The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

සිංහලයෝ හා පූර්වයෝ - (මහාචාර්ය නලින් ද සිල්වා)

T

The Leader Desk

August 16, 2023 • 3:32 PM

සිංහලයෝ හා පූර්වයෝ - (මහාචාර්ය නලින් ද සිල්වා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා ඉතිහාසඥයකුවත් වාග් විද්‍යාඥයකුවත් වෙනත් කිසිම විද්‍යාඥයකුවත් ශාස්ත්‍රඥයකුවත් නො වෙයි.
  • මෙහි සඳහන් වන්නේ එවැන්නකුගේ අදහස්.
  • අද බොහෝ විට අසන්න ලැබෙන කතාවක් නම් අපේ ඉතිහාසය අවුරුදු එක්ලක්‍ෂ විසිපන්දාහක පමණ අතීතයකට යන බව.
  • ඒ මිනිසුන් සහ අප අතර ඇති සම්බන්ධය කුමක් ද?
අකුරු ප්‍රමාණය (Font Size):

මොටාවේ හා මෙටාවේ බොහෝ දෙනා මා දන්නේ කළහකරුවකු, පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ විශ්වාස කරන මෝඩයකු, මිථ්‍යා මතධාරියකු, ජාතිවාදියකු, ආගම්වාදියකු, තානාපතිකමක් සඳහා රාජපක්‍ෂලාට කඩේ ගිය අයකු, කුහකයකු ආදී වශයෙන්. මාක්ස්වාදී ජාතිකවාදීන් ද මා ප්‍රතික්‍ෂෙප කරනවා.

මෙහි සඳහන් වන්නේ එවැන්නකුගේ අදහස්. අද බොහෝ විට අසන්න ලැබෙන කතාවක් නම් අපේ ඉතිහාසය අවුරුදු එක්ලක්‍ෂ විසිපන්දාහක පමණ අතීතයකට යන බව. මෙහි ප්‍රශ්නය වනුයේ අප යනු කවුද යන්නයි. අවුරුදු එක්ලක්‍ෂ විසිපන්දාහකටත් වඩා ඈත අතීතයක මිනිසුන් මෙහි ජීවත් වන්නට ඇති. ඒ මිනිසුන් සහ අප අතර ඇති සම්බන්ධය කුමක් ද? ඔවුන් හා අප අතර ඇති සංස්කෘතික සම්බන්ධය කුමක් ද?

ඒ මිනිසුන්ගේ සංස්කෘතිය  සහ අපේ වත්මන් සංස්කෘතිය අතර අඛණ්ඩ සම්බන්ධතාවක් තිබේ ද? මෙහි අඛණ්ඩ යන්නෙන් අදහස් කරන්නේ සන්තතික (continuous) යන්නයි. ඒ මිස දිගින් දිගට ම පැවතෙන එක ම සංස්කෘතියක් යන්න නො වෙයි. මෙරට ඇති ප්‍රධාන ම ප්‍රශ්නය නම් වචනවල තේරුම් පිළිබඳ නිරවුල් අවබෝධයක් නැති කමයි. අපේ අධ්‍යාපනයෙන් ඒ අවබෝධය ලබා දීමට කටයුතු කරන බවක් පේන්නෙ නැහැ.



ගණිතය ඉගෙන ගැනීමේ දී සන්තතික යන වචනය තරමක් පැහැදිලි කෙරෙනවා. එහෙත් එය වියුක්ත ව කෙරෙන්නක්. ගණිත සංකේත යොදා ගෙන කෙරෙන්නක්. ඉන් එතරම් වැඩක් වෙනවා කියා හිතන්න අමාරුයි. ගණිතය ඉගෙන ගන්නා බොහෝ දෙනා සන්තතික යන්නෙහි අර්ථදැක්වීම පාඩම් කර ගැනීම පමණක් කරන බව පෙනෙන්න තියෙනවා. ටික දෙනකුට ඒ අර්ථදැක්වීම් ආදිය යෙදා ගෙන ගැටළු විසඳන්න පුළුවන්. එතැනින් එතැනින් එහාට යන්නෙ නැහැ. අඛණ්ඩ සන්තතික යන්නෙන් තේරෙන්නෙ වෙනස් නොවන බවක් නො වෙයි. වෙනස් වෙනවා එහෙත් කැඩීමක් වෙන්නෙ නැහැ. යම් විකාශයක් පවතිනවා.

