The Leader News
BREAKING
Top Ad
Opinion

විමල් නැසූ අනුර - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

February 13, 2024 • 3:44 PM

විමල් නැසූ අනුර - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විමල් අද දේශපාලන අනාථයෙකි.
  • නමුත් සියලු අභියෝග හමුවේ දත කාගෙන සිය පක්ෂයේ රැඳී සිටි අනුර කුමාර ජවිපෙ නායකයා වූවා පමණක් නොව රටේ ඊළඟ ජනාධිපතිවරයා බවටත් පත්වීමට නියමිත බව සියලු සමීක්ෂණ වාර්තා පෙන්නුම් කරයි.
  • ඒවායේ ඇත්ත නැත්ත කුමක් වුවත් මෙයින් අපට ඉතා වැදගත් දේශපාලන පාඩමක් උගත හැකිය.
  • ඒ බව දත් නෙත්ති හොර රහසේ රටින් පැන යෑමට සියල්ල සූදානම් කර තිබියදී ගෙදර උන්දෑ විසින්ම පක්ෂයට අහු කර දුන් කතාවේ ඇත්ත නැත්ත මා දන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

විමල් අද දේශපාලන අනාථයෙකි. නමුත් සියලු අභියෝග හමුවේ දත කාගෙන සිය පක්ෂයේ රැඳී සිටි අනුර කුමාර ජවිපෙ නායකයා වූවා පමණක් නොව රටේ ඊළඟ ජනාධිපතිවරයා බවටත් පත්වීමට නියමිත බව සියලු සමීක්ෂණ වාර්තා පෙන්නුම් කරයි. ඒවායේ ඇත්ත නැත්ත කුමක් වුවත් මෙයින් අපට ඉතා වැදගත් දේශපාලන පාඩමක් උගත හැකිය.

"අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී" යනුවෙන් සිංහල පැරැන්නන් කීවේ එයයි. විමල් වීරවංච සිය මතවාදී පක්ෂයට ද්‍රෝහී විය. ඔහු අවංකවම රට වෙනුවෙන් එසේ ජවිපෙට ද්‍රෝහී වුණාද, නැත්නම් තම පුද්ගලික බල අරමුණු වෙනුවෙන් ජවිපෙට ද්‍රෝහී වුණාද, ඒ දෙකේම සම්මිශ්‍රණයක්ද යන හේතු කාරණා කෙසේ වුවත් ප්‍රායෝගිකව වැදගත් වන්නේ ඔහු සිය පක්ෂයට ද්‍රෝහී වූවා යන්නයි. සක්‍රීය දේශපාලනය කරන හෝ කිරීමට බලාපොරොත්තු වෙන හෝ කිසිවෙකු එසේ නොකළ යුතුය. තමන් තෝරාගන්නා දේශපාලන පක්ෂය තුළ කෙසේ හෝ රැඳී සිටිය යුතුමය. දේශපාලනය යනු මැරතන් එකක් මිස මීටර සියය දිවීමක් නොවේ.


ජවිපෙට ද්‍රෝහී වුණු බොහෝ අයට දරුණු විපාක විඳීමට සිදු වේ. ජවිපෙට බැඳුනු පසු ඉන් ඉවත් වීම පහසු නැත. හරියට මුස්ලිම් ආගමිකයෙකු ඉන් ඉවත් වුවහොත් මරණයට ලක් කළ හැකිවාක් මෙන් ජවිපෙන් ඉවත් වෙන්න ගිය අයගේ ගෙදරටම පැමිණ ගුටිබැට දී හතර හන්දි කඩා දමයි. ඒ බව දත් නෙත්ති හොර රහසේ රටින් පැන යෑමට සියල්ල සූදානම් කර තිබියදී ගෙදර උන්දෑ විසින්ම පක්ෂයට අහු කර දුන් කතාවේ ඇත්ත නැත්ත මා දන්නේ නැත. මා දන්නා තරමට ජවිපෙ සාහසික පළිගැනීම්වලින් බේරීමට හැකි වුණේ නන්දනට සහ විමල්ට පමණී. අදටත් විමල් ගැන කතා කරන විට අනුරගේ සහ ඔහුගේ සහචරයන්ගේ ඇස් කෙවෙණි තුළ වෛරයේ ගිනි පුලිඟුව නළියනු ඔබ දැක නොතිබේද! නිමල දෙව්ශ්‍රී පවා ජවිපෙන් මිදීමට බිය වන්නේ මේ නිසාය. මෙකල රැල්ලට ජවිපෙට බැඳෙන ඇතැමුන් ඉදිරි කාලයේ සිදුවීමට නියමිත ඛේදවාචකය හමුවේ ජවිපෙන් ඉවත් වීමට පොරකන විට ඔවුන්ට අනිවාර්යෙන් ලැබෙන යස දඬුවම් ඔබට ළඟදීම දැකගත හැකිවනු ඇත.

