The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා (සත්වෙනි කොටස) - සුමිත් චාමින්ද

T

The Leader Desk

October 25, 2023 • 5:52 AM

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා (සත්වෙනි කොටස) - සුමිත් චාමින්ද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති යුගයේ ශ්‍රී ලංකාව හඳුන්වන ලද්දේ ආදර්ශ විජිතයක් (model colony) ලෙසයි.
  • එහි ප්‍රතිපලයක් වශයෙන් ශ්‍රී ලංකාව ආසියා-අප්‍රිකා ලෝකයේ පළමු නූතන ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය බවට පත් විය.
  • දැන් දේවල් පෙළ ගැසෙමින් පවතින ආකාරය අනුව අප හමුවේ පැන නැගෙන සාධාරණ සැකය වන්නේ වසංගතයෙන් පසු ලෝකය තුළ නිර්මාණය වනු ඇතැයි ශන්තාල් මූෆ් අනතුරු හඟවන 'ඒකාධිකාරී නව-ලිබරල් මොඩලයේ' ආදර්ශ රාජ්‍යය බවටද ශ්‍රී ලංකාව පත් වෙමින් තිබේද යන්නයි.
  • එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ඒක-ධ්‍රැවීය ලෝක පර්යායක් ගොඩ නැගීමේ ප්‍රයත්නය දැන් අසමත්ව තිබෙන බවට විවාදයක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

කාර්මික විප්ලවයෙන් පසු බ්‍රිතාන්‍යයේ ගොඩනගන ලද දේශපාලන සහ ආර්ථික ව්‍යුහයන් එම ආදර්ශ විජිතයටද හඳුන්වා දෙන ලදී. ඒ අතර නූතන පරිපාලන ක්‍රම, ආණ්ඩුකරණ ආයතන හා යාන්ත්‍රණයන් කැපී පෙනෙන වැදගත්කමක් ගත්තේය. 

බ්‍රිතාන්‍යයේ කම්කරු සහ ස්ත්‍රී ව්‍යාපාරවල දිගුකාලීන අරගලයක ප්‍රතිපලයක් ලෙස 1928 දී දිනාගන්නා ලද සර්වජන ජන්ද බලය ඉන් වසර තුනකට පසු ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. එහි ප්‍රතිපලයක් වශයෙන් ශ්‍රී ලංකාව ආසියා-අප්‍රිකා ලෝකයේ පළමු නූතන ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය බවට පත් විය. එනයින්, එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ආදර්ශ විජිතය බවට පත් විය. 

1930 දශකයෙන් පසුව යුරෝපය තුළ ව්‍යාප්ත වූ සුභසාධක රාජ්‍යය මොඩලයද මෙරටට හඳුන්වා දුන් අතර එකල කේන්සියානුවාදියෙකු වූ පළමු මුදල් අමාත්‍ය ජේ.ආර් ජයවර්ධනගේ සිට පසුකාලීනව හයෙක්වාදියෙකු වූ ජනාධිපති ජේ.ආර් ජයවර්ධන දක්වා එම මොඩලය එතරම් බාධාවකින් තොරව පවත්වාගත හැකි විය. එමගින් ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ රාජ්‍ය සුභසාධනවාදයේ ආදර්ශ රාජ්‍යය විය. 

640px Jayewardene presents elephant to Reagan
ඉන්පසුව නව-ලිබරල් ආර්ථික මොඩලය චිලී දේශයේ ඒකාධිපති ඕගස්තේ පිනෝෂේගේ පාලනය යටතේ පළමුවරට ක්‍රියාවට නැගීමෙන් වසර හතරකට පසු එය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. (ජයවර්ධන ආර්ථික ලිබරල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම ආරම්භ කළේ එක්සත් රාජධානියේ මාගරට් තැචර් බලයට පත්වීමට දෙවසරකට පෙර වූ අතර එක්සත් ජනපදයේ රොනල්ඩ් රේගන් බලයට පත්වීමට සිව් වසරකට පෙරය). ඒ අනුව, ශ්‍රී ලංකාව ගෝලීය දකුණේ ආර්ථික ලිබරල්කරණයේද ආදර්ශ රාජ්‍යයක් විණැයි සැලකිය හැකිය.