2019 04 20 15.32.181

අද අපේ සංස්කෘතිය නුවර යුගයේ තිබුණු සංස්කෘතිය ම නො වෙයි.  එය වෙනස් වෙලා. ඒත් අපට නුවර යුගයේ සංස්කෘතිය අද සංස්කෘතිය කරා විකාශය වෙලා තියෙන ආකාරය දැන ගන්න පුළුවන්. අනුරාධපුර යුගයේ තිබුණු සංස්කෘතිය පොළොන්නරුවට එන විට වෙනස් වෙලා. ඒත් ඒ වෙනින් ම සංස්කෘතියකුත් නො වෙයි. අනුරාධපුර සංස්කෘතිය හා පොළොන්නරු සංස්කෘතිය අතර සම්බන්ධයක් අපට දකින්න පුළුවන්. ඒ වගේ ම පොළොන්නරු සංස්කෘතිය හා නුවර සංස්කෘතිය අතරත් ඒ හා කොළඹ සංස්කෘතිය අතරත් සම්බන්ධකම් දකින්න පුළුවන්.

සිංහල භාෂාව ගත්තත් එහෙමයි. භාෂාව සංස්කෘතියෙ අංගයක්. සිංහල භාෂාව අනුරාධපුරයේ සිට අද දක්වා වෙනස් වෙලා. එහෙත් ඒ වෙනස නිසා අමුතු ම භාෂාවක් ගොඩනැගිලා නැහැ. සිංහල හා දෙමළ කියන්නෙ නම් වෙන ම භාෂා දෙකක්. අද සිංහල භාෂාවේ සංස්කෘත වචන දෙමළ වචන පෘතුගීසි වචන ලන්දේසි වචන ඉංගිරිසි වචන තියෙනවා. එහෙත් ඒ නිසා අමුතු ම භාෂාවක් හැදිල නැහැ.



මාලදිවයිනේ ඉන්නෙ සිංහල මිනිසුන්ගෙන් පැවත එන්නන් කියනවා. එයින් කියන්නෙ එහෙ ඉන්න සියළුම මිනිසුන් සිංහල මිනිසුන්ගෙන් පැවත එනවා කියල මා විශ්වාස කරන්නෙ නැහැ. මෙරටින් ගිය සිංහල මිනිසුන් තම සංස්කෘතියට එහේ වෙනත් සංස්කෘතීන් තිබුණ නම් අවශෝෂණය කර ගන්න ඇති. එහි භාෂාව සිංහල භාෂාවත් සමග සම්බන්ධයි. එහෙත් එහි අද ඇත්තේ අප කතා කරන සිංහල නො වෙයි. අටවැනි සියවසේ පමණ තිබූ සිංහල අද වන විට ලංකාවේ හා මාල දිවයිනේ  දෙයාකාරයකට විකාශය වෙලා.



