The Leader News
BREAKING
Top Ad
Opinion

මැල් ටෑන්ක්ස් - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

March 11, 2024 • 6:24 AM

මැල් ටෑන්ක්ස් - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් පොලිසි (අයි.එච්.පී) නමින් හැඳින්වෙන ආයතනයක් විසින් කරන ලද ජන මත විමසුමක ආශ්‍රයෙන් ප්‍රමුඛ දේශපාලන නායක කිහිපදෙනෙකුගේ ජනප්‍රියතාවය ශ්‍රේණිගත කිරීම ය. ඉන්දියානු මාධ්‍ය විසින් මේ ආයතනය පුන පුනා හඳුන්වනු ලැබුවේ 'කොලම්බෝ බේස්ඩ් තින්ක් ටෑන්ක්' කියා ය.
  • ආයතන ප්‍රධානියා ලෙස මගේ වගකීමේ කොටසක වූයේ සෙසු තින්ක් ටෑන්ක සමග කටයුතු කිරීම යි.
  • දිනන්නේ එකෙකු පමණක් නිසා, ඒ අවස්ථාවේ අප ආයතනය පරාජිතයා නම්, යම් පසුතැවිල්ලක් ඇති වූවත්, එය පෞද්ගලික මට්ටමෙන් නොව වෘත්තීය මට්ටමෙන් එය දරා ගැනීම අපගේ සිරිත විණ.
  • අපට ආයතන ලෙස සහයෝගීතාවයෙන් වැඩ කිරීමට අවස්ථාවක් උදාවන්නේ, කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වූ තින්ක් ටෑන්ක් ජාලවල අප කොටසක් වීම නිසා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් පොලිසි (අයි.එච්.පී) නමින් හැඳින්වෙන ආයතනයක් විසින් කරන ලද ජන මත විමසුමක ආශ්‍රයෙන් ප්‍රමුඛ දේශපාලන නායක කිහිපදෙනෙකුගේ ජනප්‍රියතාවය ශ්‍රේණිගත කිරීම ය. 

 

GHlSco5XAAAWUJL
ඉන්දියානු මාධ්‍ය විසින් මේ ආයතනය පුන පුනා හඳුන්වනු ලැබුවේ 'කොලම්බෝ බේස්ඩ් තින්ක් ටෑන්ක්' කියා ය. එනම් කොළඹ පිහිටි හෝ පදනම් කරගෙන පවත්වාගෙන යන ආයතනයක් කියා ය. මේ ආයතනයේ ප්‍රධානියා වන රවි රනන්-එලිය මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව ද දේශපාලන විද්‍යාව ද හැදෑරූ බව ද පසුව හාවඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි පුහුණුව ලද බව කියැවේ. 

 



කොළඹ දී මට රවී මුහුණට මුහුණ හමු නොවුනත්, මීට වසර එක හමාරකට පමණ පෙර, අප දෙදෙනා මුණ ගැසුණේ සිංගප්පූරුවේ තින්ක් ටෑන්කයක් විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක දී ය. මාගේ මතකය නිවැරදි නම්, ඔහු ඒ වන විට පදනම් ව සිටියේ ඔස්ට්‍රේලියාවේ නගරයක ය. අප දෙදෙනා සහභාගි වූ සම්මන්ත්‍රණයේ ද රවී තම ජනමත විමසුම් සොයා ගැනුම් අප සමග බෙදා ගති. එහෙත් ඒ කාලයේ ඔහුගේ අවධානය යොමු වුණේ කෝවිඩ් හා පශ්චාත් කෝවිඩ් තත්ත්වය පිළිබඳව යි.

2012-2020 කාල පරිච්ඡේදය තුළ මගේ වෘත්තීය ජීවිතය ගෙවුණේ ද එක්තරා තින්ක් ටෑන්කයක් පදනම් කරගෙන ය. ආයතන ප්‍රධානියා ලෙස මගේ වගකීමේ කොටසක වූයේ සෙසු තින්ක් ටෑන්ක සමග කටයුතු කිරීම යි.