දැන් දේවල් පෙළ ගැසෙමින් පවතින ආකාරය අනුව අප හමුවේ පැන නැගෙන සාධාරණ සැකය වන්නේ වසංගතයෙන් පසු ලෝකය තුළ නිර්මාණය වනු ඇතැයි ශන්තාල් මූෆ් අනතුරු හඟවන 'ඒකාධිකාරී නව-ලිබරල් මොඩලයේ' ආදර්ශ රාජ්‍යය බවටද ශ්‍රී ලංකාව පත් වෙමින් තිබේද යන්නයි. දේශපාලන ලිබරල්වාදයේ දොර කවුළු එකිනෙක වසා දමමින් සිටින වික්‍රමසිංහ පාලනාධිකාරය මේ අත්හදා බලමින් සිටින්නේ ඉදිරි අනාගතයේ සෙසු ධනවාදී ලෝකයටද උපුටා ගත හැකි ආකාරයේ ඒකාධිකාරී පාලන ආකෘතියක් විය නොහැකි ද?

සමාන්තර ලෝක පර්යායක්

china us356

වික්‍රමසිංහගේ ඒකාධිකාරී නව-ලිබරල් මොඩලය ක්‍රියාවට නැගෙමින් පවතින්නේ පශ්චාත්-ශීත යුද සමයේ ගොඩ නැගුණු ලෝක පර්යාය බරපතල අර්බුදයකට මුහුණ දෙමින් පවතින වාතාවරණයක් තුළය. අප මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දේ වටහාගත යුත්තේ මෙම ගෝලීය පර්යායේ සිදුවන පරිවර්තනය තුළ ස්ථානගත කරමින්ය. එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ඒක-ධ්‍රැවීය ලෝක පර්යායක් ගොඩ නැගීමේ ප්‍රයත්නය දැන් අසමත්ව තිබෙන බවට විවාදයක් නැත. ඒ වෙනුවට ගොඩ නැගෙමින් පවතින්නේ බහු-ධ්‍රැවීය පර්යායක්ද, නැතහොත් එක්සත් ජනපද-චීන ද්වි-ධ්‍රැවීය පර්යායක්ද යන්න විවාදාපන්න කාරණයකි. මේ පිළිබඳව ශහාර් හැමෙයිරි නමැති ඕස්ට්‍රේලියානු පර්යේෂකයා පවසන්නේ සැබවින්ම නිර්මාණය වෙමින් පවතින්නේ 'සමාන්තර ලෝක පර්යායක්' කියාය. 

CH BRI

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන් දැන් පශ්චාත් දෙවන ලෝක යුද යුගයේ ඔවුන් මුහුණ දුන් බරපතලම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දෙමින් සිටී. අර්බුදයේ මූලය පවතින්නේ දේශපාලන-ආර්ථිකය තුළය. 2008 මූල්‍ය අර්බුදයෙන් වසර පහකට පමණ පසු ශී ජින්පින්ගේ 'චීන සිහිනය' නොහොත් තීරු සහ මාර්ග සමාරම්භකත්වය (BRI) ආරම්භ වීමත් සමග ජ්‍යෙෂ්ට ජෝජ් බුෂ් දැක තිබූ ඇමෙරිකානු සිහිනය අභියෝගයට ලක් විය. BRI යටතේ මෙතෙක් ලොව කිසිදු බලවතෙකු නොකළ පරිදි මහද්වීප ගණනාවක් යා කෙරෙන ගොඩබිම් සහ සමුද්‍රීය මාර්ග පද්ධතියක් තැනීම ඇරඹිණ. ගෝලීය ආධිපත්‍යයේ මූලික පදනම සෑම කලෙක මෙන් අදද කේන්ද්‍රගතව පවතින්නේ ආර්ථික බලය මතය. හැමෙයිරි පෙන්වා දෙන පරිදි චීන පාලනාධිකාරය දැන් ප්‍රයත්න දරමින් සිටින්නේ පවතින ගෝලීය පර්යාය සෘජුව අභියෝගයට ලක් කිරීමට වඩා තීරු හා මාර්ග සමාරම්භකත්වය ඔස්සේ චීන කේන්ද්‍රීය සමාන්තර ලෝක පර්යායක් ගොඩ නැගීමටය. 

