The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

බෝධි(සතා) හිරේ ලෑම චින්තනයේ සහ ප්‍රකාශනයේ නිදහස වළලෑමකි - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

January 19, 2024 • 7:46 AM

බෝධි(සතා) හිරේ ලෑම චින්තනයේ සහ ප්‍රකාශනයේ නිදහස වළලෑමකි - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැළණියෙන් මතු වූ බෝධිසත්වයා ගැන ගිය සතියේ මේ කොලමේ සාකච්ඡාවට ගැනුණි.
  • ඇත්තෙන්ම ඔහු උත්සාහ කෙළේ, ඒ ආරයේම තවත් දහස් ගණනක් නොවේ නම් අඩු වශයෙන් සිය ගණනක්වත් වෙනත් බෞද්ධ භික්ෂූන් දැනටමත් ආගමේ නාමයෙන් කරගෙන යමින් සිටින ලාභදායී ව්‍යාපාරයකින් යම් කොටසක් තමන්ටත් අත්පත් කරගැනීමට මං සෙවීමයි.
  • ඒ නිසාම ඔහු ‘ස්වාභාවික මරණයකට’ පත්වන බව මේ කොලමේ ලියා ඇත.
  • එයින් අදහස් කෙළේ, ඔහුගේ ව්‍යාපාරය ඉතා ඉක්මනින් අභාවයට යන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තමා බෝධිසත්වයෙකු යැයි කියන පුද්ගලයා තක්කඩියෙකු බවට අදහසක් ඒ මගින් මතු කෙරුණි. ඔහු හැඳින්වීම සඳහා බෝධිසත්වයා යන වචනයට වඩා බෝධි(සතා) යන වචනය භාවිත කෙළේ ද එබැවිනි.

එසේ වෙතත්, ඔහුගේ චර්යාව, ලංකාවේ නූතන ආගමික සන්දර්භය තුළ, අතාත්වික හෝ අස්වාභාවික සංසිද්ධියක් වශයෙන් ගැනීමේ හැකියාවක් නැතැයිද එහිදී පෙන්වා දුනි. ඇත්තෙන්ම ඔහු උත්සාහ කෙළේ, ඒ ආරයේම තවත් දහස් ගණනක් නොවේ නම් අඩු වශයෙන් සිය ගණනක්වත් වෙනත් බෞද්ධ භික්ෂූන් දැනටමත් ආගමේ නාමයෙන් කරගෙන යමින් සිටින ලාභදායී ව්‍යාපාරයකින් යම් කොටසක් තමන්ටත් අත්පත් කරගැනීමට මං සෙවීමයි.

අවලෝකේතීෂ්වර බෝධිසත්ව' ලෙස පෙනී සිටින පුද්ගලයාගේ මානසික වෛද්‍ය වාර්තාවක්  කැඳවයි

ඒ අතින් ගත් විට, සැබෑ බෞද්ධ දර්ශනය යැයි ගන්නා යම් චින්තනයක් වේද, එය විකෘති කිරීම හෝ ඊට හානි කිරීම නමැති චෝදනාව එල්ල කළ හැකි විත්තිකරුවන් පෝලිම් ගැස්සුවොත්, මේ බෝධි(සතා) සිටින්නේ ඒ පෝලිමේ මුලින් නොව, අන්තිමට ය.

 

ඒ අතින් ඔහු, පන්සලක ඇබිත්තයෙකු තරම්වත් වැදගත්කමින් යුක්ත නැත. ඒ නිසාම ඔහු ‘ස්වාභාවික මරණයකට’ පත්වන බව මේ කොලමේ ලියා ඇත. එයින් අදහස් කෙළේ, ඔහුගේ ව්‍යාපාරය ඉතා ඉක්මනින් අභාවයට යන බවයි. හේතුව, නූතන සමන්තභද්‍ර වැනි දක්ෂ ව්‍යාපාර කළමනාකරුවෙකු නොවී, ඔහු අන්ත ග්‍රාමීය අදක්ෂයෙකු වීමයි.

