The Leader News
BREAKING
Top Ad
Opinion

උමා ඔයේ සත්‍යය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

April 25, 2024 • 3:38 PM

උමා ඔයේ සත්‍යය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහින්ද අධිවේගී මාර්ග හැදුවේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්.
  • ලංකාවට සිංගප්පූරුවක් වෙන්න බැරි හේතුව තමයි ලංකාවේ මිනිස්සු සිංගප්පූරු මිනිස්සු වගේ නොවීම.
  • ලංකාවේ ආර්ථිකය බිංදුවට වට්ටලා, ඩොලර් බිලියන 13 ක් ණය අරගෙන හිර කරලා, රට ඇත්තටම බංකොලොත් කළේ 2015-2019 යහපාලන ආණ්ඩුව.
  • (එරන්ද ගිනිගේ) සමාජ ව්‍යවසායක සහ කර්තෘ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක eranda.ginige@gmail.com 2024 අප්‍රේල් 25.
අකුරු ප්‍රමාණය (Font Size):

mahindaමහින්ද අධිවේගී මාර්ග හැදුවේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. නමුත් ලංකාවේ මිනිස්සු මහින්දව එළවන්න ඒ පාරෙන්ම කොළඹ ආවා. මහින්ද වරාය හැදුවේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. නමුත් ලංකාවේ මිනිස්සු මහින්දට ගහන්න හෙව්වා. මහින්ද ගුවන් තොටුපළ හැදුවේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. නමුත් ලංකාවේ මිනිස්සු මහින්දව ඝාතනය කරන්න වට කළා. මහින්ද පොර්ට් සිටිය හැදුවේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. නමුත් ලංකාවේ මිනිස්සු මහින්දට සාප කළා. මහින්ද යුද්ධය අවසන් කළේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. නමුත් ලංකාවේ මිනිස්සු මහින්දව පරාද කරලා ගෙදර යැව්වා. ඉතින් මම අහන්නේ ලංකාවේ මිනිස්සුන්ට ඔය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කරන්නේ මොකටද?


JRලංකාවේ මිනිස්සුන්ට ඔය කල් පවතින දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල වටිනාකමක් නැහැ. යුද්ධය අවසන් කිරීම ගැනවත් වටිනාකමක් නැහැ. ජේ ආර් දැනගෙන හිටියා ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. ලංකාවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න මොකක් හරි ලොකු අර්බුදයක් අවශ්‍යයි. අර්බුදයක් නැත්නම් බොරුවට හරි එකක් හදාගන්න ඕනා. ලංකාවේ මිනිස්සුන්ගේ ආතල් එක තමයි ප්‍රශ්න හදාගෙන ඒවායින් විඳව විඳව ඉන්න එක. ප්‍රශ්න විසඳුවාම ඔවුන්ගේ ආතල් එක කැඩෙනවා. ප්‍රශ්නය විසඳූ කෙනා නරක මිනිහා වෙනවා. ඔබේ පවුලේ, රැකියා ස්ථානයේ, ව්‍යාපාරික ස්ථානයේ, කඩපොළේ, ගමේ, නගරයේ, පළාතේ ඕන තැනක ඕක නේද සත්‍යය! ලංකාවේ මිනිස්සුන්ගේ හැටි අප තේරුම් ගන්න ඕනා. ඔවුන්ට කවදාවත් හොඳ කරන්න යන්න නරකයි.


gotaසමහරු කියයි හැමෝම එහෙම නැහැ කියලා. මම කියන්නේ අතිමහත් බහුතරය එහෙමයි. ගෝඨාභය ඩොලර් එකක ISB ණය ගත්තේ නැහැ. නමුත් ලංකාවේ මිනිස්සු ගෝඨාභයට ගෙදර පලයන් කිව්වා. ගෝඨාභය බදු අඩු කරලා ජීවන බර අඩු කළා. නමුත් ලංකාවේ මිනිස්සු ගෝඨාභයට ගහන්න ගෙදරට ආවා. ගෝඨාභය සංඝ සභාවක් කැඳවලා, නැගෙනහිර බෞද්ධ උරුම සංරක්ෂණය කරන්න ජනාධිපති බලකායක් හැදුවා. නමුත් මහනායකලා පවා ගෝඨාභයට අස්වෙන්න කියලා ලියුම් ලිව්වා. ගෝඨාභය කොරෝනා වසංගතය පාලනය කරන්න රට වැහුවා. ඉස්පිරිතාල හැදුවා. එන්නත් ගෙන්නලා දෙක තුන ගැහුවා. මැරෙන්න තිබුණු ලක්ෂ ගණනකගේ ජිවිත බේරුවා. නමුත් ගෝඨාභයට හෙණ ඉල්ලුවා ලංකාවේ මිනිස්සු. පොහොර සමාගම් ලංකාවේ මිනිස්සුන්ට වස කවන එක ගෝඨාභය නැවැත්තුවා. නමුත් ලංකාවේ මිනිස්සු වස ඉල්ලලා පෙළපාලි ගියා. ගෝඨාභය මාස තුනක් ඉල්ලුවා ආර්ථිකය සමනය කරන්න. නමුත් ලංකාවේ මිනිස්සු ඔහුව ඝාතනය කරන්න කෝච්චිවල වහල උඩ නැගගෙන ආවා. ලංකාවේ මිනිස්සු එහෙමයි. මේ යථාර්ථය අප පිළිගත යුතුයි.

