The Leader News
BREAKING
Top Ad
Opinion

ඍජු විදේශ ආයෝජන සහ ජාතික සැලසුම් සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය - (මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

March 10, 2024 • 9:08 AM

ඍජු විදේශ ආයෝජන සහ ජාතික සැලසුම් සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය - (මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනිද්දා පුවත්පතෙහි ප්‍රකාශිත සිංහල ලිපිය අනුර කුමාර දිසානායක මහතාට (AKD) ලැබුණු බව මම දනිමි.
  • ප්‍රතිපත්ති සම්බන්ධයෙන් උද්ධඡ්ච ලෙස අධානග්‍රාහීවෙමින් මේ රට පාලනය කිරීමට සැරසෙන උදවිය ඊට පෙර කළ යුතු වන්නේ, නුතන බලශක්ති පද්ධතියකට උචිත මිලක් සහ ආකාරයක් සහිතව, කාර්යක්ෂම ලෙස විදුලිය නිෂ්පාදනය කිරීමට සම්බන්ධ වන්නේ මොනවාද?
  • තාක්ෂණික සහ ආර්ථික යථාර්ථයන් නිවැරදිව තේරුම් ගැනීම වෙනුවට මතවාදය ආදේශකයක් වන්නේ නැත.” නමුත් අපි පුනර්ජනනීය විවාදය පසෙක තබා ශාන්ත ජයරත්න නැමති ලියුම්කරු කැමති ක්ෂේත්‍රය වන විදේශ ආයෝජන ගැන කතා කරමු. ඍජු විදේශ ආයෝජන පිළිබඳ ජවිපෙ ස්ථාවරයේ ඇති වරද කුමක් ද ?
  • පසුගිය වසරේ මුල් භාගයේ ගලධාරී හෝටලයේ ඔහුගේ කතාවේ දී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ජවිපෙ රජයක් බලශක්ති හා මූල්‍ය ක්ෂේත්‍රවල දැඩි පාලනයක් පවත්වාගෙන යන බවත්, පුනර්ජනනීය ක්ෂේත්‍රයේ ඍජු විදේශ ආයෝජනවලට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අනිද්දා පුවත්පතෙහි ප්‍රකාශිත සිංහල ලිපිය අනුර කුමාර දිසානායක මහතාට (AKD) ලැබුණු බව මම දනිමි. සෘජු ප්‍රතිචාරයක් ඔහුගෙන්ම ලැබුණේ නම් මම වඩාත් සතුටු වෙමි. නමුත්, අවුරුද්දක් ප්‍රමාද වුව ද, වෙනෙකෙකුගෙන් හෝ ප්‍රතිචාරයක් ලැබීම නිහැඬියාවට වඩා හොඳ ය.
 


මා ප්‍රතිචාර දැක්වූ කතාව ඕනෑම කෙනෙකුට තවමත් බලාගත හැකි ය. 
 


එහිදී මා සාකච්ඡා කළේ සුළං මත පදනම් වූ විදුලිය නිපදවීම සඳහා විදේශ ආයෝජන තහනම් කිරීමේ ජනතා විමුක්ති පෙරමුණේ දැඩි ස්ථාවරය ගැන (ඉහත වීඩියෝ පටයේ 46:27 හි)  මිස පුළුල්ව විදේශ ආයෝජන පිළිබඳ ජවිපෙ ස්ථාවරය ගැන නොවේ (මාතෘකාව, “බලශක්ති අංශයේ විදේශීය ආයෝජකයින් බැහැර කිරීමේ ජවිපෙ සැලසුම" ලෙස ලොකු අකුරින් එය සඳහන් වෙයි). 

