The Leader News
BREAKING
Top Ad
Opinion

‘‍ස්ත්‍රීවාදී‘ රොහාන් පෙරේරා ගැන අසම්පූර්ණ කතාවක් - (නීතිඥ රදිකා ගුණරත්න)

T

The Leader Desk

April 16, 2024 • 7:43 AM

‘‍ස්ත්‍රීවාදී‘ රොහාන් පෙරේරා ගැන අසම්පූර්ණ කතාවක් - (නීතිඥ රදිකා ගුණරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘මුං අපේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඔළුගෙඩි කුරුවල් කළා‘‘ යැයි ඔහු කීය. ඒ කුරුවල් වීම ඔහු විස්තර කළේ‘ හිපි ජීවිත, ඉබාගාතේ යාම්, අනුරාගයෙන් වල්මත් වීම්, බහුගුණ ආදර සබඳතා, ජීවිතයේ තනි වීම් සහ අවසාන වශයෙන් ඩිප්‍රෙෂන්වලට බෙහෙත් බීම්‘ වැනි යෙදුම්වලිනි.
  • අපි ගඩොල් බාග, ස්මාට් දුරකථන බවට පරිවර්තනය වනු අත් දුටුවෙමු.
  • මා කතා කරන්නේ 2002 සහ ඉන්පසු අවධිය ගැනයි.
  • ඉන්පසු ඔහු X කණ්ඩායමට ගියා යැයි මම නොසිතමි. ඇත්තටම මට X කණ්ඩායම ගැන කිසිවක් නොසිතිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ඇයිදැයි මම ඇසුවෙමි. ‘‘මුං අපේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඔළුගෙඩි කුරුවල් කළා‘‘ යැයි ඔහු කීය. 

ඒ කුරුවල් වීම ඔහු විස්තර කළේ‘ හිපි ජීවිත, ඉබාගාතේ යාම්, අනුරාගයෙන් වල්මත් වීම්, බහුගුණ ආදර සබඳතා, ජීවිතයේ තනි වීම් සහ අවසාන වශයෙන් ඩිප්‍රෙෂන්වලට බෙහෙත් බීම්‘ වැනි යෙදුම්වලිනි. මෙය, විදර්ශන කන්නන්ගර, රොහාන් පෙරේරාගේ මළ ගෙදර කළ කතාව සමග සසඳා ගැනීම ඔබට බාර කරමි. 



මා අයත් වන්නේ රොහාන් පෙරේරා කෙනෙක් ගැන අසාවත් නැති පරපුරට නොවේ. හයිබ්‍රිඩ් පරපුරකට ය. අපි ගඩොල් බාග, ස්මාට් දුරකථන බවට පරිවර්තනය වනු අත් දුටුවෙමු. පොතපත වෙනුවට ඩිජිටල් යුගය පැමිණෙනු අත්දුටුවෙමු. මා කතා කරන්නේ 2002 සහ ඉන්පසු අවධිය ගැනයි. අපේ සමවයස් කොළඹ සරසවි මිතුරන් X කණ්ඩායම සමග හරිහරියට ගිලී අධ්‍යයන කව කරද්දී එයට පිටතින් ඒ දෙස බලා සිටියෙකු සහ මාධ්‍යවේදිනියක ලෙස විවිධ නිව්ස් ඔවුන් ගැන පත්තුවන සමයක කොටස්කාරියක ලෙස ය. 

මුල්ම වතාවට ‘X කණ්ඩායම ගැන මොකක්ද හිතන්නෙ?‘ යනුවෙන් මාගෙන් මිතුරෙකු අසන විට මා සිතන ආකාරයට X කණ්ඩායම බිඳී ගොස් තිබිණි. එවකට තිබුණේ දීප්තිගේ X කණ්ඩායමයි. ප්‍රශ්නය ඇසුවේ අනෝජා වීරසිංහගේ අභින ඇකඩමියේ නාට්‍ය වැඩමුළුවේ සිටි මිතුරෙකි. X කණ්ඩායම සමග එක්වීමට නොවක් ආසාවෙන් සිටි ඔහු නොබෝ දිනකින් අපේ කණ්ඩායමේ ම යුවතියකට ආලයෙන් මත් විය. ඉන්පසු ඔහු X කණ්ඩායමට ගියා යැයි මම නොසිතමි. 

ඇත්තටම මට X කණ්ඩායම ගැන කිසිවක් නොසිතිණි. මාගේ නිරීක්ෂණයන්ට මූලික වශයෙන් පදනම් වන්නේ ප්‍රවාදක සාක්ෂි ය.  

