The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

වත්මනේ දක්නට ලැබෙන බුදුවරුන්, රහතුන්, බෝසතුන් මානසික රෝගීන්ම ද? – (විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)

T

The Leader Desk

January 21, 2024 • 10:34 AM

වත්මනේ දක්නට ලැබෙන බුදුවරුන්, රහතුන්, බෝසතුන් මානසික රෝගීන්ම ද? – (විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් මඳ කලෙක සිට බුදුවරුන්, රහතුන්, බෝසතුන් ආදී බුදු දහම මුල් කොට ගත් උත්තරීතර තත්වයන්ට පත් වූවන් ලෙසින් සමාජය හමුවේ පෙනී
  • එනම් මෙලෙස තමන් ආගමික වශයෙන් උත්තරීතර තත්වයන්ට පත් වූ බව පවසන පුද්ගලයන් හුදෙක් මානසික රෝගීන්ද?
  • එනම් යමකු ගේ හැසිරීම් ආදිය සම්බන්ධයෙන් අසන්නට, දකින්නට ලැබෙන තොරතුරු මත ඒ තැනැත්තාගේ මානසික සෞඛ්‍ය පිළිබඳ විශ්ලේෂණ ඉදිරිපත් කිරීමට මනෝ වෛද්‍යවරයකුට ප්‍රායෝගික සේම ආචාර ධර්මීය හැකියාවක් නොමැති බව ය.
  • එහෙත්, ජන සමාජයෙන් නැඟෙන ඉහත සඳහන් විමසුම මුල් කොට එවැනි පුද්ගලයන් ගේ චර්යාවන් සම්බන්ධ පොදු අදහසක් ඉදිරිපත් කිරීමට මනෝ වෛද්‍යවරුනට හැකියාවක් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිටින ගිහි පැවිදි පුද්ගලයන් පිළිබඳව ජන මාධ්‍ය මගින් වැඩිපුර අසන්නට ලැබේ. එමෙන්ම මොවුන් සම්බන්ධ කොට සාමාන්‍ය සමාජය වෙතින් මනෝ වෛද්‍යවරුන් වෙත යොමු වන ප්‍රධානතම පැනයක් ද තිබේ. එනම් මෙලෙස තමන් ආගමික වශයෙන් උත්තරීතර තත්වයන්ට පත් වූ බව පවසන පුද්ගලයන් හුදෙක් මානසික රෝගීන්ද? යන්න ය.

 

එහෙත්, මෙහිදී සියල්ලට පළමුව කිව යුත්තක් ද තිබේ. එනම් යමකු ගේ හැසිරීම් ආදිය සම්බන්ධයෙන් අසන්නට, දකින්නට ලැබෙන තොරතුරු මත ඒ තැනැත්තාගේ මානසික සෞඛ්‍ය පිළිබඳ විශ්ලේෂණ ඉදිරිපත් කිරීමට මනෝ වෛද්‍යවරයකුට ප්‍රායෝගික සේම ආචාර ධර්මීය හැකියාවක් නොමැති බව ය. මනෝ වෛද්‍යවරයකුට කවර පුද්ගලයකු ගේ හෝ මානසිකත්වය සම්බන්ධ නිවැරදි හා විද්‍යාත්මක විශ්ලේෂණයකට එළැඹිය හැක්කේ ඒ තැනැත්තා සායනික පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව පමණි. එමෙන්ම එය රෝගියාගෙන් ලබා ගත් විධිමත් අවසරයකින් තොරව එය සමාජය හමුවේ ඉදිරිපත් කිරීමට ද මනෝ වෛද්‍ය වරුනට නොපුළුවන. එහෙත්, ජන සමාජයෙන් නැඟෙන ඉහත සඳහන් විමසුම මුල් කොට එවැනි පුද්ගලයන් ගේ චර්යාවන් සම්බන්ධ පොදු අදහසක් ඉදිරිපත් කිරීමට මනෝ වෛද්‍යවරුනට හැකියාවක් තිබේ. 

