The Leader News
BREAKING
Top Ad
Opinion

රොහාන් සහ රොහාන් - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

April 20, 2024 • 10:18 AM

 රොහාන් සහ රොහාන් - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුහුටිකමක් අදාල නමට එකතු කරයි.
  • උදාහරණයකට, ප්‍රසිද්ධ චරිතයක වන සුනන්ද දේශප්‍රියගේ නම 'සුනන්දා' ලෙස දිගින් දිගටම කියනු මා අසා ඇත්තේ ඔහුට වඩා තරමක් වැඩිහිටි පරම්පරාවේ අය වන සූරියා වික්‍රමසිංහ ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු වැනි අය ය.
  • දී රෝහණ විජේවීර සහ ලයනල් බෝපගේ අත්අඩංගුවට ගත් අවස්ථාවක් ජනපති ජේ ආර් ජයවර්ධන රෝහණ විජේවීර ගැන කතා කරද්දි ඔහුගේ නම ලෙස භාවිතා කර ඇත්තේ 'රොහාන්' ලෙස බව මට දැනගන්නට ලැබුණේ ජවිපේ එවකට ප්‍රධාන ලේකම් ව සිටි ලයනල් බෝපගේ මගින් ය.
  • එහිදී ජයවර්ධන බෝපගේට කියා ඇත්තේ 'රොහාන්'ට රහස් පොලිසියට පැමිණ ‌කට උත්තරයක් දුන් පසු එසේ කළ හැකි බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

බුහුටිකමක් අදාල නමට එකතු කරයි.

උදාහරණයකට, ප්‍රසිද්ධ චරිතයක වන සුනන්ද දේශප්‍රියගේ නම 'සුනන්දා' ලෙස දිගින් දිගටම කියනු මා අසා ඇත්තේ ඔහුට වඩා තරමක් වැඩිහිටි පරම්පරාවේ අය වන සූරියා වික්‍රමසිංහ ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු වැනි අය ය. සිවිල් සමාජ චරිතයක වන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතාට බොහෝ අය අමතන්නේ 'සරා' කියාය. එහෙත් මාගේ දෙටු මිතුරි ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සරාට කියන්නේ 'සාරා' කියා ය.

Rohana Wijeweera and Lionel Bopage taken from Welikada Prison for sentencing Courtesy CMU.jpg

                         71 දී රෝහණ විජේවීර සහ ලයනල් බෝපගේ අත්අඩංගුවට ගත් අවස්ථාවක්

 

ජනපති ජේ ආර් ජයවර්ධන රෝහණ විජේවීර ගැන කතා කරද්දි ඔහුගේ නම ලෙස භාවිතා කර ඇත්තේ 'රොහාන්'  ලෙස බව මට දැනගන්නට ලැබුණේ ජවිපේ එවකට ප්‍රධාන ලේකම් ව සිටි ලයනල් බෝපගේ මගින් ය.

ජනතා විමුක්ති පෙරමුණ, ජයවර්ධන ආණ්ඩුව විසින් තහනම් කර තිබුණු සමයක සැඟවී සිටි විජේවීරගේ ඉල්ලීම මත බෝපගේ ජයවර්ධන ජනපති හමුවූයේ පක්ෂ තහනම ඉවත් කර ගන්නට සාකච්ඡාවක් අරඹන්නට ය. එහිදී ජයවර්ධන බෝපගේට කියා ඇත්තේ 'රොහාන්'ට රහස් පොලිසියට පැමිණ ‌කට උත්තරයක් දුන් පසු එසේ කළ හැකි බවය. ඉන් අනතුරු ව 'රොහාන්' විසින් ජනතාවගෙන් ප්‍රසිද්ධ සමාවක් ගත යුතු බවත් ය.