සියලු තතු එසේ වෙතත්, ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ හිරේ විලංගුවේ ලෑමට ඒ කිසිවක් හේතුවක් විය යුතු නැත. උසාවිය සහ හිරගෙය යනු, ලෞකික රාජ්‍යයේ හස්තයන් ය. ඒවාට අයත් පරාසය වන්නේ සහ විය යුත්තේ, භෞතික ලෝකයයි. උදාහරණයක් වශයෙන්, මිනිමැරුම, සොරකම, වංචාව, අපහාසය සහ ද්වි-විවාහය වැනි අනේකවිධ චර්යාවන් ය. ඒ සියල්ල, බොහෝ දුරට නිශ්චිත අර්ථයක් තුළ නිර්වචනය කළ හැකි ක්‍රියාකාරකම් ය. එහෙත්, ආධ්‍යාත්මික කාරණා භජනය කරන්නේ මානසික විශ්වයයි. එය නිවැරදිව විනිශ්චය කිරීමේ හැකියාවක් පොලීසිය සහ උසාවියකට තිබිය නොහැකි අතර, එවැනි හැසිරීමකට දඬුවම් පැනවීමේ අයිතියක් (පොලීසිය හෝ අධිකරණය වැනි) කිසිදු ලෞකික ආයතනයකට තබා (පන්සල, පල්ලිය, කෝවිල වැනි) ආධ්‍යාත්මික ආයතනයකටවත් දිය යුතු නැත.මන්ද යත්, මිනිස් චර්යාවේ සමස්ත චින්තනමය අඩවියම ඒ මගින් මර්දනයට ලක්විය හැකි බැවිනි.

නීති පැනවීම, වෙනස් කිරීම සහ හකුළා ගැනීම පිළිබඳ 'තිප්පල්ලත්ථිමිග ජාතකය'  ඇසුරෙන් -ජයසිරි අලවත්ත

බුදුන් වහන්සේ ජීවමානව සිටි සාසනයේ එවැනි දඬුවම් ක්‍රම තිබී නැත. තිබුණේ විනය නීති පමණි. විනය නීතියක් යනු, චර්යාවට සහ හැසිරීමට මිස, චින්තනයට බඳින වැටක් නොවේ. එය පැවතියේද සාසනය තුළ මිස ඉන් පිටත නොවේ.

මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සහ තවදුරටත් හිරබාරේ තබාගැනීම ගැන මේ දක්වා පළ වී ඇති මාධ්‍ය වාර්තාවලට අනුව, ප්‍රධාන චෝදනා හතරක් හඳුනාගත හැකිය.

එනම්:

(1) බුද්ධාගම හෝ බුද්ධ ධර්මය විකෘති කිරීම

(2) ආගමික සහජීවනය නැති කිරීම

(3) පරිඝනක හෝ බැංකු ගිණුම් පිළිබඳ අයථා ක්‍රියාකාරකම්

(4) සියදිවි හානි කරගැනීම සඳහා බැතිමතුන් පොළඹවනසුළු දේශනා පැවැත්වීම ආදියයි.

විශේෂාංග 
බුද්ධාගම හෝ බුද්ධ ධර්මය විකෘති කිරීම

 
සාසනයක් (පන්සලක්, පල්ලියක්) ඇති කරගන්නේ, ආගමක් පවත්වාගෙන යාමටයි. එහෙත්, කාලයාගේ ඇවෑමෙන් සිදුවන්නේ, ඒ සාසනයේ ලෞකික අවශ්‍යතා මගින්ම එම ආගම/ධර්මය ගිලගනු ලැබීමයි. මෙය, ඕනෑම ආගමක් සම්බන්ධයෙන් දැකගත හැකි සනාතන තත්වයකි. මේ කියන සාසනය, සමාජය හසුරුවන බල කේන්ද්‍රයක් බවට පත්වූ විට මේ තත්වය තවත් උග්‍ර වෙයි. මහාචාර්යවරයෙකුද වන මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ වීඩියෝගත ධර්ම දේශනාවක උන්වහන්සේ මෙවැන්නක් කියයි: “සතුන් මරන්න එපා යැයි බුදුන් වහන්සේ කිසි තැනක දේශනා කර නැත.” 
medagoda abhayatissa 2
 
එහිදී උන්වහන්සේ පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ බුද්ධ දේශනාවේ වෙනත් මානයකි. එනම්, සැබෑ බුද්ධ දර්ශනය වන්නේ, සතුන් මැරීම නොමනා බව නොව, සතුන් මැරීමට පෙළඹීමේ සිත/චෛතසිකය නොමනා වන බව ය. බුදුන් වහන්සේ අදහස් කෙළේ “සතුන් නොමරන සමාජයක් නොව, සතුන් නොමැරෙන සමාජයක්” බව උන්වහන්සේ තවදුරටත් එය විස්තර කරමින් කියයි.
1560780514 a l
 
