The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල්ගේ පුත්තු සහ මැර දේශපාලනය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

April 1, 2024 • 7:11 AM

රනිල්ගේ පුත්තු සහ මැර දේශපාලනය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රසිද්ධ ස්ථානයකදී සාමාන්‍ය පුරවැසියෙකු වන එරන්ද ගිනිගේට අසභ්‍ය වචනයෙන් තර්ජන කරමින් උමතුවෙන් මෙන් කායිකව පහර දීමට තැත් කිරීම පිළිබඳව දැඩි ආන්දෝලනයක් සමාජය තුළ ඇති වී තිබේ.
  • පළමුව කිව යුත්තේ මා විහිළු කරනවා නම් කරන්නේ sense of humour තිබෙන මහත්වරුන් සමග පමණක් බවයි.
  • රටේ වගකිව යුතු ඇමතිවරයෙකු වන ජනතා නියෝජිතයෙකු එලෙස අසභ්‍ය සහ ළාමක ආකාරයට හැසිරීම පිළිබඳව ඔවුන් සියලු දෙනාම කණගාටුව ප්‍රකාශ කළ අතර ඔහුගේ “මැර දේශපාලනය” පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඔවුන් මට කීවේ ය.
  • ඒ සියලු දෙනාටම මාගේ ස්තුතිය පුද කරමි. ඒ අතර ඇතැමෙක් කීවේ මාගේ ආත්මාරක්ෂාවට හෝ කියා එම සාහසික ප්‍රහාරකයාට දෙකක් ඇන්නා නම් හොඳයි කියා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රසිද්ධ ස්ථානයකදී සාමාන්‍ය පුරවැසියෙකු වන එරන්ද ගිනිගේට අසභ්‍ය වචනයෙන් තර්ජන කරමින් උමතුවෙන් මෙන් කායිකව පහර දීමට තැත් කිරීම පිළිබඳව දැඩි ආන්දෝලනයක් සමාජය තුළ ඇති වී තිබේ. ඒ පිළිබඳව පැහැදිලි කරන මෙන් බොහෝ දෙනා මාගෙන් ඉල්ලා සිටියා. පළමුව කිව යුත්තේ මා විහිළු කරනවා නම් කරන්නේ sense of humour තිබෙන මහත්වරුන් සමග පමණක් බවයි. ඔහු බෙරිහන් දුන් ආකාරයට ප්‍රශ්නය වී තිබුණේ මවිසින් ලියූ මතවාදීය දේශපාලන විචාරයකි. එය කිසිසේත්ම විහිළුවක් නොවේ. එය අපගේ දේශපාලන මතවාද පිළිබඳ බරපතල සටහනකි.

 

පුවත් - Results from #2895
රනිල්ගේ කැබිනට් ඇමති විජේසේකර විසින් සිදු කළ එම අප්‍රසන්න ක්‍රියාව දැන ගත් වහාම අප පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂ අයගෙන් ද මා වෙත දුරකථන ඇමතුම් සහ වට්සැප් පණිවිඩ ගලා එන්නට විය. රටේ වගකිව යුතු ඇමතිවරයෙකු වන ජනතා නියෝජිතයෙකු එලෙස අසභ්‍ය සහ ළාමක ආකාරයට හැසිරීම පිළිබඳව ඔවුන් සියලු දෙනාම කණගාටුව ප්‍රකාශ කළ අතර ඔහුගේ “මැර දේශපාලනය” පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඔවුන් මට කීවේ ය. එමෙන්ම මාගේ උගත්කම, බුද්ධිමත්කම, අත්දැකීම් බහුලත්වය සහ පරිණතභාවය මනාව පෙන්වමින් ඒ මොහොතේ ඉතා සන්සුන්ව හැසිරුණු ආකාරය පිළිබඳව ඔවුන් මා හට ප්‍රශංසා කළේ ය. ඒ සියලු දෙනාටම මාගේ ස්තුතිය පුද කරමි. 