Screen Shot 2018 07 23 at 7.55.17 PM 1200x550                        1983 ජූලි කෝලාහලය

 

 
ජයවර්ධනගේ ඉල්ලීමට 'රොහාන්' ගරු කළේ නැත.  බෝපගේ මට කී පරිදි, ඒ වන විට 1983 ජූලි කෝලාහලය ගැන පැවැත් වූ සියළු පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් රහස් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නඟා තිබුන සියළු චෝදනාවලින් ජනතා විමුක්ති පෙරමුණ නිදොස් කොට තිබිණ. ඒ අතරතුරේ, 'රොහාන්'ගේ දැඩි ස්ථාවරය හා හිතුවක්කාරකම අවසන් වූයේ භීෂණකාරී ප්‍රචණ්ඩ මාවතකට තම අනුගාමිකයන් දස දහස් ගණනක් යොමු කිරීමෙනි. ඊට ප්‍රතිචාරී ව රාජ්‍ය මර්ධනයද භීෂණය ද ප්‍රචණ්ඩත්වයද ජවිපෙට නොදෙවෙනි ආකාරයෙන් මුදා හැරිණ. ඒ බිහිසුණු සමය අවසානයේ දෙපාර්ශවයේ හා ඊට මැදිවුණු අහිංසක ජනතාව ද සියල්ලන් එක් කළ හොත් ලක්ෂයකට අධික ප්‍රමාණයකගේ ජීවිත අහිමි විය.

 

 117745319 mediaitem117745318

 

අවසානයේ ජයවර්ධනගේ ඉල්ලීම වූ සමාව අයැදීම 'රොහාන්' විසින් කරනු ලැබුවේ ජයවර්ධනගේ අනුප්‍රාප්තිකයා වූ ප්‍රේමදාස සමයේ ය. රූපවාහිනියෙන් විකාශනය වූ මේ 'රොහාන්'ගේ පාපොච්චාරණය විශ්‍රාමික ජනපති  ජයවර්ධන, වෝඩ් පෙදෙසේ පිහිටි තම 'බ්‍රෙමර්' මන්දිරයේ සිට නැරඹුවා විය හැක. ඉන් අනතුරු ව 'රොහාන්' ඝාතනය වූ ආකාරය ගැන එකල බෞද්ධ පොත පත කියවමින් තම විශ්‍රාමික සමය ගත කළ ජයවර්ධනට සැළ වුවා ද කියා මම නොදනිමි.

මේ අවධියේ  වසර දෙක තුනක් මා ඇතුළු මාගේ වයස් කණ්ඩායම සිටියේ එක්තරා අවතැන්වීමක ය. දකුණේ භීෂණය නිසා විශ්ව විද්‍යාල වසර තුන හතරකට වැසූණු අතර, සරසවි වරම් ලබා සිටි අපට, ඊට පිවිසෙන්නට ඉඩ ඇහිරිණ. ඒ කාල වකවානුව තුළ මා රැකියා කීපයක් කළ අතර, ඉන් මා වඩාත් ඇලුම් කළ රැකියාවක කොටසක් වූයේ ලංකාවේ  සමාජ දේශපාලන පරිවර්තනයන් සඳහා උරදී සිටින දිවයින පුරා විසිර ඇති පුද්ගලයන් හා කණ්ඩායම් හා කටයුතු කිරීම යි. ඒ 1989 වසර විය හැක.

Deepthi KK2023                                     දීප්ති කුමාර ගුණරත්න                                        කේ.කේ සමන් කුමාර

මට හමුවූ ඒ පිරිස් කිහිපයක් අතර දීප්ති කුමාර ගුණරත්න, කේ.කේ සමන් කුමාර, නිහාල් පීරිස්, මනුබන්දු විද්‍යාපති, ආදීන් සිටියා මතක ය. දීප්ති මට හුරු පුරුදු ඊට කලකට පෙර සිට ය. ඒ අපගේ ළමා කාලය පානදුර ප්‍රදේශයේ ගත කළ නිසා ය. ඉන්පසු අසූ හතර වගේ වැනි කාලයක දීප්ති මට මුණගැසුනේ ඕසීඅයිසී ජුවාම් පාවුළු අවකාශයේ ය. සමන් කුමාර හා මනුබන්දු නිර්මාණ සංවාද කුලකයේ ඊට පෙර සිටිනු මා දැක ඇත. මේ සියල්ල එකතු වී මා සම්බන්ධ ආයතනයේ මූල්‍ය  අනුග්‍රහයෙන් 'යාත්‍රා' සඟරාව එළිදැක්වී ය. කලාප කිහිපයක් අප මුද්‍රණය කළා මතක ය.

