The Leader News
BREAKING
Top Ad
Opinion

'අනුර රට යන්නෙ ඇයි?' කියලා අහන අයටයි මේ - (කුසල් පෙරේරා)

T

The Leader Desk

March 26, 2024 • 10:08 AM

'අනුර රට යන්නෙ ඇයි?' කියලා අහන අයටයි මේ - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජ.වි.පෙ හා ජා.ජ.බ කිසිවකු තවමත් ඒ ගැන පැහැදිලි කිරීමක් කර නැත.
  • පළමුවැන්න, ජ.වි.පෙ තව දුරටත් ළිංමැඩියන් නොවේ යැයි කීම සඳහා චීනය, රුසියාව, කියුබාව වගේ රටවල නොව, දියුණු බලවත් ලෝකයේ සංචාරය කළ යුතුයැයි ඔවුන් තේරුම් ගෙන ඇත.
  • කොළඹ මැදපංතිකයින් හමුවේ පමණක් නොව, සාම්ප්‍රදායික දේශීය හිතවතුන් හමුවේද තමන්ට දියුණු ලෝකයේ පිළිගැනුමක් සම්බන්ධතාවන් ඇතැයි කියන්නාවූ අලුත් ප්‍රතිරූපයක් තිබීම මැතිවරණය සඳහාද සුදුසුකමක් වන්නේ යැයි ජා.ජ.බයේ උනන්දුකරවීම විය හැකිය.
  • වෙනත් ඕනැම පක්ෂයක නායකයින් වූවත් එවැනි විදේශ සංචාරවල නිරත වුවහොත් හේතු දැක්වීමේදී ඔවැනිම මග හැරීමක් කරනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ජ.වි.පෙ හා ජා.ජ.බ කිසිවකු තවමත් ඒ ගැන පැහැදිලි කිරීමක් කර නැත. නමුත් ඔහුගේ විදේශ සංචාර සබම්න්ධයෙන් කෙරෙන ප්‍රචාරක දැන්වීම්, වාර්තා සහ ඔහුගේ දේශන අහන්න දකින්න ලැබෙන ප්‍රමාණයෙන් මගේ අවබෝධය අනුව මේ මගේ පැහැදිලි කිරීමය.

ඔහුගේ විදෙස් සංචාර සඳහා හේතු කාරණා දෙකක් මම දකිමි. පළමුවැන්න, ජ.වි.පෙ තව දුරටත් ළිංමැඩියන් නොවේ යැයි කීම සඳහා චීනය, රුසියාව, කියුබාව වගේ රටවල නොව, දියුණු බලවත් ලෝකයේ සංචාරය කළ යුතුයැයි ඔවුන් තේරුම් ගෙන ඇත. කොළඹ මැදපංතිකයින් හමුවේ පමණක් නොව, සාම්ප්‍රදායික දේශීය හිතවතුන් හමුවේද තමන්ට දියුණු ලෝකයේ පිළිගැනුමක් සම්බන්ධතාවන් ඇතැයි කියන්නාවූ අලුත් ප්‍රතිරූපයක් තිබීම මැතිවරණය සඳහාද සුදුසුකමක් වන්නේ යැයි ජා.ජ.බයේ උනන්දුකරවීම විය හැකිය.

 

දෙවැන්න වන්නේ වැඩි කතාවක් නැති, ප්‍රසිද්ධියේ නොකෙරෙන පක්ෂයේ මැතිවරණ අරමුදල් එකතු කිරීම යැයි මම අනුමාන කරමි. එය පරණ පුරුදු ආකාරයට ජපානයේ, දකුණු කොරියාවේ හා ඉතාලියේ පුංචි සාකච්ඡා සභා පවත්වමින් හිතවතුන්ගෙන් එකතු කරගත් සිල්ලර දායකත්වයක් නොවන්නකි. දැන් එය හඳුන්නෙත්ති කියන ආකාරයේ නොදන්නා ලාංකීය හිතවතුන් ගෙන් ඩොලර් මිලියන ගණන් එකවර එකතු කර ගැනීමක් විය යුතුය. කඩා වැටුණු ලාංකීය ආර්ථිකය ගොඩ දැමීමට සිංහල-බෞද්ධ වෘත්තික පිරිස් ඔවුන්ගේ දේශප්‍රේමය වෙනුවෙන් ඩොලර් හිලව් කිරීමට සූදානම්ව ඉන්නා යෝධ නගරවල කෙරෙන්නක් යැයි අනුමානයකි.

