The Leader News
BREAKING
Top Ad
Opinion

දීප්ති සමග පත්තරෙන් එහා - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 18, 2024 • 3:46 PM

දීප්ති සමග පත්තරෙන් එහා - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සියල්ලේම වාගේ ඔවුන් කියා තිබුණු පොදු කාරණයක් වූයේ මා ඉතා තැන්පත් වී ඇති බවයි.
  • මා ඉතාම සැහැල්ලුවෙන් අදහස් ප්‍රකාශ කළ බව ඔවුන් කියා තිබුණා.
  • එයින් පෙනෙන්නේ පසුගිය කාලයේ සිදු වුණු සියල්ල සමගින් මා වඩාත් පරිණත වී ඇති බවයි.
  • රාජ්‍ය නායකයෙකු ලෙස කටයුතු කිරීමට නම් ඒ හැකියාව මනාව ප්‍රගුණ කර තිබිය යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සියල්ලේම වාගේ ඔවුන් කියා තිබුණු පොදු කාරණයක් වූයේ මා ඉතා තැන්පත් වී ඇති බවයි. මා ඉතාම සැහැල්ලුවෙන් අදහස් ප්‍රකාශ කළ බව ඔවුන් කියා තිබුණා. එයින් පෙනෙන්නේ පසුගිය කාලයේ සිදු වුණු සියල්ල සමගින් මා වඩාත් පරිණත වී ඇති බවයි. ඒ වගේම දීප්ති සහ ලක්ෂිකා දෙදෙනාම ඉතා සුහදව, ශිෂ්ට සම්පන්න සංවාදයක් කළ යුතු ආකාරයට, එකිනෙකාට ගෞරවාන්විතව එම සංවාදය මෙහෙයවනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔවුන් හට මාගේ ස්තුතිය!

මට හිතෙනවා ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රෝහණ රාජපක්ෂ මහත්වරුන් සමග පසුගිය කාලය පුරාම පැවති වෘත්තියමය සම්බන්ධය මෙයට විශාල වශයෙන් දායක වුණාය කියා. ඔවුන්ගේ ඉවසීමේ හැකියාව හරිම ඉස්තරම්. ඉවසීම කියා මා අදහස් කරන්නේ “දරා ගැනීමේ හැකියාව”. දෙන්නම තීරණ ගන්නේ ඔවුන්ට උවමනා විදිහට. ඒක වෙනම කාරණයක්. නමුත් ඔවුන්ට ට එල්ල කරන චෝදනා, අපහාස සහ තර්ජන හමුවේ ඔවුන් ඒවාට මුහුණ දෙන ආකාරය මට හරිම කුතුහලය දනවන සුලු වුණා. අරගලය පැවති කාලයේ පවා ඔවුන් කිසිම අවස්ථාවක මදක් හෝ කලබල වුණේ නැහැ. ඔවුන් සිටියේ ඒ සියල්ලට ඉහළින්. රාජ්‍ය නායකයෙකු ලෙස කටයුතු කිරීමට නම් ඒ හැකියාව මනාව ප්‍රගුණ කර තිබිය යුතුයි. සිදුවෙන දෙයින් වියුක්තව ඒ දිහා සමස්තයක් හැටියට උඩින් බලන්න පුළුවන් වෙන්නේ එවිටයි.

දීප්ති ඔහුගේ දැනුම් සම්භාරයෙන් එම විමර්ශනය කරනවා. ගෝඨාභය ඔහුගේ විචිත්‍රවත් ජීවිත අත්දැකීම් සහ ඇසූපිරූ තැන් ඇති බවින් එය කරනවා. දීප්තිට වැදගත් දේශපාලන නායකයෙකු වෙන්න පුළුවන් කියා මට හිතෙන්නේ ඒ නිසයි. ඒ කියන්නේ සිදුවෙන දෙය objectively කියවා ගැනීමේ හැකියාව ඔහුට තිබෙනවා. ගෝඨාභයටත් ඇතැම් අවස්ථාවල වුණා වගේ දීප්තිටත් ප්‍රායෝගික අභියෝගවලට මුහුණ දෙන්න අපහසු වෙයි. නමුත් දෙදෙනාම තමන්ගේ ප්‍රතිපත්තිවලට ගරු කරලා ඉඳියි. නැත්නම් යන්න යයි. “ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා” වගේ මෝඩ වැඩ කරන එකක් නැහැ.

