The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

කීවට තරහ නොවන්න, හැම වෘත්තියක්ම කුහකයි - (කුසල් පෙරේරා)

T

The Leader Desk

January 12, 2024 • 5:18 PM

කීවට තරහ නොවන්න,  හැම වෘත්තියක්ම කුහකයි - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ඊයේ ඉංග්‍රීසි පුවත් පතක තිබුණකි. රජයේ වෛද්‍ය නිලධාරීන් ආණ්ඩුවට බලකර ලබා ගත් රුපියල් 35,000 ක
  •                           සමස්ථයක් ලෙස පිරිහුණු, දූෂිත, අශිෂ්ට සමාජයේ මේ හැම වෘත්තියක්ම අනිවාර්යෙන්ම පිරිහුණු වෘත්තීන්ය.
  • ඒවායේ පුද්ගලයින් වශයෙන් වැදගත් මහත්ම මහත්මීන් ඉන්නා බව සැබෑය.
  • පසුගිය අවුරුදු 40 ක කාලයේ ආත්මාර්ථකාමී කුහක සමාජයක සාමාජික පුරවැසියන් හැදුනේ පාසල් අධ්‍යාපනයෙහි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන්ගේ DAT දීමානව දෙගුණ කිරීම සමග ඊට සමාන වැටුප් වැඩි කිරීම් දැන් රජයේ වෙනත් සේවාවන්ද ඉල්ලා සිටීම ගැන මේ සමාජය සළකා බැලිය යුතු යැයිද විනිසුරුවරුන්ට වැටුප් වැඩි කිරීම් කෙරෙන විට අධිකරණ සේවාවේ ලිපිකරුවන්ට හා අවශේෂ සේවාවන්ටද ඒ වැඩිකිරීම් ලබා දිය නොහැකි යැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා තිබිණ. මේ ප්‍රකාශයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ උද්දච්ච මානසිකත්වය වගේම ඔවුන්ගේ කුහකත්වයත් මොනවට පැහැදිලිවන අතර, අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට තබා සියලු සදාචාරයන්ට එරෙහිව ලබා ගන්නා ඔවුන්ගේ DAT දීමානව ගැන කතාව පසුවට තියමි.

ඒ අතර මේ, ඊයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය කෙරුණු තවත් කතාවක උපුටා ගැනීම් කිහිපයකි.

vsdgf
“මෙහෙම කිව්වට කවුරුවත් තරහ වෙන්න නම් එපා. බොහෝ ගුරුවරු අංග විකල වෙලා දැන් ඉන්නේ. මොකද බොහෝ අයට මේක පිනට ලැබුණු පත්වීමක්..... ගොට්ට අල්ලලා පත්වීම් ගත්ත බහුතරයක් සාමුහික තැනකට ගේන්න බැහැ. බොහෝ ගුරුවරුන් හිතාගෙන ඉන්නේ ඔවුන් දේවකාර්යක් කරන්නෙ කියලා...... දොස්තරලා ස්ට්‍රයික් නම් ස්ට්‍රයික්. හැබැයි සියලු දෙනා. අපේ උන් ස්ට්‍රයික් එකක් පටන් ගත්තොත් බාගයක් යනවා දේවකාර්ය කරන්න. ඉතිං කොහොමද අරගල දිනන්නේ?” මේ කතාවේ තියෙන්නෙත් වෛද්‍යවරුන්ගේ කතාවේ වගේම ඉතාම ආත්මාර්ථකාමී යටි පෙළකි. දැන් අනෙක් අය පඩි වැඩි කරගන්න නිසා අපිත් එකතු වෙලා පඩි වැඩි කිරීම් දිනා ගත යුතු යැයි වැනි කතාවකි.    

                     
සමස්ථයක් ලෙස පිරිහුණු, දූෂිත, අශිෂ්ට සමාජයේ මේ හැම වෘත්තියක්ම අනිවාර්යෙන්ම පිරිහුණු වෘත්තීන්ය. සේවාවන්ය. තනි වෘත්තියකට, තනි සේවාවකට පමණක් පිරිසිදු ශීලාචාර වෘත්තියක් සේවාවක් වශයෙන් පැවතිය නොහැක. ඒවායේ පුද්ගලයින් වශයෙන් වැදගත් මහත්ම මහත්මීන් ඉන්නා බව සැබෑය. එහෙත් වෘත්තීන් සේවාවන් පිරිහෙන විට, දූෂණය වන විට, පුද්ගලයින් වශයෙන් කළ හැකි කාර්ය ඉතාම අල්පය. ස්ථානගත ය.

