The Leader News
BREAKING
Top Ad
Opinion

සරල රේඛාව සහ නලින් ද සිල්වාගේ මෝල් ගහ - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

February 24, 2024 • 7:40 AM

සරල රේඛාව සහ නලින් ද සිල්වාගේ මෝල් ගහ - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංයුක්ත බොරු හිතෙන් මවා ගන්න පුළුවන්.
  • හීන් මෝල් ගස්වලට සරල රේඛා කියන අප මෝලුන් වීම පුදුමයක් නො වෙයි.” - නලින් ද සිල්වා නලින් සර්ගේ ප්‍රකාශයේ හරය තමයි “සරල රේඛාව” හිතින් මවා ගන්න බැරි නිසා එය වියුක්ත සංකල්පයක් බවත් ඒ නිසා ඒවා “පට්ටපල් බොරු” බවත් යන්න.
  • වියුක්ත අදහසට සමාන පදයක් ලෙස පට්ටපල් බොරුව භාවිතා කරනවා නම් එය හුදු නාමකරණ තේරීමකි (choice).
  • නමුත් නලින් එහෙම කරන්නේ හේතුවත් ඇතුවය.
අකුරු ප්‍රමාණය (Font Size):

සංයුක්ත බොරු හිතෙන් මවා ගන්න පුළුවන්. සමහර විට ඉන්ද්‍රිය ගෝචර වෙනවා. වියුක්ත බොරු නැත්නම් පට්ටපල් බොරු හිතෙන් මවා ගන්නත් බැහැ. මෝල් ගහ සංයුක්ත බොරුවක්. එය ඉන්ද්‍රිය ගෝචරයි. සරල රේඛා හිතෙන් මවා ගන්න බැහැ. සරල රේඛාවලට දිගක් මිස පළලක් ඝනකමක් නැහැ. අප පාසලේ සරල රේඛා කියා අඳින්නේ පොඩි හීන් මෝල් ගස්. සරල රේඛා අඳින්න පුළුවන් තුඩක් නැති පැන්සලකින් පමණයි. 306278479 473539954814542 7192589068266310234 nහීන් මෝල් ගස්වලට සරල රේඛා කියන අප මෝලුන් වීම පුදුමයක් නො වෙයි.” - නලින් ද සිල්වා 


නලින් සර්ගේ ප්‍රකාශයේ හරය තමයි “සරල රේඛාව” හිතින් මවා ගන්න බැරි නිසා එය වියුක්ත සංකල්පයක් බවත් ඒ නිසා ඒවා “පට්ටපල් බොරු” බවත් යන්න. වියුක්ත අදහසට සමාන පදයක් ලෙස පට්ටපල් බොරුව භාවිතා කරනවා නම් එය හුදු නාමකරණ තේරීමකි (choice). නමුත් නලින් එහෙම කරන්නේ හේතුවත් ඇතුවය. “බොරුව” යන්නට සිංහල කතා කරන සමාජයේ සම්මත අර්ථයක් තිබේ. නලින් සර් භාවිතා කරන තවත් වචනයක් වන්නේ “මායාව” යන්නයි. එබැවින් ඔහු අදහස් කරන අර්ථය ගැන සැකයක් නැත. සරල රේඛාව හිතින් මවා ගන්න බැහැ යැයි නලින් ද සිල්වා කියන්නේ ඇයි? 

 

maxresdefault


එයට හේතුව වන්නේ ඊනියා සරල රේඛාවට පළලක් (හෝ ගැඹුරක්) නැති වීමයි. එය ඒකමානය. (ද්විමාන - දිග සහ පළල; ත්‍රිමාන දිග, පළල සහ ගැඹුර). පැන්සලකින් ඉරක් ඇන්දම එහි පළලක් තියෙනවා. ඒ අඳින එකට “සරල රේඛාව” කියලා ප්‍රායෝගිකව කියනවා. නලින් සර් එයට “මෝල් ගහ” කියලා කියනවා. “මෝල් ගස්” පිළිබඳ සමාජ සම්මත අර්ථ තිබෙනවා. නලින් එහි එන බාල අර්ථය ආදේශ කරන්නේ සරදමට ගැරහුමට කියලා අප දන්නවා. ඒවා එච්චර වැදගත් ප්‍රශ්න නොවෙයි. නමුත් වැදගත් ප්‍රශ්නය තමයි නලින් ද සිල්වා “මෝල් ගස” හිතින් මවා ගත්තේ කොහොමද? යන්නයි.

