The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

බල්සාක් කැෆේ : බුද්ධ ඝාතනය හා වාම බෞද්ධ හිත් රිදවීම - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

June 9, 2023 • 11:27 AM

බල්සාක් කැෆේ : බුද්ධ ඝාතනය හා වාම බෞද්ධ හිත් රිදවීම - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම වචන ඇමිණෙන මොහොතේ පසුබිමින් ‘බුද්ධ ඝාතනය’ වාදනය වෙයි.
  • තිබිණ බිම ඔත් ලේ විලක් මත ශ්‍රි දේහය යාපනය, පොත් ගුළට ඇතුළු වන පඩිපෙළ ළඟම.
  • සිංහල-බෞද්ධ ඝාතන ලැයිස්තුවේ බුදුන්ගේ නම නොතිබුණු ද උන්වහන්සේගේ ප්‍රාණය නොසිඳ මැස්සකුවත් මරන්නට නොහැකි බව පෙනී ගියෙන් මෙකී ඝාතනය සිදුකෙරිණ.
  • ඇත්තෙන්ම නම් හිනා යන කතාව ඇත්තේ එතැන ය.
අකුරු ප්‍රමාණය (Font Size):

බුද්ධ ඝාතනය කළ සිංහල සමාජය එම වියරු-නරුම සංසිද්ධියේ 41වැනි වසර සමරන මොහොතේ ඔවුන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය තීව්‍ර කරනු වස් නිර්මිත මෙම ගැඹුරුතර සංධ්වනිමය සංවේදනාව සිංහල-බෞද්ධ සමාජයට සම්ප්‍රදානය කළ නදික වැළගොඩපළ සහ දිනූපා කෝදාගොඩ යනු ඉකුත් සමාජ නැගීටීමට, ස්වකීය සංගීතමය ළෙලවීම් හරහා  අඛන්ඩව සක්‍රීයව දායක වුණු කලාකාරී දෙපළකි.

 

FffZulQXwAEezvU

නදික වැළගොඩපළ සහ දිනූපා කෝදාගොඩ


300px Nuk ජ්‍යෙෂ්ට කිවියර නුහුමාන්‘බුද්ධ ඝාතනය’ සංගීතමය ප්‍රකාශනයට පාදක වුණු එනමින් ම එන කවිය ජ්‍යෙෂ්ට කිවියර නුහුමානුවන් ලියූවේ වසර එකුන් හතළිහකට පෙර ය. එහදී බුදුන් වෙඩි තබා ඝාතනය කළෝ සිංහල-බෞද්ධයෝ ම ය. යාපනය පොත් ගුළ තුළ ය.

‘’සිවිල් ඇඳුමෙන් සැදුණු බල සෙනඟ

උන්වහනේසේ ඝතානය කළ හ.

තිබිණ බිම ඔත් ලේ විලක් මත

ශ්‍රි දේහය

යාපනය, පොත් ගුළට ඇතුළු වන

පඩිපෙළ ළඟම. ‘’

 

බිඳුණු සෝබර හදවතකින් යුතු නුහුමානුවන් ලිවේ එසේ ය. සිංහල-බෞද්ධ ඝාතන ලැයිස්තුවේ බුදුන්ගේ නම නොතිබුණු ද උන්වහන්සේගේ ප්‍රාණය නොසිඳ මැස්සකුවත් මරන්නට නොහැකි බව පෙනී ගියෙන් මෙකී ඝාතනය සිදුකෙරිණ. ඉක්බිති සිංහල බෞද්ධයෝ යාපනයේ පොත් ගුළේ පොත් වලින් ඒ ශ්‍රි දේහය වසා සඟවා ගිනිතැබුවාහු ය. උන්වහන්සේගේ ශ්‍රී සිරුර භෂ්ම වී යන්නේ ධම්ම පදය ද සමඟින් ම ය.

1983

ඉක්බිති බිහිවුණ සිංහල-බෞද්ධ සමාජය යනු කවරක් ද? බුදුන් ද, ධම්ම පදය ද නැති සමාජයකි. 1981 ‘පොසොන්’ මස සිදුකළ ‘අහස ද පො‍ලොවද නුහුලනා මේ අපරාධය’ නොහොත් බුදුන් ඝාතනය කර ධම්ම පදය සමඟින්ම දවා අළුකර දැමීමෙන් පසු බිහිවුණු මෙකී සමාජය ඉන් දෙ වසරක ඇවෑමෙන් 1983 ‘ඇහැ‍ළ’ මසදී මෙකී කවිය යෝජනා කළ සත්‍යය, පරම සත්‍යයක්ම බව රටපුරා පාරක් පාරක් ගාණේ ඔප්පු කර පෙන්වූහ.  2009 ‘වෙසක් සඳ එ‍ලියේ’ රබන් ගසමින්, රක්ත වර්ණ කිරිබත් කමින් සිටියදී මෝචනය වූයේ බුදුන්-දහම් අහිමිකරගත් සමාජයේ ප්‍රීති ප්‍රමෝදයයි.