Upfront 1 3 May13 4

BRI ව්‍යාපෘතියේ දසවන සංවත්සරය සමරමින් මේ දිනවල චීනයේ පැවැත්වෙන සම්මේලනයට රටවල් 130 ක නියෝජිතයින් සහභාගී වන්නේ මැද පෙරදිග අර්බුදය තුළ එක්සත් ජනපදය තම සාම්ප්‍රදායික මිතුරන් පවා අහිමි කරගනිමින් සිටින වාතාවරණයක් තුළය. 

ඊශ්‍රායෙල්-පලස්තීන ගැටුම යළි ඇවිලුණේ සෞදි අරාබියේ මොහමඩ් බින් සල්මන් කුමරු ඊශ්‍රායලය සමග මිත්‍රශීලී සබඳතා ගොඩ නගා ගන්නට සූදානම් වෙමින් සිටියදී බව අමතක නොකළ යුතුය. සෞදි-ඊශ්‍රායල එකඟතාව යථාර්තයක් වූයේ නම් එය ගෝලීය දේශපාලනය තුළ බෙන්ජමින් නෙතන්යාහුට සේම ජෝ බයිඩන්ටද ජයග්‍රහණයක් වන්නට ඉඩ තිබිණ.  නමුත්, දැන් ඒ සාකච්ජා අත් හිටුවන්නට සෞදියට බල කෙරී ඇත. ඒ වෙනුවට සල්මන් කුමරු ගාසා තීරයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ඉරාණ ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි සමග දුරකථන සාකච්ජාවක නිරත වූ බව මාධ්‍ය වාර්තා කළේය. එක්සත් ජනපදය සමග මිත්‍රශීලී සම්බන්ධයක් පවත්වා ගන්නා අතරම හමාස් නායකයින් හට රැකවරණය සැපයූ කටාර් රාජ්‍යය මුහුණ දී සිටින තත්ත්වයද මීට සමානය. 

gaza hospital attack

ගාසා තීරයේ රෝහලක් වෙත එල්ල කෙරුණු ඊශ්‍රායලයේ තිරශ්චීන ප්‍රහාරයත් සමග ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මැද පෙරදිග මෙහෙයුම මුළුමනින්ම අවුල් වී ගියේය. ජෝ බයිඩන් හට පලස්තීන ජනපති සහ ඊජිප්තු ජනපති මුණගස්වා සාකච්ජා පැවැත්වීමට ජෝර්දාන් රජු විසින් දරන ලද ප්‍රයත්නය අසාර්ථක විය. සැබවින්ම මැද පෙරදිග අර්බුදයේ පාර්ශවකරුවෙකු සහ නිර්මාපකයෙකුද වන එක්සත් ජනපදයට මෙවර එම අර්බුදයේ මැදිහත්කරුවෙක් ලෙස පෙනී සිටින්නට නොහැකි වීම කැපී පෙනෙන පරිවර්තනයකි. ඒ වෙනුවට බයිඩන් නෙතන්යාහුව වැළඳගන්නා විට මැද පෙරදිග එක්සත් ජනපද හිතවාදී පාලනතන්ත්‍ර පවතින රටවල පවා උත්සන්න වූයේ විරෝධතා ව්‍යාපාරයන්ය. 

මැද පෙරදිග පෙරමුණේ එක්සත් ජනපද හෙජමොනිය දුර්වල වීමට සමාන්තරව චීනයේ පැවැත්වෙන BRI සම්මේලනය පැතිමාන ගණනාවකින්ම සංකේතාත්මක වූවකි. එක්සත් ජනපදයේ ප්‍රධාන සතුරු රාජ්‍යයන් දෙකක් ලෙස සැලකිය හැකි ඉරාණය සහ රුසියාව චීන සම්මේලනය තුළ ඉහළින්ම පිළිගැනීමට ලක් විය. 

මේ අතර, එක්සත් ජනපදය යුක්රේන බිමෙහි රුසියාව සමග යුද වැද සිටියි. ඉරාණ පාලනය පලස්තීනයේ හමාස් සංවිධානයට සේම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයටද සහාය දක්වමින් සිටියි. දැන් ඇතැම් බටහිර විශ්ලේෂකයින් චීන-ඉරාණ-රුසියානු සන්ධානයක් පිළිබඳව බිය පළ කරන්නට පටන්ගෙන තිබෙන බව මෙහිදී සිහි තබා ගත යුතුය. පුටින්ගේ යුක්රේන ආක්‍රමණයෙන් පසුව චීන-රුසියානු බල ශක්ති බැමි තවත් ශක්තිමත් විය. චීනය මෙවර සම්මේලනයේදී ගෝලීය දකුණේ රටවල ව්‍යාපෘතීන් කෙරෙහි වැඩි අවධානයක් දක්වන බව ප්‍රකාශ කිරීම බටහිර ඇතැම් විශ්ලේෂකයින් දකින්නේ විදේශ ප්‍රතිපත්තිමය උපායමාර්ගයක් ලෙසිනි. 