X කණ්ඩායමේ අය කියන්නේ හතරබීරි කතා යැයි කෙනෙක් කියූ අතර, තවකෙක් කීවේ ඔවුන් කියනා දේවල් ඔවුන් පවා නොදන්නා බවයි. X කණ්ඩායමේ ඉගෙනුම් හා දර්ශනය ‘පොතේ ඇත -හිතේ නැත‘ වර්ගයේ එකක් බව බොහෝ අය කීහ. ඒ අතර ගැහැණුන්ට තැනක් නැති බවත්, ඔවුන් බොහෝ විට හුදු නැරඹුම්කාරියන් බවත්, කණ්ඩායම හැර යන්නට තීරණය කරන මොහොතේ පටන් පිරිමි ටික ඔවුන්ගේ ‘පතුරු අරින බවත්‘ තව කවුදෝ කීය. 

‘දේශපාලනය යනු ආදරයේ ක්‍රියාවක්‘ යැයි රොහාන් පෙරේරාගේ මළ ගෙදර වූ දැන්වීමක ගසා තිබිණි. වාක්‍යයක් ලෙස ලස්සන වුවත්, ගැහැණුන් සම්බන්ධයෙන් මේ පිරිමි ටික ‘ආදරයේ ක්‍රියාවන්ගේ යෙදුණු ආකාරය‘ ගැන කෙදිනක හෝ ඒ ගැහැණු කට ඇරිය යුතු ය. කුමාරි අක්කා (කුමාරි කුමාරගමගේ) අද දිනයේ ෆේස්බුක් පෝස්ට් එකකට කමෙන්ටුවක් ලෙස එක්කර තිබුණේ මෙවැනි අදහසකි. ‘‘මගේත් සර්පයාගේත් වෙන්වීම ගැන X කණ්ඩායමේ විග්‍රහය නිවැරදියි කියලද ඔයගොල්ලො හිතන්නෙ? ඔයාල පව්!‘‘.

දීප්තිගේ ස්ත්‍රිය ගැන විග්‍රහය යම් තරමකින් දැන සිටිනා මට මේ කතාව අරුමයක් නොවේ. නරුමවාදී, ලිංගභේදවාදී (සෙක්සිස්ට්) ප්‍රවේශයක් එහි හැමවිටම තිබේ. 

උදාහරණ වශයෙන් සමරිසි කාන්තාවන් දෙදෙනෙකු ලිංගික තෘප්තිය ලැබීම ට නම් ඔවුන්ට අනුව ‘සිතෙන් මවාගත් පුරුෂලිංගයක් හෝ‘ තිබිය යුතුය. පව්!

අප සමාජවාදීන් නොවෙමු - දීප්ති කුමාර ගුණරත්නදීප්ති කුමාර ගුණරත්න
ආසියාතික ස්ත්‍රිය ඩෙරීඩා ඇසුරෙන් රොහාන් විසින් විසංයෝජනය කළ බව බුකිය පුරාම පළ වේ. මා යෝජනා කරන්නේ රොහාන් පෙරේරා ස්ත්‍රිය සහ ගැහැණිය අතර වෙනස නොදැන සිටි බවයි. දීප්ති ද එය නොදනියි. නැතිනම් ජාතික නාලිකාවක දී ‘පිරිමියා වඩා කැමති ජංගි අඳින ස්ත්‍රියටද, නැතිනම් පෑන්ටි අඳින ස්ත්‍රියටද?‘ වැනි ‘විදග්ධ ජාතික ප්‍රශ්න‘ ඔහු විමසන්නේ නැත. දාර්ශනික විසංයෝජනයෙන් පිටතින් දීප්තිලා රොහාන්ලා විසින් ස්ත්‍රිය තබන්නේ හුදෙක් ඇගේ ජීව විද්‍යාත්මක ශරීරය නිසා විය යුතු ය. සමාජ නිර්මිත ගැන බටහිර දැනුම, ඩෙරීඩා, ෆුකෝ කියවන ඔවුන්ට මග හැරුණේ මළලසේකර ඩික්ෂනරිය ළඟ තබාගෙන පරිවර්තනයන් කළ නිසාදැයි නොදනිමි.

huytඅදිසි සෙවණැල්ලක් සේ සැරිසැරූ රොහාන් පෙරේරා කොළඹ රැස්වීමකට එන බව මට කීවේ සුමුදු ගුරුගේ විය යුතු ය. මම ද එයට ගියෙමි. එහි ද ගැහැණුන් වූයේ දෙතුන් දෙනෙකි. ක්‍රිෂාන්ත ඔහුගේ බිරිඳ සමගින් එහි විය. සේපාල් අමරසිංහ ද විය. රොහාන් ‘නොපැවතී පැවතීම‘ ගැන දිග දේශනයක් කළේය. මට මතක ඇති ආකාරයට ඔහු එය ලියාගෙන ඇවිත් තිබුණේ එක්සයිස් පොතක ය. රැස්වීම රාත්‍රී 8 ට පමණ අවසන් වූ අතර, පිරිමි ටික බොන්නට සෙට් වූහ. කන බොන - මත්වන පිරිමින් ගේ ඇතුළු හිත් ගැහැණු ගැන කුණු කතාවලින් පිරී තිබිණි. එය වමනය ඇති කරවනසුලු අත්දැකීමකි. රොහාන් සහ ඔහුගේ දායාදය ‘තඩි පිරිමි අවකාශයක්‘බව තේරුම් ගැනීමට ඒ අත්දැකීම මට ප්‍රමාණවත් විය. 