දැන් ප්‍රශ්නය මෙයයි. සියතින්ම වෙඩිතබා බුදුන් මරා ධම්ම පදය සමඟින්ම ගිනිතැබූ සමාජයක හිත, පොඩි පොඩි විහිළුතහළු වලට රිදෙන්නේ කොහාමද යන්න ය. ඇත්තෙන්ම නම් හිනා යන කතාව ඇත්තේ එතැන ය.

135780780 4183057015054372 2886608486453451010 nසේපාල් අමරසිංහසේපාල් අමරසිංහ කුදලාගෙන ගොස් හිරේ විලංගුවේ දැමූ සමයේ එකී සංසිද්ධිය අරභයා අප ලියූ කොලමේ කොටසක් යළි උපුටන්නට අවසර!

‘’අප හමුවේ සැබෑ ලෙසම පවතින්නේ ආත්මයේ සහකම්පනය ඇතිවන කලාපය සහමුලින්ම අහිමිකරගත් වරදකාරී සමාජයකි. ඕනෑම සංසිද්ධියක් විනෝදය සහ ප්‍රමෝදය ලෙස ගෙන තලුමරනවා හෝ ගොසිපමය ආකෘතියක තබා බාර ගන්නවා මිස ඉන් සහකම්පනයක් සිදු වන්නේ නැත. ඒ අනුව සේපාල්ගේ දළදා උද්දෘතය විසින් කිසිවකු තුළ කම්පනීය හැඟීමක් පහළ කෙරෙන්නට ඉඩ නැත. සිංහල බසට එවන් බලයක් තියෙනවා නම් ඥානසාර භික්ෂුව ඉස්ලාමීය දෙවියන්ට ඒ වචනයම උපුටන විට සිංහල බසින් ම ඊට බලවත් විරෝධයක් මතු විය යුතු ය. පිටිදූවේ සිරිධම්ම භික්ෂුවගේ ඌරු දන්ත ප්‍රකාශයෙන් මහජන කැළඹීමක් ඇතිවිය යුතු ය. නමුත් එසේ කිසිවක් සිදුවූයේ නැත. ඒ ඔවුන් භික්ෂූන් නිසා නොවේ. ඒ වචනයන්හි අරුත් වරනඟන භාෂා පදනම අහෝසි වී තිබීම නිසා ය.’’

කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළ පරිදි ජූනි 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගත කෙරුණු නතාෂා එදිරිසූරිය නිසා සියතින්ම වෙඩිතබා බුදුන් මරාගත්, සිංහල බෞද්ධ හදවත් වේදනාවට පත්වී යැයි අවධාරණය කිරීම මොනතරම් කොමඩිසහගත තර්කනයක් ද? 

නිදසුනක් ලෙස එසේ වේදනාවට පත්වී යැයි පැමි‍ණිලි කළ ඩෑන් ප්‍රියසාද් යනු ගෙඩිය පිටින්ම කොමඩියකි. ගාලුමුවදොරට එර්දියෙන් සැපත් ව, ජාතික ගීය දෙමළෙන් ගැයෙන කල සිවුර උස්සාගෙන දෙමළා මරා කන්නට ආ, අරගලයේ විකාර නෂ්ඨාවශේෂයක් වූ බලංගොඩ මානවයාට ඥාතීත්වයක් නැති භික්ෂුව, තනිකරම කොමඩි නළුවෙකි. මේ කොමඩි පිටුපස ඇති නරුම දේශපාලනය ඉපදුණ ගමන් ඇවිද්දවන්නට, කවි කියවන්නට ට්‍රයි කෙරෙන ඕනෑම කිරිබොන කොල්ලකුට කෙල්ලකට පවා තේරේ.

නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්‍රකාශනයකි!

නතාෂා එදිරිසූරිය

නතාෂා සංසිද්ධිය ගැන කප්පරක් දෑ කියැවී ලියවී ඇතත් තවම ඇය සිරගත ය. ඇය ගැන කීවාවූ ද ලීවා වූද අති බහුතරය වර්ගවාදී ව්‍යුහමය සැකැස්ම තුළ සිරගත ය.