මෝල් ගහ හිතින් මවා ගන්නවා කියන්නේ අපි එය කිසියම් සීමාවකින් වෙන් කර ගැනීමක්. නමුත් එහෙම සීමාවක් හිතින් මවාගන්නේ කොහොමද? මෝල් ගහේ දිග දාරයක සීමාව කොහොමද අපි හිතින් මවා ගන්නේ? මොකක්ද ඒ සීමාව? මෝල් ගස් පතුරක්ද? ලී තන්තුවක්ද? සයිලම හෝ ෆ්ලොයම බටයක්ද? ඒ බටයේ සෛල ස්ථරයක්ද? ඒ සෛල බිත්තියද? සෛල බිත්තියේ ප්‍රෝටීන් දාමද? ප්‍රෝටීන් දාමයේ කාබන් පරමාණුද? ඉලෙක්ට්‍රෝනද? ඉලෙක්ට්‍රෝනවලට හිතින් මවාගන්න පළලක් තියෙනවද? මෝල් ගහ සහ මෝල්-ගහ-නොවන සීමාවට පළලක් නැහැ. එතකොට එහෙම සීමාවක් හිතින් මවාගන්න බැරි නම් කොහොමද අපි මෝල් ගහ හඳුනා ගන්නේ? ඔය ඊනියා බටහිර සංකල්ප අත්හැරලා අපි හිතමු මෝල් ගහ දිග අතට පලාගෙන පලාගෙන ගියා කියලා… මොකක්ද ඒ පලන අවසාන සීමාව? කී පාරක් පැලුවත් සීමාවට එන්නේ නැහැ. එතකොට මෝල් ගහ කියලා නලින් ද සිල්වා හිතින් මවාගෙන ඉන්නේ කුමක්ද?

 

1K2cxBwAXl20YdhNPZFkI1g

මගේ තර්කය තමයි සරල රේඛාව හිතින් මවාගන්න බැරි යම්සේ ද, මෝල් ගහත් හිතින් මවාගන්න බැරි ය යන්න. එතකොට නලින් ද සිල්වාගේ සංයුක්ත-වියුක්ත බෙදීම අතාර්කිකයි. සමහර විට නලින් සර් මේකට කැමති වෙයි. මොකද ඔහු අවසානයේ කියන්නේ ඔය ඔක්කොම බොරු කියලනේ. නමුත් මගේ දෙවන තර්කය තමයි මෝල් ගහ කියලා අපි යමක් හිතින් මවා ගන්නේ යම්සේ ද, සරල රේඛාවත් අපිට හිතින් මවා ගන්න පුළුවන් ය යන්න. හිතින් මවා ගන්නවා කියන්නේ ඇස් දෙක වහගෙන මනසින් රූපයක් දැකීම නොවෙයි. “සරල රේඛාවට පළලක් නැහැ” කියලා හිතීමත් හිතින් මවා ගැනීමක්. “එක ලක්ෂයක ඉඳලා තව ලක්ෂයකට නිදහසේ වැටෙනවා” අපිට හිතන්න පුළුවන්. “ලක්ෂයට” දිගක් පළලක් තියෙන්න අවශ්‍ය නැහැ. ඒක අවකාශය සහ දිශාව පිළිබඳ අදහසක් පමණයි. ඒ වැටෙන්නේ බෝලයක්ද, ගඩොල් කැටයක්ද, අලියෙක්ද; වැටෙන්නේ පහළටද, උඩටද, හරහටද, ඇදේටද කියන “රූපය” වැදගත් නැහැ.

කෙනෙකු අහන්න පුළුවන් ඉතින් මොකක්ද එතකොට මෙතන අවුල? කියලා. පළමු අවුල තමයි “සරල රේඛාව” කියන්නේ ඊනියා බටහිර සංකල්පයක් නොවීම. සරල රේඛාව කියන සංකල්පය ඊනියා පෙරදිගත් තිබුණා. ඒක තිබුණේ නැත්නම් සුද්දෝධන රජතුමාට රම්‍ය සුරම්‍ය සුභ මාලිගා හදන්න බැහැ. බිම්බිසාර රජතුමාට වේළුවනාරාමය හදන්නත් බැහැ. භික්ෂුවට පාංශුකූල චීවරය හදාගන්නත් බැහැ. ඊනියා මැදපෙරදිග පිරමිඩ හදන්නත් බැහැ. කොටින්ම ආදී මානවයට දුන්නයි ඊතලයවත් හදන්න බැහැ. සෙල්ලිපි කොටන්න බැහැ. කොටින්ම උතුරු තරුව දිහා බලාගෙන එක දිශාවකට ගමනක් යන්නත් බැහැ. ඒ නිසා ඒක බටහිරවත් පෙරදිගවත් සංකල්පයක් නොවෙයි. සරල රේඛාව පට්ටපල් බොරුවක් කීමෙන් ඊනියා බටහිර විද්‍යාව පට්ටපල් බොරු වෙනවා නම් පෙරදිග විද්‍යාවත් බොරු වෙන්න ඕනා.