zfsdre
මේ සමාජ පිරිහීමේ වැඩි පංගුවක් අයත් වන්නේ ගුරු සේවාවට ය. පසුගිය අවුරුදු 40 ක කාලයේ ආත්මාර්ථකාමී කුහක සමාජයක සාමාජික පුරවැසියන් හැදුනේ පාසල් අධ්‍යාපනයෙහි ය. මෙය අතිශය තරගකාරී, නගර කේන්ද්‍රීය විවෘත වෙළඳපල ආර්ථිකයෙන් වඩාත් උග්‍ර කෙරුණු තත්ත්වයකි. කෙසේ හෝ අනෙකා පරයා යෑමට පොළඹවන, රහක් නොදන්නා රළු පාරිභෝගිකයකු හැදීමේ ආර්ථික මෙවලම් ඉන් ලබා දුන්නකි. ක්‍රෙඩිට් කාඩ් පත්, කල් බදු ක්‍රම, වාරික ගෙවීම්, බැංකු ණය වැනි ණය ක්‍රම සමග අනාගතයක් නොබලන පාරිභෝගිකයින් හැදුවේ විවෘත වෙළඳපල ආර්ථිකයෙනි.


පාසල් අධ්‍යාපනයද ඒ තරගකාරිත්වය සමග හැදෙන්නකි. තරගය වෙනුවෙන් වාර විභාගවල සිට පහේ ශිෂ්‍යත්වය හරහා විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වාම මේ සමාජය ළමුන් තල්ලු කරන්නකි. සාධාරණ සාමුහික සමාජයක පරාර්ථකාමී පුරවැසියන් හදන දියුණු ගුරු සේවාවක් මේ වෙළඳපලෙහි තිබිය නොහැක. එනිසාම මේ පාසල් අධ්‍යාපනයෙහි ගුරුවර ගුරුවරියන්ගෙන් ලබා ගත හැකි පරමාදර්ශ නැත. පසුගිය වසර කිහිපයේ ගුරුවරුන් කෙතරම් ජාතිවාදී දැයි අපි දුටුවෙමු. කෙතරම් අකාරුණික, අවිනීත සහ ප්‍රචණ්ඩදැයි පාසල්වල ළමුන්ට පහර දෙන සහ ළමුන් අත්විඳින ශාරීරික හා ලිංගික හිංසන ප්‍රමාණයෙන් අපි දන්නෙමු. ඔවුන්ගේ ඉගැන්වීම් සතුව කන්නන්ගර වාර්තාවෙහි අරමුණු කෙරුණු සමාජ වගකීම්, වටිනාකම්, පරාර්ථය හා එකමුතුකමද අහළකවත් නොමැත. අවුරුදු පතා පාසල් වලින් හැදූ ආත්මාර්ථකාමී කුහක පුරවැසියෝ මේ සමාජයේ අනෙක් සියලු වෘත්තීන්ට හා සේවාවන්ට වගේම නැවත ගුරු සේවාවටත් ඇතුළු වන්නාහ. එය Photocopy යකින් තව Photocopy යක් ගහනවා වගේ ය. හැම පරම්පරාවක්ම හැදෙන්නේ කලින් පරම්පරාවට වඩා බාල, වඩා ආත්මාර්ථකාමී, ඉතා දූෂිත පරම්පරාවක් ලෙසින්ය. එය දැන් වැළකිය නොහැකිය.            

ගුරු සේවය අනෙක් වෘත්තීන්ට හා සේවාවන්ට වඩා වෙනස් ගමනක් ගියෙකි. පාසල් අධ්‍යාපනයෙහි විකාශනය සමග ගුරු සේවය ආරම්භ වන්නේ ප්‍රධාන වශයෙන් ග්‍රාමීය සමාජයේ ප්‍රභූ සේවාවක් වශයෙනි. ග්‍රාමීය සමාජයේ උගත් ප්‍රභූන් ලෙස සැළකීමට පත්ව සිටියේ පන්සලේ භික්ෂුවත් පාරම්පරික වෙද මහතාත් ගුරුවරයාත් පමණි. 1903 දී ලංකාවේ පළමු විධිමත් ගුරු පුහුණු ආයතනය පිහිටුවනු ලැබූ පසු 1939 වනවිට එවැනි ගුරු පුහුණු ආයතන 23 ක් වූ අතර, ඒවායේ ඉංග්‍රීසි සමග සිංහල හා දෙමළ භාෂා, පාසල් අධ්‍යාපනයෙහි වූ විෂය ඉගැන්වීම් සහ ග්‍රාමීය අධ්‍යාපනය පිළිබඳ පුහුණුවීම් කෙරී ඇත. කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග 1947 සිට ගුරු පුහුණුවද නවීකරණය විය. 