අපි මුග්ධ සංස්ථාපිත ආගමික පීඩාවෙන් පරිකල්පනයේ නිදහසට ගැළවීම අත්පත් කර දිය යුතු යැයි අත්දැකීමෙන් අවබෝධ කර ගත්තෝ වෙමු. අශුද්ධ සන්ධානගත මෙකී පීඩාව පුද්ගලිකව අප කෙරෙහි බලපවත්නා බලවේගයක් නොව ඊට ව්‍යුහාත්මක පැවැත්මක් ඇති බව අවබෝධයට පත් වීම අප උදාකර කරගත් මීළඟ අවබෝධයයි.

මෙකී පරිකල්පනයේ නිදහස පිළිබඳ සංසිද්ධි මෙන්ම අඛන්ඩ සංවාදය හුදු පුද්ගල කේන්ද්‍රීය නිදහස පිළිබඳ ගැටළුවක් නොවන බවත් එබැවින් එය නිදහස පිළිබඳ පළල් අදහසෙන් ව්‍යුක්තව ගත නොහැකි බව දේශපාලනිකව සිතන්නන් බවට අප පත්වූයේ එබැවිනි.

නතාෂා වීරසුරියගේ ප්‍රකාශයේ නිවැරදිබව හෝ එහි දේශපාලන නිවැරදිබව පිරිස්සා බලන ලිබරල් මිනුම්දඬු අප කිසිවිටෙකත් භාවිත නොකරන්නේ එය පීඩකයා ශක්තිමත් කරන වාචික - ලිඛිත මෙවලම් වන බැවිනි.

 230208 monks

ලෝකෝත්තර පැවැත්මක මඟහසර පෙන්වන්නන් වන සංඝයා ලෞකික ජීවිතයේ දෛනික පැවැත්මට කොන්දේසි දැමීමට පීඩාකාරී ලෙස මැදිහත් වීම බරපතළ දේශපාලන ප්‍රවේශයකින් පරාජය කළ යුතුවා මිස ඊට උඩගෙඩි දීම නිවැරදි කළ නොහෙන දේශපාලන වරදකි. වර්ගවාදී මාත්තුව අධ්‍යාත්මගත ජනප්‍රිය වාමාංශය මෙන්ම රැඩිකල් වාමාංශය පවා නැවත නැවතත් මේ වරද සිදුකරමින් සිටීම විසින් පෙන්නුම් කරන්නේ වර්ගවාදය කෙතරම් ව්‍යුහගත දේශපාලන ප්‍රශ්නයක් ද යන්නයි. දැන් අප හිනාවිය යුත්තේ කුමකට ද හිනා නොවිය යුත්තේ කුමකට ද යන්න තීන්දු කිරීමට වර්ගවාදි යෝජනා කරයි.

නතාෂා එදිරිසූරිය අත් අඩංගුවට ගැනීමට ලක්වූ සංසිද්ධිය ගැන අදහස් දැක්වූ ප‍ණ්ඩිතමානී ආචාර්ය මහාචාර්ය වරු පවා ප්‍රශ්නයට එළඹෙන්නේම ඇය වරදක් කළ බව කියමින් හෝ අඟවමිනි. මර්ධන පනතකට යටත් කොට කුදලාගෙන විත් සිරගත කොට සිටින කෙල්ලට උපදේශ අනුශාසනා කරන ‘නිවැරදි’ මිනිසුන් මේ කරන්නේ මේ ජරාජීර්ණ ව්‍යුහය ශක්තිමත් කිරීමට උඩගෙඩි දීමක් බව ඔවුන්ට නො වැටහෙන්නේ ද? අපට අනුව මෙය දැනුවත් ප්‍රවේශයකි. තක්කඩි ක්‍රියාවකි. මේ ව්‍යාජ ලිබරල් බුද්ධිමතුන් පසෙක සිටියේවා, ඒත් වාමාංශික නායකයන් කළඑළි බැස නාතාෂා එදිරිසූරිය වරදක් කර ඇති බව පැවසීම කවර වාම ප්‍රහසනයක් ද?

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධය්‍යාපන ලේකම් ධූරන්දර පුබුදු ජයගොඩ සහෝදරයා කියනා මේ කතාව අසන්න.