ඒ අතර ඇතැමෙක් කීවේ මාගේ ආත්මාරක්ෂාවට හෝ කියා එම සාහසික ප්‍රහාරකයාට දෙකක් ඇන්නා නම් හොඳයි කියා ය. නමුත් මා හට එය කිසිසේත්ම කළ නොහැකි ය. මන්ද මාගේ ගුරුවරුන් උගන්වා ඇත්තේ “සටන් කරනවා නම් සටන් කළ යුත්තේ අඩුම තරමින් මගේ උසටවත් ඉන්නා අය සමග පමණක් ය” කියා ය. විජේසේකර මගේ උරහිසටවත් උස නැති මට වඩා බාල පොඩි මල්ලි කෙනෙකි. අනෙක තමන්ගේ ඇමති ආරක්ෂක භටයන් පිරිවරාගෙන පිස්තෝල ඉනේ ගහගෙන මේ තනි මිනිහෙකු සමග ගහගන්න එන්නේ බියගුල්ලෙකි. නොදියුණු අතීතයේ මෙන් අතින් පයින් ගහගෙන ප්‍රශ්න විසඳා ගන්නවා නම් කළ යුත්තේ එයට දිනයක් සහ වේලාවක් යොදාගෙන ප්‍රසිද්ධ ස්ථානයක බොක්සිං වළල්ලක් තුළ ප්‍රේක්ෂකයන් බලා සිටියදී එකෙකු වැටෙන තුරු ගුස්ති ඇල්ලීමයි. නොඑසේ නම් අර Wild Wild West එකේ මෙන් දෙපැත්තට පියවර ගණනක් ඇවිද ගොස් වහාම හැරී ඩිෂුම් ගා වෙඩිලි තබා ගැනීමයි. (විහිළුක් බව සලකන්න.)

නමුත් බෞද්ධයෙකු වන මා කිසිම ආකාරයක ප්‍රචණ්ඩත්වයකට කැමති නැත. සියලු මස් මාංශ කිරි බිත්තර සහ සත්ත්ව නිෂ්පාදන පරිභෝජනයෙන් මා වැළකී සිටින්නේ සත්ත්ව හිංසනයට මා ඉඳුරා විරුද්ධ නිසා ය. ඇඟපතින් ලොකු වූ පමණින් හෝ බලය වැඩි වූ පමණින් හෝ කිසිම සතෙකුට හිංසා කිරීම මා වැනි ශික්ෂාකාමී බෞද්ධයෙකුට තරම් නොවේ. විජේසේකර නොව රනිල් වික්‍රමසිංහගේ මුළු කැබිනට් එකම මාව වටකරගෙන ගැහුවත් මා පෙරළා ඔවුන්ට ගහන්නේ නැත. මගේ එක කම්මුලකට ගැහුවා නම් යේසුස්වහන්සේ කීවාක් මෙන් සිනා සී මගේ අනෙක් කම්මුලත් ඔහුට හරවමි. බුදුන්වහන්සේ ආදර්ශයෙන් දේශනා කළ ඉවසා දරාගැනීමේ උතුම් ගුණය මනාව ප්‍රගුණ කර ඇති මා හට එය ඉතා පහසු දෙයකි.

 

WhatsApp Image 2022 04 04 at 12.47.09 PM
නමුත් අපේ පක්ෂයේ සහෝදර සගයන්ගේ අදහස වන්නේ මේ ආකාරයට සිය දේශපාලන ප්‍රතිවාදීන් ත්‍රස්තවාදයෙන් මර්දනය කර නිහඬ කිරීමට තැත් කිරීම ඉතා බරපතල ප්‍රශ්නයක් බවයි. මෙය ජානගත ජේවීපී ගතිය යි. එය සමාන වන්නේ සාහසික අරගලකරුවන් විසින් පොහොට්ටුවේ මිනිසුන්ට මහමග නවතා ම්ලේච්ඡ ආකාරයට පහර දීමට ය. එම මැරවර අරගලකරුවන්ගෙන් එදා පහර කෑ විජේසේකරම අද එම ගෝත්‍රික අරගලකරුවෙක් ගානට පත්ව තිබීම දෛවයේ සරදමකි. අරගලකරුවන් එදා ඔහුගේ නිවසට පහර දෙන විට ජනපති මන්දීරයේ කාපට් පොළොවේ හැපි හැපී කඳුළු වගුරවමින් කුඩා දරුවෙකු මෙන් හැඬූ මිනිහා අද සහචරයන් පිරිවරාගෙන දෙමළ චිත්‍රපටියක විකට චණ්ඩියෙකු මෙන් මා සමග ගහගන්නට ඒම විහිළුවකි. මට කතා කළ කෙනෙකු කීවේ “ජනතාව ඔය අයට ගැහුවේ ඔවුන්ගේ ඔය මැරකම නිසා” කියා ය. නමුත් සියලුම මන්ත්‍රීවරු එවැනි මැරයන් නොවේ. නියම මැරයන් ගහගන්නේ තවත් මැරයන් සමග මිසක් මා වැනි අවිහිංසාවාදීන් සමග නොවේ. අප කිසිසේත්ම නූගත් අරගලකරුවන්ගේ පහත් කුලයට වැටිය යුතු නැත. අප එයට වඩා බොහෝ දියුණු මනසක් හිමි බෞද්ධ සිංහලයන් ය.

