The Leader News
BREAKING
Top Ad
Opinion

පාඨලී මහා මැතිවරණයට බය ඇයි? - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

May 11, 2024 • 10:07 AM

පාඨලී මහා මැතිවරණයට බය ඇයි? - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යවස්ථාදායකය (Legislature) යනු ජනරජයේ පොදු කාරණා පිළිබඳව තීරණ ගන්නා ආයතනය යි.
  • ඒ අනුව ජනරජයේ මූල්‍ය අර්බුදයක් ඇති වුණා නම් එයට වගකිව යුත්තේ ද පාර්ලිමේන්තුව ය.
  • ජාතික ජන බලවේගයේ සුනිල් වටගල නමැති ඊනියා නීතිඥයා ඊයේ පැවති මාධ්‍ය හමුවක කියන්නේ “විධායකය යනු රනිල් වික්‍රමසිංහ” බවයි.
  • විධායකය යනු ජනපති, අමාත්‍ය මණ්ඩලය සහ සමස්ත රාජ්‍ය සේවය යන ආයතන තුනටම කියන පොදු නමක් බව උසස් පෙළට දේශපාලන විද්‍යාව උගන්නා සිසුවා පවා දනී.
අකුරු ප්‍රමාණය (Font Size):

ව්‍යවස්ථාදායකය (Legislature) යනු ජනරජයේ පොදු කාරණා පිළිබඳව තීරණ ගන්නා ආයතනය යි. උදාහරණයක් වශයෙන් ජනරජයේ මූල්‍ය පිළිබඳ තීරණ ගන්නේ පාර්ලිමේන්තුව ය. වාර්ෂික ආදායම සහ වියදම එනම් අයවැය තීරණය කර නීතිගත කරන්නේ පාර්ලිමේන්තුව ය. ඒ අනුව ජනරජයේ මූල්‍ය අර්බුදයක් ඇති වුණා නම් එයට වගකිව යුත්තේ ද පාර්ලිමේන්තුව ය.

විධායකය යනු ව්‍යවස්ථාදායකය ගන්නා තීරණ ක්‍රියාත්මක කරන (Executive හෙවත් Execute කරන) ආයතනය යි. ජාතික ජන බලවේගයේ සුනිල් වටගල නමැති ඊනියා නීතිඥයා ඊයේ පැවති මාධ්‍ය හමුවක කියන්නේ “විධායකය යනු රනිල් වික්‍රමසිංහ” බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඔහුගේ දැනුම එයින් පෙනේ. විධායකය යනු ජනපති, අමාත්‍ය මණ්ඩලය සහ සමස්ත රාජ්‍ය සේවය යන ආයතන තුනටම කියන පොදු නමක් බව උසස් පෙළට දේශපාලන විද්‍යාව උගන්නා සිසුවා පවා දනී. විධායක ආයතන ඉන්නේ ව්‍යවස්ථාදායකය ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට ය. තවද ඒ ධුරවල ඉන්නා Tom, Dick or Harry විධායකය නොවේ. These are basics in politics.


image c6935f6f7fජනරජයේ මූල්‍ය අර්බුදයක් ඇති වුණා නම් එයට වගකිව යුත්තේ ද පාර්ලිමේන්තුව ය.

 


ව්‍යවස්ථාදායකය සහ විධායකය එකිනෙකාගෙන් සංවරණය හා තුලනය (Check and Balance) කර තිබේ. එනම් පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් විධායකයේ නියෝජිතයන් වෙනස් කළ හැකිය. විධායකයට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් වෙනස් කළ හැකිය. මහලොකුවට ජනරජය නමින් පක්ෂ කෑල්ලක් අටවා ගෙන ඉන්නා පාඨලී කියන්නේ පාර්ලිමේන්තුව විසිරුවනවා නම් විසිරවිය යුත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව පමණක් කියා ය. එය ඔහුගේ ජනරජය සහ ප්‍රජාතාන්ත්‍රික මුලධර්ම පිළිබඳ ඇති නූගත්කම පෙන්වන්නකි. මේවා ඔහු ඇතුළු යහපාලන නඩය විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදු කළ අතාර්කික මුග්ධ ක්‍රියාවන් ය. ඕනෑම ආයතනයක සංවරණය හා තුලනය ඒ ආයතනයටම දීමේ අතාර්කිකකම පාඨලීට තේරෙන්නේ නැති එකට අපට කරන්නට දෙයක් නැත.

පාඨලී යනු සාහසික අරගලයේ ප්‍රමුඛ පාර්ශවකරුවෙකි. අරගලයෙන් ඉල්ලා සිටියේ System Change එකකි. සිස්ටම් එක චේන්ජ් කරන්න නම් මුලින්ම කළ යුත්තේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් වෙනස් කිරීම ය. එය කළ යුත්තේ අර විධායක ජනපති ඉවත් කළාක් මෙන් පාඨලී ඇතුළු අරගලකරුවන්ගේ ත්‍රස්තවාදයෙන් නොවේ. එය කළ යුත්තේ නිදහස් හා සාධාරණ ඡන්දයෙනි. පාර්ලිමේන්තුව විසිරුවනවා යනු පාර්ලිමේන්තුවට අලුතෙන් නියෝජිතයන් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව දීම යි. එවිට එම නියෝජිතයන්ට ජනරජය පිළිබඳ අලුත් ප්‍රකාශිත ප්‍රතිපත්ති මත තීරණ ගැනීමට වරමක් ජනතාවගෙන් ලැබේ. එසේ නම් මහා මැතිවරණය පවත්වනවාට පාඨලී මෙතරම් බිය වන්නේ ඇයි?