‘’ජනතාව ඉන්නෙ ආර්ථික වශයෙන් පීඩාවට පත්වෙලා. දේශපාලන වශයෙන් පීඩාවට පත්වෙලා. තමන්ගෙ දෛනික ජීවිතේ විශාල අර්බුදයක ඉන්නෙ. එසේ අර්බුදයක ඉන්න අතර ඒ පීඩාව විසින්ම ඔවුන් විශ්වාස කරන සමහර ආත්මීය කරුණු, සමහර සංවේදී කරුණු, සංස්කෘතික දේවල්, ආගමික සංවේදී දේවල්.. මේවට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ඒකෙන් තමයි ජනතාව කලබල වෙලා තියෙන්නෙ. එතකොට, උදාහරණයක් විදිහට බෞද්ධයන්ගෙ හිත් රිදීමක් වෙලා තියෙනවා මේ ප්‍රකාශය විසින්’’

ඔන්න පුබුදූන්ගේ ගැඹුරු සාරගර්භ විග්‍රහය.

සිංහල-බෞද්ධ සභ්‍යත්වය විඥානයේ වාම රැඩිකල් පරාවර්ථනය.




ඉක්බිති ඔහු මෙසේ කියයි. ‘’ඊයේ රාත්‍රියෙ පෞද්ගලික රූපවාහිනියක ප්‍රවෘත්ති මං බැලුවා, ප්‍රවෘත්ති තිබුණා විනාඩි 39ක්. ඒ විනාඩි 39න් විනාඩි 14ක්ම තිබ්බෙ නාතාෂගෙ සිද්ධිය. ප්‍රවෘත්ති විකාශයෙ ගුවන්කාලයෙන් 40%ක් මේ සිද්ධිය. එහෙම ප්‍රමුඛත්වයක් දෙන්න තරම් මොකද්ද මේ සිද්ධියෙ තිබුණෙ?’’

වර්ගවාදී හික්මීම විසින් තමන්ගේ ප්‍රකාශයක ඇති පරස්පරය නොතේරෙන තරමට ම ව්‍යාකූල කරනු ලැබ ඇත. ඉන් මිදෙන්නට නම් දේශපාලන ධෛර්යය තිබිය යුතු ය.

බුදුන් ඝාතනය කරනු ලැබූ පසු රිදෙන්නට හිත් නැති බවත්, එසේ හිත් රිදෙන බව පැවසෙන තැනක් වේ නම් එහි වන්නේ ද වර්ගවාදී දේශපාලනය ම බවත් අප පවසන්නේ එබැවිනි.

අගතීන් ස්ථාපිත ය; එබැවින් සංස්ථාපත ය. එසේ වූ කල විහිළුවක් මඟින් වරදක් කර ඇති බව පිළිගැනීමම, පවතින ව්‍යුහය ශක්තිමත් කිරීමට මෙන්ම වර්ගවාදය තීව්‍ර කරන්නට දායක වීමකි. සංස්ථාපිත අගතීන් එසේම පැවතියදී ඒවා කතාවෙන් පමණක් නිවැරදි කරලන්නට මාරාන්තික වෙහෙසක් දැරීම ස්ටෑන්ඩිං කොමඩිකරුවන් පවා හිරවැටෙන තරමේ කොමඩියකි. භාෂා භාවිතය තුළ ජාතිවාදී සෙම්-සොටු මතු නොවන පරිදි හැසරෙන්නට මාරාන්තික අරගලයක යෙදෙන බහුතර ප්‍රාඥයන්, ව්‍යුහාත්මක ගැටළුවක් වන ජාතිවාදයට එරෙහිව කිසිදු සැලකිය යුතු මාදිහත්වීමක් කරන්නේ නැත. දේශපාලනිකව ගත් කල, ඒ වනාහී ජාතිවාදයේ අඛන්ඩතාව වෙනුවෙන් වක්‍රව අනුග්‍රහය ලබා දීමකි. භාෂාවෙන් ජාතිවාදී නොවීම විසින් පුද්ගලිකව ජාතිවාදය වෙත භෞතිකව අ‍බිමුඛ වීම සීමාවිය හැකි ය. ඒත් එකි තැනැත්තා එය භාවිත කළ ද නොකළ ජාතිවාදයට ගොදුරු වන මිනිසාට ඉන් මිඳීමක් නොවේ.

ඉදින් මේ විහිළුකාර කෙරුවාව අවසන් කරලීමට සවිඥානිකව: සබුද්ධිකව සේම දේශපාලනිකව මැදිහත් වීම පැහැර හැරිය නොහැකි දේශපාලන වගකීමකි. මන්දයත් මේ ගතව යන්නේ රාත්‍රිය පුරා බඩ ඇවිලෙනතුරු හිනාවුණු ප්‍රහසනයන්ට හිනාවූවන් විසින්ම උදෑසන නඩු දැමෙන සමයකි.


Manjula wediwardhana(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwardena@gmail.com

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 ජූනි 11)

Anida


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...