The Leader News
BREAKING
Top Ad
Opinion

ගොවිතැනේ සමාජවාදය මොකක්ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

February 10, 2024 • 3:18 PM

ගොවිතැනේ සමාජවාදය මොකක්ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජය කියන්නෙ ජනතාව පත්කරගත් පොදු ආයතනයක්.
  • අපේ රටේ ඈත ඉතිහාසයේදී පවා රජවරු වැව්, අමුණු ඇතුළු වාරි කර්මාන්ත ඉදි කිරීම හා නඩත්තුව වෙනුවෙන් ගොවීන්ගෙන් බදු අය කළා.
  • ග්‍රාමීය දිළින්දන්ගේ අනන්‍යතා ගැටලුවක් වෙනුවෙන් ඔවුන්ගේ රැකියාව ගොවිතැන කියා සඳහන් කළාට ඔවුන් ගොවීන් නෙමෙයි.
  • ගොවීන් වගේම ධීවරයන් ද ඇතුළු ආහාර නිෂ්පාදකයන් ආහාර නිෂ්පාදනය කරන නිසා විතරක් සුවිශේෂ වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ පදනමින්. රජය කියන්නෙ ජනතාව පත්කරගත් පොදු ආයතනයක්. රජයක් නැති සංදර්භයක් ගැන අපට තවම හිතන්නට බැහැ.

අපේ රටේ ඈත ඉතිහාසයේදී පවා රජවරු වැව්, අමුණු ඇතුළු වාරි කර්මාන්ත ඉදි කිරීම හා නඩත්තුව වෙනුවෙන් ගොවීන්ගෙන් බදු අය කළා. ඒක කළේ කෙළින්ම අස්වැන්නෙන් කොටසක් රජයට පවරා ගනිමිනුයි.


මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුය කියලා ගොවීන්ව මුරුංගා අත්තේ නැංවීම සර්ව ජන ඡන්ද බලයෙන් පසු ග්‍රාමීය දිළින්දන්ව රවටා ඡන්ද මංකොල්ලකෑම සඳහා කියන බොරුවක්.

ග්‍රාමීය දිළින්දන්ගේ අනන්‍යතා ගැටලුවක් වෙනුවෙන් ඔවුන්ගේ රැකියාව ගොවිතැන කියා සඳහන් කළාට ඔවුන් ගොවීන් නෙමෙයි. ගොවීන් කියන්නේ වෘත්තීය මට්ටමෙන් කෘෂිකර්මාන්තයේ යෙදෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිරිසක්.


ඒ අතරින් පවා වී ගොවීන් විතරක් සුවිශේෂ නැහැ. තේ, රබර්, පොල්, කුළුබඩු වැනි වගාවන් කරන ගොවීනුත් කෘෂිකර්මාන්තයේ ඓන්ද්‍රිය කොටසක්. ඔවුන් උපයන විදේශ විනිමය නිසා තමයි වී ගොවිතැනට අවශ්‍ය පොහොර, කෘෂි රසායනික, යන්ත්‍ර සූත්‍ර, ඉන්ධන හා වාරිමාර්ග නඩත්තුව සඳහා අවශ්‍ය සිමෙන්ති, යකඩ ආදිය ආනයනය කරගන්නට ලංකාවට හැකි වී තිබෙන්නේ.

ගොවීන් වගේම ධීවරයන් ද ඇතුළු ආහාර නිෂ්පාදකයන් ආහාර නිෂ්පාදනය කරන නිසා විතරක් සුවිශේෂ වෙනවා. එහෙමය කියලා ආහාර නිෂ්පාදකයන් ජනතාවට නොමිලේ ආහාර දෙන්නෙ නැහැ. ඔවුන් වෙළඳපොළ හරහා ඔවුන්ගේ නිෂ්පාදන අපට අලෙවි කරනවා. ඒ නිසා ඉඩම්, ජලය වෙනුවෙනුත් ඔවුන් මිල ගෙවිය යුතුයි. ඒ මිල එකතු කරලා තමයි නිෂ්පාදනය තොග වෙළෙන්දාට අලෙවි කළ යුත්තෙ.