එහි නිගමනය වුයේ :
“පුනර්ජනනීය විදුලියෙහි බොහෝ වාසි ඇත. එසේ වුව ද, සුළං හමන්නේ අපගේ භුමිය හරහා නිසා විදේශ විනිමය කිසිවක් අවශ්‍ය වන්නේ නැතැයි සිතීම මෝඩ කමකි. ප්‍රතිපත්ති සම්බන්ධයෙන් උද්ධඡ්ච ලෙස අධානග්‍රාහීවෙමින් මේ රට පාලනය කිරීමට සැරසෙන උදවිය ඊට පෙර කළ යුතු වන්නේ, නුතන බලශක්ති පද්ධතියකට උචිත මිලක් සහ ආකාරයක් සහිතව, කාර්යක්ෂම ලෙස විදුලිය නිෂ්පාදනය කිරීමට සම්බන්ධ වන්නේ මොනවාද? යන්න තේරුම් ගැනීමට උත්සාහ දැරීම යි. තාක්ෂණික සහ ආර්ථික යථාර්ථයන් නිවැරදිව තේරුම් ගැනීම වෙනුවට මතවාදය ආදේශකයක් වන්නේ නැත.”
 ජනපති මැදිහත්වේ - විදුලි වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
 
නමුත් අපි පුනර්ජනනීය විවාදය පසෙක තබා ශාන්ත ජයරත්න නැමති ලියුම්කරු කැමති ක්ෂේත්‍රය වන විදේශ ආයෝජන ගැන කතා කරමු. 

ඍජු විදේශ ආයෝජන පිළිබඳ ජවිපෙ ස්ථාවරයේ ඇති වරද කුමක් ද ?

පසුගිය වසරේ මුල් භාගයේ ගලධාරී හෝටලයේ ඔහුගේ කතාවේ දී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ජවිපෙ රජයක් බලශක්ති හා මූල්‍ය ක්ෂේත්‍රවල දැඩි පාලනයක් පවත්වාගෙන යන බවත්, පුනර්ජනනීය ක්ෂේත්‍රයේ ඍජු විදේශ ආයෝජනවලට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ය. ඔහු ප්‍රකාශ කළේ, ආර්ථිකයේ වෙනත් අංශ සම්බන්ධයෙන් ආයෝජකයින් සමග සාකච්ඡා කිරීමට ජවිපෙ විවෘත බව යි.
 
එනම් ජවිපෙ කටයුතු කරන්නට බලාපොරොත්තු වන්නේ අභිමතය පදනම්වයි. උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත හරහා ඍජු විදේශ ආයෝජන අනුමත කිරීමේ වත්මන් ක්‍රියා පටිපාටියට වඩා එහි වෙනසක් නැත. මහින්ද රාජපක්ෂ  පළමු පාලනය සමයේ හඳුන්වා දුන් මෙම නීතිය මඟින් අමාත්‍යවරුන්ට සහ ආයෝජන මණ්ඩලයට ඔවුන් විසින් පත් කරනු ලැබුවන්ට පුළුල් අභිමතයක් ලබා දී තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව IMF වෙත සහතිකයක් දෙයි
 
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආණ්ඩුකරණ විශ්ලේෂණ වාර්තාව මගින් ප්‍රකාශ කරන පරිදි: “පැහැදිලි භාවය සහ විනිවිදභාවය නොමැති ක්‍රියාවලියක් මගින් උපායමාර්ගික වැදගත්කමක් ඇති ලෙස තීරණය කරන ලද ආයෝජන සඳහා ඉහළ වටිනාකම් සහ දිගුකාලීන සහන ලබා දීම හරහා සැලකිය යුතු දූෂණ අවදානම් නිර්මාණය වී ඇත.” එම වාර්තාවේ නිර්දේශය වන්නේ: "යෝජනා ඇගයීම සහ ආයෝජන ප්‍රවර්ධන කොන්දේසි පිරිවැය ඇගයීම සඳහා පැහැදිලි සහ විනිවිද පෙනෙන ක්‍රියාවලි ප්‍රකාශයට පත් කරන තෙක් උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත අහෝසි කිරීම හෝ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම." යි.