 

 



එයට හේතුව වන්නේ මහා මැතිවරණය පැවැත්වුවහොත් ජනතාව මෙවර ඔහුව තෝරා නොගන්නා බව ඔහු දන්නා නිසාද? අද ඔහු කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයකට වැද්ද නොගනී. ඔහු සත පහකට විශ්වාස කළ නොහැකි චරිතයකි. අත්තෙන් අත්තට පැන පැන යන රිලවා මෙන් එහාට මෙහාට පැන්නා පමණක් නොව තමන් එකල පෙනී සිටි ජාතිකවාදී මතවාදයටද කොකා පෙන්නා පැන්න අයෙකි. පනින රිලවුන් ගැන ජනතාවට විශ්වාසයක් නැත. ඔහුත් සමග සිටි රතනට මිනිසුන් කියන්නේ “අතන මෙතන රතන” කියා ය. ගම්මන්පිලට මිනිසුන් කියන්නේ “ගෙම්බන්පිල” කියා ය. පාඨලීට මිනිසුන් කියන්නේ “පාට පාට ලී” කියා ය. ඒ ඔවුන්ගේ ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදී පැනීම් ගැන ජනතාව හොඳින් දන්නා නිසා ය. එබැවින් මහා මැතිවරණය පැවැත්වුවහොත් තමන්ට සදහටම පාර්ලිමේන්තු අසුන නැති විය හැකි යැයි පාඨලී සිතනවා විය හැකිය.

 

JVPජාතික ජන බලවේගය හෙවත් පාඨලීගේ ඓතිහාසික සතුරා වන ජනතා විමුක්ති පෙරමුණට වැඩි ආසන සංඛ්‍යාවක් ජනතාව ලබා දෙයි කියා සිතන නිසාද?

නොඑසේ නම් පාර්ලිමේන්තු මැතිවරණයට පාඨලී මෙතරම් බිය වන්නේ එවිට ජාතික ජන බලවේගය හෙවත් පාඨලීගේ ඓතිහාසික සතුරා වන ජනතා විමුක්ති පෙරමුණට වැඩි ආසන සංඛ්‍යාවක් ජනතාව ලබා දෙයි කියා සිතන නිසාද? ජාජබයේ නැගීමට වෙන කාටත් වඩා බිය වන්නේ පාඨලී බව කවුරුත් දනී. හදිසියෙවත් ජාජබ ආණ්ඩුවක් හැදුනොත් ඔවුන්ගේ පලිගන්නා ලැයිස්තුවේ පැරණිම සාමාජිකයෙක් වෙන්නේ පාඨලී ය. ගෝඨාභයට සහ කාඩිනල්ට පින් සිද්ධ වෙන්න 88-89 දී ජීවිතය බේරා ගත්තත් මෙවර නම් එසේ බේරන්නට කිසිවෙකු නැති බව ඔහු දන්නවා විය හැකි ය.

 

 

image b974f7ec16මහා මැතිවරණයෙන් නැවතත් පොහොට්ටුවට වැඩිපුර ආසන සංඛ්‍යාවක් ජනතාව විසින් ලබා දෙන බව ඔහු දන්නා නිසාද?

එසේත් නැත්නම් පාඨලී බිය වන්නේ මහා මැතිවරණයෙන් නැවතත් පොහොට්ටුවට වැඩිපුර ආසන සංඛ්‍යාවක් ජනතාව විසින් ලබා දෙන බව ඔහු දන්නා නිසාද? රාජ්‍ය පාලනයෙන් ඉවත්ව සිටින බැසිල් රාජපක්ෂවම ඉලක්ක කර ඔහු දිගින් දිගටම මහා මැතිවරණය ප්‍රතික්ෂේප කිරීමෙන් අපට පෙනෙන්නේ පොහොට්ටුවේ ඡන්ද පදනම පෙර මෙන්ම ශක්තිමත් බව ඔහු සිතනා බවය. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනා නැවත ජනතාව විසින් තෝරා ගනු ඇත. පොහොට්ටුවෙන් ඉවත් වූ ඇතැමුන් වෙනුවට නවකයන්ටත් අවස්ථාව උදා වෙනු ඇත. ඊළඟ ආණ්ඩුවත් විපක්ෂයත් හැදීමේ තීරක බලවේගය වන්නේ පොහොට්ටුව බව පාඨලී නොදන්නවා විය නොහැකිය.

එක පැත්තකින් රනිල් වික්‍රමසිංහව දිනවීමට පොහොට්ටුවේ සහාය ඉල්ලන ගමන් අනෙක් පැත්තෙන් මහා මැතිවරණය පවත්වනවාට විරුද්ධව පොහොට්ටුවට බැන වැදීම නිවට කමකි. පාඨලී ඔබ බිය නොවන්න. කටින් වීර කතා කියනවාක් මෙන් ක්‍රියාවෙන්ද වීරකම පෙන්වන්න. ඔබ කියනා තරම් දක්ෂයෙක් නම් ඕනෑම මොහොතක ඡන්දයකට යෑමට ඔබට හැකි විය යුතුය. මහා මැතිවරණය පැවැත්වුවහොත් දිස්ත්‍රික්කයෙන් උපරිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන පාර්ලිමේන්තුවට පැමිණ පෙන්වන්න පුළුවන්ද? දිස් ඉස් පොලිටික්ස්.


eranda. ginige
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 මැයි 11


 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...