1680331653 0cf1aafeb78977814c3d

පොදුවේ ගත් විට මානසික රෝග යනු යමකුගේ සිතුවිලි, කතා බහ, සහ හැසිරීම් ප්‍රකෘති තත්වය ඉක්මවා යාම ය. එහිදී කිසිවකුට තමන් බුද්ධත්වයට හෝ රහත් ඵලයට පත්ව ඇති බවක් හැඟේ නම් ඒ තැනැත්තා තුළ එම සිතුවිලි පහළවීමේ මනෝ මූලය විමසා බැලීමට මනෝ වෛද්‍යවරුනට පුළුවන. නමුදු බුද්ධත්වය හෝ රහත් බව වැනි බෞද්ධ පරමාදර්ශී තත්වයන් යමකු තුළ එක්වරම ස්ථාපිත වීමට ඇති ආධ්‍යාත්මික සාධක පිළිබඳව කරුණු විමසීමට මනෝ වෛද්‍යවරුන්ට නොහැකි වන්නට පුළුවන. එහෙත්, එහි කිසිදු ප්‍රශ්නයක් නැත. ඒ එය හුදෙක් මනෝමය සාධක මත යමකු තුළ හටගත් තත්වයක් ද යන්න පිළිබඳව විද්‍යාත්මක විමසුමක් කොට ඒ පුද්ගලයා ගේ මානසික සෞඛ්‍යය සම්බන්ධ නිවැරදි තක්සේරුවකට එළැඹීමට මනෝ වෛද්‍යවරුන්ට හැකියාවක් ඇති බැවිනි. ඒ සඳහා ඇවැසි බුදු දහම පිළිබඳව කෙසේ වෙතත් මනෝ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් අවබෝධයක් ඔවුන් තුළ තිබේ.

 

සිතිවිලි, කතාබහ චර්යා රටාවන් ප්‍රකෘතියෙන් බැහැර වීම මුල් කොට තමන් බුදු වූ බව හෝ රහත් වූ බවක් පවසන සයිකෝසීය ගණයේ මානසික රෝගීහු ද සිටිති. විශේෂයෙන් භින්නෝන්මාදය (Schizophrenia) ක්ෂිප්තතාව හෙවත් මේනියාව (Mania) ද්වි අග්‍ර රෝගය(Bipolar Disorder)වැනි සයිකෝසීය රෝග මුල්කොට ද යමකු තුළ එවැනි විකෘති අදහස් සිතුවිලි පහළ වීමේ පහසු හැකියාවක් පවතී.

kodi 459078

මෙහිදී අප බෞද්ධ සමාජයේ එවැන්නවුන් තමන් බුද්ධත්වයට පත් වූ බවක් පවසනු මිස තමන් අන්‍යාගමික සාන්තුවර තත්වයට පත්ව හිඳින බවක් නොපවසති. ඊට හේතුව සෑම මානසික රෝගියකුට තමන් ගේ රෝග ප්‍රකාශන සඳහා තමන් ජීවත් වන සමාජ, සංස්කෘතික පසුබිම ඉවහල් කර ගන්නා බැවිනි. නමුදු මෙවන් රෝග ලක්ෂණ පළ කරන සයිකෝසීය ගණයේ මානසික රෝගීන්ට එම අදහස් තුලනාත්මක සහ තර්කානුකූල පදනමක් ඔස්සේ සමාජ ගත කිරීමට නිසි හැකියාවක් නැත. ඒ අනුව ඔවුන් ගේ එම ප්‍රකාශ අසා හිඳින සාමාන්‍ය සමාජයට වුව ඒ තැනැත්තා ගේ මානසික විකෘතිතාව පහසුවෙන් වටහා ගත හැකි වනු ඇත. ඒ අනුව ඔවුන් පොදු සමාජය හමුවේ ද මානසික රෝගීන් ගේ ගොඩට ඇද වැටීම බොහෝ විට සිදුවෙයි. එමෙන්ම සයිකෝසීය මානසික ආබාධවලදී යමකු තුළ පැන නගින එවන් විකෘති සිතුවිලි ඒකාකාරව ගලා නොඒමත් වරින් වර ඒවා අඩු වැඩි වශයෙන් එළි දැක්වීමත් සාමාන්‍ය තත්වයකි.