ඒ කාලයේ සේපාල් අමරසිංහ යම්කිසි සඟරාවක (මට නම මතක නැත) ඇතැම් චරිතවලට ලස්සන කෙල්ලන් දුටු විට සුකුරු පහවීම යනාදිය ගැන ලියමින් සිටියේය. ඒ සඟරාවේ මා සාධනීය ලිපියකට කියා දුටුවේ ග්‍රෙෂන් ආනන්ද මිය ගිය පසු ඔහුගේ දියණිය සහ පුතා ගෙන්වා කළ සම්මුඛ සාකච්ඡාව පමණි. සේපාල්ගේ මාධ්‍ය භාවිතාව ගැන මා ඔහුගේ මිතුරෙකුගෙන් ඇසූ විට ඔහුගේ අදහස වුණේ ‘එහෙම කළාම සමාජය හදන්න පුළුවන් කියල ඌ අවංකවම ඒ කාලෙ විශ්වාස කළා‘ යනුවෙනි. 

චින්තන ධර්මදාස විසින් ‘‘රොහාන් ස්ත්‍රිය, පිරිමියාගේ දාර්ශනික සීමාවෙන් එළියේ පවතින්නේ යැයි දේශනා කළා‘‘ යැයි කියන කතාව ඇත්තක් නම්, ඉහත මා මතු කළ කාරණා ගණනාවකට පිළිතුර එතුළ ගැබ්ව තිබෙනවා වන්නට පුළුවන. චින්තා ද ගැහැණිය ෆැන්ටසිකරණයට ලක් කරයි.  ට්‍රිවියලයිස් කරයි. ලිංගිකමය ඒකාකෘති තනයි. ඒ අර්ථයෙන් ගත් විට රොහාන් පෙරේරා සිටින්නේ ඔවුන්ට වඩා වෙනස් තලයක ය. ‘රොහාන් හමුවට ආ කිසිම යුවළක් නැවත යුවළක් ලෙස පිටවී ගොස් නැත. පෙම්වතිය සෘජුවම පෙම්වතාට චෝදනා කරන, ඔහුව විනිශ්චය කරන ටොක්සික් බලයක් බවට පරිවර්තනය වුණා‘ යැයි චින්තා කියයි. නමුත් චින්තාගේ තර්කය වන්නේ එසේ වීම තුළ පුරුෂ ආධිපත්‍යය ඉල්ලා සිටීමේ ස්ත්‍රී උවමනාව සහ ආශාව පිළිබඳ කතිකාව රොහාන් විසින් හිතාමතාම යටපත් කළ බවයි. ටොක්සික් පිරිමි තරමටම ටොක්සික් ගැහැණුත් නරක බව රොහාන් ට අවබෝධ නොවන්නට ඇත. 

 

ධර්මදාසගේ ජංගිවාදයේ අතාර්කික හිල් - (එරන්ද ගිනිගේ)චින්තන ධර්මදාස
රොහාන් සහ ඉන්පසු දීප්තිගේ මග ගිය ස්ත්‍රීවාදී ලෙස පෙනී සිටින‘ඇතැම් දාර්ශනිකයන්‘ බොරැල්ල හංදියේ හවසට වැඩ ඇරී එන ගැහැණුන්ගේ පස්ස දෙස බලමින් ලිංගික තෘප්තිය ලබමින් කුණු හබ්බ අදිමින් කුණු රසය විඳින බව ට කතා පවතියි. කොහොමටත් ඔවුන්ට ගැහැණු යනු ‘රොහාන් බුද්ධා‘ දෙසූ ආදර වස්තු නොහොත් පාරිභෝගික භාණ්ඩ නම්, රොහාන්ලා විසින් ඇති කර තිබෙන්නේ කුමන ආකාරයේ සමාජ පරිවර්තනයක් ද? ඔවුන් දෙසන නිර්ප්‍රභූ බුද්ධිමය තලය මෙය ද? ඒ තලයේ ගැහැණුන් නැතිනම්, ‘ආදරයේ භාෂාව‘ වැනි යෙදුම් බැහැර කළ යුතු ය. ගෝල්ෆේස් අරගලයට ද කීවේ ‘ආදරයේ අරගලය‘ කියා ය. නමුත් ගෝල්ෆේස් සටන් පාඨ රැසක මිසොජෙනිස්ටික් ගතිය තිබිණි. ‘ගෝටගෙ අම්මට එන්න කියාපිය‘ යන්නේ පටන් ඡායාරූප මැද පෑඩ් ඇළවීම දක්වා ඒ නාරි ද්වේශය දිව ගොස් තිබිණි. චින්තා එතැනට ගොස් ලොකු පබ්ලිසිටියක් සමග ජංගිය ගැළෙව්වේය. 