මේ සම්බන්ධතා විටෙක තරගකාරී ස්වරූපයක් ගති. ඊට හේතුව වන්නේ, සමහර අවස්ථාවන්වලදී, තින්ක් ටෑන්ක දෙක තුනක් එක ම සේවා දායකයකු විසින් ප්‍රධානය කරන පැවරුමක හෝ ටෙන්ඩරයක දිනා ගැනුමට පොර කන බැවිණි. දිනන්නේ එකෙකු පමණක් නිසා, ඒ අවස්ථාවේ  අප ආයතනය පරාජිතයා නම්, යම් පසුතැවිල්ලක් ඇති වූවත්, එය පෞද්ගලික මට්ටමෙන් නොව වෘත්තීය මට්ටමෙන් එය දරා ගැනීම අපගේ සිරිත විණ. අපට ආයතන ලෙස සහයෝගීතාවයෙන් වැඩ කිරීමට අවස්ථාවක් උදාවන්නේ, කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වූ තින්ක් ටෑන්ක් ජාලවල අප කොටසක් වීම නිසා ය. කොළඹ දී අප අතර පොඩි පොඩි කෝන්තර තිබුනත්, වෙනත් රටක අගනුවරක අප එකිනෙකා හමුවන විට අපගේ සම්බන්ධතාවයේ ගතිකයන් වෙනස් ය. කොළඹදී අප දරන වගකීමේ බර තරමක් ඒ අවස්ථාවල දී තාවකාලික ව හෝ සැහැල්ලු වන නිසා, අප අතර සිදුවන කතාබහ ද ඒ ස්වරූපය ගනී. සිහින් අඩියක් දෙකක් ගසන අවස්ථාවලදී එය ඊටත් වඩා සැහැල්ලු වේ.

image 025720a89aආචාර්ය සමන් කැලේගම

මෙවැනි ඇසුරේ මා ඉතාමත් ප්‍රිය කළ පුද්ගලයෙකු වූයේ ආචාර්ය සමන් කැලේගම ය. ඔහු ලංකාවේ ප්‍රකට තින්ක් ටෑන්කයක් වන ඉන්ස්ටිටුයුට් ඔෆ් පොලිසි ස්ටඩීස් (අයි.පී.එස්) හී ප්‍රධානියා ව සිටියේ ය. සමන්ගේ මරණය සිදුවූයේ අකාලයේ ය. එය ආරංචි වන විට මා සිටියේ ඕලන්දේ හේග් නුවර ය. ඒ 2017 විය යුතු ය. සමන්ගේ අභාවයේ ශෝකය මා තුනී කරගත්තේ සමන් ව හොඳින් දන්නා හඳුනන අයෙකු සමග කළ කතාබහක් සමග ය. ඒ ආචාර්ය හවඩ් නිකලස් ය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි පුහුණුව ලද, දශක කිහිපයක් ඕලන්දයේ සේවය කළ, ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය නිකලස්, ලාංකීය සම්භවයක් ඇත්තෙකි.

 

Dr 1ආචාර්ය හවඩ් නිකලස්
අප දෙදෙනා සමන්ගෙන් පටන් ගෙන, අයි.පී.එස් ආයතනය ගැන කතා කරන විට හවඩ් අපූරු කතාවක් මතක් කළේ ය. 1977 නව ආර්ථික ප්‍රතිපත්ති දියත් කිරීමෙන් පසු එක්තරා කාලයක, හවඩ් කොළඹ පැවැති රිසෙප්ශනයකට සහභාගී වන විට එහි සිටි එක්තරා පුද්ගලයකු දෙස තම ඇස යොමු වූයේ කොහේ හෝ දැකලා පුරුදු කෙනෙකු යැයි යන හැඟීමෙනි. හවඩ් අසල සිටි ආචාර්ය කුමාරි ජයවර්ධනට මේ බව ඔහු කී විට, ඈ කොක් හඬලා කියා ඇත්තේ, ඒ මුදල් ඇමති රොනී ද මෙල් බව යි. එතැනින් නොනැවතී කුමාරි කර ඇත්තේ, වහා ම හවඩ්ට රොනී ද මැල් හඳුන්වා දීම යි. එවිට ය හවඩ්ට සිහි කල්පනා වූයේ, වතු අධිකාරීවරයෙකු වූ තම පියාගේ නෑබොඩ වතුයායේ බංගලාවට එම වතුයාය අයිතිකරු ලෙස කලකට වරක් පැමිණ විස්කි අඩියකින් සප්පායම් වන්නා ද මැල් මහතා බව. මැල් මහතාට ද කුඩාවෙකු ලෙස කලකට පෙර දුටු හවඩ් දැන් ලොවම පිළිගන්නා ආර්ථික විශේෂඥයෙකු ලෙස දැක බලා ගැනීම සතුටට කාරණයක් විය.