432865616 986470472849182 1019559664435638791 n

 

එබැවින් අනුර රට යන්නේ ඇයිදැයි අසන අයට පැහැදිලි නිශ්චිත පිළිතුරක් දීමට ජ.වි.පෙ නායකයින්ට සහ ජා.ජ.බයේ ලොක්කන්ට නොහැකිවීම අරුමයක් නොවේ. වෙනත් ඕනැම පක්ෂයක නායකයින් වූවත් එවැනි විදේශ සංචාරවල නිරත වුවහොත් හේතු දැක්වීමේදී ඔවැනිම මග හැරීමක් කරනු ඇත.

ඒ තේරුම් ගැනීම සමග අනුර රට යන්නේ ඇයි දැයි ඇසීමේ වුවමනාවක් මට නැත. එහෙත් අනෙක් අයට වැදගත් යැයි නොපෙනෙන, මට වැදගත් යැයි හැඟෙන ප්‍රශ්න දෙකක් ඇත. එකක් සහභාගිවූවන් අතරින් ස්වාධීන පුද්ගලයෙකු සේ ඉදිරිපත්වන අයෙකු විසින් කල් තියා තීන්දු කළ හෝ නොකළ අනුරගෙන් අසන ප්‍රශ්න සහ අනුර ඒවාට දෙන පිළිතුරු ය. අනෙක ඔහු සහ පිරිස විදේශ සංචාරයන්ගෙන් ලබා ගන්නා අලුත් දැනුමක් තියේද යන්නය. ඔවුන්ගේ ප්‍රශ්න සහ පිළිතුරු වලට පළමුව යොමු වුවහොත් කාලය හා ඉඩ ප්‍රස්ථා සීමා සහිත බැවින් ඉතා වැදගත් ප්‍රශ්න දෙකක් පමණක් නිදසුන් ලෙස ගන්නෙමි.

 



කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පැවති රැස්වීමේදී මේ ප්‍රශ්නය තම සුපිරි ජංගම දුරකතනයට යොමුකර තිබූ ආකාරයටම කියෙව්වේ ලා බාල දැරිවියකි. ප්‍රශ්නය වූයේ ලංකාවේ අර්බුද සඳහා බලය ගත් වහා, වසරකින් දෙකකින් පූර්ණ විසඳුම් ලබා දිය නොහැකි නමුත් ජ.වි.පෙ බලයට පත්කරන බහුතරයක් වහා විසඳුම් අපේක්ෂා කරනවුන් හෙයින්, ඔවුන්ගේ බලාපොරොත්තු නොබිඳ බලය තබා ගන්නේ කෙසේද යන්නය. එය ඉතා වැදගත් ප්‍රශ්නයක් බැව් අනුර එක හෙළා පිළිගනිමින් දුන් පැහැදිලි කිරීමේ, ඒ සඳහා වූ කිසිදු සැළසුමක් හෝ සැළසුමක ඉඟියක් හෝ නොවුනි. ඔහු කියුවේ රට සංවර්ධනය කරන තෙක් ආහාර, ඖෂධ ලබා ගන්නට සාමාන්‍ය ජනයාට ඉන්නට යැයි කියන්නට බැරි බවත් එබැවින් ආණ්ඩු බලය ලැබුණු විගස ආහාර, ඖෂධ සහ අධ්‍යාපනය සියල්ලන්ට ලබාදීම සහතික කරන බවත්ය. ඒවායේ ඇති වැදගත්කම ගැන විනාඩි 05 ට වැඩි දීර්ග විස්තරයක් කරමින් අනුර කියුවේ ඒවා සහතික නොකර රට ගොඩ දැමිය නොහැකි යැයි කියා ය.