දැන් වෙන්නෙ මොකක්ද? බොරු සමාජවාදයක් නිසා රජය කෘෂිකර්මාන්තයටයි, වෙළඳපොළටයි හැම එකකටම අත පොවලා ඒවායේ ක්‍රියාවලිය අවුල් කරලා. කෘෂිකර්මාන්තය වෙනුවෙන් අපි කෘෂිකර්ම අමාත්‍යාංශ දුසිමකට වඩා අපි මහජන මුදලින් නඩත්තු කරනවා. ලක්ෂ ගණනක් සේවකයන් ඒවායේ රැකියා කරනවා. ඔය ආයතනවලට හා ඒවායේ නිලධාරීන්ට වඩා හංදියේ වස කඩේයි, ඒකෙ මුදලාලියි ගොවීන්ට ‘සේවය’ කරනවා.


වාරිමාර්ග නඩත්තුවත් ඒ වගේ. ඒ වෙනුවෙන් ඒවා වැඩිපුර භාවිතා කරන ගොවීන්ගෙන් කිසිදු මුදලක් අය නොකර සමස්ත ජනතාව පිටම ඒ බර පටවනවා. මේ ආයතන නඩත්තු කරන්නෙ අපෙන් 18% වැට් බදු, සෙස් බදු වගේ බදු අය කරලායි.

ගොවීන් නොවන අප වගේ පාරිභෝගිකයන් හැම වී කරලක්ම වෙනුවෙන් බදු ගෙවනවා. ඒ මදිවාට වෙළඳපොළේදී අපට ගුණාත්මක නිෂ්පාදනයක් මිල දී ගැනීමේ හැකියාවකුත් නැහැ. වස නාවපු, ගුණාත්මකභාවයෙන් අවම නිෂ්පාදන වැඩි මිලට මිලදී ගන්නටත් අපට සිදුවෙනවා.


රජය විසින් කළ යුතුව තිබෙන නියාමනය රජය හරියට කරන්නේ නැහැ. ඒ වුණත්, අපි රජය නඩත්තු කරනවා.
අපි රජයට බදු ගෙවලා, රජය විශාල ආයතන පද්ධතියක් නඩත්තු කරලා, දූෂණය කරලා, ඒ වෙනුවෙන් විශාල වැට් බද්දක් ගහලා ආහාර වෙළඳපොළට මැදිහත් වෙන එක සමාජවාදයද?


සමාජවාදය ඕක නෙමෙයි. මේ අතරමැදි සුවිසල් රජය තමයි අපේ ජීවිත සූරාකන, සෙසු අයටත් අපව සූරාකන්නට පහසුකම් සපයන ප්‍රධානම බලවේගය. රජය කුඩා විය යුතුයි. කාර්යක්ෂම විය යුතුයි. රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ මෙහෙයවීම හා නියාමනය. එය හරියට කරන රජයක් නිර්මාණය කරගත යුතුයි. රජයේ සේවා වෙනුවෙන් රජය බදු අය කළ යුතුයි. රජයෙන් ලබාගන්නා සේවා වෙනුවෙන් හැකි හැම කෙනෙකුම මිල ගෙවිය යුතුයි. ඒ බදු මුදල් නාස්ති නොකර, දූෂණයට ඉඩ නොදී නිවැරදිව පරිහරණය කළ යුතුයි.

සහනාධාර හැකි තරම් දුරට දිළිඳු, අසරණ හා අවදානමට පත් ජනයාට සීමා කළ යුතුයි. අවශ්‍ය නම්, ආහාර නිෂ්පාදනයට සහනාධාර ලබා දීමේ වරදක් නැහැ. හැබැයි, දීර්ඝ කාලීනව නෙමෙයි. එවැනි කර්මාන්තවලට පැවැත්මක් නැහැ.

සමාජවාදය කියන්නෙ මේ වර්තමාන රාජ්‍ය ධනවාදී විකෘතිය විධිමත් කිරීම නෙමෙයි. සමාජවාදය කියන්නෙ මේ ක්‍රමය විප්ලවීය ලෙස වෙනස් කිරීමයි.

Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය  praja.lk  හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගොවිතැනේ සමාජවාදය මොකක්ද? - (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader