad
Opinion

කලබල වීම සහ සංවෘතවාදී වත මැද කවර වෙනස්කම් ද? - සුමිත් චාමින්ද ගේ ලිපියට ධම්ම ගෙන් පිළිතුරක්

T

The Leader Desk

February 17, 2023 • 5:54 AM

කලබල වීම සහ සංවෘතවාදී වත මැද කවර වෙනස්කම් ද? - සුමිත් චාමින්ද ගේ ලිපියට ධම්ම ගෙන් පිළිතුරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම කෙටි ලියවිල්ල, ලීඩර් වෙබ අඩවිය විසින් පලකළ සහ ඉන් පසු තමා විසින් ම විශ්විද්‍යාලයේ විවිධ වට්ස්අප් ගෘප්වලට ෂෙයාර් කළ සුමිත් චාමින්ද ගේ ‘කෙබඳු ක්‍රම වෙනසක් ද? කෙබඳු ජනතාවාදයක් ද?” හිසින් යුත් ලිපිය ට කෙටි ප්‍රතිචාරයකි.
  • එහෙත් ඔහුගේ පරස්පරතා සහිත යෝජනාව ගැන ඇත්තේ නො සතුටකි.
  • ධම්ම දිසානායක ඔහුට යෝජනා කළේ මේ අදහස් ඕනෑම දේශපාලන පක්ෂයක් සමග බෙදා ගැනීමේ වරදක් නැති බවයි.
  • මා මිත්‍ර ධම්ම මෙහිදී අදහස් කරන්නට ඇත්තේ ඔහු සමීප සම්බන්ධයක් දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙතට කල්පගේ විග්‍රහය හඳුන්වා දීමක් විය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය දිනෙක කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති සංවාදයක දී අචාර්ය කල්ප රාජපක්ෂ සහෝදරයා වෙත මා යොමු කළ යෝජනාව මා මිත්‍ර සුමිත් චාමින්ද ගේ තියුණු අවදානයට යොමු වීම ගැන මට ඇත්තේ සතුටකි. එහෙත් ඔහුගේ පරස්පරතා සහිත යෝජනාව ගැන ඇත්තේ නො සතුටකි. මුලින්ම සුමිත්ගේ අනුමානය/ නිගමනය කියවා ගනිමු.

“මෑත දිනෙක මා මිත්‍ර ආචාර්ය කල්ප රාජපක්ෂ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති සම්මන්ත්‍රණයකදී වත්මන් ආර්ථික අර්බුදයට එකම විසඳුම අයි.එම්.එෆ් සරණ යාමය යන මතය තියුණු විවේචනයකට ලක් කළේය.

ධම්ම දිසානායක ඔහුට යෝජනා කළේ මේ අදහස් ඕනෑම දේශපාලන පක්ෂයක් සමග බෙදා ගැනීමේ වරදක් නැති බවයි. මා මිත්‍ර ධම්ම මෙහිදී අදහස් කරන්නට ඇත්තේ ඔහු සමීප සම්බන්ධයක් දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙතට කල්පගේ විග්‍රහය හඳුන්වා දීමක් විය යුතුය. නමුත්, කල්පගේ පිළිතුර වූයේ 'නැත' යන්නයි. ජාතික ජන බලවේගය නිදසුන් කොට දක්වමින් ඔහු පෙන්වා දුන්නේ වාමාංශික නැඹුරුවක් ඇති දේශපාලන පක්ෂ පවා දක්ෂිණාංශික බවට රූපාන්තරණය වීම ඔහුව බියට පත් කරන බවයි. එසේනම්, වත්මන් ව්‍යසනයේ සම කතෘවරයෙකු හා රාජපක්ෂ ප්‍රභූ තන්ත්‍රයේ අවශේෂයක් ලෙස ගිණිය හැකි ශ්‍රීලනිපය ගැන කවර කතා ද?”


සුමිත් චාමින්ද ගේ සිතීම සාධාරණ වුවත් ඔහුගේ නිගමනය නිවැරදි නැත. මන්ද, ඉදිරිපත් කළ යෝජනාවෙන් මා අරමුණු කළේ සුමිත් සමීප සම්බන්ධයක් පවත්වනවා යැයි කියන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු මෙරට සියළු ම පක්ෂ හෝ කල්ලිවලට නතු කරගෙන ඇති ජනයා වෙතට මේ අදහස් ගෙන යා යුතු බවය. එසේ නොමැතිව ශ්‍රීලනිපය ට හෝ වෙනත් පක්ෂයකට මේ අදහස් ගෙනයාම නොවේ. හැබැයි එහෙම ගෙනගියා කියා මට නම් ගැටළුවක් ද නැත.

 

මන්ද වෙනත් අදහස් මගින් වෙනස්වන පක්ෂ හෝ කල්ලි ලංකාවේ නැති නිසාය. නමුත් ඒ කල්ලිවලට නතු වී ඇති නතු කරගෙන ඇති ජනයා ගැන මට ඇත්තේ ‘වෙනස් කළ හැකිය’ යන මතයකි.