 

21 වන සියවසේ දියුණු ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් වෙනුවෙන් දේශපාලනය කරන පක්ෂයක සාමාජිකයෙකු වන මා සෑම විටම පෙනී සිටින්නේ ප්‍රජාතාන්ත්‍රික නිදහස සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙනි. ඒ පිළිබඳව මා පොත් පවා ලියා ප්‍රකාශයට පත් කර තිබේ. ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්ව ජනතාවගේම බදු මුදලින් පඩි ලබන විජේසේකර නැවත ඒ ජනතාවටම චණ්ඩි පාට් දැමීම අප පක්ෂය නැවත ගොඩනැගෙන මේ වැදගත් මොහොතේ අප පෙනී සිටින උසස් දේශපාලන සංස්කෘතියට ගැලපෙනවාද යන්න ඔහු විසින් කල්පනා කළ යුතුය. ඒ අතින් ප්‍රමිත, රමේෂ්, සේමසිංහ යන අය වඩාත් ශිෂ්ට සම්පන්න ය. මාගේ දේශපාලන විවේචනය දරා ගැනීමට තරම් හැකියාවක් ඔවුන්ට තිබීම ගැන මම සතුටු වෙමි. ජනතා නියෝජිතයා යනු ජනතාවගේ නිරන්තර විවේචනයට ලක් වන්නෙකි. ලක් විය යුත්තෙකි. එම විවේචන දරා ගැනීමට නොහැකි නම් දේශපාලනය නොකර සිටිය හැකිය. ෆේස්බුක් එකේ කුණුහරුප කියමින් දඟලන මෝඩ ජේවීපීකාරයෙකු ගානට ඔබ වැටිය යුතු නැත.

 

shutterstock 283766747.0.0 

අප ගැටිය යුත්තේ මතවාදයෙනි. තර්කයෙනි. පාර්ලිමේන්තුව යනුම තාර්කික වාදයෙන් සටන් කරන ව්‍යුහයකි. මාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැළැක්වීමට විජේසේකරට කිසිදු අයිතියක් නැත. ඉපැරණි ග්‍රීසියේ ඇතන්ස් නුවර අගොරාවේ මෙන්ම ආර්ය සිංහලයා පැවත එන ශාක්‍ය වංශ ජනරජයේ සන්ථාගාරයේ පවා තිබුණේ එම ශිෂ්ට සම්පන්න ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය යි. නොදියුණු වනචාරීන් මෙන් ගහමරාගෙන දේශපාලනය කිරීමට ප්‍රජාතන්ත්‍ර ක්‍රමය අවශ්‍ය නැත. සැබෑ ප්‍රශ්නය එය නොවන බව අපි දනිමු. බලාපොරොත්තු නොවූ අයෙකුට බලාපොරොත්තු නොවූ මොහොතක පක්ෂයේ ප්‍රබල තනතුරක් ලැබීම නිසා මතු වූ චිත්ත ආවේගය, එයට සහයෝගය දැක්වූ මා පිටින් යැවීම අපට තේරුම් ගත හැකිය. 

අවසාන වශයෙන් මා ප්‍රසිද්ධියේ ජනතාවටත් අධිකරණයටත් ප්‍රකාශ කරන්නේ මාගේ හෝ මාගේ පවුලේ අයගේ ජීවිතවලට කිසියම් හෝ අනතුරක් වුවහොත් එයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මා හට ජීවිත තර්ජනය කළ වත්මන් ආණ්ඩුවේ ඇමති ධුරයක් දරන කාංචන විජේසේකර යන අය බවයි. කඩුවට වඩා පෑන බොහෝ බලවත් බව කාංචන මල්ලිට මම කරුණාවෙන් සිහිපත් කරමි. සන්සුන් වෙන්න. ධර්මය ඔබට මග වේවා!

අලුත් පොහොට්ටුවක් - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 අප්‍රේල් 1 
(මෝඩයාගේ දිනයේ ලියුවාට මෙය විහිළුවක් ලෙස නොසලකන්න.)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...