මේ සංසිද්ධීන් හමුවේ ලෝක පර්යායේ කවර පරිවර්තනයක් සිදුවේද යන්න තවමත් නිශ්චිතව කීමට කිසිවෙකුටත් නොහැකි වුවද, මෙතෙක් පැවති පර්යාය බරපතල අර්බුදයකට ලක්වෙමින් පවතින බවත් සමාන්තර පර්යායක් ගොඩ නැංවීමේ දැනුවත් ප්‍රයත්නයක් දියත් වෙමින් පවතින බවත් ඉතාම පැහැදිලිය. 

ස්වාධිපත්‍ය පිළිබඳ ගැටළුව 

ජනාධිපති වික්‍රමසිංහ ධුරයට පත්වීමෙන් පසු පළමුවරට ඉන්දියාවේ නිල සංචාරයක
වික්‍රමසිංහගේ අධිකාරීමය නව-ලිබරල්කරණය ක්‍රියාවට නැගෙමින් පවතින්නේ ගෝලීය දේශපාලනයෙහි මෙවන් පරිවර්තනීය මොහොතක් තුළය. මා මින් ඉහත ලිපිවල පැහැදිලි කර ඇති ආකාරයට තරඟකාරී ගෝලීය බලවතුන් අතර ආතතිය උත්සන්න වන ඉන්දු-පැසිෆික් කලාපයේ වැදගත් උපායමාර්ගික ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබීම නිසා ලාංකීය ආර්ථික අර්බුදය ගෝලීය බල අරගලයේ අවශ්‍යතා සඳහා භාවිත වීම අපේක්ෂා කළ යුතුය. සැබවින්ම දැන් සිදුවෙමින් පවතින්නේ එයයි. කිසිදු ජනතා වරමක් හෝ ජන පදනමක් නොමැති දුර්වල පාලන තන්ත්‍රයක් ස්වකීය භූ-දේශපාලනික අවශ්‍යතා සඳහා යොදා ගැනීම ඕනෑම කලාපීය හෝ ගෝලීය බලවතෙකුට පහසුය. එම පාලන තන්ත්‍රයේ පැවැත්ම රඳා පවතින්නේ තමන් විසින් ලබාදෙන බාහිර සහයෝගය මත පමණක් නම් ඔවුනට එය වඩාත් පහසු වනු ඇත. ඒ තාක් දුරට එම පාලන තන්ත්‍රය තීරණාත්මකව බිඳ වැටෙන ආකාරයේ ක්‍රියාමාර්ග ඔවුන් යෝජනා නොකරනු ඇත. නිදසුනක් ලෙස, ඉක්මන් මැතිවරණයක් පවත්වා ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් තහවුරු කරන්නැයි ඔවුන් බල කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. මේ තත්ත්වය සිහිගන්වන්නේ 19 වන සියවසේ අගභාගයේ සිට එක්සත් ජනපදය විසින් ලතින් ඇමෙරිකාවේ ඒකාධිපති පාලන තන්ත්‍ර සමග පවත්වාගෙන යනු ලැබූ සම්බන්ධතාවේ ආකෘතියයි. 