මේ හැරුණු කොට මතුපිටින් සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකරන්නකු තුළ වුව හටගත හැකි මෝහාබාධ ( Delusional Disorder ) නම් මානසික ආබාධ ඛාණ්ඩයක් තිබේ. එහෙත්, ඉහත සඳහන් ප්‍රධාන සයිකෝසීය මානසික රෝග හා එම ආබාධය අතර එක්තරා වෙනසක් තිබේ. එනම් එවැන්නවුන් යම් ආකාරයක සමාජ, අර්ථික වශයෙන් යම් ස්ථාවරයකට පැමිණිය හැකි අතර එක් කරුණක් මුල් කොට පමණක් ඔවුන් ගේ ඒ මෝහාබාධය ප්‍රකාශයට පත්වීම ය.

a03ca31538776a95652871566d582d37 XL

මෙම මෝහාබාධ අතරට ගැනෙන අභිමාන මෝහය( Grandiose Delusion ) ඒ අතුරින් ප්‍රධාන එකකි. නිදසුනක් ලෙස සමාජයේ කිසියම් පිළිගත් වෘත්තියක නියැලෙන්නකු තුළ රාවණා රජුගේ බලය තමන් තුළ ක්‍රියාත්මක වන බවක් වැනි මෝහමය හැඟීමක් නිරතුරුවම පැලපදියම් වී තිබිය හැක. එහෙත්, තම ජීවිතයේ එදිනෙදා කටයුතු වලදී එම මෝහමය සිතුවිල්ල අදාළ කර නොගැනීමට ද සමහරෙකුට පුළුවන. තත්වය එසේ වුවද රාවණා රජු සම්බන්ධ කිනම් හෝ කතා බහක දී තම මෝහමය සිතුවිලි දාමයට පරිබාහිර යමක් පැවසුණු සැනින් භාවාතිශය වී, කෝප ගැන්වී ඒ සඳහා දැඩි ප්‍රතිචාර දැක්වීම ඔවුන් කෙරෙන් දක්නට ලැබෙන සාමාන්‍ය තත්වයකි. ඒ භාවමය විෂමතා නිසා මොවුනට ද දිගු කාලීන වශයෙන් සමාජයේ යම් පිරිසකගේ හෝ පිළිගැනීමට ලක් වීමට ඇති අවකාශය ඉතා සුළු ය.

මේ අතර සායනික වශයෙන් මානසික රෝග ලෙස වර්ගීකරණයකට ලක් කළ නොහැකි තමන් සතු පෞරුෂයන් මුල් කොට ද තමන් බුදුවරුන්, රහතුන් සහ බෝසතුන් ලෙස පෙනී සිටීමේ හැකියාවක් ඇතැමුන් තුළ පවතී. තමන් තුළ කිසියම් අසාමාන්‍ය අගයක් වටිනාකමක් ඇති බවක් හැඟවෙන ආත්ම රාගී පෞරුෂ ආබාධය ( Narcissistic Personality Disorder)එවැනි තත්ත්වයකි. එහි දී සෙසු සමාජය හා සසඳා බලන විට තමන් ශ්‍රේෂ්ඨයකු බවත් ඒ අනුව තමන් වටා අනුගාමිකයන් ඒක රාශි විය යුතු බවත් තරයේ විශ්වාස ගොඩ නංවා ගන්නා ඔව්හු ඒ සඳහා වන උපයෝග ලෙසින් යම් යම් සුවිශේෂ ආගමික මති මතාන්තර ඉදිරිපත් කරති.

teenage psychopathy

එමෙන්ම ඇතැම් පුද්ගලයන් තුළ පවත්නා මනෝ ව්‍යාථ (Psychopathic) නම් තත්වය යටතේ ද සමහරු මෙවන් දේට යොමු වෙති. මෙවන් මානසික අර්බුද හමුවේ වුව ඔවුන් ගේ බුද්ධිය සහ උපායශීලීත්වය බිඳ නොවැටීම මත ආගමික කරුණු සම්බන්ධ යම් යම් හැදෑරීම් කොට ඒවා අතුරින් තමාටම ආවේණික නව මතවාද හුවා දැක්වීමට ද මොවුනට පුළුවන. මේ අතර පොදු සමාජ සම්මතයෙන් බැහැරව එම සමාජ සම්මතයන්ට එරෙහිව නැඟී සිටීම පිණිස වන මානසික සාධක සහිත සමාජ විරෝධී පෞරුෂ ආබාධ(Antisocial Personality Disorder ) තත්වයෙන් යුතු වූවෝ ද වෙති. එවැන්නවුන් වටා විවිධ පිරිස් ඒකරාශී වීමේ පැහැදිලි හැකියාවක් තිබේ.මේ සියළුම දෙනාට තමන් ගේ එම කටයුතු සඳහා උවමනා අනුගාමිකයන් සේම ක්‍රියාධරයන්( Cadre ) ඕනෑ තරම් වර්ධනය කර ගැනීමට ද පුළුවන.