අඩුම තරමින් එසේ පක්ෂය මාරු කරන්නට හැක්කේ දේශපාලකයෙකුගේ ජීවිතයේ එකම එක තීරණාත්මක අවස්ථාවක පමණී. නමුත් එය පුරුද්දට ගියහොත් අවසානයේ වෙන්නේ විමල් වීරවංස හෝ චම්පක රණවකට හෝ වූ දෙයයි. ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය පිළිබඳව ජනතාවට දැන් අබමල් රේණුවක විශ්වාසයක් නැත. කිසිවෙකුත් ඔවුන්ගේ දේශපාලන මතවාදය පිළිගන්නේ නැත. ඒ අතින් අනුර කුමාර විමල්ට වඩා දේශපාලනිකව පරිණතය. අනුර කුමාර කෙසේ හෝ සිය පක්ෂයේ ගැසූ පය නොසොල්වා සිටියේය. එසේ සිටීම නිසා ඔහුට පක්ෂයේ නායකත්වය පවා ලබාගත හැකි විය. අද ජවිපෙ කැරකෙන්නේ අනුර කුමාර වටේය. පක්ෂයක් තබා පඩික්කමක්වත් නැති විමල් අනුරගේ ඉන්දීය සංචාරය ගැන හූල්ලමින් කතා කරන තැනට අසරණ වී තිබේ.


මෙහි විමල්ට වඩා අනුර දක්ෂ වෙන තවත් කාරණයක් තිබේ. එනම් කාලයක් තිස්සේ ඉවසීමෙන් ක්‍රියා කරමින් තමන්ගේ පක්ෂය තමන්ට ඕනෑ ආකාරයට හැඩගස්වා ගැනීමේ හැකියාවයි. විමල්ට එහෙම ඉවසීමක් නැත. දිගුකාලීන සැලැස්මක් නැත. ඉතාම සුළු දෙයට පවා විමල් කිපී කලබල වේ. ස්වෝත්තමවාදයෙන් මඩනා ලදුව අවට සියල්ලන්ටම තග දමා පිටව ගොස් වෙරි වෙන්න බොයි. එය කිසිසේත්ම දේශපාලන නායකත්ව ලක්ෂණයක් නොවේ. නායකයා කළ යුත්තේ තමන්ගේ කණ්ඩායම උපක්‍රමිකව තමන්ගේ අරමුණට නම්මවා ගැනීමයි. අද වනවිට ජවිපෙ සිය යථා රූපය වසාගෙන අතිශය ජනප්‍රියවාදී වෙස්මුහුණක් නිර්මාණය කරගෙන දිනෙන් දින වැඩෙන දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එය අනුරගේ දේශපාලන දක්ෂකමයි. විමල්ගේ හෙලිකොප්ටරය “ඩලස්” ගා බිමට පතිත වී තටු ගැලවී හතර අතේ විසිරී ගොස්ය. හරිම අනුකම්පා සහගතයි නේද...


ඊනියා අරගලය මුලින්ම නිර්මාණය කළේ විමල්ලාය. කපටි චීනගේ දිරච්ච ලණු කා එදා විමල් කරගත්තේ මෝඩකමකි. තම නායකයා සහ තම කණ්ඩායම මුහුණ දෙන අමාරුම මොහොතේ ඔහු පොහොට්ටුවට ද්‍රෝහී විය. හරියට එදා ජවිපෙට ද්‍රෝහී වූවාක් මෙනි. එයින් අපට තේරුම් ගත හැක්කේ අනාගතයේ පවා දරුණු අභියෝගයක් පැමිණි විට ඔහු වහාම තම කණ්ඩායමට ද්‍රෝහී වන බවයි. ජනප්‍රිය වයිකින්ග්ස් කතා මාලාවේ එක් අවස්ථාවක “Once a betrayer, always a betrayer” යනුවෙන් පවසයි. ඒ කියන්නේ විමල් වැනි අය ගැනයි. එක වරක් සිය පක්ෂයට ද්‍රෝහී වූ එකාට නැවතත් එසේ කිරීම කජ්ජකි.

නමුත් අනුර එසේ නොකරන බවට ජවිපෙ විශ්වාස කරයි. එබැවින් දේශපාලනය කිරීමේදී ද්‍රෝහීන් ගැන ඉතාම විමසිල්ලෙන් සිටිය යුතුය. තම මතවාදයට, තම කඳවුරට, තම පක්ෂයට, තම කණ්ඩායමට, තම නායකයාට වරක් හෝ ද්‍රෝහී වී සතුරාට එකතු වූ කෙනා ගැන කිසිවෙකු ඇත්තටම විශ්වාස කරන්නේ නැත. දිස් ඉස් පොලිටික්ස්.

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 පෙබරවාරි 13

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...