 
ඒ අනුව ගුරු පුහුණුව (1) අධ්‍යාපන න්‍යාය (2) අධ්‍යාපන මනෝ විද්‍යාව (3) ඉගැන්වීමේ පුහුණුව සහ (4) සාමාන්‍ය හා විශේෂ විෂය පුහුණුව යැයි කොටස් 04 ට සංවිධානය කෙරුණි. 1948 නිදහස සමග පළමු ආණ්ඩුව විසින් 1948 වසර සඳහා මුදල් වෙන් කිරීමේදී ගුරු අභ්‍යාස ආයතන වලට යාබදව ගුරු පුහුණුව සඳහා පාසල් ආරම්භ කිරීමටත් එතෙක් ගුරු පුහුණුවක් නොලැබ සිටි ගුරුවරුන් පුහුණු කිරීමටත් මුදල් වෙන්කරනු ලැබීය. එවැනි පසු බිමක, ප්‍රධාන වශයෙන් ග්‍රාමීය සමාජයේ ගුරුවරු යම් ආත්මාභිමානයකින් තම වටපිටාව හා ගනුදෙනු කරන්නට වූහ.

fasdfas
මේ අතර 1957 දී ඇති කළ වෙනස්කම් මත ගුරු පුහුණු සහතික දෙකක් සමග ගුරු වැටුප් ක්‍රම දෙකක්ද ඇති විය. ඉන් ද්විතියික පුහුණු සහතිකය හිමි වූයේ පසුව විශේෂ පුහුණු ලෙස නම් වූ ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ අත් කර්මාන්ත ලෙස හැඳින්වුනු විෂයන් සඳහාය. සාමාන්‍යයෙන් “මහරගම පුහුණු” යැයි කීවේ ඉහළ වැටුප් ක්‍රමයක් හිමි වූ මොවුන්ටය. ඔවුන් ද්විතියික පුහුණු ගුරු සංගමය යැයි සමිතියක් පිහිටුවා ගෙන තිබිණ.


අනෙක් ගුරු පුහුණු සහතිකය වූයේ ප්‍රාථමික ගුරු පුහුණුව ය. සිංහල ප්‍රදේශවල එය හඳුන්වනු ලැබූයේ “සිංහල පුහුණු” යනුවෙනි. ඔවුන්ගේ වැටුප අඩු වැටුපක් වූවත් ගුරු සේවයේ බහුතරය ඔවුන් වූවත් ඒ වැටුප් විෂමතාව ඉවත් කර ගැනීමට ගුරුවරුන් ඉදිරිපත් වූයේ නැත. සංවිධානාත්මකව එසේ ඉදිරිපත්වීම වරාය කම්කරුවන්ට මිස ගුරුවරුන්ට නොවේ යැයි වැනි මානසිකත්වයක් ඔවුන් අතර පැවතින.
 
Serasinghe
 
ඒ 1957 වසරේම රජයේ සේවකයින්ට ජීවන වියදමට සරිළන සේ රුපියල් 17.50 ක විශේෂ ජීවන දීමනාවක් ඉල්ලා පෑලිස් සේරසිංහගේ නායකත්වයෙන් ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය වැඩ වර්ජනයක් දියත් කළේය. මුළු රටම අඳුරේ තැබූ ප්‍රථම සහ එකම වර ඒ වර්ජනය විය. රජයේ සියලු ක්ෂේත්‍ර හවුල් වූ ඉතා සාර්ථක වැඩ වර්ජනයක් වූ එයට ගුරුවරුන්ගේ කිසි හවුලක් නොවුනි. එහෙත් අනෙක් සේවාවන් වර්ජනයෙන් දිනා ගත් රුපියල් 17.50 දීමනාව ගුරු වැටුපටද එකතු විය.  
 

කුඩා ගුරු සමිති දෙකක් ඒකාබද්ධවී 1960 දී කොමියුනිස්ට් පක්ෂයේ අනුග්‍රහය ඇතිව දේ පීටර් සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය පිහිටුවා ගනු ලැබීමෙන් පසු ප්‍රාථමික නැතිනම් සිංහල පුහුණු ගුරුවරු එහි සාමාජිකත්වය ගත්හ. ඔවුන් බහුතරය බණ්ඩාරනායකවාදයේ සිංහල-බෞද්ධ උරුමයද වැළඳගෙන සිටියහ. එකල රජයේ සේවකයින් වශයෙන් ගුරුවරුන්ටද දේශපාලන අයිතියියක් නොවුනි. එනිසා 1965 මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප මැතිවරණ කටයුතු වලට ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ක්‍රියාකාරී ගුරුවරුන් හවුල් විනැයි ඩඩ්ලි සේනානායක ආණ්ඩුව බලයට පත් විගස ප්‍රධාන නායකයින් සහ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් ඇතුළු 239 කගේ වැඩ තහනම් කරනු ලැබ ඉන් 140 ක් සේවයෙන් අස්කරනු ලැබිණ. තවත් ගුරුවරුන් 3,000 ක් පමණ දඬුවම් මාරුවීම් ලැබූහ. සියල්ලෝම වාගේ සිංහල පුහුණු ගුරුවරුන් වූහ.
 