 

අප මේ ගත කරනුයේ සමාජමය වශයෙන් ලෞකිකත්වය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන යුගයක ය. පරිභෝජනවාදය පදනම් කර ගත් නව ලිබරල්වාදී ගෝලීය ආර්ථිකයට නැඹුරු වෙමින් පවතින ජන මනැස ඒ සම්බන්ධ පුරුෂාර්ථ වෙත ශීඝ්‍රයෙන් යොමු වෙමින් පවතී. එදිනෙදා ජීවිතයේ සෑම දෙයකින්ම ඉක්මන් බව, පහසුව සහ නවතාවය යන උපයෝග ලුහුබඳින වර්තමානයේ බොහෝ දෙනෙක් ලෞකික සේම ආධ්‍යාත්මික වශයෙන් ද ඒ සඳහා ඇති අවකාශය විමසා බලති. ඉක්මනින් පහසුවෙන් ආහාර පිළියෙල කර ගත හැකි, ගමන් බිමන් යා හැකි ක්‍රම ගැන විමසන නූතනයේ බෞද්ධයන් ඉක්මනින් හා පහසුවෙන් මාර්ග ඵල ලබා ගත හැකි, නිවන් අවබෝධ කර ගත හැකි උපාය මාර්ග විමසා බලනුයේ ද ඒ අනුව ය.

9 Reasons to Visit Umandawa Featured Image

නමුත් නූතනයේ පවතින ඒ පරිභෝජනවාදී නැඹුරුව මුල් කොට ඉහත සඳහන් පෞරුෂ විෂමතාවයන් ගෙන් පෙළෙන්නවුන් සමාජය තුළ ජනකාන්ත බවට පත් වීමේ ද පහසු නැඹුරුවක් පවතී. මේ වන විට ලොව බොහෝ රටවල මෙන්ම අප සමාජය තුළ ද මෙවන් ගිහි පැවිදි පුද්ගලයන් කේන්ද්‍ර කොට ගත් ආගමික කල්ලි (Cult ) වැඩි වැඩියෙන් දක්නට ලැබෙනුයේ එම සමාජ, ආර්ථික පසුතලය තුළ ය. එමෙන්ම මෙම කල්ලි වටා ඒකරාශි වන්නෝ හුදෙක් ඒ පුද්ගලයන් ශාස්තෘත්වයෙන් අදහන බැතිමත්තු බවට පත් වෙති. එමෙන්ම එසේ තම නායකයාගේ මතයේ දැඩිව එල්බ ගන්නා මොවුන් වෙතින් විවිධ අපරාධ සේම සමාජ විරෝධී ක්‍රියා සිදුවීමේ ද නැඹුරුවක් පවතී. එමෙන්ම කිසියම් විධිමත් සමාජ, සංස්කෘතික ධාරාවක් ව්‍යාකූල කොට එමගින් එම ජන සමාජයේ ඒකාබද්ධතාව බිඳ දමා එමගින් සුවිසල් ලාබ ප්‍රයෝජනය කරන විවිධ බලවේග ද මෙවන් ආගමික කල්ලි සඳහා විශාල ධනස්කන්ධයන් ආයෝජනය කිරීමේ පහසු හැකියාවක් පවතී.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු ගේ සංතීක්ෂණ අවධානය යොමු නොවීමේ අනතුරු සහගත බව පිළිබඳ යම් ඉඟියක් දෙමින් මම නිහඬ වෙමි.

සටහන :
ranil abesighe 1

 

 

 

 

 

සබැඳි ලිපි :

බෝධි(සතා) හිරේ ලෑම චින්තනයේ සහ ප්‍රකාශනයේ නිදහස වළලෑමකි - (ගාමිණී වියන්ගොඩ)

කැළණියට වැඩිය බෝධි(සතා) ! - (ගාමිණි වියන්ගොඩ) 

නයි නෙයියාඩගමින් පසු කැලණි පුදබිමේ දී රඟ දැක්වුණු 'අවලම්' කිතේශ්වර කෝලම

බුදුවෙන්නත් තහනම් ද?


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...