මේ කාලයේ මට රොහාන් පෙරේරා ගැන අවබෝධයක් නොතිබුණු ද, ඔහු  ඉහත පිරිස 'යාත්‍රා' සඟරාව කරන කාලයේ, පාමංකඩ රෙදි මෝලට යාබද ව පිහිටි අපගේ ආයතන පරිශ්‍රයට ආ ගිය බව මට දැනගන්නට ලැබිණ. ඊයේ පෙරේදා මා කළ කතා බහක දී, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මා සමග පැවසුවේ, ඔහු ද ඒ කාලයේ, සමන් කුමාර හමුවන්නට අප ආයතනයට ආ ගිය බව ය. එහෙත් ඔහු 'යාත්‍රා' සඟරාවේ සාමාජිකයෙකු ලෙස හෝ ලේඛකයකු ලෙස සම්බන්ධයක් පැවැත්වූයේ නැත. නිර්මාල් මා බොහෝ විට දුටුවේ මර්ජ් නම් වූ අවකාශයේ ය. 1991 දී පමන සමාජ විද්‍යාඥයන්ගේ සංගමය (SSA) පළ කළ ප්‍රවාද සඟරාවේ, සම කතුවරයෙකු ලෙස නිර්මාල් වැඩ කළේ චාල්ස් අබේසේකර (1926-1998) හා මහාචාර්ය උයන්ගොඩ සමග ය. රොහාන් පෙරේරාද ප්‍රවාද සඟරාවට ලිපි ලියූ අයෙකි.


Nalin.jpg                                  ආචාර්ය නලින් ස්වාරිස්

අප ආයතනයේ හිතවතෙකු වූ ආචාර්ය නලින් ස්වාරිස්  (1938-2011) ද ඒ කාලයේ ලංකාවේ සංචාරයකට පැමිණ සිටිය බව මතක ය. පසු කලෙක රොහාන් පෙරේරා හා එක්ස් කණ්ඩායමේ පිරිස බොහෝ විට එකම හැදෑරීම්වල පරිශීලනය කළ ඩෙරීඩා හා ලකාන් වැනි චින්තකයන් ගැන නලින් ස්වාරිස් දීප්ති ඇතුළු පිරිස සමග සාකච්ඡා කළ බව ද මට මතක ය.

ලාංකික සම්භවයක් ඇති නලින් ස්වාරිස්, බොහෝ කාලයක් ජීවත් ව සිටියේ නෙදර්ලන්තයේ ය. ඉංග්‍රීසියට අමතර ව, ජර්මන් ප්‍රංශ ලතින්, ඕලන්ද ඇතුළු භාෂා කිහිපයක් ප්‍රගුණ කර තිබුණු නලින් සුවාරිස් ඩෙරීදා, ලකාන්, වැනි චින්තකයින්ගේ කෘති හා ප්‍රවේශ තම අධ්‍යන හා උගැන්වීම් සඳහා යොදා ගති.

 

X deepthi
යාත්‍රා සඟරා පළවීම නතර වුණු අතර, ඉන් අනතුරු ව, නිහාල් පීරිස්  අලුතින් පටන් ගත් පත්තරයක් වූ ලක්බිමේ රිද්ම සඟරාව කරන්නට පටන් ගත් අතර දීප්ති එක්ස් කණ්ඩායම නව  දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත් බව දැනගන්නට ලැබිණ.