යුද්ධය පවතින කාලයේ මහාචාර්ය නලින් ද සිල්වා මෙවැන්නක් කීවේය: “හමුදා විසුරුවා හරින්නැයි බුදුන් වහන්සේ කිසි විටක රජවරුන්ගෙන් ඉල්ලීමක් කර නැත.” (වකුගඩු රෝගයේ හේතුකාරකය සහ ප්‍රතිකාරය, නාථ දෙවියන්ගේ මාර්ගයෙන් තමා දැනගත් බව කීවේත්, මේ මහාචාර්යවරයාම ය!). යුද හමුදා පිළිබඳ මේ කතාව ඔහු කියන්නේ, බුද්ධ ධර්මය සහ යුද්ධය අතර පරස්පරයක් නැති බව, බුදුන්මත් කියා ඇති බවක් ගම්‍ය කිරීමටයි.  

මස්මාංශ අනුභව නොකරන්නැයි බුදුන් වහන්සේ කිසි තැනක දේශනා කර නැති බව තවත් අය කියති. උන්වහන්සේ වැලඳූ අවසාන දානයත් ඌරුමස් සහිත එකක් බවද, අවසානයේ වැලඳුණු පාචනයට හේතුවත් එය බවද ඔවුහූ පෙන්වා දෙති. මෙය, දත්තමය වැරදි ගණනාවක් අනුසාරයෙන් බැසගත් සාවද්‍ය නිගමනයක් වීමට බොහෝදුරට ඉඩ ඇතත්, කලින් කී මහාචාර්යවරුන්ගේ දේශනා භජනය කරන්නේ එවැනි සාවද්‍ය දත්තමය පරාසයකට වඩා අර්ථකථනමය පරාසයකි.

ධර්මයක් සබුද්ධිකව විකෘති වන්නේ ඒ ක්ෂේත්‍රයේදී ය. එය (මහාචාර්ය නලින් ද සිල්වා මෙන්) පටු දේශපාලනික/දෘෂ්ටිවාදීමය අවශ්‍යතාවන් සාධනය කරගැනීම සඳහාද, (මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් මෙන්) යම් දාර්ශනික ආස්ථානයක් නිර්වචනය කිරීමේ පිපාසය නිසාද සිදු විය හැක්කකි. ඔවුන් දෙන්නාම දේශනා කරන කාරණාව පදනම් වන්නේ, බුදුන් වහන්සේ කියූ දෙයක් මත නොව, නොකියූ දෙයක් මත ය. එනම්, බුදුන් වහන්සේ දේශනා ‘නොකළ’ දෙයක් ගැන ය. 
 
Mullaiththeevu 10.05.2009
 
ලෝකයේ වඩාත් අවිහිංසාවාදී දහම බුද්ධාගම යැයි කතාවට කියති. එය සහේතුක වන්නේ ඉතා සරල මුත්, එක් අතිශය මූලික ඉගැන්වීමක් නිසා ය. එය අවබෝධ කරගැනීමට, දර්ශනවාදයක හෝ විදග්ධ දෘෂ්ටිවාදයක සහාය අවශ්‍ය නැත. එනම්, ‘සතුන් මැරීමෙන් වැළකීම’ (පාණාතිපාතා) නමැති ශික්ෂා පදය පන්සිල්වල මුලටම යොදා තිබීමයි. ඊට පටහැනිව දේශනා කර ඇති හෝ නැති ඕනෑම ධර්මයක් හෝ අර්ථකථනයක් මේ මගින් නිෂේධනය විය යුතුය. හරියට, “වෙනත් තැනක කුමක් සඳහන්ව තිබුණත් මේ නීතිය බලාත්මක වන” බව ඇතැම් නෛතික කාරණා සම්බන්ධයෙන් භාවිත වන්නා සේ ය. මා මේ තර්ක කරන්නේ, වඩාත් අවිහිංසාවාදී ආගම බුද්ධාගම යැයි උපකල්පනය කරන්නේ නම් යැයි සිතමිනි. ඒ නිසා, ඉහත කී මහාචාර්යවරුන්, සතුන් මැරීම සහ යුද්ධය යන කාරණා සම්බන්ධයෙන් දරන අදහස, වඩාත් අහිංසාවාදී ආගම බුද්ධාගම යැයි කියන කාරණය සමග සහමුලින් ගැටෙන බව කීමට ය.  
ඊළඟට, ථෙරවාද සහ මහායාන බුදු දහම අතර අප්‍රමාණ නොපෑහීම් තිබීම සැලකිල්ලට ගත හැකිය. ලංකාවේ වර්තමානයේ පවතින බුද්ධාගම මේ දෙකේ අපූරු සංකලනයකි. (මේ පිළිබඳ විස්තරාත්මක අර්ථකථන, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සහ මහාචාර්ය සරත් චන්ද්‍රජීවගේ මෑතකාලීන සමාජ මාධ්‍ය ලියවිලි තුළ දක්නට ලැබේ).
 