භාෂාව එසේ විකාශය වුණත් වෙනත් සංස්කෘතිකාංග එසේ විකාශය වෙලා නැහැ. මාල දිවයිනේ ඇත්තේ මුස්ලිම් සංස්කෘතියක්. එහි බෞද්ධ සංස්කෘතියක් තිබී ඇති නමුත් එය කැඩිල වෙනත් සංස්කෘතියක් මුස්ලිම් සංස්කෘතියක් ඇති වෙලා. ඒ සංස්කෘතියේ කැඩීමක් තියෙනවා. එය සන්තතික විකාශයක් නො වෙයි. අද ඊජිප්තුවේ තියෙන සංස්කෘතිය එදා මිසරය නමින් හැඳින්වුණු රටේ පාරාවෝ සංස්කෘතිය නො වෙයි. පිරමිඩ තැනූ අය හා අද ඊජිප්තුවේ මුස්ලිමුන් අතර අඛණ්ඩ එහෙමත් නැත්නම් සන්තතික සම්බන්ධයක් නැහැ.  අද ඊජිප්තුවේ ඉන්න අයට පැරණි මිසර සංස්කෘතියෙන් පැවත එන උරුමයක් නැහැ.

මෙරට අවුරුදු දෙලක්‍ෂයකට ඉහත මිනිසුන් හිටියත් ඒ අප නො වෙයි. ඔවුන් අප නොවන අයත් නොවෙයි කියන්න බැහැ. එහෙත් අනුරාධපුර සිටියේ අප නූනත් අප නොවන අයත් නො වෙයි. අපට ඉතිහාසයේ  යුග කිහිපයක ආර්ය සංස්කෘතිය ලැබිල තියෙනවා. ඒ ආර්ය සංස්කෘතියට මෙරට තිබූ සංස්කෘතීන්හි ඇතැම් අංග අවශෝෂණය වෙලා තියෙනවා. ඒ සංස්කෘතියට පසුව බුදුදහමත් අවශෝෂණය කෙරී තියෙනවා. මා හිතන්නේ බුදුදහම අර්ධ වෛදික සංස්කෘතියක බිහි වූ දහමක් බවයි.

xcfdfgh

මෙරට යක්‍ෂ නාග දේව ජනකොටස් වාසය කර ඇති බව මගේ පිළිගැනීමයි. මට මහාවංසය සමග තියෙන ප්‍රශ්නය යක්‍ෂයන් අමනුෂ්‍යයන් ලෙස සැලකීමයි. එය ආර්ය සංස්කෘතියෙන් ලැබුණු එකක් වෙන්න ඕන. ආර්යයන් තම සංස්කෘතියේ නැති අය අමනුෂ්‍යයන් ලෙස හඳුන්වන්න ඇති. අදත් අප අපට නොගැලපෙන අය අමනුස්සයන් ලෙස හඳුන්නනවා. ඒක මහා අමනුස්සයෙක් කියල කියනවා. ඒ අමනුෂ්‍ය කතාව වංසකතාවල මනුෂ්‍යයන් නොවන අර්ථයකින් පිළිගැනී තියෙනවා.

මෙහි පැමිණි ආර්ය සංස්කෘතියට අයත් වූවන් ඒ යක්‍ෂ නාග දේව සංස්කෘතීන්හි ඇතැම් අංග අවශෝෂණය කර ඇති බව පැහැදිලියි. මෙරට සංස්කෘතිය හා උතුරු ඉන්දියාවේ බෙංගාල ගුජරාටි පන්ජාබ සංස්කෘතීන් සමග වෙනස් වන තැන් ගැන අධ්‍යයනයක් කළොත් ඒ හඳුනාගන්න පුළුවන්. අප ඇතැම් අංග මෙහි ම සංස්කරණය කර ගෙන ඇති බවත් අමතක නොකළ යුතුයි.