 පසු කලෙක ස්වාරිස් ලංකාවේ වැඩි වශයෙන් කාලය ගත කළ අතර ඔහු එක්ස් කණ්ඩායම ගැන දැඩි විවේචනයක් කළේ ඔවුන් ව 'ජන්ක් ඉන්ටෙලෙක්චුඅල්ස්' ලෙස අවඥා සහගත ව හඳුන්වමිණි. එක්ස් කණ්ඩායම ගැන සම්මත හා නිල ඇකඩේමියාව නිහඬ පිළිවෙතක් හෝ නැති තැන විවේචනය කිරීමේ පිළිවෙතක් අනුගමනය කළ බව මගේ නිරීක්ෂණය යි. මීට එක් හේතුවක් විය හැක්කේ එක්ස් කණ්ඩායම එවැනි බොහෝ ඇකඩමිකයන් නොමසුරු ව හැඳින්වූයේ 'තක්කඩි' නමින් වීම ය. වැඩිහිටි පරම්පරාවෙන් එක්ස් කණ්ඩායම ගැන 'ද එක්ස්ටසි ඇන්ඩ් ඩේන්ජර් ඔෆ් අයිකොනොක්ලාසම්' නමින් දීර්ඝ විචාරාත්මක හා සහකම්පිත ඇගැයුමක් තමා කලක් කර්තෘත්වය දැරූ සන්ඩේ ඔබ්සවර් හී පළ කළේ අජිත් සමරනායක (1952-2006) පමණි. 

436119444 1777906296032801 728785574696421945 n
රොහාන් පෙරේරා එක්ස් කණ්ඩායමේ මූලික අවධියේදී ප්‍රාමාණික භූමිකාවක වූ කියැවේ. එහෙත් ඔහු ඊට පෙර සිටි දේශපාලන අවකාශ මොනවා ද ? මහාචාර්ය නිර්මාල් දේවසිරිගේ සටහනක් අනුව රොහාන් පෙරේරා ආචාර්ය නිව්ටන් ගුණසිංහගේ මූලිකත්වයෙන්, අසූව දශකයේ මුල පමණ ඇරඹි, මහනුවර පිහිටි, ගොවි හා කම්කරු ආයතනයට සම්බන්ධ ව සිටි බව කියැවේ. එම ආයතනයේ එවකට පූර්ණකාලීනයකු වූ, පී මුත්තුලිංගම් මහතාගෙන් ද මහනුවර ප්‍රකට සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ව සිටි ලලිත් අබේසිංහගෙන් ද මා මෙය විමසූ විට, මට දැනගන්නට ලැබුණේ රොහාන් පෙරේරාගේ සම්බන්ධයක් එම ආයතනය සමඟ නොතිබුණු බව ය.

එහෙත් ලලිත් පැවසුවේ, අනූවේ මැද භාගයේ පමණ, එකල එක්ස් කණ්ඩායමේ මහනුවර මූලිකයකු වූ නිමල් නමැත්තෙකුගේ ඉල්ලීම මත රොහාන් පෙරේරාගේ පන්ති පැවැත්වීම සඳහා සත්යෝදය පරිශ්‍රය ලබා දුන් බව යි. මහාචාර්ය නිර්මාල් දේවසිරි, රොහාන් පෙරේරා 1987 අසන්න කාලයේ සම්බන්ධ වූ තවත් කණ්ඩායමක් ගැන තතු සපයයි. ඒ අතර සුනිලා අබේසේකර, ලීනා අයිරින්, කුසල් පෙරේරා, පද්මිනි  පල්ලියගුරු වේ. මේ කණ්ඩායමට සම්බන්ධයක් ඇති අයෙකු මා සමග පැවසුවේ, ඒ කාලයේ රොහාන් පෙරේරා දකුණේ එක්තරා ස්ථානයක පුහුණු කඳවුරක් පවත්වාගෙන ගිය බවයි. ඒ පුහුණු කඳවුරේ, පෙරේරා විසින් ප්‍රගුණ කර තිබූ, කරාටේ වැනි මාෂල් ආර්ට් සටන් ක්‍රම ද, පුහුණු කළ බව යි.

 කෙසේ හෝ මා සිතනාකාරයට, රොහාන් ඇතුළු පිරිස, එක්ස්, වයි හෝ ඉසෙඩ් ලෙස, එක්තරා ආකාරයකට පුරවණු ලැබුවේ 'රොහාන්' ඇතුළු පිරිස ගේ භෞතික වියෝවත් සමග නිර්මාණය වූ සමාජ-දේශපාලන රික්තකයක් ය. රොහාන්ට ආකර්ෂණය වූ තරුණ ඩිමොග්‍රැෆිකය (කණ්ඩායමක වයස්, ජනවාර්ගික, ආගමික, ස්ත්‍රී-පුරුෂ, ගැමි/නාගරික, ආර්ථික පසුබිම සංයුතිය) , 'රොහාන්'ගේ අනුගාමිකත්වයේ ඩිමොග්‍රැෆිකයයෙන් කොතෙක් දුරට වෙනස් වී ද එසේ නොමැති නම් අඩු වැඩි වශයෙන් සමජාතීය එකක් ද කියා මම සිතමි.