පැහැදිලි සහ විනිවිද පෙනෙන ක්‍රියාවලි. අභිමතය සීමා කිරීමේ වටිනාකම පිළිගැනීමේ අඩුවක් සියලු දේශපාලඥයින් තුළ ඇති නමුත් එය විශේෂයෙන් ප්‍රකාශයට පත් වන්නේ තමන් සදාචාරාත්මක වශයෙන් ඉහළ තලයක සිටින බව විශ්වාස කරන උදවිය අතර ය.
 
අභිමතය සම්පුර්ණයෙන් ඉවත් නොකළ යුත්තේ ඇයි? බලපත්‍ර නිකුත් කිරීම වැනි ඇතැම් ක්ෂේත්‍රවල දී අභිමතය රහිතව තීන්දු ගත හැකි වනු ඇත. එසේ වුවත්, සංකීර්ණ ව්‍යාපෘති සඳහා අභිමතය සහමුලින්ම ඉවත් කළ නොහැකි වන අතර විනිවිද පෙනෙන ක්‍රියා පටිපාටිවලට යටත් කිරීම පමණක් සිදු කළ හැකි ය..
කෝටි 6500ක ව්‍යාපෘති 26ක් කොට උඩ ! 
අනුර කුමාර දිසානායක මහතා කතාකරන ආකාරයේ තහනම් කිරීම් (උදා. සුළං පාදක කරගත් විදුලි ජනනය) පැහැදිලි නීතිවලට ඇතුළත් විය හැකි ය. නමුත් මම මගේ 2023  ලිපියේ පෙන්වා දුන් පරිදි, සැලකිය යුතු විදේශීය යෙදවුම් අවශ්‍ය වන පුනර්ජනනීය ක්ෂේත්‍රයේ ආයෝජනය තහනම් කිරීම තේරුමක් නැත. “තාක්ෂණික සහ ආර්ථික යථාර්ථයන් නිවැරදිව තේරුම් ගැනීම වෙනුවට මතවාදය ආදේශකයක් වන්නේ නැත.”

ජාතික සැලැස්ම නමැති ධම්මික පැණිය 

අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශය ප්‍රමාණවත් නොවන බව මට ප්‍රතිචාර දැක්වූ ජයරත්නයන්ට තේරුම් ගොස් ඇත. ඔහු කියන ආකාරයට ඍජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ කෙසේ ද? ඒවා, “රටේ ප්‍රගතියට අර්ථවත් ලෙස දායක වන බව සහතික කරමින් ජාතික න්‍යාය පත්‍රයට අනුකූලව විය යුතු ය. .... ජාතික ජන බලවේගයේ  ප්‍රවේශයේ මූලික මූලධර්මවලින් එකක් වන්නේ පුළුල් ජාතික සැලැස්මකට අනුගත වීම යි. තිරසාර ආර්ථික වර්ධනයක් සහ සංවර්ධනයක් ඇති කරමින් රටේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා සමඟ සමපාත වන අංශ වෙත විදේශ ආයෝජන යොමු කිරීම මෙමගින් සහතික කෙරෙයි.”
 
iStock 1309878877
ඒ අනුව, ජවිපෙ ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කරනවා වෙනුවට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන අයට සිදු වන්නේ ජාතික සැලැස්ම අධ්‍යයනය කිරීමටයි. ජාතික සැලසුම් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් කපා ඇලවිය නොහැකි ය. 

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ 2004දී පල කල පොතක පරිච්ඡේදයක ගොඩ්ෆ්‍රි ගුණතිලකයන් ශ්‍රී ලංකාවේ ජාතික සැලසුම් ක්‍රියාවලිය පිළිබඳ සවිස්තර සමාලෝචනය ඉදිරිපත් කළේය: “පාර්ලිමේන්තු පනතක් මගින් ජාතික සැලසුම් කවුන්සිලයක් (NPC) පිහිටුවන ලද අතර, අග්‍රාමාත්‍යවරයා සභාපතිවරයා ලෙසත්, මුදල් අමාත්‍යවරයා උප සභාපතිවරයා ලෙසත්, රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශයේ විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් වෘත්තිකයින් අතිරේක සාමාජිකයින් ලෙසත් පත්කරනු ලැබී ය. එහි කාර්යභාරය උපදේශනාත්මක පමණක් ම වී ය. ආර්ථික විද්‍යාඥයින් සහ අනෙකුත් වෘත්තිකයන් විසින් මෙහෙයවන ලද සැලසුම් ලේකම් කාර්යාලයක් මගින් එයට සේවා සපයනු ලැබී ය. ... සැලැස්ම සකස් කිරීමට තෙවසරක් ගත විය.”
 