අනෙක තමයි එම වැඩසටහනට ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සුදර්ශන ගුණවර්ධන විසින් මා හට ආරාධනා කිරීම. ගෝඨාභය තමන්ගේ කතාව ලියා පළ කළාට තවම මාධ්‍යයට කතා කරන්න තීරණයක් අරගෙන නැහැ. ගෝඨාභය වැඩකරන්නේ ඔහුගේම කාලසටහනකට. නමුත් ඔහු වෙනුවෙන් කතා කරන්න ස්වාධීන රූපවාහිනී සේවය මට අවස්ථාවක් දුන්නා. ඒක තමයි ජනමාධ්‍යය ආයතනයක යුතුකම. ස්වාධීන රූපවාහිනී සේවය එහෙම කරද්දී දෙරණ ලොක්කා මට දුරකථනයෙන් කතා කරලා බැනලා තර්ජනය කරනවා. දෙරණ ලොක්කා අපරිණත යි. බොළඳයි. කලබලයි. මා හිනාවෙලා ඔහුට කීවා “සන්සුන් වෙන්න” කියලා. “ධර්මය ඔබට මග වේවා” යි ප්‍රාර්ථනා කරන්න කලින් එයා තිබ්බා. පව්.

“ඇත් පවුර - සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිම” රියැලිටි වැඩසටහන අපි කළේ ස්වාධීන රූපවාහිනී සේවය සමග. ඒ කාලයේ ජනමාධ්‍ය ඇමති හිටියේ මංගල සමරවීර. ඒ යහපාලන ආණ්ඩුව කාලයේ. ආණ්ඩුවෙන් සත පහක්වත් ගත්තේ නැහැ අපි. නමුත් විරුද්ධ දේශපාලන මතදාරියෙකු හැටියට මගේ වැඩසටහනට එරෙහිව සමහරු මංගලට ගතු කීවා. නමුත් මංගල මට විරුද්ධ වුණේ නැහැ. ඔහු ඒ වැඩසටහනේ ජාතික වැදගත්කම දුටුවා. නමුත් දිලිත් ජයවීර එදා ඇත් පවුරට හිනා වුණා. රටේ දහස් ගණනක් සමාජ ව්‍යවසායකයන් පුහුණු කරලා ඔවුන්ට ආයෝජන සහ ප්‍රචාරණ අවස්ථාවක් ලබා දීලා, ලක්ෂ ගණනක් තරුණ තරුණියන්ට අභිප්‍රේරණය දුන් වැඩසටහනට දිලිත් ඉරිසියාවෙන් පැලිලා අපහාස කළ හැටි මට මතකයි. හැබැයි එයා අද ව්‍යවසායකත්වය ගැන කියමින් දේශපාලනය කරනවා. බොහොම හොඳයි.

දීප්ති සහ ලක්ෂිකා දෙදෙනාම කාල වේලාව අරගෙන ගෝඨාභයගේ පොත කියවලා කරුණු ලකුණු කරලා ඒවා බැරෑරුම්ව අරගෙන සංවාද කරනවා. දිලිත් ඒ පොත හාස්‍යයට ලක් කරලා “ගෝඨාභය නොකිව් කතා” කියලා එයා පොතක් ලියනවා කියලා පාරම් බානවා. සමහර විට “නිරෝධායන මාෆියාව”, “ඇන්ටිජන් පරීක්ෂාව”, “චන්නයි මමයි” වගේ ලස්සන කතා දිලිත්ගේ පොතේ ඇති. නැතිනම් අපිටනේ ඕවා ලියන්න වෙන්නේ… දීප්ති කතා කළා වැඩියි කියලා සමහරු කීවා. මා එයට එකඟ නැහැ. දීප්තිට කතා කරන්න දෙන්න ඕනා. හැමෝටම කතා කරන්න දෙන්න ඕනා. අපි කතා කරනවාට වඩා අහගෙන ඉන්න ඕනා. ඒක තමයි අපි විශ්වාස කරන ජනරජය. ඒක තමයි අපි විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රය. නැතුව ඔය ප්‍රජාතන්ත්‍ර විරෝධී ජේවීපිය වගේ කතා කරන අනෙකාගේ උගුරු දණ්ඩ කැපීම නොවෙයි. ධර්මය ඔබට මග වේවා!

(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 මාර්තු 18

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...