The Leader News
BREAKING
Top Ad
Opinion

මාර්ගගත පනතට සුමන්තිරන් කල අභියෝගය විසි කිරීම - (සුනන්ද දේශප්‍රිය)

T

The Leader Desk

February 29, 2024 • 4:55 PM

මාර්ගගත පනතට සුමන්තිරන් කල අභියෝගය විසි කිරීම - (සුනන්ද දේශප්‍රිය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව මින් ඉදිරියට කවර හෝ පනත් කෙටුම්පතක් ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීම වැඩකට නැති වනු ඇත්දැයි නීති අංශ වික්ෂිප්තව සිටිති.
  • ඊට හේතුව වී ඇත්තේ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සහතික කිරීමේ කථානායකවරයාගේ ක්‍රියාකලාපය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.
  • මෙරට නීති පැනවීම සම්බන්ධයෙන් රජයට අදහස් ඉදිරිපත් කිරීම නීතියෙන්ම පවරා ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවා කතානායක වෙත ලිපියක් මගින් එ බව දක්වන ලදී.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ඇතුළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඕනෑම පනත් කෙටුම්පතක් තක්සේරු කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂයෙන් පැවරී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව මින් ඉදිරියට කවර හෝ පනත් කෙටුම්පතක් ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීම වැඩකට නැති වනු ඇත්දැයි නීති අංශ වික්ෂිප්තව සිටිති.

ඊට හේතුව වී ඇත්තේ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සහතික කිරීමේ කථානායකවරයාගේ ක්‍රියාකලාපය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කිරීමත් සමඟය.

 
සංශෝධන අඩු පනත
 
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද සංශෝධන නොසළකා හරිමිනි.

මෙරට නීති පැනවීම සම්බන්ධයෙන් රජයට අදහස් ඉදිරිපත් කිරීම නීතියෙන්ම පවරා ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවා කතානායක වෙත ලිපියක් මගින් එ බව දක්වන ලදී.

 
මානව හිමිකම් කොමිසම කතානායකට කී දේ
 
මාර්ගගත ආරක්ෂණ පනත ප්‍රවේසමින් සමාලෝචනය කළ මානව හිමිකම් කොමිසම, පනතේ වගන්ති කිහිපයක් ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුකූල නොවන බව පෙනී යන බව එමගින් කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ඇතුළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඕනෑම පනත් කෙටුම්පතක් තක්සේරු කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂයෙන් පැවරී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කළේය.

එවැනි තක්සේරුවක් මත පදනම්ව, එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් බලාත්මක කළ හැකි ආකාරය නියම කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම වේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් කියා සිටියේ, පනත් කෙටුම්පතට තමන් යෝජනා කරන වෙනස්කම් ඇතුළත් නොකරන්නේ නම්, එය නීතියක් බවට සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය බවයි.


රනිල් රාජපක්ෂ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධීකරණයට පිටුපෑම
 
එනමුත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පිටුපා යෝජිත සංශෝධන කිහිපයක් ම ඇතුළත් නොකර පනත සාමාන්‍ය බහුතරයකින් එය සම්මත කර ගත්තේය.

එය සහමුලින්ම නීති විරෝධීය.

අනතුරුව, පනත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුකූල බවට නීතිපතිවරයා විසින් දෙන ලද ව්‍යාජ අනුමැතියක් පාදක කර ගනිමින් කතානායකවරයා එම අසංශෝධිත පනත නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය සිය අත්සන ඊට ලබා දුන්නේය.

 
සුමන්තිරන් ඉල්ලා සිටියේ කුමක්ද?
 
පාර්ලිමේන්තු මංත්‍රී සුමන්තිරන් සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා සිටියේ කථානායකවරයා විසින් මාර්ගගත ආරක්ෂණ පනත පිළිබඳ එලෙස දෙන ලද සහතිකය නීතියෙන් වලංගු නොවන බවට ප්‍රකාශ කරන ලෙසයි.

තවද, මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට අනුකූල වන ලෙස සකස් කර නැති බවට කථානායකවරයාට සහ පාර්ලිමේන්තුවට උපදෙස් දීමට අපොහොසත් වීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14 වැනි ව්‍යවස්ථාවෙන් පෙත්සම්කරුට සහ පුරවැසියන්ට සහතික කර ඇති මූලික අයිතිවාසිකම්, නීතිපතිවරයා විසින් උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරන ලෙස ඔහු  වැඩිදුරටත් ඉල්ලා සිට තිබුණි.

සුමන්තිරන් මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් කියා සිටියේ රජය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්පූර්ණයෙන් පිළිපැදීමකින් තොරව පනත් කෙටුම්පත බලාත්මක කිරීමට උත්සාහ කරන බවත්, කාරක සභා අවස්ථා සංශෝධන කෙටුම්පත් මඟින් අඩුපාඩු ප්‍රමාණවත් ලෙස නිවැරදි  කර නැති බවත් ඔහු පෙන්වා දුන් බවත්, කතානායකට ලිඛිතව තම ගැටළු ලිඛිතව ලබා දුන් බවත්ය.


නීතියක් නොව අවනීතියක්
 
සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පතට අනුමැතිය ලැබුණේ පැමිණ සිටි සරල බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් පමණක් බවත්, එබැවින් පනත් කෙටුම්පත නීතියක් බවට පත්විය නොහැකි බවත්ය.

එබැවින් කථානායකවරයා විසින් පනත් කෙටුම්පත නීතියක් බවට පත් කළ බව සහතික කිරීම තුළින් තමාට සහ පුරවැසියාට සහතික කර ඇති මහජන විශ්වාසය සහ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව සුමන්දිරන් සිය පෙත්සමෙහි සඳහන් කර තිබුණි.