ආර්යයන්ගෙන් අපට සෙල එහෙම නැත්නම් හෙළ එහෙමත් නැත්නම් එළු බස ලැබිල තියෙනවා. මේ සම්බන්ධයෙන් බිමල් ලෝ ලියා ඇති දේ කියවන්න. මාගධිය පැත්තට සම්බන්ධකම් තිබුණත් මිහිඳු මහා රහතන් වහන්සේ ඒ හෙළ බසින් තමයි ධර්ම දේශනා කර තියෙන්නෙ. උන්වහන්සේ මෙහි වැඩම කරන්න පෙර හෙළ බස ඉගෙන ඇති බව පැහැදිලියි. එහෙත් පසු කලෙක මාගධී බස තවත් ආර්ය සංක්‍රමණයක් සමග මෙරටට ඇවිත් තියෙනවා. සිංහල බස මාගධී බසේ හා හෙළ බසේ මිශ්‍රණයක්, එහෙත් මාගධියට වැඩි බරක් ඇති  මිශ්‍රණයක් බවයි මගේ හිතළුව. එය අධ්‍යයනය කළ යුත්තක්.



අද අප අතර ඇති පාළි බස හතරවැනි සියවසේ නැත්නම් ඊටත් පෙර වලගම්බා රජු දවස භාවිතා වූවක් කියා හිතන්න පුළුවන්. එය අද මගධයේ හරි ඉන්දියාවේ වෙනත් තැනක හරි භාවිතා නොවනවා වෙන්න පුළුවන්. ඒ ප්‍රදේශවල භාෂාව විකාශ වී වෙනස් වෙන්න ඕන. මෙරට පාළි බසේ එතරම් වෙනසක් වෙන්න විධියක් නැහැ. එය මෙරට සාමන්‍ය ජනයා භාවිතා කෙළේ නැහැ. එය පොතේ බස වුණා. මේ ගැනත් අධ්‍යයනයක් කරනවා නම් හොඳයි.  

ආර්ය සංස්කෘතිය මෙරටට හඳුන්වා දීමෙන් පසු එතෙක් පැවති සංස්කෘතියේ කැඩීමක් සිදු වී තියෙනවා. ඊට පෙර පැවති සංස්කෘතිය අද නැහැ. එය විකාශය වුණේ නැහැ. ඒ සංස්කෘතියේ ඇතැම් අංග දැක ගන්න පුළුවන්. ඒ ආර්ය සංස්කෘතියට අවශෝෂණය වූ අංග. ආරය සංස්කෘතිය හඳුන්වා දීමෙන් පසු අප හෙළ බස කතා කරන හෙළයන් වී තියෙනවා. මාගධියත් සමග හා බුදුදහම සමග සිංහල බෞද්ධයන් වී තියෙනවා. සොළීන්ටවත් බටහිරයන්ටවත් එය ඛණ්ඩනය කරන්න බැරි වී තියෙනවා. එය එතරම් ශක්තිමත්. අදත් එය ඛණ්ඩනය කරන්න මෙටාවට හා මොටාවට බැරි වී තියෙනවා.



අවුරුදු එක්ලක්‍ෂ විසිපන්දහකට පෙර තිබූ සංස්කෘතිය කුමක් ද කියා දැන ගැනීම හොඳයි. එහෙත් එය සිංහල සංස්කෘතිය නම් නො වෙයි. ඒ සංස්කෘතිය හා අප අතර තියෙන සම්බන්ධය  පාරාවෝ සංස්කෘතිය හා වත්මන් ඊජිප්තු සංස්කෘතිය අතර ඇති සම්බන්ධය වගේ. එහි අඛණ්ඩ විකාශයක් නැහැ.



අප සියල්ල මෙහි සංස්කරණය කළා කියන්න අවශ්‍ය නැහැ. වාල්මිකී රාම රාවණ සීතා බලි තරු ආදීන් මෙරට කියා කියන්න අවශ්‍ය නැහැ. පුරාණ ග්‍රන්ථ මෙහෙන් භාරතයට ගෙන ගියා කියන්නත් අවශ්‍ය නැහැ. ඒ එසේ නම් ප්‍රශ්නයකුත් නැහැ. එහෙත් එකල සිටියේ අප නො වෙයි.

Nalin da silva(මහාචාර්ය නලින් ද සිල්වා)

(උපුටා ගැනීම - කාලය ෆේස්බුක් පිටුවෙන් ..)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...