437850289 10226919493707672 103959678005977134 n

 

එහෙත් රොහාන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ න්‍යායික හා විශ්ලේෂණ අඬුපඬු ද, න්‍යාය ව්‍යවහාරයට පෙරළන උපාය, සංවිධානය කිරීම ඇතුළු, සපුරා වෙනස් විය. හසුකරගත් අනුගාමිකත්වයේ පරිමාණය ද වෙනස්  විය. සමාජයේ යම් පිරිසක් අතර බලපෑමක් කරනට සමත් වුව ද මේ ව්‍යාපෘතිය දශකයකින් පමණ පසු විසිරී ගිය බවක් දක්නට ලැබිණ.

මීට හේතුව වන්නේ සංවිධාන උපායේ සීමාව ද? එසේත් නොමැති නම් අනුගාමික ඩිමොග්‍රැෆිකය ස්ථානගත ව තිබු සමාජ දේශපාලන සන්ධර්භයේ ගතිකයන් වෙනස් වූ නිසා ද? රොහාන්ගේ අවමංගල්‍යට 'රොහාන්'ගේ අනුප්‍රාප්තික, ප්‍රතිසන්නාමිත (re-branded) වී ඇති 'ඒකේඩී' පැමිණි පොටෝව මගේ මේ සිතිවිලි තවත් ඈතට ගෙන ගියේ ය.

 

WhatsApp Image 2024 04 15 at 8.20.59 AM

 

 'නැතිවුණු බැටළු පැටව්' නමින් ක්‍රිස්තියානි සංකල්පයක් ඇත. එහි ම කොටසක් ලෙස, එඬේරාගේ භූමිකාව (මින් සංකේත වන්නේ දෙවියන් ය.) වන්නේ ඒ නැතිවුණු බැටළු පැටවුන් නැවත සොයා ගැනීමයි. වන ලැහබ් කටුරොදවල් අතරට ගොස් එම බැටළු පැටවුන් අතරමං වී ඇති බේරා ගැනීමයි. 'ඒකේඩී' ජයරත්න පාලරයට එන්නේ, දශකයකට දෙකකට පමණ තමන්ගේ නැති වූ බැටළු පැටවුන් රැලේ දුක සැප සොයා යන්න හෝ නැවත වරක් අතරමං වන්නේ නැති අලුත් ගාලක් තමන් අතර පෙළගැසී සිටින  බව අතරමං වූවන්ට කීමට ද කියා මම නොදනිමි.

 

Udan fernando
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com

(කොලමේ මේ අනුවාදය අනිද්දා පත්‍රයේ පළ වූ එකෙහි යාවත්කාලීන කළ එකකි)

සබැඳි ලිපි :
 
 

රොහාන් පෙරේරා හා සූෆී ඉස්ලාමය - (නන්දන විරරත්න) 

පරම්පරාවක මරණය - (එරන්ද ගිනිගේ)

රොහාන් නමැති යතුරු සිදුරෙන් එබී බැලීම - (චින්තන ධර්මදාස)

රොහාන්ගේ මෘත කලේබරය මත තබා දීප්ති පෙති ගැසීම - (ජයසිරි අලවත්ත)

රොහාන් සහ කනත්තේ සංස්කෘතිය... -(ආචාර්ය මහේෂ් හපුගොඩ)

පශ්චාත් රොහානියානු ලංකාව - (අජිත් පැරකුම් ජයසිංහ)

රොහාන් පෙරේරා : හමු නොවීමේ ආසියාතික ආදරය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

රොහාන් පෙරේරා: අසම්පූර්ණ නර්තනයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ප්‍රකට දේශපාලන විශ්ලේෂක රොහාන් පෙරේරා සමුගනී

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රොහාන් සහ රොහාන් - (උදන් ප්‍රනාන්දු) | The Leader