The Leader News
BREAKING
Top Ad
Opinion

ඈත මෑත - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

February 18, 2024 • 7:53 AM

ඈත මෑත - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒවාට 'එබ්‍රෝඩ්' කියා ඒ කාලේ කියන්නට අප අදි මදි කළා මතක ය.
  • අවසානයේ දී මා නියම 'ඇබ්රෝඩ්' එකකට යනවා යන ජයග්‍රාහී හැඟීමක් අවුරුදු විස්සක් විසි එකක් වගේ තරුණ මට එකල ඇති විය. එහෙත් ඒ කාලයේ ඕස්ට්‍රේලියාවට වීසාවක් ගැනීම ඉතා උගහට විය.
  • සිඩ්නි බලා මා ගමන් කළ ගුවන් යානයේ ප්‍රකට ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය හා මහා භාණ්ඩාගාරයේ නිලධරයෙකු ද ඕස්ට්‍රේලියානු රජයේ ශිෂ්‍යත්වයක් ලැබ පශ්චාත් උපාධි පාඨමාලාවක් සඳහා කැන්බරාවට ගිය බව ද මතක ය.
  • එතෙක් සිටි ලාංකීය සංක්‍රමණික පිරිස වූයේ, අඩු වැඩි වශයෙන්, පනස් හා හැට ගණන්වල පැමිණි බර්ගර් ප්‍රජාව, වෛද්‍ය හා ඉංජිනේරු වැනි ඉහල වෘත්තීය කුසලතා ඇති හා 1983 ජනවාර්ගික කෝලහාල නිසා පැමිණි අය ය. 1997-89 භීෂණ සමයෙන් අනතුරු ව මේ තත්ත්වය වෙනස් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒවාට 'එබ්‍රෝඩ්' කියා ඒ කාලේ කියන්නට අප අදි මදි කළා මතක ය. මේ තත්ත්වය වෙනස් කළේ මට ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරට යන්නට ඉඩ ප්‍රස්ථාවක් ලැබුණ විට ය. අවසානයේ දී මා නියම 'ඇබ්රෝඩ්' එකකට යනවා යන ජයග්‍රාහී හැඟීමක් අවුරුදු විස්සක් විසි එකක් වගේ තරුණ මට එකල ඇති විය. 


1655788169 lanka australia
එහෙත් ඒ කාලයේ ඕස්ට්‍රේලියාවට වීසාවක් ගැනීම ඉතා උගහට විය. දැන් ධම්මික පෙරේරා මහතාගේ නිවසේ පිහිටි පරණ බිල්ඩිමේ ය එකල ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පිහිටා තිබුණේ. දැන් පාස්පෝට් එක වගේ දෙකක් පමණ විශාල කළු පාස්පෝට් පොතත් රැගෙන, අත් අකුරින් පුරවාගත් අයදුම් පත ද රැගෙන වීසා පරීක්ෂණයට ගියේ වෙව්ළමිණි. ඊට හේතුව වූයේ නපුරු යැයි කුප්‍රකට වීසා නිලධාරිනියක් එකල සිටි නිසා ය. කෙසේ හෝ මාගේ කළු පාස්පෝට් එකට රෝසපාට ඕස්ට්‍රේලියානු වීසා ඉස්ටිකරය ඇළවිණි.

 

සිඩ්නි බලා මා ගමන් කළ ගුවන් යානයේ ප්‍රකට ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය හා මහා භාණ්ඩාගාරයේ නිලධරයෙකු ද ඕස්ට්‍රේලියානු රජයේ ශිෂ්‍යත්වයක් ලැබ පශ්චාත් උපාධි පාඨමාලාවක් සඳහා කැන්බරාවට ගිය බව ද මතක ය. මා අනුයුක්ත වූ අධ්‍යන වැඩසටහන පැවතියේ ද රාහුබද්ධ මහත්මිය උගෙන ගැනීමට නියමිත කැන්බරාවේ පිහිටි ඔස්ට්‍රේලියානු ජාතික යුනිවසිටියේ ය.

 

katunayake 1024x580

අනූව දශකයේ ආරම්භය ඕස්ට්‍රේලියාවේ ලාංකීය සංක්‍රමණ ඩිමොග්‍රැෆිකයේ පරිවර්තනය සිදුවන්නට පටන් ගත කාලය යි. එතෙක් සිටි ලාංකීය සංක්‍රමණික පිරිස වූයේ, අඩු වැඩි වශයෙන්, පනස් හා හැට ගණන්වල පැමිණි බර්ගර් ප්‍රජාව, වෛද්‍ය හා ඉංජිනේරු වැනි ඉහල වෘත්තීය කුසලතා ඇති හා 1983 ජනවාර්ගික කෝලහාල නිසා පැමිණි අය ය. 1997-89 භීෂණ සමයෙන් අනතුරු ව මේ තත්ත්වය වෙනස් විය. උසස් අධ්‍යාපනය සඳහා වැඩි වැඩි වැඩියෙන් ලාංකික සිසු පිරිස් සංක්‍රමණය වූ හ. යම් පමණක පිරිසක් එවකට සිටිය ද ජර්මන් තාක්ෂණික ආයතනයෙන් (CGTTI) පුහුණුව ලද්දෝ ද විශාල ප්‍රමාණයක් රැකියා සඳහා සංක්‍රමණය වූ හ.