ගුණතිලකයන් විස්තර කලේ ශ්‍රී ලංකාවේ ජාතික සැලසුම්කරණයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයවූ 1956-65 කාලයේ වුනු දේය. ලෝකය වෙනස් වී ඇති බවට කෙනෙකු තර්ක කළ හැකි ය. ඇත්තෙන් ම එය එසේ වී ඇත. නමුත් වසර දෙකකට අඩු කාලයක දී සැලැස්මක් ඉදිරිපත් කළ හැකි තරමට එය වෙනස් වී තිබේ ද? හොඳ සම්පත් සහිත විශේෂඥයින් සහ පුළුල් උපදේශන ක්‍රියාවලි නොමැතිව හොඳ සැලැස්මක් ඉදිරිපත් කල හැකිද? ඒ අතරතුර කාලයේ, ජවිපෙ ආණ්ඩුවේ පළමු වසර 2-3 තුළ, යමෙකු කරන්නේ කුමක්ද? සැලසුම සකස් කළ පසුව පැමිණෙන ලෙස විදේශ ආයෝජකයින්ට පැවසීම ද ?
 
වසර 2-3 කට පසුව එබඳු සැලසුමක් සකස් කළ ද එය ක්‍රියාත්මක කළ හැකි වෙයි ද? අපේ ආර්ථිකය මුහුණ දෙන ශීඝ්‍රයෙන් වෙනස් වන තර්ජන සහ අවස්ථාවනට ආමන්ත්‍රණය කිරීමට එයට හැකි වෙයි ද?
 
ජවිපෙ දෙවැනි මනාපය: ''ලාල්කාන්තගේ කතාව දියාරු වුනත් ප්‍රසංසනීයයි'' - ගාමිණී  වියන්ගොඩ
පැරණි සෝවියට් සංගමයේ ගොස්ප්ලෑන් ජාතික සැලසුම්කරණයේ මුදුන් මල් කඩ විය. මධ්‍යම සැලසුම්කරණය පදනම් වන්නේ ආර්ථිකය ඔරලෝසු වැඩ යන්ත්‍රයක් ලෙස සංකල්පගත කිරීම මත ය. මෙයින උපකල්පනය කරනු ලබන්නේ ජාතික ආර්ථිකයේ එක් දෙයක් වෙනස් කරන විට වෙනත් තැනක බලාපොරොත්තු වන වෙනස සුමට ලෙස සිදුවන බවයි. එක් යන්ත්‍රයක (තමන්ගේ ජාතික ආර්ථිකයේ) පරිධිය සහ අනෙක් යන්ත්‍ර ආරම්භ වන ස්ථානය නිශ්චිතය. ඔහුගේ/ ඇගේ ජාතික ආර්ථිකයේ සිදුවන දේ පාලනය කිරීමේ හැකියාව සැලසුම්කරුවා සතු ය.

ලෝක ආර්ථිකයේ බලපෑමෙන් ආවරණය කරන ලද විශාල ජාතික ආර්ථිකයක් තුළ පවා ගොස්ප්ලෑන් අසාර්ථක විය. “සමාජයක දැනුම භාවිතය” නමින් 1945 දී ලියු ලිපියකින් ෆ්‍රෙඩ්රික් හයෙක් නැමති ආර්ථීක විද්‍යාඥයා සෝවියට් මධ්‍යගත සැලසුම අසාර්ථක වන බව පුරෝකථනය කළේය. අතිශයින්ම අසම්පූර්ණ තොරතුරු තත්ත්වයන් යටතේ සැලසුම් කිරීම අසාර්ථක වීම නිශ්චිත බව ඔහු තර්ක කළේය. එය එසේ ම සිදුවීය. 
 