මේ හමුවීමෙන් අනතුරු ව රොනී ද මෙල් මහතා හවඩ් නිකලස් ව තම කාර්යාලයට කැඳවා පවසා ඇත්තේ, නව රජය තීරණාත්මක ආර්ථික ගමනක් යන මේ අවස්ථාවේ, ආණ්ඩුවට විශේෂඥ උපදෙස් හා පර්යේෂණ  ස්වාධීන ලෙස කළ හැකි තින්ක් ටෑන්කයක් ස්ථාපිත කරන ලෙස යි. ඒ අනුව හවඩ්, 1985-88 කාලය තුළ දී, අයි.පී.එස් ස්ථාපිත කිරීමේ මූලික කටයුතු කරන ලද අතර, ඒ කාලයේ ඔහු එහි නේවාසික සම්බන්ධීකාරක ලෙස කටයුතු කළේ ය. 1988 දී පාර්ලිමේන්තු පනතක් යටතේ ස්ථාපිත කරන ලද එම ආයතනයේ විධායක අධ්‍යක්ෂක ලෙස පත් කරන ලද්දේ, භාණ්ඩාගාර ලේකම්වරයෙකු ලෙස කලක් කටයුතු කළ චන්දි චන්මුගම් ය. මේ තනතුර සඳහා දයාන් ජයතිලක මහතා ද යම් උනන්දුවක් දැක් වූ බව කියැවෙන අතර, එම මහතා අතිරේක අධ්‍යක්ෂක කෙනෙකු ලෙස පත් කළ බව මා අසා ඇත. ජයතිලක මහතා අයි.පී.එස් හී 1990-1994 කාලයේ ගැටුම් අධ්‍යන අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ බව කියැවේ. සමන් කැලේගම මහතා එම ආයතනයේ අධ්‍යක්ෂක ලෙස පත් වන්නේ තරමක් පසු කලෙක ය. එනම් 1994 දී ය. එහෙත් ඒ මහතා 2017 දී අකාලයේ මිය යන තෙක්, දීර්ඝ කාලයක් එම ආයතනයේ අධ්‍යක්ෂක ධූරය දරමින් ප්‍රශස්ත සේවාවක් ඉටු කළේ ය. දයාන් ජයතිලක මහතා, ප්‍රේමදාස සෙන්ටර් නමින් හැඳින් වූ තින්ක් ටෑන්කයක අධ්‍යක්ෂක ලෙස 1994 දී වැඩ කටයුතු ආරම්භ කළ අතර වසර 2000 වනතුරු ඔහු එහි ප්‍රධානියා ව සිටියේ ය.

online payments ප්‍රශ්ණයට මොකද වෙන්නේ? -BBC සටහනක්මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්

 

1990 මැද භාගයේ ම වාගේ හවඩ් නිකලස් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි වැඩසටහනක් ස්ථාපිත කිරීමට කටයුතු කළ අතර, ඔහු ඉකොන්සල්ට් නමින් ආර්ථික මූල්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ හා උපදේශක සේවා කරන තින්ක් ටෑන්කයක් ස්ථාපිත කළේ ය. පසු කලෙක මේ ආයතනයේ සභාපති වූයේ මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් ය. ඔහු මහ බැංකුවේ අධිපති වනතුරු ඒ තනතුර දැරී ය. 

 

Ronnie de Melඇමති රොනී ද මෙල්

රොනී ද මෙල් මහතාට එවකට ලංකාවට නුහුරු නුපුරුදු දෙයක් වූ තින්ක් ටෑන්ක් ගැන දුර දක්නා ඉවක් සහ නුවණක් තිබුණු බවත් අයි.පී.එස් ආයතනය ලංකාවේ ස්ථාපිත කරන්නට තැබූ පුරෝගාමී පියවර සාක්ෂි දරයි. මුලින් අර්ධ රාජ්‍ය මෙවලම් ලෙස ස්ථාපිත වුණු මෙවැනි ආයතන ප්‍රභේද, පසු කලෙක ආණ්ඩුවට පමණක් නොව ආණ්ඩුවට අකමැති අයට ද තමන්ට රිසි සේ කොස් ඇට බාවා ගත හැකි බිලාලයන් ලෙස පරිණාමය වනු ඇතැයි සියවසකට ආසන්න කාලයක් ආයු වැළඳු මැල් මහතාට තේරුම් නොගියේ යැයි සිතිය නොහැක.


සංවර්ධන සංදර්ශන - උදන් ප්‍රනාන්දු(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැල් ටෑන්ක්ස් - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader