The Leader News
BREAKING
Top Ad
Opinion

චම්පකද පොර? අනුරද පොර? -(එරන්ද ගිනිගේ)

T

The Leader Desk

February 18, 2024 • 3:17 PM

චම්පකද පොර? අනුරද පොර? -(එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක ප්‍රතිරූපයක් තමයි ඔහු ඉතාම දරුණු අනුකම්පා විරහිත ඒකාධිපතියෙක් ය යන ප්‍රතිරූපය.
  • හලාල් ප්‍රශ්නය ඇදලා අරගෙන අද පවතින සිංහල-මුස්ලිම් අර්බුදය ඇති කරන්න මුල් වුණේ ඔහු.
  • මොකද 2019 ගෝඨාභය ජනාධිපති වෙන්නේ සුළු ජාතික ඡන්ද නැතුව, තනි සිංහල බෞද්ධ නායකයෙක් විදිහට.
  • ඇතැම්විට ඔහු දිගටම අර ජාති(ක)වාදී brand එකම පවත්වා ගත්තා නම් 2019 ජනාධිපතිකමට ඔහුව තෝරාගන්නත් තිබුණා… චම්පක තමන්ගේ හෙළ උරුමය පාවා දීලා සජිත්ගේ පක්ෂයට එකතු වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

එක ප්‍රතිරූපයක් තමයි ඔහු ඉතාම දරුණු අනුකම්පා විරහිත ඒකාධිපතියෙක් ය යන ප්‍රතිරූපය. නමුත් සැබෑවටම ඔහු ඉතාම කරුණාවන්ත මානව හිතවාදී ප්‍රජාතාන්ත්‍රික මනුස්සයෙක් කියලා පස්සේ ඔප්පු වුණා. ඒ කියන්නේ අනෙකා ගැන ඔබ හිතාගෙන ඉන්න විදිහත්, ඔවුන්ගේ සැබෑ ස්වභාවයත් බොහෝ විට එකිනෙකින් වෙනස්.

 

දිලිත් ජයවීර කියනවා වගේ මේ ලෝකය දුවන්නේ branding මත. Brand එකක් කියන්නෙම බොරු ප්‍රතිරූපයක්. චම්පක කියන්නේ ලංකාවේ දේශපාලන brand වලින් තියෙන බොරු හිලක්.


නිර්මාල් දේවසිරිගේ ඉඳලා මාතලන් දක්වා බොහෝ අය මේ දොහේ චම්පක ගැන හෙන වර්ණනාව. උත්සවයක් තියලා රට හදන හැටි ගැන ලෝක පම්පෝරි කතා ගැහුවම මාතලන් වගේ අය විතරක් නෙවෙයි, නිර්මාල් වගේ අයත් ෆෝර්ම් කරන්න පුළුවන්. හරියට දීප්ති කුමාර ITN එකේ පත්තර කියවන ගමන් රට හදන හැටි ගැන පශ්චාත්භාගවාදී මනෝපාරවිශ්ලේෂණ කරන කොට ඒවා බලාගෙන ඉන්න අය ෆෝර්ම් වෙනවා වගේ. ඒක හරියට නලින් ද සිල්වා එයාගේ එංගලන්තේ හීනමාන අතීතය බටහිර ආධිපත්‍යය තොටිල්ලේ, ඇමරිකාවේ, ඉඳන් “කළු හිල්” ගැන ලියන කොට ඒවා කියවන අය ෆෝර්ම් වෙනවා වගේ. ඒක මිනිස් ස්වභාවයක්. ඒක අර branding එකේ භාවිතා කරන එක ක්‍රමයක්. නමුත් අපි අහන්න ඕනා ඔය කියන තරම් චම්පක පොරක්ද? කියලා.


සමහරු කියනවා චම්පක කාලයත් සමග වෙනස් වුණා සහ ඒක හොඳ දෙයක් කියලා. නමුත් ඒක ඇත්තද? චම්පක කොහොමද වෙනස් වුණේ? මට මතක මුල් කාලේ චම්පක තමන්ව brand කරගත්තේ පට්ට සිංහල බෞද්ධ ජාති(ක)වාදියෙක් විදිහට. සෝම හාමුදුරුවන්ගේ මරණය මතින් පාර්ලිමේන්තු ආව ඕමල්පේ සෝබිතගේ පුටුවට පැන ගත්ත චම්පක ඒ කාලේ දැඩි මුස්ලිම් විරෝධි අන්තවාදියෙක්. හලාල් ප්‍රශ්නය ඇදලා අරගෙන අද පවතින සිංහල-මුස්ලිම් අර්බුදය ඇති කරන්න මුල් වුණේ ඔහු. මාතලන් කියන හැටියට දැන් “එයා ඒම නෑ”... ඒකද ඔය කියන වෙනස් වීම?