 

kalpa rajapaksha

ආචාර්ය කල්ප රාජපක්ෂ

 

සුමිත් ට අනුව විග්‍රහවලට අයිති කරුවන්/කාරියන් සිටී. නමුත් මා දන්නා ආකාරයට අදහස් සමාජය සතුය. අප ඒවා එකතු කරන්නන් ය. මේ කාරිය මට වඩා හොඳටම දන්නේ සහ කරන්නේ සුමිත් ය. ඉතින් කල්ප සහෝදරයා එදා ඉදිරිපත් කළ අයි.එම්.එෆ්. විග්‍රහය ද එවැන්නකි. නමුත් මේ විග්‍රහය තර්කානුකුලව ආකර්ශනීයව සහ සරලව මහා සමාජය වෙත ඉදිරිපත් කිරීමට හැමෝටම බැරිය. සුමිත්ට සාපේක්ෂව කල්ප සහෝදරයා එහි දී පුළුවන්කාරයෙකි.

 

අප මහා සමාජ දෘෂ්ටිවාදයේ අවිඥානික අනුගාමිකයින් වෙමින් එනම් “සියලු දෙනාම සංස්ථාපිත ගෝලීය ආර්ථික මොඩලය සමග එක් හෝ තවත් ආකාරයකින් සම්මුතිගත වෙමින් සිටින තත්ත්වයක් තුළ” සවිඥානිකව දේශපාලන කල්ලිවාදයක් ලියාදක්වමින් කල්ලියක් තිප්පොළක් තුළ මහා සමාජ විග්‍රහ කොටුකර තැබීම ප්‍රගතිශීලී වන්නේ කෙසේ දැයි මට නම් නො තේරේ.

 

කල්ලිවාදයකට යොමුවෙන්න යැයි ව්‍යංගයෙන් කල්ප සහෝදරයාට යෝජනා කරන සුමිත් පක්ෂ දේශපාලනයෙන් එහා ගිය දේශපාලනයක අගය ගැන ලියා ඇත. එනම් ප්‍රභූවාදයට එරෙහි සාමුහික පොදුජන අරගලයක් ගැන ලියයි. මේ පොදු ජනයා මා කියන අදහස් කරන පොදු ජනයා ම නම් සුමිත් ගේ මුල් සංවෘතවාදය ට සිදුවන්නේ කුමක් ද? හරියට ඉන්න ගසා බෙදීමේ සීමාව සලකුණු කළ යුතු ය යන  සුමිත්ගේ යෝජනාවට සිදුවන්නේ කුමක් ද? මේ පහත සඳහන් සුමිත්ගේ ලිපි කොටස් දෙස බලන්න.


1.“ලැක්ලාවූ සහ මූෆ් තේරුම් කරන පරිදි ජනතාවාදී දේශපාලනයේදී වඩා මූලික වන්නේ 'පාලක ප්‍රභූන් එරෙහිව ජනතාව' යන පසමිතුරුතා අක්ෂය වටා සමාජය දෙකට බෙදීමයි. එසේ කළ හැක්කේ සමාජයේ පවත්නා පන්ති, පාට, ජනවාර්ගික, ආගමික, ප්‍රාදේශීය, ලිංගිකමය යනාදී විවිධාකාර වෙනස්කම් සහ බෙදීම් ඉක්මවා යමින් ප්‍රභූ තන්ත්‍රයට එරෙහි පොදුභාවයක් නිර්මාණය කිරීමෙනි.”

2.“වෙනස් වචනවලින් කිව හොත්, ස්වකීය සුපුරුදු අනුගාමික ප්‍රජාවෙන් ඔබ්බට යන දේශපාලන ආමන්ත්‍රණයක් කිරීමේ ශක්‍යතාව දැන් පෙරටුගාමී වාමාංශය විසින් හිමි කරගෙන තිබේ. ජන අරගල ව්‍යාපාරය සහ මහජන කවුන්සිල ව්‍යාපාරය මගින් සංකේතවත් වන්නේ එයයි. සරලව කිව හොත්, පෙසප යනු සසප නොවේ.”


මෙහෙම ලියන සුමිත් කල්ප සහෝදරයාට යෝජනා කරන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් සංවෘත සීමාකාරී කල්ලිවාදී සිරගත වෘතයකි. මට පෙනෙන විදියට නම් සුමිත් කලබල වී ඇත. ඒ නිසාම කල්ප සහෝදරයා කල්ලියකට හෝ කුඩා සංවිධාන ව්‍යුහයකට පමණක් කොටු නොවී පොදුජන සමාජයට ආමන්ත්‍රණය කළ යුතු ය යන මගේ ඉල්ලීම නොපෙනී කොහේදෝ යන එක් පක්ෂයක් අමුණාගෙන සුමිත් හිත රිද්දගෙන ඇත. මා යෝජනා කරන්නේ සුමිත්ගේ නිගමනය සහ එහි ඇති පරස්පරය ගැන නැවත පිරිපහදු අරමුණකින් නැවත සිතා බැලීමට ඔහු යොමුවිය යුතු බවය. මන්ද අප වැටී ඇති වලවල් වලට කල්ප සහෝදරයා ඇද දැමිය යුතු නැත යන්න මගේ මතය ය.



Dhamma Dissanayaka(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ධම්ම දිසානායක)
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශය

dhammadissa@gmail.com

16.2.2023    



සබැඳි ලිපිය :
කෙබඳු ක්‍රම වෙනසක් ද? කෙබඳු ජනතාවාදයක් ද? - (සුමිත් චාමින්ද)



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කලබල වීම සහ සංවෘතවාදී වත මැද කවර වෙනස්කම් ද? - සුමිත් චාමින්ද ගේ ලිපියට ධම්ම ගෙන් පිළිතුරක් | The Leader