වත්මන් ගෝලීය ආර්ථිකය තුල ජාතික ආර්ථිකය අතර අන්තර් සබැඳියාව ඉහල මට්ටමක පවතී. අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කතා කළ පුද්ගලයින් අපව ලෝකයට සම්බන්ධ කරන “ප්ලග් ඉවත් කිරීමට” මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හරහා කොතරම් උත්සාහ කළ ද, එම ප්‍රයත්නයන් අසාර්ථක විය. ගෝලීය ආර්ථීකයෙන් හුදකලා වුනු මහා පරිමාන සෝවියට් ආර්ථිකය විසින් අත්විඳින ලද තොරතුරු ගැටළු කුඩා මෙන් ම, ඊට වඩා ගෝලීයකරණය වූ ශ්‍රී ලංකා ආර්ථිකය තුළ බරපතළ වෙයි. අපේ සන්දර්භයේ මධ්‍යගත සැලසුම්කරණය උපන් ගෙයිම අසාර්ථක වනු ඇත.
ජවිපෙ ඉන්දියන් විරෝධය ඇත්තක් ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)
 
ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිම රටම ජාතික සැලසුම් සාර්ථක වී නැත. ඉන්දියානු සැලසුම් කොමිසම ප්‍රතිව්‍යුහගතකොට, නිති ආයෝග් ලෙස අලුතින් නම් කරනු ලැබී ය.

ආංශික ප්‍රතිපත්ති තිබිය හැකිද? ඔව්. ඩිජිටල් වැනි ශීඝ්‍රයෙන් වෙනස් වන ක්ෂේත්‍රවල පවා, සාක්ෂි සහ පුළුල් පාර්ශ්වකරුවන් සමූහයකගේ සහභාගිත්වය මත පදනම් වූ විශේෂිත ජාතික ප්‍රතිපත්ති තිබිය යුතුය. ආණ්ඩුවක් වෙනස් වූ විට හෝ අලුතින් ඇමැතිවරයකු පත් වූ සෑම අවස්ථාවකම ආංශික ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතු ය. එසේ වුව ද, තත්ත්වයන්  වෙනස් වන විට ඒවා සමාලෝචනය කර වෙනස් කළ යුතුය.

ආංශික ප්‍රතිපත්තින් අතර අන්තර් සම්බන්ධතාවයක් තිබිය යුතුද? ඔව්. සීමිත ප්‍රමාණයකව තිබිය යුතුය. තොරතුරුවල අසම්පූර්ණත්වය සහ පූර්ණ වශයෙන් අන්තර් සම්බන්ධතා ස්ථාපිත කිරීමේ දුෂ්කරතා පිළිගෙන ක්‍රියා කළ හැකි සහ ක්‍රියාත්මක කළ හැකි වීමේ නිශ්චිතභාවය සහ නම්‍යශීලී බව අතර තුලනයක් පවාත්වා ගත හැකි ප්‍රවේශයක් සාර්ථක වනු ඇත.

වන්දි ගෙවීමකින් තොරව සියලුම විදේශ ආයෝජන අත්පත් කර ගන්නා බවට රැස්වීම් වල කෑ මොර ගැසූ විජේවීරගේ ප්‍රලාපයන් සහ වීරවංශයන්ගේ මෑතකාලීන නන්දෙඩවීම් පරයා ජවිපෙ බොහෝ දුර පැමිණ ඇත. ජාතික සැලැස්ම නමැති ධම්මික පැණියෙන් පටන් ගෙන ජවිපෙ තවමත් දරා සිටින හණමිටි අදහස් වල ඉතිරි ටිකත් බැහැර කිරීමට මෙවන් සාකච්ඡා ඉවහල් වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

Rohan Samarajiva LIRNEasia 1x1(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...