 
එවැනි මහ පරිමාන දඩයමකට විරුද්ධව හෝ ගුරුවරු එකමුතු විරෝධයකට ඉදිරිපත් නොවූහ. ඊට විරෝධය ගොනු වූයේ ආණ්ඩු විරෝධයක් ලෙස ශ්‍රී.ල.නි.ප සහ සමසමාජ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානකොට ගෙනය. ඒ වනවිට සිංහල ග්‍රාමීය සමාජයේ පැවති ගුරු ගෞරවය නාගරික සමාජයේ නොවුනි. නගරයේ ගුරුවරුන්ට සැළකුවද ගුරු සේවයට ඉල්ලුමක් නොවුනි. විශ්‍රාම වැටුපක් ඇති ස්ථිර රැකියාවක් වශයෙන් ඉල්ලුම තිබුණේ ග්‍රාමීය සමාජයේ පහළ මැදපංතිකයින් අතරය. විශේෂයෙන් දවසින් අඩක් සේවය කරන, තුන් මසකට වරක් දිගු නිවාඩුවක් ලැබෙන පාසල් රැකියාව තරුණියන්ට වඩා යෝග්‍යයැයි වූ අදහස හේතුවෙනි.
 
ඒ යුගය වනවිට සිංහලවාදී දේශපාලනයකට ගුරුවරුන් හසුරුවා ගනු ලැබූවත් ඔවුන් ගුරු සේවාවේ සහ පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා කිසිදු ඉල්ලීමක් වෙනුවෙන් හඬක් නැගුවේ නැත. ගුරුවරුන් වශයෙන් වැටුප් ක්‍රම දෙකක් පැවතීමේ අසාධාරණය ගැන හෝ කතා නොකළහ. එය ගුරු සේවාවේ මූලික ප්‍රශ්නයක් ලෙස ගෙන “සමාන සේවයට සමාන වැටුප්” යැයි සංවිධානාත්මක මැදිහත්වීමකට මුල පිරුවේ ලංකා ගුරු සංගමය ලෙස 1972 දී විවෘත කෙරුණු විශේෂ පුහුණු ගුරුවරුන්ගේ සමිතිය විසිනි. ගුරු මානසිකත්වය දිගින් දිගටම පෞද්ගලිකත්වය සහ සමාජයේ නඩත්තු කෙරුණු ගුරු ගෞරවය සමගින් පැවති හෙයින් සමාන වැටුපක් සඳහා ලංකා ගුරු සංගමයේ ප්‍රධානත්වයෙන් 1974 ඔක්තෝම්බරයේදී දියත් කෙරුණු ගුරු ඉතිහාසයේ පළමු එක් දින සංකේත වර්ජනයට හෝ අති බහුතරයක් ගුරුවරුන් හවුල් වූයේ නැත.
 
asfdasf
විවෘත වෙළඳපල ආර්ථිකය විසින් සිදුකර ඇත්තේ ගුරු සේවයේ පැවති එවැනිවූ පෞද්ගලිකත්වය සමගින් වූ හිස් ප්‍රභූ මානසිකත්වය පාරිභෝගික තරගකාරිත්වය සමග ආත්මාර්ථකාමිත්වයකට පෙරළීමය. තරගකාරී වෙළඳපල ආර්ථිකයෙහි හිස් ප්‍රභූ මානසිකත්වය ආත්මාර්ථකාරී පාරිභෝගිකත්වයකට පෙරළු විට එය සාමාන්‍ය පුරවැසියකු පාරිභෝගියකු වීමට වඩා බරපතල පරිවර්තනයක් වන්නේය. එනිසා ගුරුවරුන් තරහ නොවන්නට යැයි ආඩපලි නගන්නේ සේවාවක් වශයෙන් ඉල්ලා සිටිය යුතු දියුණුවක් සඳහා නොව, හුදෙක් ආර්ථික වාසි සඳහාම පමණි. එවැනි සාමාජිකත්වයක් වෙනුවෙන් ගුරු සංගම් ඉදිරිපත් වන්නේද ආර්ථික වාසි සඳහාම පමණි.

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
ජනවාරි 10

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කීවට තරහ නොවන්න, හැම වෘත්තියක්ම කුහකයි - (කුසල් පෙරේරා) | The Leader