The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

උතුර ශ්‍රීධරන්ට! - ශ්‍රීධරන් කාට ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

January 26, 2024 • 10:42 AM

උතුර ශ්‍රීධරන්ට! - ශ්‍රීධරන් කාට ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ද්‍රවිඩ ජාතික සන්ධානයේ තීරණය අනුව උතුරු නැගෙනහිර ඡන්ද ලක්ෂ 5 ක් පමණ එක ගොඩට, එක මිටට ජනාධිපතිවරණයක දී ප්‍රධාන පක්ෂයකට ලැබෙන්නේය.
  • යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සිවඥානම් ශ්‍රීධරන් වැඩි ඡන්ද 49 කින්, එම්.ඒ.සුමන්තිරන් පරාජය කර ඉලංකේ තමිල් අරසු කච්චි (ITAC) පක්ෂයේ නායකත්වයට පත්විය.
  • නව පත්වීම 2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඑලයට, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකත්ව වෙනස සිදු කරන බලපෑම ඇඳහිය නොහැකි තරම් වනු ඇත.
  •   2020 මැතිවරණයේ යාපනයේ මනාප ඡන්ද ප්‍රතිඑලය මෙසේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය ජනාධිපතිවරණයක ජය හෝ පරාජය තීරණය කරන්නේය.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සිවඥානම් ශ්‍රීධරන් වැඩි ඡන්ද 49 කින්, එම්.ඒ.සුමන්තිරන් පරාජය කර ඉලංකේ තමිල් අරසු කච්චි (ITAC) පක්ෂයේ නායකත්වයට පත්විය. නව පත්වීම 2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඑලයට, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකත්ව වෙනස සිදු කරන බලපෑම ඇඳහිය නොහැකි තරම් වනු ඇත.

ලංකාවේ දේශපාලන දකුණ, කාලයෙන් කාලයට උතුර සමඟ ගනුදෙනු කළේ කොළඹට සම්බන්ධ චරිත කිහිපයක් හරහා ය. සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, මහේෂ්වරන්, ඩග්ලස් දේවානන්ද, විජයකලා මහේෂ්වරන්, නඩරාජා රවිරාජ් ඒ අතර ප්‍රමුඛය.

අද, දේශපාලන දකුණ, උතුර හා කතා කරන්නේ එම්.ඒ.සුමන්තිරන් හරහා ය. සුමන්තිරන් නැති රැස්වීමක්, සුමන්තිරන් නැති තානාපති පාටියක් සාදයක් නොවීය. කොළඹට, උතුරේ කොඩිය සුමන්තිරන්ම විය.

කොළඹ රැස්වීමක දී වුවත් දෙමළෙන් පමණක් කතා කරන, කොළඹ තානාපති සාදවල අඩුවෙන්ම දකින්නට සිටින උතුරේ දේශපාලනඥයා ශ්‍රීධරන් ය. දකුණේ සිංහල-මුස්ලිම් ජනතාවගෙන් බහුතරය රූපයෙන් තබා නමින්වත්, ඔහු දන්නේ නැත. දකුණේ කිසිම සිංහල පුවත්පතක් උතුරේ නව නායකයා ගැන ලිපියක්වත්  ලිව්වේ ද නැත. නමුත් ඔහු එල්ටීටීඊ සංවිධානයේ මුල් ඇවරියට ඥාති සබඳතා තිබූ, අදත් නොවරදවාම මහා විරු දිනය සමරන ශ්‍රීධරන් අද උතුරේ බලවත්ම පක්ෂයේ නායකයා ය.  

නායකත්ව සටන

 


තමිල් අරසු කච්චි පක්ෂයේ ඡන්ද පදනම උතුරු නැගෙනහිර කේන්ද්‍ර වේ. පක්ෂයේ නායක සහ ලේකම් තනතුරු දෙක උතුර සහ නැගෙනහිර බෙදා ගැනීම සමාන්‍ය ව්‍යවහාරය යි. ඒ අනුව, පක්ෂයට යෝජනා තුනක් ඉදිරිපත් විය. පළමුවැන්න, සුමන්තිරන් (උතුර) පක්ෂ නායකත්වයට පත් කර, රාසමානික්කම් (නැගෙනහිර) ලේකම් කිරීමය.  