නිර්ප්‍රභූ බුද්ධිමය තලයක් ගැන රොහාන් සහ X කණ්ඩායම දේශනා කරන්නට පටන් ගත්තේ, පංති වෛරයක් සමග යැයි පෙනේ. වෛරය ඇති තැන ආදරය ඇත්තේ කෙසේදැයි මෙහිදී නැවත විමසිය යුතු ය. X කණ්ඩායමේ කුණු හරුප අසා සිටින්නට - දරා සිටින්නට තීරණය කළ ගැහැණු පමණක් දැඩි අසීරුතා මැද හැකි කලක් ඔවුන් සමග සිටින්නට ඇතැයි අනුමාන කරමි. ලංකාවේ බුද්ධිමය ධාරිතාවේ ප්‍රභූ-නිර්ප්‍රභූ පැල්ම ඇති කරන්නට X කණ්ඩායම විශාල වශයෙන් හේතු වන්නට ඇත. ඉංග්‍රීසි බස දත්, ලෝකය ගැන විගස යාවත්කාලීන වන පිරිස X කණ්ඩායමෙන් නිසැක ලෙසම වෙන්ව යන්නට ඇත. 

 

The Leader | We Lead the Nation
අවසාන වශයෙන් මා යෝජනා කරන්නේ රොහාන්ලා ට දීප්තිලා ට සහ, දැන් ඒ උරුමයට නැවත පණ දෙන්නට යන අයට මග හැරිය නොහැකි ප්‍රශ්නය විය යුත්තේ ගැහැණුන්ව ප්ලේස් කළ යුත්තේ කොතැනට ද යන්නයි. එසේ ස්ථානගත කිරීම ඔවුන්ට මහා හිරිහැරයක් වන්නේ ඔවුන්ගේ ලෝකයෙන් නෛසර්ගිකවම පිටස්තරයන් බවට ගැහැණුන්ව පත් කර ඇති නිසා ය. සැබවින්ම රොහාන්ලා දීප්තිලා කළ යුතුව තිබුණේ ස්ත්‍රිය (ඇගේ ජීව විද්‍යාත්මක ශරීරය) කියවා ගැනීමට නම් ස්ත්‍රී ශරීරයේ ව්‍යූහ හා කායික විද්‍යාව හැදෑරීම මිස ඇයව සමාජ විද්‍යාත්මක ව විසංයෝජනය කිරීමට යත්න දැරීම නොවේ. ඩෙරීඩා ට පෙර සිමොන් ද බොවා කියවා ගත්තා නම් මෙසේ නොවීමට ද ඉඩ තිබිණි. මක් කරන්නද, සිමොන් ද බොවාත් ගැහැණියක් නොවැ! පශ්චාත් නූතන වාදයෙන් ටෝක් දෙන්නට පෙර රොහාන් බුද්ධාගේ නූතන අනුගාමිකයන් විසින් තමන් තුළ ජීවත් වන තඩි පිරිමියා විසංයෝජනය කර ගත්තා නම් වඩා යහපති. 


WhatsApp Image 2024 04 16 at 10.26.37 AM(නීතිඥ රදිකා ගුණරත්න)
rkamalabanu@yahoo.com
 
 
 

රොහාන් පෙරේරා හා සූෆී ඉස්ලාමය - (නන්දන විරරත්න) 

පරම්පරාවක මරණය - (එරන්ද ගිනිගේ)

රොහාන් නමැති යතුරු සිදුරෙන් එබී බැලීම - (චින්තන ධර්මදාස)

රොහාන්ගේ මෘත කලේබරය මත තබා දීප්ති පෙති ගැසීම - (ජයසිරි අලවත්ත)

රොහාන් සහ කනත්තේ සංස්කෘතිය... -(ආචාර්ය මහේෂ් හපුගොඩ)

පශ්චාත් රොහානියානු ලංකාව - (අජිත් පැරකුම් ජයසිංහ)

රොහාන් පෙරේරා : හමු නොවීමේ ආසියාතික ආදරය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

රොහාන් පෙරේරා: අසම්පූර්ණ නර්තනයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ප්‍රකට දේශපාලන විශ්ලේෂක රොහාන් පෙරේරා සමුගනී

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...