The Leader News
BREAKING
Top Ad
Opinion

සජිත් අනුරට පැරදුනේ ඇයි?- (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

February 12, 2024 • 1:15 PM

සජිත් අනුරට පැරදුනේ ඇයි?- (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ මොහොත වන විට ප්‍රේමදාසට වඩා දිසානායක ජනප්‍රිය වී තිබේ.
  • දෙවන කාරණය නම් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස හිටියත් විපක්ෂයේ කාර්යභාරය නිසියාකාරව කිරීමට විපක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස අපොහොසත් වීමයි.
  • උදෙන්ම පැය ගණන් කාලය නාස්ති කරමින් අනුන්ට අවස්ථාවක් නොදෙමින් බහුබූත කතා කියමින් හාස්‍යජනක චණ්ඩි පාට් දමමින් විකාර ඉංග්‍රීසි වචන දොඩවමින් ජෝකර් කෙනෙකු මෙන් විපක්ෂනායක තනතුරම හැල්ලුවට ලක් කිරීමෙන් සිදු වූයේ නිල නොලත් විපක්ෂය බවට ආසන තුනක් ඇති ජවිපෙ නිරායාසයෙන් පත් වීමයි.
  • කොටින්ම දැන් මිනිස්සු සැබෑ විපක්ෂ නායක ලෙස දකින්නේ අනුර කුමාරය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ මොහොත වන විට ප්‍රේමදාසට වඩා දිසානායක ජනප්‍රිය වී තිබේ. ලූලා නැති වලට කණයා පණ්ඩිතයා මෙන් පොහොට්ටුව නැති වලේ මේ මොහොතේ දේශපාලන බලය පහසුවෙන් තමන් අතට ගැනීමට සජිත්ට තිබුණු හැකියාව ඔහු නැති කරගත්තේ කෙසේද?


එයට ප්‍රධාන හේතුව වූයේ සජිත් ප්‍රේමදාසගේ මෝඩ-අහංකාරකමයි. ගෝඨාභය ගෙදර යවා මෙරට ප්‍රධාන ප්‍රජාතාන්ත්‍රික බලවේගයක් නිහඬ කළ පසු සජිත් හිතුවේ ජනාධිපතිකම ඔහුට ස්වයංක්‍රීයව ලැබෙනවාය කියාය. පසුගිය කාලයේ සජිත් හැසිරුණේ මහ උද්දච්ච ස්වභාවයෙනි. හරියට තමන් දැනටමත් ජනාධිපති වාගේය. පාර්ලිමේන්තුවේ කතා කළේ එසේය. තමන්ගේම මන්ත්‍රීවරුන්ට කතා කළේ දෙකේ කොළයට දමාය. සජිත්ගේ පරාජයට මූලික හේතුව මෙම අධිමාන අධිතක්සේරු මෝඩ-අහංකාරකමයි.


දෙවන කාරණය නම් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස හිටියත් විපක්ෂයේ කාර්යභාරය නිසියාකාරව කිරීමට විපක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස අපොහොසත් වීමයි. උදෙන්ම පැය ගණන් කාලය නාස්ති කරමින් අනුන්ට අවස්ථාවක් නොදෙමින් බහුබූත කතා කියමින් හාස්‍යජනක චණ්ඩි පාට් දමමින් විකාර ඉංග්‍රීසි වචන දොඩවමින් ජෝකර් කෙනෙකු මෙන් විපක්ෂනායක තනතුරම හැල්ලුවට ලක් කිරීමෙන් සිදු වූයේ නිල නොලත් විපක්ෂය බවට ආසන තුනක් ඇති ජවිපෙ නිරායාසයෙන් පත් වීමයි. කොටින්ම දැන් මිනිස්සු සැබෑ විපක්ෂ නායක ලෙස දකින්නේ අනුර කුමාරය.

පසුගිය ජනාධිපතිවරණයේ සජිත්ට ලක්ෂ 55 ක් ලැබුණත්, 2020 මහ මැතිවරණයෙන් සජබට ලැබුණේ ඡන්ද ලක්ෂ 27 ක් පමණී. එනම් බාගෙට බාගයක් ඉන්නේ දෙමළ, මුස්ලිම්, සහ කතෝලික ඡන්ද ටික සහ පාවෙන ඡන්ද ටිකකි. මෙවර ජනාධිපතිවරණය තිබ්බොත් සජිත්ට දිනන්න ඡන්ද ලක්ෂ 70 ක් ගත යුතුය. අර ලක්ෂ 55 එහෙමම ඉන්නවා කියා උපකල්පනය කළත් ඉතුරු ලක්ෂ 15 ගන්නට සජිත් කර ඇත්තේ මොනවාද? කිසිවක් කර නැත. අඩුම තරමින් සංවිධානාත්මකව දිවයින පුරා රැස්වීම් මාලාවක්වත් කළේ නැත. කළේ අර පසුගියදා කොළඹට සෙනග ටිකක් ගෙන්වා පාගමන් විරෝධයක් කිරීමය. සෙනග දාහක්වත් නොපැමිණි එය අන්ත අසාර්ථක විය. මරික්කාර්ගේ මෝඩ කතා අහගෙන පැමිණි නූගත් පිරිස රනිල්ගේ පිස් වතුර නාගෙන ගෙදර ගියේය.