 

ඇයි එහෙම වෙනස් වුණේ? එහෙම වෙනස් වුණේ එයා හිතුවා සුළු ජාතික ඡන්ද නැතුව කාටවත් රටේ ජනාධිපති වෙන්න බැහැ කියලා. එතකොට එයාගේ ඒ වෙනස්වීම නිවැරදිද? නැහැනේ. මොකද 2019 ගෝඨාභය ජනාධිපති වෙන්නේ සුළු ජාතික ඡන්ද නැතුව, තනි සිංහල බෞද්ධ නායකයෙක් විදිහට. එක්තරා විදිහකට ගෝඨාභය ජනාධිපති වෙන්නේ චම්පක එදා හැදුව අර්බුදය ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ චම්පකගේ වෙනස්වීම වැරදියි. ඇතැම්විට ඔහු දිගටම අර ජාති(ක)වාදී brand එකම පවත්වා ගත්තා නම් 2019 ජනාධිපතිකමට ඔහුව තෝරාගන්නත් තිබුණා…

චම්පක තමන්ගේ හෙළ උරුමය පාවා දීලා සජිත්ගේ පක්ෂයට එකතු වුණා. අන්තිමට ඒකත් නැහැ - මේකත් නැහැ. දැන් අර 1972 මැතිනිය හදපු, 2018 මවිසින් උස්සපු “ජනරජ” brand එක කොපි කරලා චූටි පක්ෂයක් හදාගෙන ඉන්නවා. ඒ වගේ කලබලකාරී තීරණ ගන්නේ දේශපාලන දැනුම ගොඩාක් වැඩි නිසා වෙන්න ඇති… ඒ වගේ මෝඩ තීරණ ගන්නේ දේශපාලන අත්දැකීම් බහුල නිසා වෙන්න ඇති… තමන් කරගත්ත මෝඩකම් වලට “කාලානුරූපී වෙනස්වීම” කියලා brand කරගන්න එක නම් හැබැයි ඇත්තටම දක්ෂකමක්.


චම්පක කියන්නේ ලංකාවේ වසර 12 ක් එක දිගට ඇමතිකම් කරපු කෙනෙක්. වසර 15 ක් එක දිගට පාර්ලිමේන්තුවේ හිටිය කෙනෙක්. හැබැයි කතාව නම් කවදාවත් රටේ පාලනයට සම්බන්ධ නොවුණු නව යොවුන් සමනල් පැටියෙක් වගේ. ඒ කාලය ඇතුළත එයා මොනවාද මේ රටට කරලා තියෙන වැදගත් සේවාව? මොන ලබු ගෙඩියක්වත් නැහැනේ. අර දියවන්නාවේ සීමාමාලකයක් “වගේ” එකක් හැදුවා… ඒකත් පැත්තක් ගිලා බැස්සා… දැන් ඒ ලස්සන පරිසරය අවලස්සන කරන පාන් බේකරියක් නම් තියෙනවා එතන… ඒත් චම්පක හෙන පොරක් කියලා මාතලන් වගේ මිනිස්සු විශ්වාස කරනවා. අනුර කුමාර පොරක් කියලා ජේවීපීකාරයන් විශ්වාස කිරීමට එය වෙනස් වෙන්නේ නැහැ.


එහෙම බැලුවම අනුර කුමාර චම්පකට වඩා පොරක් වෙන්න ඕනා. මොකද අනුරත් ඔය කියන විදිහට “කාලානුරූපීව වෙනස්” වෙලානේ. කොම්රෙඩ්ලා ජීවිත පූජා කළ ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් බැහැර වෙලා අධිරාජ්‍යවාදී ටයි කෝට් ඇඳලා ඉන්දියාවේ බටර් අතින් අරන් ගාගන්නේ කිසිම හිරිකිතයක් නැතුව! වෙනස කියන්නේ චම්පක වෙනස් වෙන්නේ තනියම. අනුර තමන්වත් වෙනස් කරගෙන තමන්ගේ පක්ෂයත් වෙනස් කරගෙන. එතකොට ඔය කියන “වෙනස් වීමේ” තියරියෙන් චම්පකට වඩා අනුර ජනාධිපතිකමට සුදුසුයි.


අනික එහෙම බැලුවම අනුර කුමාර ලංකාවේ බිලියන ගානක වත්කම් සහිත ධනවත්ම පක්ෂය හදලා තියෙනවා. චම්පක හදපු පක්ෂයේ බෝඩ් එකේ ඇණයක්වත් අද නැහැ. එතකොට මේ දෙන්නගෙන් කවුද පොර? මේ සියල්ලෙන්ම ඔප්පු වෙන්නේ අපේ රටේ ජනතාවට සත්‍යය මත පදනම්ව තීරණ ගන්න බැරි බවයි. ඒක අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම හැටි. ගෝඨාභයට වැරදුණේ එතනයි. ඔහු දිගටම අර ඔහු කෙරෙහි අනුන් විසින් නිර්මාණය කර තිබුණු ප්‍රතිරූපය පවත්වා ගත්තා නම් එක පඟර රැට්ටෙක් අරගල කරන්න එන්නේ නැහැ. ඕනෑවට වැඩිය සත්‍යවාදී වෙලා දේශපාලනය කරන්න බැහැ. දිස් ඉස් පොලිටික්ස්.



eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...