දෙවැන්න, පළාත් සභාවේ සභාපති සිවඥානම් (උතුර) නායකත්වයට පත් කර, රාසමානික්කම් ලේකම් කිරීමය. තෙවැන්න, සුමන්තිරන් නායකයා කර, ත්‍රිකුණාමලයේ අයෙකු ලේකම් කිරීම ය. මේ සියළු උත්සාහයන් ව්‍යවර්ථ වූ විට, නායකත්වය සඳහා පක්ෂයේ උත්තර මණ්ඩලයේ ඡන්දයක් ගැනීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත.

උතුරේ ජයප්‍රියත්වය කාට ද?  

2020 මැතිවරණයේ යාපනයේ මනාප ඡන්ද ප්‍රතිඑලය මෙසේය.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - අංගජන් රාමනාදන් (36,365),


ඉලංකෙයි තමිල් අරසු කච්චි -
සිවඥානම් ශ්‍රීධරන් (35,884)
එම්.ඒ සුමන්තිරන් (27,834)
ධර්මලිංගම් සිද්ධාර්ථන් (23,840),

අහිල ඉලන්කෙයි තමිල් කොංග්‍රස් - ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් (31,658),

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - ඩග්ලස් දේවානන්දා (32,146),

තමිල් මක්කල් තේසීය කූට්ටනි - සී.වී. විග්නේෂ්වරන් (21,554)

ඒ අනුව, යාපනයේ සිද්ධාර්ථන් හා විග්නේෂ්වරන් හැර අන් සියළු දෙනා සුමන්තිරන්ට වඩා ඡන්ද ලැබීය. දකුණේ ජයප්‍රියතම, ‘උතුරේ නායකයා‘ ගේ යාපනයේ ජනප්‍රියත්වය එසේය.  

siritharan

නායකත්ව තරඟයේ දී, තමිල් අරසු කච්චි උත්තරීතර සභාවේ 137 ක්  සුමන්තිරන් ඡන්දය දෙන විට, ශ්‍රීධරන් ඡන්ද 186 ක් ලැබීය. දෙමළ ඩයස්පෝරාව ද දෙකට බෙදුණි. වැඩි සහාය තිබුණේ ශ්‍රීධරන්ට ය.  

දකුණේ කුලය දේශපාලනයේ දී තීරණාත්මක වන්නේ යම් ලෙසක ද, උතුරේ කුලය හා හින්දු - ක්‍රිස්තියානි බව නායකත්වයේ තීරණාත්මක සාධකය යි. වැදගත් වූයේ හින්දු දෙමළ ද? ක්‍රිස්තියානි දෙමළ ද යන්නය!!

උතුරේ ඡන්දයට පෙර දින මම දකුණේ පාර්ලිමේන්තු විපක්ෂ මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගෙන් දිනනේ කවුදැයි ඇසීමි. හත් දෙනෙකුම කීවේ සුමන්තිරන් දිනනු ඇති බව ය! සමාන්‍ය ජනතාවට තබා, දේශපාලන නායකයින්ට ද උතුරේ දේශපාලන හැසිරීම ගැන පැහැදිලි අදහසක සිටියේ නැත. 


ජනාධිපතිවරණයට සිදු කරන බලපෑම
 
Ranil In North
 
2005, 2010, 2015 හා 2019 ජනාධිපතිවරණ තුනේම උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාව එක මිටට විපක්ෂයේ අපේක්ෂකයාට ඡන්දය දී රනිල්ට, ෆොන්සේකාට, මෛත්‍රීපාලට හා සජිත්ට දිනා දුන්නේය. රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන උතුරු නැගෙනහිර නායකයින් සමඟ සෘජු ගෞරවනීය මිත්‍රත්වයන් නඩත්තු කළේය. ජනාධිපතිවරුන් ලෙස ඔවුන් දෙදෙනා මාසයකට සැරයක් උතුරු - නැගෙනහිර සංචාරයක් කළේය. කියන දේ අසා සිටියේය.  හැකි ප්‍රශ්න විසඳා දුන්නේය. ජාත්‍යන්තර සංවිධාන, බලපෑම් කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන අදහස මතය උතුරේ ඡන්ද පෙට්ටියෙන්, එක පොදියක් ලෙස එළියට ආවේ ද ඒ නිසාය. සරළවම, උතුරු නැගෙනහිර ඡන්ද ගෙඩිය පිටින් එජාප මතවාදී කඳවුරට ලැබුනේය.
 