මේ දෙපාර්ශ්වය, ඉතිහාසයේ නොයෙක් වර, අභයගිරිය සහ මහා විහාරය වශයෙන් දෙකට බෙදී ගහමරාගෙන ඇත. එහෙත් ඒ එක පාර්ශ්වයක්වත්, අනෙක මුලිනුපුටා දැමීමට සමත්ව නැත. එසේ තිබියදී, එකක් ‘ප්‍රකෘතිය’ වශයෙනුත්, අනෙක ‘විකෘතිය’ වශයෙනුත්, එකක් ‘සැබෑව’ වශයෙනුත්, අනෙක ‘බොරුව’ වශයෙනුත් ගැනීමේ හැකියාවක් ඉතිරි වන්නේ නැත.
 
Untitled 42 750x375
 
ඒ සියල්ල පැත්තකින් තියන්න: හින්දු දහම ප්‍රතික්ෂේප කරමින් සත්‍යය සොයාගත් බුදුන්ගේ පන්සල තුළට, විෂ්ණු ගණදෙවි ආදී හින්දු දේවාල ආවේ කෙසේද? ත්‍රෛනිකායික මහනායක හිමිවරු, බුදු දහම විකෘති කරතියි කියමින් ඒ පන්සල් දේවාල ගැන පොලීසියට හෝ ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේද? මේ වාක්‍යයේ, ‘ත්‍රෛනිකායික’ යැයි වචනයක් මා පාවිච්චි කර ඇත. එම වචනය පාවිච්චි කිරීමට මට සිදුව තිබීමම, බුද්ධ ධර්මය, කුල භේදය පදනම්ව බුද්ධ සාසනය තුළින්ම විකෘති කර ඇති බවට ජීවමාන සාක්ෂියක් නොවේ ද? 
 
බෝධිසත්වයෙකු හඳුනාගන්නේ කෙසේද? 

අපේ සාකච්ඡාවට කෙලින්ම අදාළ බෝධිසත්ව සංකල්පය ගත්තොත්, බෝධිසත්වයෙකු යනු කවරෙකුදැයි නිවැරදිව හඳුනාගැනීමේ, පිළිගත හැකි ක්‍රමවේදයක් නැත. යුදෙව් ආගමේ කියැවෙන, දෙවියන් වහන්සේගේ පුත්‍රයා නමැති සංකල්පය යම්තාක් දුරකට බුද්ධාගමේ බෝධිසත්ව සංකල්පයට සමානකම් දක්වයි. එහෙත්, ජේසුතුමා ඒ පුත්‍රයා තමා යැයි කීම, එදා යුදෙව් පූජක පක්ෂය ඉවසුවේ නැත. එහි ප්‍රතිඵලය වුණේ, ජේසුස් වහන්සේව කුරුසියේ තබා ඇණ ගැසීමයි. එසේ කෙළේ, එතුමා දෙවියන් වහන්සේගේ සැබෑ පුත්‍රයා නොවන බව යුදෙව් පූජකයන් විසින් ‘ඔප්පු’ කරගත් නිසා නොව, ස්ථාපිත ආගමික ආයතනික බලය සහ රාජ්‍ය බලය එදා ඔවුන් සතුව තිබුණු නිසා ය. 
 