කථානායකවරයාට අනුව ඔහු කටයුතු කර ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් අනුව බවත් එසේ වුවහොත් පනත් කෙටුම්පත තහවුරු කර ඇතැයි කියන මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාද වගකිව යුතු බවත් සුමන්තිරන්  කියා සිටියේය.

එබැවින් කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ නීතිපති වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති නීතිඥ සහ පාර්ලිමේන්තු මංත්‍රී සුමන්දිරින්  විසින් නම් කර තිබුණි.


බැලූ බැල්මට සාධාරණ තර්කයක්
 
බැලූ බැල්මටත්, ස්වාභාවික යුක්ති ධර්ම‍යට අනුවත් යුක්ති සහගත ලෙස පෙනෙන එම ඉල්ලීම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

විනිසුරු මඩුල්ල ඊට පාදක කර ගත්තේ නීතිපති සංජය රාජරත්නම් විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාවයයි.

 
ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිතයි
 
එම විරෝධතාව වූයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් කෙටුම්පතක් කථානායකවරයා විසින් සහතික කිරීමෙන් පසු ව්‍යවස්ථාදායක කටයුතුවලට මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවය.

පෙර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ද දක්වමින්, එම තර්කය අධිකරණය පිළිගත්තේය.

මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය කුමන සංශෝධන නියෝග කළ ද සමාන්‍ය බහුතරයක් ඇති නීතියේ ආධිපත්‍ය පිළිනොගන්නා ආණ්ඩුවකට එම නියෝග නොසළකා ස්වකීය පනත් කෙටුම්පත් නීතියක් බවට පත් කළ හැකිය.

මාර්ගගත ආරක්ෂණ පනත සම්බන්ධයෙන් සිදුව ඇත්තේ එයයි.

‘අධිකරණ සමාලෝචනය’ නැතිනම් ඉදිරිය භයානකයි!
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මානව හිමිකම් ක්‍රියාකාරී සහ නීතිඥ නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ මෙවැනි තත්වයක් ඉදිරියෙහි දී ඇති නොවීමට නම් ඉන්දියාවෙහි මෙන් ‘අධිකරණ සමාලෝචනය’ (judicial review) නමින් හැදින්වෙන නීතිය මෙරට ද ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවයි.
 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාරකරුවෙකු ලෙස ක්‍රියා කරන සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ස්වාධීන අධිකරණයක්  ඇති කිරීම ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එම විධිවිධානය පිහිටුවා තිබේ. ඉන්දීය ව්‍යවස්ථාවට අනුව අධිකරණයේ එක් ප්‍රධාන කාර්යයක් වන්නේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන ලද නීති සහ විධායකයේ ක්‍රියාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව සහතික කිරීමයි. මෙය අධිකරණ සමාලෝචනය ලෙස හඳුන්වනු ලබන අතර එය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත්‍යවශ්‍ය අංගයකි.


ශ්‍රී ලංකාවේ එවැනි ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් නැත
 
පුරවැසියනට ‘පනත් කෙටුම්පතක් සම්මතවීමෙන් පසු අධිකරණය හමුවේ එයට අභියෝග කිරීමේ’ බලය ව්‍යවස්ථාවට ඇතුළත් නොකර මෙවැනි අනීතික ක්‍රියා වැළැක්විය නොහැකි බව නීති අංශ පවසති.

 
වෙනත් අර්ථ කථනයක්
 
නීති ප්‍රවීණයින් පවසන්නේ මෙරට ව්‍යවස්ථාවෙහි ඇති, නීතිපතිවරයා විසින් දක්වන ලද තර්කය සාධාරණ වන්නේ පාර්ලිමේන්තුව විසින් නීතියට අනුකූලව සම්මත කරන ලද පනතක් සම්බන්ධයෙන් ලෙසද අර්ථ දැක්විය හැකි බවයි. එවැනි අර්ථ නිරූපනයකට අනුව සුමන්තිරන්ගේ පෙත්සමට සාධාරණ පදනමක් තිබූ බව ඔවුහු පවසති.

නීතිපතිවරයාගේ තර්කය නිරපේක්ෂකව සලකන්නේ නම් සාමාන්‍ය බහුතරයක් සහ එහෙයි නීතිපතිවරයකු ඇති ආණ්ඩුවකට මෙරට අධිකරණය සහමුලින්ම නොසළකා තමන්ට අවශ්‍ය ඕනෑම පනතක් සම්මත කර ගත හැකිය.

 
එය ප්‍රජාතන්ත්‍රවාදය නොව ඒකාධිපතිවාදයයි
 
මෙම තීන්දුව, ආණ්ඩුවක මර්දන අණපනත්වලට විරුද්ධව සිය මුලික අයිතීන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙරට පුරවැසියනට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමේ සීමාවක් සලකුණු  කරන බව ද නීති අංශ පෙන්වා දෙති.

මෙම තීන්දුව අනුව, පසුගිය අමාත්‍ය මණ්ඩල තීන්දුවක් මගින්. මාර්ගගත පනතට යළි සංශෝධන ගෙන ඒමට ගන්නා ලද තීන්දුව අනවශ්‍ය වනු ඇතැයි ද , මෙම අසම්පූර්ණ පනත නීතියක් බවට පත්වනු ඇතයි ද නීති අංශ දක්වති.

SC decision as a PDF- 
Sumanthiran Vs AG re OSB sc_fr_37_2024

sunanda deshapriya(සුනන්ද දේශප්‍රිය)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
sunandadeshapriya@gmail.com

(උපුටා ගැනීම - srilankabrief.org)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාර්ගගත පනතට සුමන්තිරන් කල අභියෝගය විසි කිරීම - (සුනන්ද දේශප්‍රිය) | The Leader