කොළඹ සමාජයේ, දකුණේ සමාජයේ, තානාපති සමාජයේ, සිවිල් සමාජයේ බලපෑමෙන් (සාපේක්ෂව) වියුක්ත ශ්‍රීධරන් ගේ නායකත්වය 2024 ජනාධිපතිවරණයේ දී, පෙර පැවති ජනාධිපතිවරණ තුනේ හැසිරීමට වෙනස් හැසිරීමක් දක්වන්නට ඇති ඉඩකඩ ඉතා වැඩිය! 

ශ්‍රීධරන් පළමු වටයේ දී ම, සිවඥානම් - මාවෙයි සේනාධිරාජා ප්‍රමුඛ පරම්පරාවේ සාම්ප්‍රදායික ෆෙඩරල්වාදී මතවාදය පරාජය කරමින් නායකත්ව තරඟයට අවතීර්ණ වුවේය. දෙවන වටයේ දී, සුමන්තිරන් - රාසමානික්කම් ප්‍රමුඛ නව ලිබරල් (ජාතිකවාදී) මතවාදය පරාජය කරමින් නායකත්වට පත් වූවේය! 
 
image 2b3f3a854d
 
දැඩි දෙමළ ජාතිකවාදී මතය නියෝජනය කරන, ශ්‍රීධරන් විපක්ෂය සමඟ සමගියෙන් නොව කේවල් න්‍යයයෙන් කටයුතු කරන්නෙකි.  පාර්ලිමේන්තුවේ වැඩිම වේළාවක් දෙමළ භාෂාවෙන්ම කතා කරන්නෙකි. ආර්ථික, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය ට වඩා ‘දෙමළබවේ දේශපාලනය‘ ගැන සංවේදී නායකයෙකි. දැඩි හින්දු, වෙල්ලාලවාදි, හිටපු ගුරුවරයෙකි.   
මහේෂ්වරන්, සිද්ධාර්ථන්, රවිරාජ්, ඩග්ලස්, අංගජන්, විග්නේෂ්වරන් මෙන් ලංකා ආණ්ඩු, රාජ්‍යය සමඟ සහායෙන්-කේවල් කරමින්, මේසයක දෙපැත්තේ සිට කටයුතු කරන්නෙකු නොව, ලංකා ආණ්ඩුවට කොළඹ ආණ්ඩුව යැයි කියන, කොළඹ ආණ්ඩුවට විකල්ප වන්නි ආණ්ඩුව පැවතිය යුතු යැයි සිතන්නෙකි. 

ශ්‍රීධරන්ගේ දේශපාලනය හා අනාගතය ‘දෙමළ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු‘ ඉදිරිපත් කිරීමේ‘ ලැදියාව සමඟ ගැටෙනු ඇති ද? නැතිනම් සමපාත වනු ඇති ද? යන්න ඉදිරියේ දී තීරණය වනු ඇත. එය පසුවට තබමු.

යම් හෙයකින් ගැටුමක් ඇතිවන්නේ නම්, එයින් ජයගන්නේ ශ්‍රීධරන් ද? නැතිනම් පොන්නම්බලම් ද? යන්න ද අනාගතය තීරණය කරනු ඇත. එය ද, පසුවට තබමු.
 
මැතිවරණ ප්‍රතිඵල :'සිංහල හා දමිළ ජාතිකවාදී සංවාදයට හොද තෝතැන්නක්' -අහිලන්  කදිර්ගාමර්
ඉතිහාසය පුරාම, ජනාධිපතිවරණයේ දී ඉන්දියානු අපේක්ෂාවන් සමඟ අනුගතවීමට උතුරේ ඡන්දදායකයින් ට සිදු විය. මෙවර, දැනටමත් ‘චීන පිළ‘ වැඩ අරඹා ඇත. එහි වෙනසක් වනු ඇති ද? එය ද, පසුවට තබමු. 

උතුරේ ඡන්දය වාසිදායක ලෙස (රනිල්, සජිත්, අනුරට වෙන් වෙන් වශයෙන්) නොලැබෙන්නේ නම්, දකුණේ ප්‍රතිඑලය තීන්දු වන්නේ කෙසේ ද? යන්න නිශ්චිත විග්‍රහයකට ලක් කර ගත යුතුය. මේ දක්වා ගොඩනැගුණු, සන්ධාන, සැලසුම් හා උපක්‍රම සියල්ලම ශ්‍රීධරන්ගේ ජයග්‍රහණය නිසා වෙනස් වනු ඇත්තේය. (පක්ෂ මාරු කරන්න සුදානම් අය ටිකක් ඉවසන්න!) එය ද, පසුවට තබමු.
 