xdfgdfg5555
ලංකාවට සිංගප්පූරුවක් වෙන්න බැරි හේතුව තමයි ලංකාවේ මිනිස්සු සිංගප්පූරු මිනිස්සු වගේ නොවීම. ලී ක්වාන් යූ ලංකාවේ හිටියා නම් පොරට වෙන්නේ ගෝඨාභයට වුණු දෙයට වඩා හපන් දෙයක්. සිංගප්පූරුවේ මිනිහට ඔවුන්ගේ ඉතිහාසය මතකයි. හිටපු හැටි මතකයි. ඒ නිසා අද දවසේ ඔවුන්ට ලැබිලා තියෙන දේවල වටිනාකම ඔවුන් දන්නවා. නමුත් ලංකාවේ මෝඩයන්ට උන් මීට අවුරුදු පහකට දහයකට කලින්වත් හිටපු හැටි මතක නැහැ. අර්බුද අවස්ථාවක විදුලිය කැපුවම උන්ට මතක නැහැ ලංකාවේ මිනිස්සුන්ගෙන් බාගයකට විදුලිය තිබුණේ නැහැ කියලා. ලංකාව වටේම කාපට් පාරවල යනකොට උන්ට අමතකයි ඉස්සර ගමනක් යන්න තිබුණු අමාරුව. ෆේස්බුක් එකේ රඟන උන්ට අමතකයි අන්තර්ජාල පහසුකම් නොතිබූ කාලය.

jkldfke
මේ සංවර්ධන ව්‍යාපෘති හැම එකකටම පිරිවැය තිබෙනවා. අපි බොහෝ විට කතා කරන්නේ මුල්‍යමය පිරිවැය ගැන. ඒකටත් ලංකාවේ මිනිස්සු කියන්නේ “හොරා කෑවා” කියලා. ඉතින් මොකටද නිකං කුණු කතා අහගෙන ඕවා කරන්නේ? මේ ව්‍යාපෘතිවල සමාජ සහ පාරිසරික පිරිවැයක් තිබෙනවා. ඊනියා සංවර්ධනය කරන්න කරන්න ඒ වෙනුවෙන් අපිට අපේ වනාන්තර කපන්න වෙනවා. ගල් අඟුරු, බොරතෙල්, ගෑස් වැඩි වැඩියෙන් ගෙනල්ලා පුච්චන්න වෙනවා. ඒත් කමක් නැහැ කියමු ඒ සංවර්ධනයෙන් ලංකාවේ මිනිස් සමාජය දියුණු වෙනවා නම්. නමුත් ලංකාවේ මිනිස්සු එහෙම දියුණු වෙලාද? නැහැ. ඔවුන් ඔය සංවර්ධනයට පෙර හිටියටත් වඩා පිරිහිලා. සංස්කෘතිය රැකිලද? නැහැ. ගුණධර්ම රැකිලද? නැහැ. අන්තර්ජාලය නිසා හරි දැනුමෙන් බුද්ධියෙන් දියුණු වෙලාද? නැහැනේ. අඩුම ගානේ උන් ඔය සංවර්ධන ව්‍යාපෘතිවලින් ආර්ථික ප්‍රයෝජනයක් හරි ගන්නවද? ඒත් නැහැනේ. කොච්චර කළත් ලංකාවේ මිනිස්සුන්ට මදි. මුන්ව කවදාවත් දියුණු කරන්න පුළුවන් මිනිස්සු නොවෙයි. ඒ නිසා ඔය සංවර්ධන ව්‍යාපෘති කරන එකේ කිසි තේරුමක් නැහැ. අන්තිමට ඕවායින් ප්‍රයෝජන ගන්නේ පිටරැටියන්. හම්බන්තොට වරායෙන් ප්‍රයෝජන ගන්නේ චීන්නු. අපේ උන් ඒකට බැන බැන හිටියා මිසක් ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. ඒ තමයි ලංකාවේ මිනිහගේ හැටි. මේ සත්‍යය අප පිළිගන්න ඕනා.


paskuමේක හරියටම දන්න තව පොරක් තමයි අර කාඩිනල්. පාස්කු ප්‍රහාරය විසඳන්න දෙන්නේ නැතුව ඒක සදාකාලික අර්බුදයක් කරලා තියාගන්න හැටි පේනවද? මොකද ඒක තමයි ලංකාවේ මිනිස්සුන්ට ඕනා. අපේ මිනිස්සු වවාගෙන කන්න දන්න එකම දේ තමයි ප්‍රශ්න. දැන් බලන්න බෝම්බ ගහපු උනුයි බෝම්බ කාපු උනුයි බදාගෙන කිස් දෙනවා. ප්‍රශ්නය විසඳන්න හදපු ගෝඨාභයට වරද පටවනවා. අපරාදේ… ගෝඨාභයට තිබුණේ කාඩිනල්ට තව ලස්සනට පල්ලි ටිකක් හදලා දෙන්න…

 

ඒකයි කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට හොඳ කරන්න එපා කියලා. හොඳ කරන මිනිහා නරක වෙලා ප්‍රශ්නය හදපු එකා හොඳ මිනිහා වෙනවා. හොඳම උදාහරණය රනිල්. ලංකාවේ ආර්ථිකය බිංදුවට වට්ටලා, ඩොලර් බිලියන 13 ක් ණය අරගෙන හිර කරලා, රට ඇත්තටම බංකොලොත් කළේ 2015-2019 යහපාලන ආණ්ඩුව. ඒක නිවැරදි කරන්න හදපු රාජපක්ෂලා වැරදිකාරයන් වෙලා, ආර්ථිකය හදපු වීරයා රනිල් වෙලා! ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 අප්‍රේල් 25

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...