 



අනුර කියූ ඒ නවකතාව මට බරපතල ප්‍රශ්නයක් විය. ආහාර හා ඖෂධ සියල්ලන්ට සහතික කරනවා යැයි කියන්නේ සළාක ක්‍රමයට ඒවා නොමිලේ දෙන්නේද, නැතිනම් සහන මුදලකට දෙන්නේද? නොමිලේ දෙන්නේ නම්, එය කොළඹ ඉහළ මැදපංතිකයින් ඇතුළු මිලියන 22 ක සමස්ථ ජනගහනයටම දෙන්නේද? නැතිනම් ඒ සහතිකය දෙන්නේ වික්‍රමසිංහ ආණ්ඩුව ජා.මූ.අරමුදලේ සහනාධාර බෙදිල්ලට හැදූ අස්වැසුමලාභීන්ටද? නැතිනම් සමෘද්ධිලාභීන්ටද? ඔහු කියූ සහතික කිරිල්ලේ පදනම කුමක්ද? 

 

මාතරට ත්‍රස්ත අවධානමක් නැහැ: 'ඇතැමුන් අනියත බියක් ඇතිකරන්න හදනවා' -  ජනාධිපති ලේකම්

ආහාර හා ඖෂධ වලට අමතරව අධ්‍යාපනය සියල්ලන්ට සහතික කරනවා යැයි කියන්නේ කුමක්ද? පළමුව අපේ අධ්‍යාපනයේ බිඳ වැටීම ජ.වි.පෙ නායකයින් තේරුම්ගත යුතුය. එය ප්‍රධාන වශයෙන් ගුරු සේවාවේ බරපතල පිරිහීමක්ද සමගින් පාසල් අධ්‍යාපනය විනාස කෙරෙන්නකි. විභාග සඳහා දෙමාපියන් විසින් ළමුන් බලහත්කාරයෙන් දක්කා ගෙන යාමේ කුරිරු තරගකාරීත්වය තවකකි. ග්‍රාමීය සමාජයේ පාසල්වල නොකඩවා වර්ධනයවන දුගී තත්ත්වය හා ප්‍රධාන නගර කිහිපයේ අති දියුණු පහසුකම් සහිත ජනප්‍රිය පාසල් අතර ඇති සිතාගත නොහැකි විෂමතාවද අධ්‍යාපනයෙහි බරපතල අර්බුදයකි. එවගේම අධ්‍යාපනය යනු ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව විටින් විට පැලැස්තර අලවා ඇති අච්චාරුවකි. එබැවින් සියල්ලන්ට අධ්‍යාපනය සහතික කරනවා යැයි කියන්නේ මේ කිසිදු රහක් නැති පිළිනුවුනු අච්චාරුවෙන්ද? නැතිනම් අධ්‍යාපනය ගොඩදැමීමේ ප්‍රතිසංස්කරණ මොනවාදැයි කිව යුතුය. 

ඔහු ඉතාම වැදගත් යැයි කියූ මූලික කාරණා තුන සම්බන්ධ සමස්ථ සැළසුම පිළිබඳ සාරාංශගත හැඳින්වීමක් හෝ සභාවට ඉදිරිපත් කළ යුතුව තිබිණ. එවැනි කිසිත් නැති දිග යාංහෑල්ලකින් පිළිතුර කෙළවර කෙරුණේ දුර ඈත ගමක දුප්පතුන් නොමිලේ ලැබෙන සියල්ල අත්පොළසන් ගසා බාර ගන්නාක් මෙන් ටොරොන්ටෝහි ලාංකිකයින්ද අත්පොළසන් ගැසීමෙනි.

 

උතුරේත් දකුණේත් අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ට එපාවූ OMP කාර්යාලයට UN ප්‍රශංසා