ශ්‍රීධරන් විසින් දකුණේ ජයග්‍රාහී සන්ධානය තීරණය කරනු මොහොත පැමිණ ඇත. එය මේ දක්වා පැවති සරළ ගණන් බැලීම ඉක්මවා යන්නකි.  උතුරේ ඡන්ද ගෙඩිය පිටින් නොලැබෙන කඳවුරක ජයග්‍රාහකයා තීරණය කරන්නේ ‘අලුත්ම සන්ධානයකි‘. එය පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි මාරුවකට එහා තත්වයකි.  
එම ජයග්‍රාහී සන්ධානය කුමක් වනු ඇති ද? 

අනෙක් අතට, උතුරු පලාත දැන් පැහැදිලි දෙමළ කඳවුරු පහකට බෙදී ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානය, ගජේන්ද්‍ර පොන්නම්බලම්, ඩග්ලස් දේවානන්ද, විග්නේෂ්වරන් හා අංගජන් එම කඳවුරු 5 යි. දකුණේ චීන කණ්ඩායම යැයි කියන්නේ ජවිපෙ හා ඩලස්/විමල් නියෝජනය කරන වාමාංශයටය. උතුරේ චීන කණ්ඩායම සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ගේ මතවාදී නායකත්වයට නතුව ඇත. 
 
tamil ak
පසුගිය දා උතුරේ සංචාරයේ දී මට අවබෝධ වූ දෙය නම්, 2024 ජනාධිපතිවරණයට උතුරේ චීන කණ්ඩායමේ අපේක්ෂකයෙකු ස්ථිර බව ය! (දැන් ප්‍රශ්නය අපේක්ෂකයා ශ්‍රීධරන්ද? විග්නේෂ්වරන් ද? පොන්නම්බලම් ද? නැතිනම්, වෙනත් අයෙකු ද යන්න පමණී.) මේ කණ්ඩායම් තුනෙන්, ඡන්දය වර්ජනය කරන්නේ කවුද යන්න ය.  
 
2005 (රනිල්), 2010 (ෆොන්සේකා), 2015 (මෛත්‍රී) හා 2019 (සජිත්) වැටුණු ලෙස උතුරු නැගෙනහිර ඡන්ද එක මිටට කිසිදු අපේක්ෂකයෙකුට නෙලාගත නොහැකි බව ස්ථීරය!  බෙදී යන බව ස්ථීරය!!  උතුරේ දේශපාලන නායකයින් කියන්නේ දකුණේ අද විපක්ෂය (ජවිපෙ හා සජබ) මෛත්‍රීපාල - රනිල් මෙන් උතුරට සහෘද හා ලෙන්ගතු නැති බව ය.  
 
2024 ඡන්දය ගැන උතුරේ අපේක්ෂා භංගත්වය මතුවෙමින් ඇත. දකුණේ සිවිල් සමාජය හා ජාත්‍යන්තර අත උතුරේ දේශපාලනය නැටවීමට තිත තබන්නට අවශ්‍ය බව නායකයින් කියති. දකුණේ විපක්ෂයට, ආණ්ඩුවට තරම් උතුරේ අයිතිවාසිකම් පිළිබඳ හැඟීමක් නොමැති බව ඔවුන්ගේ අදහසයි. 
මේ සියල්ලගෙන්ම අදහස් වන්නේ 2024 ජනාධිපතිවරණ ජය්‍රහණයට උතුරු නැගෙනහිර ඡන්ද ගොඩ මත යැපෙන්නට හැකියාවක් නැති බවයි. දකුණට තමන්ගේ දේශපාලන ඉරණම තීරණය කරන්නට ඉඩ නොදෙන්නට උතුර පෙළ ගැසෙමින් තිබෙන බවය. 

sritharanvg
ශ්‍රීධරන් සතියක් තුල 2024 ජනාධිපතිවරණයේ ජය කොඩිය තම අතට ගත්තේය. ඒ කොඩිය සිටවනු ඇත්තේ කොතැන ද? 

Rajith(රජිත් කීර්ති තෙන්නකෝන්)

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) 
හිටපු ආණ්ඩුකාර 
rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...