පැමිණිල්ලක් වූ පමණින් අත්අඩංගුවට ගැනීමක් සිදු විය යුතු ද? - (ගාමිණී  වියන්ගොඩ)
 
ඒ හා සමානවම, බෝධිසත්වයෙකු යැයි කියාගන්නා ඕනෑම කෙනෙකු එසේම යැයි පිළිගැනීමට සේම, එසේ නොවේ යැයි කියා ප්‍රතික්ෂේප කිරීමටත්, එක හා සමානවම කරුණු, අනිවාර්යයෙන්ම තිබෙනු ඇත. එබැවින්, සංස්ථාපිත ආගමික ආයතනයක නිර්වචන මත පමණක් පදනම්ව ඒ දෙස බැලීම යුක්තියුක්ත නැත. ඒ කෙසේ වෙතත්, ඒ පුද්ගලයාව දඬුවමට ලක්කිරීමට නම් කොහෙත්ම අවසරයක් කිසි ආයතනයකට නොතිබිය යුතුය. මන්ද යත්, ආගමික මූලධර්ම සම්බන්ධයෙන් පමණක් නොව, ඒ ආගමික හස්තය, මිනිසාගේ ලෞකික ක්‍රියාකාරකම් සහ චින්තනමය අවකාශයන් මර්දනය කිරීමේ අවියක් වීමේ අදියරට පත්වීමේ හැම ඉඩක්මත් එවැනි තත්වයක් තුළ ඇති විය හැකි බැවිනි. ශක්තික සත්කුමාර සහ නතාෂා එදිරිසූරිය වැනි කලාවෙහි නියුක්ත වූවන් සම්බන්ධයෙන්ද, ජෙරොම් ප්‍රනාන්දු නමැති පාස්ටර්වරයා සම්බන්ධයෙන්ද එකී සංස්ථා මැදිහත් වූ සාහසික ආකාරය දැනටමත් අපි දනිමු. 
එහෙත් අදාළ පුද්ගලයා, පවතින භෞතික සහ ලෞකික නීති රාමුව උල්ලංඝණය කරන්නේ නම් එය වෙනම ප්‍රශ්නයකි. මේ බෝධි(සතා) අරභයා ඉහත දක්වා ඇති තුන්වැනි සහ හතරවැනි කාරණා අයත් වන්නේ ඒ ප්‍රවර්ගයටයි. විශේෂයෙන් අවසාන කාරණය ඉතා භයානක ය.
 
 
සාමූහික සියදිවි නසාගැනීමේ සෘජු ආවේශයක් සැපයීම සඳහා වන ඕනෑම ප්‍රයත්නයක්, සමාජයක යහපැවැත්මට මාරාන්තික හානියකි. එය වනාහී, ආගමක් විකෘති කිරීමක් නොව, හුදු සත්ව පැවැත්ම යන මූලික සත්තාවම මුලිනුපුටා දැමීමකි. මෙවැනි ඇදහීමක් සහිත උමතු ආගමික කල්ලි, ඉතිහාසය පුරා ලෝකයේ විවිධ තැන්වල තිබී ඇත. ඉතා මෑතකදී ලංකාවේද යම් පුද්ගලයෙක්, ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සහ ඔහුගේ දේශනා අසා ඇති තවත් බැතිමතුන් කිහිප දෙනෙකුද සාමූහිකව සියදිවි නසාගත් සිද්ධියක් වාර්තා විය. එම සිද්ධියේ අර කියන තරුණ අම්මා තම ලාබාල දරුවන් තුන් දෙනා සමග දිවිනසාගැනීම, ත්‍රස්තවාදියෙකුගේ මරාගෙන මැරෙන ක්‍රියාවකින් වෙනස් වන්නේ කෙසේ ද?
මේ නිසා, විශේෂයෙන් දඬුවම් පැනවීම පිළිබඳ කාරණයේදී, ආධ්‍යාත්මිකත්වය සහ ලෞකිකත්වය අතර පැහැදිලි ඉරක් ඇඳගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ප්‍රයෝජනවත් ය. එසේ නොවුණොත්, මිනිසා ගලවාගැනීම සඳහා ඇති කරගත් ආගම විසින්ම මිනිසා බිළිගන්නා මොහොත එළැඹිය හැකි බැවිනි. සතාට නොලැබෙන පෝෂණයක් මිනිසාට ලැබෙන්නේ සිතීමේ පරිශ්‍රයේදී ය. ඊට දණ්ඩනීය වැට කොටු බැඳීමේ අයිතියක් ආගමට තිබිය යුතු නැත. 

ඊළඟ මැතිවරණයට අපූරු සන්ධානයක් - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බෝධි(සතා) හිරේ ලෑම චින්තනයේ සහ ප්‍රකාශනයේ නිදහස වළලෑමකි - (ගාමිණී වියන්ගොඩ) | The Leader