දෙවැන්න වැන්කූව නගරයේ රැස්වීමේදී ඇසූවකි. දෙමළ ජනතාවට විශේෂයෙන් වැදගත් යැයි අප සිතා සිටියත් ඒ ප්‍රශ්නයෙන් මතු කළ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීය නොකිරීම සම්බන්ධ කතාව සියල්ලන්ට වැදගත් වූවකි. නිශ්චිත ප්‍රශ්නය වූයේ අතුරුදහන් වූවන් ගැන තොරතුරු ඉල්ලා දසකයකට වැඩි කාලයක් මව්වරුන් හා භාර්යාවන් උතුරේ ගෙන යන උද්ඝෝෂණ සම්බන්ධයෙනි. එයටද ලැබුණේ අති සාහිත්‍යාත්මක, හිස් වාග් හෑල්ලකි. අවමංගල්ලයකදී ආසන්න ඥාතීන් දින කිහිපයක් ශෝකයෙන් හඬා වැටෙන සංස්කතියක් අපට ඇතැයි වූ විස්තරද, මේ එවැනි මිය ගිය අය ගැන ප්‍රශ්නයක් නොවේ යැයිද කියූ අනුර, කියුවේ මෙය දෙමාපියන් විසින් පෞද්ගලිකවම ආරක්ෂක හමුදාවට බාර දුන් දරුවන් ගැන අසන ප්‍රශ්නයක් බවය. ඒ කතා ලොවම දන්නා කතාය. තොරතුරු දැන ගැනීමේ අයිතියක් ඔවුන්ට ඇති බවත් අනුර කියන්නට පෙර සියල්ලන් දැන සියටිකි. ඔහුගේ විසඳුම වූයේ අප අපගේ ජාතික හැඟීම්, අපගේ වෙනස්කම් මොහොතකට පැත්තකින් තියා, සියල්ලන් එකතුවී අලුත් ආකාරයේ විසඳුම් සෙවීමට සූදානම් විය යුතු බවය. අවම තරමින් ඊට මුල පිරුමක් ලෙස ජ.වි.පෙ යෝජනා කරන්නේ කුමක්දැයි හෝ කීමෙන් ඔහු වැළකින. 

 

රටේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැතිව ඒවාට උඩින් පැන යාම, ජ.වි.පෙ සතු ජානගත රෝගයකි. බෞද්ධ ජාතක කතා අසා සිට “සාදු සාදු” කියන්නට පුරුදුව ඉන්නා බහුතර සමාජයට මේ කතා අත්පොළසන් ගැසීමට ප්‍රමාණවත්ය. එවැනි කතා කීම සඳහා දැන් ජ.වි.පෙහි විශේෂ හැකියාවක් ප්‍රගුණ කරගෙන සිටින්නා අනුර කුමාර ය. එය ජනතාවගේ ප්‍රශ්න සඳහා සාර්ථක විසඳුම් සොයනවාට වඩා පහසු ය. එහෙත් අනුරට කිව යුත්තේ, සියයට 05 ක් වත් ඡන්ද ගැනීමට නොහැකිව සිටි කාලයට එය ගැලපුනද, දැන් ජනාධිපති වන්නටත් ආණ්ඩු හදන්නටත් කතා කරනවා නම්, ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් සොයා ගත යුතු බවය. ඒ සඳහා මේ රට සවාරි අතිශය වැදගත්ය. ඊට හේතුව, ලොව අලුත් තොරතුරු, අලුත් දැනුම, සහ අලුත් සංවාදවල ඉදිරිපත් කෙරෙන අදහස් එකතු කර ගැනීමට ඔහු මෙතෙක් ගමන් ගිය ඕස්ත්‍රේලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව වැනි දියුණු බලවත් ධනේශ්වර රටවල විශාල ඉඩක් තිබීමය. 

ලාංකීය දුප්පත් සමාජයෙහි තවමත් සමාජවාදය අලෙවි කළ හැකියැයි සිතන ජ.වි.පෙ නායකයින්ට මාක්ස් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කළ විග්‍රහය සහ ඔවුන් මෙතෙක් ගිය බලසම්පන්න ධනේශ්වර රටවල ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනය ගැන අවබෝධයක් ලබා ගන්නට සැළකිය යුතු අවස්ථා තිබුණි. මාක්ස් “සමාජවාදය” ගැන කතා කෙරුවේ අපේ වැනි අව වර්ධිත රටවලට නොවේ. “සමාජවාදය” ගැන මාක්ස් කතා කෙරුවේ, අනුර සහ පිරිස ගිය රටවල තහවුරුව ඇති ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් වැඩි දියුණ කරගත් පසුව දැනුවත් සමාජයක් විසින් තීන්දු කරන ඊළග සමාජ වර්ධනයෙහි වඩා දියුණු අවදියක් හැටියට පමණි. බර්නි සෑන්ඩස්ලා ඇමෙරිකාවේ බිහිව ඇත්තේ ඒ ඉතිරිව ඇති ධනේශ්වර සංවර්ධනයෙහි සමාජ සාධාරණත්වය වෙනුවෙන් දිග හැරෙන සංවාදයෙහි ය. ඒ අවබෝධය ලැබුවා නම්, ලාංකීය සමාජය “සමාජවාදී” පාලනයක් ගැන කතා කිරීමට තරම් ධනේශ්වර වර්ධනයකට ආසන්නව හෝ නැති බව ඉගෙන ගත හැකිව තිබිණ.   