 

මහාචාර්ය නලින් ද සිල්වා
දෙවැනි ගැටලුව තමයි සරල රේඛාව පට්ටපල් බොරුවක් කියලා විශ්වාස කරන්න ඉගැන්නුවම වෙන්නේ ගෝල්ෆේස් අරගලකාරයන් වගේ අමු ගොබ්බ පඬියන් ටිකක් නිර්මාණය වීමයි. එනම් ප්‍රායෝගිකව හිතන්න බැරි නොදියුණු මානවයන් ටිකක් බිහි වීමයි. මුළු පරස් නැතුව ලඹ කරලා බිත්ති හතරක් බැඳලා ගෙයක් හදන්න පුළුවන් බාස් කෙනෙකු හොයාගන්න අමාරු වෙලා තියෙන්නේ නලින් ද සිල්වාගේ මේ අමන දෘෂ්ටිවාදය දැන් දශක ගණනාවක් තිස්සේ සමාජගත වීම නිසයි. දිශාවක් කියන්නේ පට්ටපල් බොරුවක් කියලා හිතන ලක් සමාජය එක තැන පල් වීම පුදුමයක් නොවෙයි. නලින් ද සිල්වාගේ ගෝලයන්ය කියන එකෙක් මේ ලක් සමාජයට මෙලෝ වටිනා සේවයක් කර නැත්තේ ඒ නිසයි.

මේ ප්‍රායෝගික අවුල, නලින් සර්ගේ කතාව තේරුම් ගන්න විදිහේ ප්‍රශ්නයක් කියලා කියමු. එහෙනම් අඩුම ගානේ නලින් ද සිල්වාගේ බටහිර විද්‍යාත්මක නොවන, ඔහු කියන “අපේ” දෙයවත් සාර්ථක වෙන්න එපැයි. ගොඩනැගිලි හදලා මහා නගර හදලා නව්‍යකරණ කරලා නිෂ්පාදන කරලා ඊනියා දියුණු වෙන බටහිර ආධිපත්‍ය වගේ නැතුව එහෙනම් අඩුම ගානේ ලක් සමාජය බෞද්ධ ධර්මය මත හෝ දියුණු විය යුතුයිනේ. ඒක වෙන්නෙත් නැහැනේ. පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍යය, කර්ම-විපාක මේ ටික තේරුම් ගන්නත් බැහැ “සරල රේඛාව” පට්ටපල් බොරුවක් කිව්වොත්. ප්‍රථම ධ්‍යානයෙන් පටන් ගෙන අනිමිත්ත චේතෝ විමුක්තියට යන්නත් රේඛීය දිශාවක් තිබෙනවා. නලින් කියන හැටියට ඒක පට්ටපල් බොරුවක්. 

දැන ගත්තා!!! දැන ගත්තා!!! - (එරන්ද ගිනිගේ)

 

නලින් ද සිල්වාට මා යෝජනා කරන්නේ එහෙන් මෙහෙන් අහුලා ගත්ත අදහස් කෑලිවලට තමන්ගේ හිතළු වචන සංදර්ශන දාලා “උඹලා මහා මොල්ලු, මම තමයි එංගලන්තේ ගිහිල්ලා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියලා හොයාගත්ත හෙන පොර” කියලා පම්පෝරි ගහන අතරම මොකක් හරි සමාජයට වැදගත් අදහසකුත් දෙන්න කියලයි. බුදුන්වහන්සේ දෙසැටක් මිත්‍යා දෘෂ්ටි ප්‍රතික්ෂේප කළේ “සියල්ල බොරුවක්, මායාවක්” කියලා නොවෙයි. උන්වහන්සේ ඉතාම විද්‍යාත්මකව තාර්කිකව අපෝහනය කළ ලෝක සත්‍යයක් සහ වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. එක්කෝ ඔයා කියවලා තියෙන්නේ සූත්‍ර දහයයි දොළහයි කිය කිය මෝඩ චූන් දෙන්නේ නැතුව ඔය ඇමරිකාවේ ඉන්න ගමන් ත්‍රිපිටකය හරි ටිකක් ඉවසීමෙන් විවෘතව දෘෂ්ටි සහගත නැතුව කියවන්න. ධර්මය ඔබට මග වේවා!

සබැඳි ලිපි :

පරිණාමවාදය සහ නලින් ද සිල්වාගේ කිකිළිය (එරන්ද ගිනිගේ)

මහා පිපිරුම සහ නලින් ද සිල්වාගේ මැවීම - (එරන්ද ගිනිගේ)

(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 පෙබරවාරි 23


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සරල රේඛාව සහ නලින් ද සිල්වාගේ මෝල් ගහ - (එරන්ද ගිනිගේ) | The Leader