මගේ මේ පරණ මතක ඇවිස්සුණේ පසුගිය සතියේ මා ලියූ කොලම, එනම් 'මෙල්බර්න ගිම්හාන ආනයන' අරඹයා මා ලද උණුසුම් ප්‍රතිචාර නිසාවෙනි. ඒ ප්‍රතිචාර අතර වැදගත් විවේචන, ඌනපූරණ හා මා විසින් කරන ලද යම් යම් කරුණු ම ය හා තාක්ෂණික පද වැරදි නිවැරදි කිරීම් ද ඇතුලත් විය. මේ උණුසුම් ප්‍රතිචාර ගොන්න මට යෝජනා කළේ ඩයස්පෝර සාධකය හුදු බාහිර හා දුර පිහිටි සාධකයක් ලෙස හඳුනා ගැනීම ගැන අප කිහිප වරක් සිටිය යුතු බව ය.

 

ba049webබෙනඩික්ට් ඇන්ඩර්සන්
ඩයස්පෝර ප්‍රජාව තම සම්භවය ඇති දේශ සීමාවෙන් පරිබාහිර හා දුර පිහිටි ප්‍රපංචයක් ලෙස හඳුනාගෙන ඔවුන්ගේ සිතුම් පැතුම් හා මව් රට සමග ඇති සම්බන්ධය ගැන ශාස්ත්‍රීය පර්යේෂණ හා ලියැවිලි කළ ප්‍රමුඛයෙක් වූයේ බෙනඩික්ට් ඇන්ඩර්සන් ය. ඔහුගේ සම්භවය හා ජාතිකත්වය ද විචිත්‍ර හා සංකීර්ණ ඩයස්‌පෝර ලක්ෂණ විදහා පායි. ඇන්ඩර්සන්ගේ මුතුන් මිත්තෝ මුලින් ස්කොට්ලන්තයේ විසූ අතර, පසු කාලයේ දී ඔවුහු අයර්ලන්තයේ පදිංචිකරුවෝ වූ හ. එහෙත් ඔහු 1936 දී උපත ලබන්නේ චීනයේ ය. ඒ ඔහුගේ පියා එකල චීනයේ රැකියාවක නියුතු වූ නිසා ය. 1941 හට ගත් ජපන්-චීන යුධ තත්ත්වය නිසා, ඇන්ඩර්සන් ඇතුළු පවුල, ඇමරිකාවේ කැලිෆෝනියාවට සංක්‍රමණය වූ හ. ඉන් අනතුරුව 1945 දී ඔවුහු අයර්ලන්තයට පෙරලා පැමිණිය හ. එංගලන්තයේ පිහිටි ප්‍රභූවරුන්ගේ පාසලක වූ ඊටන් කොලීජියට ද ඉන් අනතුරු ව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ද ඇන්ඩර්සන් අධ්‍යයන කටයුතු සඳහා ඇතුලත්  විය. තමන්ගේ ආචාර්ය උපාධි අධ්‍යයනය සඳහා ඇන්ඩර්සන් නැවත සංක්‍රමණය වන්නේ ඇමරිකාවේ කෝනල් විශ්ව විද්‍යාලයට ය. ඉන් අනතුරු ව ඔහුගේ ශාස්ත්‍රීය වෘත්තීය කටයුතු කරනු ලබන්නේ එම විශ්ව විද්‍යාලය පදනම් කරගෙන ය. එහෙත් ඔහුගේ ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කරනු ලැබුවේ නැගෙනහිර ආසියානු රටවල ය. ඒ අතර ඉන්දුනීසියාව ඇන්ඩර්සනගේ ප්‍රමුඛ ක්ෂේත්‍ර කේන්ද්‍රයක් විය. 2015 දී ඇන්ඩර්සන් විශ්‍රාමික ව ගත කරන කාලයේ දී, මිය ගියේත් ඉන්දුනීසියාවේ ම ය. ඒ වන විට ඔහුට ඉන්දුනීසියානු සම්භවය ඇති හදාගත් දරුවන් දෙදෙනෙකු විය.