තමන් ගැන අධිතක්සේරුවෙන් හිතන්න ගත් තැනම තමන් පරාජයට පත් වේ. පොහොට්ටුවට වුණෙත් එයයි. 69 ලක්ෂයකින් ජනාධිපතිකම සහ 2/3ක ආණ්ඩු බලය ගැනීමෙන් සිදු වූයේ තමන් අජෙය්‍ය කියා සිතීමයි. නායක කාරකාදීන් පමණක් නොව රාජ්‍ය ආයතනවල තනතුරු ගත් නෝනා මහත්තුරු සහ සාමාන්‍ය පාක්ෂිකයා පවා හිතුවේ ඔවුන්ව හොල්ලනට බැරිය කියාය. එවිට යථාර්ථය නොපෙනේ. පොහොට්ටුව ඒ වේදනාකාරී පාඩම දැන් හොඳට උගෙන ඇත. දැන් ඔවුන් මුල සිට නැවත හැදෙමින් තිබේ. මේ වන විට දිවයින පුරා රැස්වීම් වට තුනක් පවත්වා තිබේ. පාක්ෂිකයන්ගේ ප්‍රශ්නවලට අවංකව සවන් දෙමින් ඒවාට විසඳුම් දෙමින් සිටී. දීර්ඝකාලීන සැලසුමක් මත ක්‍රියාත්මක වෙමින් සිටී.


නමුත් සජිත් තවමත් පරණ තැනමය. යථාර්ථය නම් ඔහු හිටිය තැනින් තවත් පහතට වැටී තිබීමයි. දෙමළ මුස්ලිම් ඡන්ද දැන් වැට උඩය. ඒ ඡන්ද අනුර කුමාරට දිනා ගැනීමට නොහැකි හේතුවක් නැත. ඉන්දියානු ව්‍යප්තවාදයට එරෙහිව සටන් කර මියගිය තම සහෝදරයන්ගේ මළමිනී මතින් පැන ඉන්දියාවට ගොස් ඉන්දියානු ධනපතියන්ගේ බටර් ගාගෙන ඔවුන් ඉදිරියේ නටන වඳුරෙකු මෙන් බයිසිකල් පැද පෙන්වීමට පවා අනුරට හැකි නම්, මෙරට දෙමළ මුස්ලිම් ඡන්ද ටික වෙනුවෙන් තම දෙඅස්ථි හෝ පාවා දීම ඔවුන්ට මහ කජ්ජක් නොවේ.

මෙහි ලස්සනම දෙය නම් දැන් දෙමළ මුස්ලිම් ජාතිවාදීන්ට සතුරෙකු නොමැති වීමයි. මෙතුවක් කල් ඔවුන්ගේ ජීවමාන සතුරා වූයේ රාජපක්ෂලාය. රාජපක්ෂලා නොඉල්ලන වරණයක ඔවුන්ට නිශ්චිත සතුරෙකු නැත. එබැවින් ඔවුන්ට සජිත් හෝ අනුර හෝ කියා වෙනසක් නැත. සැබැවින්ම අනුර සහ සජිත් අතරින් දෙමළ මුස්ලිම් ජාතිවාදීන් වඩාත් සහාය දිය හැක්කේ අනුරටය. මන්ද සජිත් යම් තරමකට හෝ සිංහල බෞද්ධ වීම නිසාත්, අනුර මුළුමනින්ම සිංහල බෞද්ධ විරෝධී වීම නිසාත්ය. මා හිතන්නේ මේ ආකාරයට මහපොළොවේ දේශපාලනය කියවා ගැනීමට හැකි මිනිසුන් සජිත්ට නැති බවයි. සජිත් හැසිරෙන්නේ තමන් සියල්ල දත් ආකාරයෙනි. මේ තත්ත්වය වෙනස් කරගැනීමට සජිත්ට තවමත් කාලය තිබේ. නමුත් ඒ සඳහා ඔහුට තිබිය යුතු උසස් අධ්‍යාපනය සහ පරිණතභාවය තිබේද යන්න සැක සහිතය. දිස් ඉස් පොලිටික්ස්.

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 පෙබරවාරි 11

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජිත් අනුරට පැරදුනේ ඇයි?- (එරන්ද ගිනිගේ) | The Leader