එවගේම ඒකීය රාජ්‍ය දැඩිව ආරක්ෂා කරමින් දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නය විසඳීමට ජ.වි.පෙ ආණ්ඩුවක් ස්ථාපිත කරන තෙක් සිටින්නට කියන ජ.වි.පෙ නායකයින්ට, දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ඒකීය රාජ්‍ය නොවන බව අනුර ගිය හැම රටකින්ම ඉගෙන ගන්නට ඕනෑ තරම් ඉඩ තිබිණ. ඔහු ගිය ඒ රටවල් හැමකක්ම සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයන් ය.

432979409 988569479305948 8000830428605418527 n

 

ඇමෙරිකානු ෆෙඩරල් ආණ්ඩුවට දැන් වයස අවුරුදු 235 කි. ආරම්භයේ සිට මෙතෙක් කිසිදු ප්‍රාන්තයක් ඉන් ඉවත් වීමට කතාකර නැත. කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තයේ සියයට 72 ක් ප්‍රංශ මූලයන් ඇත්තන්ය. එහි සියයට 95 ක් කතා කරන්නේ ප්‍රංශ බස ය. මේ කියුබෙක් ප්‍රාන්තවාසීන් අතර කැනඩාවේ ෆෙඩරල් පාලනයෙන් වෙන්වීමේ ප්‍රවනතාවක් දසක ගණනාවක් පුරා වර්ධනය විය. ඒ සම්බන්ධ කියුබෙක් ප්‍රාන්තවාසීන්ගේ තීන්දුව කවරක්දැයි බැලීමට 1980 සහ නැවත 1995 දී ජනමත විචාරණ දෙකක් පැවැත්වින. දෙවැන්නෙහි වෙන් නොවිය යුතු යැයි තීන්දු කළ සහ වෙන්විය යුතු යැයි කියූ පිරිස අතර පරතරය, 1980 ට වඩා බෙහෙවින් අඩුවී තිබිණ. ඒ වෙන්වීමේ උත්සාහය අධිකරණ ක්‍රියාවලියකද තර්ක විතර්ක කෙරුණකි. එහෙත් අද වන තෙක් වෙන්වීමක් සිදුව නැත. එබැවින් අනුරට සහ ඔහුගේ ජ.වි.පෙ පිරිවරට කැනේඩියානු ෆෙඩරල් අත්දැකීම් ගැන හොඳ වැදගත් අවබෝධයක් එහිදී ලබා ගත හැකිව තිබිණ. 

එහෙත් එවැනි අලුත් දැනුමක් ලබා ගැනීමට, අලුත් ලෝකයක් හඳුනා ගැනීමට උනන්දුවක් වුවමනාවක් අනුරගේ සහ ජ.වි.පෙ නායකත්වයෙහි නැති බව, මේ විදෙස් ගමන් විසින් ඔප්පු කෙරුවකි. එවැනි අලුත් දැනුමක් ලබා ගෙන පැමිණියා නම් ඊට අදාල සාකච්ඡා සංවාද ඔවුන්ගේ දිස්ත්‍රික් රැස්වීම්වල අසන්නට තිබිය යුතුය. බලය බෙදීම, පළාත් මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමක් යැයි කියනු අසන්නට ලැබිය යුතුය. එහෙත් තවමත් ඇසෙන්නේ පරණ යාංහෑලි පමණය.  

දැන් ආණ්ඩු බලය ඉල්ලන මේ ජ.වි.පෙ නායකත්වය අලුත් සෝබන භාෂාවක් පරිහරණය කෙරුවාට, දේශපාලනිකව තවමත් ඉන්නේ පැරණි මතවාදයන් සමගින් බැව් පැහැදිලිය. එනිසා අවසානයේදී ජා.ජ.බ නමින් ජ.වි.පෙ නායකයින් ආරූඩ කරගත් නාගරික පෙනුමෙහි ඇති දේශපාලනික වැදගත්කමක් නැත. ජ.වි.පෙ අනුර කුමාර රට යෑමේ කතාව එපමණකි.

බැසිල් නොදැක 'බැසිල් කියවා ගැනීම' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2024 මාර්තු 26


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...