 

AW51912 1200x550

ඇන්ඩර්සන්, නූතන ව්‍යවහාරයේ ජාතිය (Nation) හා ජාතිකත්වය (Nationalism) හඳුනාගත්තේ 'පරිකල්පිත දේශපාලන ප්‍රජාවක්' ලෙස  ය. මේ අදහස් වඩාත් ගැඹුරින් ඉදිරිපත් කරන ලද්දේ විසින් 1983 දී රචිත පරිකල්පිත ප්‍රජාවන් හෙවත් ඉමැජින්ඩ් කමියුනිටීස් ශාස්ත්‍රීය ග්‍රන්ථයේ ය. තමන් ඉදිරිපත් කළ ජාතිකත්වය පිළිබඳ අදහසට ඇන්ඩර්සන්, ඩයස්පෝර ජාතිකත්වය යන අදහස ද ගෙන ඒමෙන් ඔහු එකල කළා යැයි ශාස්ත්‍රීය ලෝකයේ පිළිගැනෙන්නේ නවමු අදහසක් ලෙස ය. ඔහු ඊට භාවිතා කළ යෙදුම වූයේ 'දුර සිට (කෙරෙන) ජාතිකත්වය' හෙවත් long distance nationalism ය.

ලොව පුරා විසිර ඇති අයිරිෂ් ජාතිකයන්, යුදෙව්වන්, ලෙබනන් හා අර්මේනියන් ජාතිකයන් මුල් කාලීන ඩයස්පෝර ප්‍රජාවන් ලෙස ඇන්ඩර්සන හඳුනා ගනී. තමන්ගේ මුතුන් මිත්තන්ගේ සම්භවය ඇති දේශසීමාවෙන් බැහැර ව වෙසෙන අතර ඒ දේශසීමාවට අදාළ ජාතිකත්වය ගැන තමනට ඇති අනන්‍යතාව, හැඟීම හා බැඳීම ඇන්ඩර්සන් වටහා ගනු ලැබුවේ මායා මය, භූත ම ය හෝ අවතාරාත්මක මූලාධාරයක් ලෙස (phantom bedrock).

නිජබිම වෙත කවදා හෝ යා යුතු යයි යන අදහස ද මෙහි දී ඩයස්පෝරුන් ඉලක්කයක් හා සිහිනයක් ලෙස පරිකල්පනය කරන නමුදු, හැම විටම එය යථාර්ථයක් නොවන්නේ ඔවුන් දැනට ඩයස්පෝර ගත වී ඇති නව රටට ඇති ඇබ්බැහිය ඒවායේ ඇති සාපේක්ෂ සශ්‍රීක ජීවන රටාව නිසා ය. ඒ නිසා දුර සිට ජාතිකත්වය නඩත්තු කිරීම වඩා වාසිදායක මාදිලියක් වේ.  

මෙල්බ'න ගිම්හාන ආනයන - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

 

ඇන්ඩර්සන් මීට දශක තුනකට පමණ පෙර ඉදිරිපත් කළ, 'දුර-සිට' සාධකය මේ වන විට, විශාල පරිවර්තනයකට ලක් ව ඇත්තේ විවිධාකාර හේතු නිසා ය. සන්නිවේදනයේ පහසුව හා මිල අධික නොවීම ඒ අතර ප්‍රධාන වේ. රූපයත් ශබ්දයත් සමඟ කෙරෙන සන්නිවේදනය දැන් සාමාන්‍ය දෙයකි. අන්තර්ජාලය නිසා මෙරට-එරට කියා පුවත් එසැණින් දැනගැනීමේ වෙනසක් නැත. රටකින් තවත් රටකට ගමන් කිරීම ද සාපේක්ෂ ව තව දුරටත් මිල අධික දෙයක් නොවේ. ම'විසින් රචිත ගිය සතියේ කොලමේ මේ පිළිබඳ ව ප්‍රවනතා ගැන උදාහරණ කීපයක් ගෙනහැර දැක්විණි. ඒ අනුව, ඩයස්පෝරුනට නෙක්ටෝ - සන්ලයිට් පමණක් නොව, විවිධාකාරයේ දේශපාලන එවැන්ජලිස්තවරුන් හා ගැලවුම්කරුවන් ද කලාකරුවන් ද විචාරකයින් ද ඩයස්‌පෝර පිළිකන්නට කැන්දා ගැනීම තව දුරටත් අපහසු දෙයක් නොවේ. බෙනඩික්ට් ඇන්ඩර්සන් මීට වසර දෙක තුනකට පෙර මිය පරලොව ගිය හෙයින් ඔහුගේ අනුප්‍රාප්තික පර්යේෂකයන්ට මෙය මහඟු ක්ෂේත්‍ර අධ්‍යයනයක් වනු නොඅනුමාන ය.

සබැඳි ලිපිය :
මෙල්බ'න ගිම්හාන ආනයන - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

බාබර බැරෝමීටර - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...