පසුගිය ජූලි මස පැවති වික්‍රමසිංහ-මෝඩි එකඟතා පිළිබඳව එතරම් සංවාදයක් මෙරට විපාක්ෂික දේශපාලන අවකාශය තුළ පවා සිදුවෙමින් නොපැවතුණද, දැනට ඒ පිළිබඳව තිබෙන සීමිත තොරතුරු අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ බලපෑමේ කලාපය තුළ රඳවා ගැනීමේ උත්සුකය එයින් ප්‍රකාශයට පත්ව තිබෙන බවය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමුද්‍රීය පෙට්‍රෝලියම් නල මාර්ගයක් ඉදි කිරීම, ත්‍රිකුණාමල වරාය කලාපීය කාර්මික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ඉන්දියාවේ සහාය ලබා දීම, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා වූ සහයෝගීතාව, ශ්‍රී ලංකාවේ වෙරළ තීරය තුළ හයිඩ්‍රෝ කාබන් නිපදවීමේ ඒකාබද්ධ ව්‍යාපෘතීන් ආරම්භ කිරීම, කොළඹ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය ආශ්‍රිත ඒකාබද්ධ අධෝ ව්‍යුහ සංවර්ධනය යනාදිය ඊට අයත්ය. මේ රාජපක්ෂ පාලනය යටතේ චීනයේ බලපෑමේ කලාපයට ශ්‍රී ලංකාව ඇතුල් වූ ආකාරයේම තවත් පියවරක් බව පෙනේ. ඉන්දියාව වැඩි අවධානයක් දක්වමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ තෙල් සැපයුම, විදුලිය ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි බවද නිරීක්ෂණය කළ හැකිය. 

Screenshot 2023 10 25 at 11.13.23මෙම නව වර්ධනයන් හමුවේ බලශක්ති ස්වාධිපත්‍ය පිළිබඳ තේමාව දේශපාලන සංවාදයේ වැදගත් තැනක් අත්පත් කරගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. පාවුලෝ ජර්බෝඩෝ ඔහුගේ 'The Great Recoil' කෘතියේ පෙන්වාදෙන පරිදි නව-ලිබරල්වාදයේ අර්බුදය හමුවේ ලොව පුරා සිදුවෙමින් පවතින 'ඇතුළාන්තයට හැරීමේ දේශපාලන ප්‍රවණතාව' තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වන්නේ ස්වාධිපත්‍ය පිළිබඳ තේමාවයි. නමුත්, ඒ සමගම ඔහු අවධාරණය කරන්නේ ස්වාධිපත්‍ය යන්නෙහි අරුත් දෙකක් පවතින බවය. එකක් නම්, ජාතිකවාදීන් නිතර උච්චාරණය කරන ජාතික ස්වාධිපත්‍ය යන්නයි. අනෙක ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායේ මූලධාර්මික අදහසක් වන ජනතාවගේ ස්වාධිපත්‍ය යන්නයි. පළමුවැන්නෙහි ඓතිහාසික මූලාරම්භය සලකුණු වන්නේ 1648 වෙස්ට්ෆේලියානු ගිවිසුමෙන් වන අතර දෙවැන්නෙහි මූලාරම්භය ලෙස සැලකෙන්නේ 1789 ප්‍රංශ විප්ලවයයි. ජාතික ස්වාධිපත්‍ය පිළිබඳ අරුතින් ඉහත ගැටළුවලට ආමන්ත්‍රණය කරන්නට ප්‍රිය කරන දක්ෂිණාංශික ජනතාවාදී ප්‍රවණතා පහසුවෙන් ජනවාර්ගිකවාදී සහ ආගම්වාදී වර්ණද ඊට එක් කරනු ඇත. 

එවන් ප්‍රවේශයක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැක්කේ පීකිං හිතවාදී විමල් වීරවංශ ප්‍රමුඛ උත්තර ලංකා සභාගය වැනි එකතූන්ගෙනි. නමුත්, සහශ්‍රක සමාජවාදීන් ගැටළුව ආමන්ත්‍රණය කළ යුත්තේ ජනතා ස්වාධිපත්‍ය පිළිබඳ ප්‍රවේශයෙනි. එම ප්‍රවේශයේ ප්‍රධාන අවධාරණය වන්නේ තම ආර්ථික ජීවිතය සංවිධානය කරගැනීමට අදාළ තීන්දු තීරණ ගැනීමට කවර ජන වර්ගයකට අයත් ජනතාවකට වුවද ස්වාධිපති අයිතියක් පවතීය යන්නයි.  

නිදහසෙන් පළායාම දේශපාලන සාධකයක් ලෙස - (සුමිත් චාමින්ද)(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
sumith.chaaminda@yahoo.com

සබැඳි ලිපි :
පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා (සයවෙනි කොටස) : සුමිත් චාමින්ද

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා- (පස්වන කොටස) : සුමිත් චාමින්ද 

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා (සිව්වෙනි කොටස) - සුමිත් චාමින්ද

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා : (තෙවන කොටස) - සුමිත් චාමින්ද 

පශ්චාත් මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා (දෙවන කොටස) - සුමිත් චාමින්ද


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...