The Leader News
BREAKING
Top Ad
Opinion

ගෘහ රෝග - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

June 16, 2024 • 11:50 AM

ගෘහ රෝග - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ වෙසෙන හා නොවෙසෙන ලාංකික ජනතාව, 'අමතක කරලමු පරණ කතා, එක් වෙමු ජාතික දියුණ පතා' තාලයෙන් එක් සේසත් වන්නේ තම ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ය.
  • බොහෝ කලක් ක්‍රිකට් ලෝකයේ අන්ඩර්-ඩෝගයන් ලෙස සැළකුණු ලංකාව ඉන් පසු දිගට ම සිටියේ ලෝක-ශුර ආකල්පයකිණි.
  • නැවත වරක් ලකේ වෙසෙන නොවැසෙන ලාංකික ජනතාව එක්සේසත් වන්නට පටන් ගත්තේ ටී-20 ලෝක කුසලානය උදෙසා කෙරෙන තරගාවලිය නිසාවෙනි.
  • සාමාන්‍යයෙන් ක්‍රිකට් නොගසන රටක වන ඇමරිකා එක්සත් ජනපදය මේ තරගාවලියේ සත්කාරක රට ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකාවේ වෙසෙන හා නොවෙසෙන ලාංකික ජනතාව, 'අමතක කරලමු පරණ කතා, එක් වෙමු ජාතික දියුණ පතා' තාලයෙන් එක් සේසත් වන්නේ තම ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ය.

 

world cup1
දශක තුනකට පමණ පෙර -- නිශ්චිතව කියතොත් අවුරුදු 28 කි --  ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැති ලෝක කුසලාන අවසාන තරඟයෙන් ජයගෙන, පාකිස්ථානයේ එවකට අගමැතිණි බෙනසීර් භූතෝගෙන් දිදුළන රන් පැහැ කුසලානය අර්ජුන රණවක සිනාමුසු මුහුණෙන් ලබාගන්නා ඒ දසුන, තවමත් ලාංකිකයන්ගේ මනසේ මකන්නට බැරි පච්චයක් සේ කෙටී ඇත (ඇත්තට ම දුටුගැමුණු රජුගෙන් පසු ලක්දිව එක්සේසත් කැළේ අර්ජුන කුමරු යැ). බොහෝ කලක් ක්‍රිකට් ලෝකයේ අන්ඩර්-ඩෝගයන් ලෙස සැළකුණු ලංකාව ඉන් පසු දිගට ම සිටියේ ලෝක-ශුර ආකල්පයකිණි.

 

1715620761 t20 world cup squad meets president
නැවත වරක් ලකේ වෙසෙන නොවැසෙන ලාංකික ජනතාව එක්සේසත් වන්නට පටන් ගත්තේ ටී-20 ලෝක කුසලානය උදෙසා කෙරෙන තරගාවලිය නිසාවෙනි. සාමාන්‍යයෙන් ක්‍රිකට් නොගසන රටක වන ඇමරිකා එක්සත් ජනපදය මේ තරගාවලියේ සත්කාරක රට ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි. ක්‍රිකට් කණ්ඩායම පිටවීමට පෙර ජනපති හා ක්‍රීඩා ඇමති හමු වී ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේ චාම් තේ පැන් සංග්‍රහයක් ද භුක්ති විඳිමිණි. තැන තැන ගොස් මෘදු පන්දු ක්‍රිකට් ගැසීමට දක්ෂ විපක්ෂ නායකතුමා, ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුවා ද නැද්ද යන්න මම නොදනිමි. එහෙත්, තුන් පෝයකින් ජනපති වීමට නියමිත අයවලෙකු ටැක්ස්ට් පණිවිඩයක් හරහා ලාංකීය ක්‍රිකට් කණ්ඩායමට තම සුභ පැතුම් එක් කළේ ය. ජයග්‍රහණය මුව විට සිටින ඒ අයවලා, තම ටැක්ස්ට් පණිවිඩයෙන් කීවේ, ලාංකීය කණ්ඩායම ද ජයග්‍රහණය නිසැක ව අත්පත් කර ගත යුතු බව ය.

 

5549252917 49b31ebf40 b
සාමාන්‍යයෙන් ක්‍රිකට් ගැසෙන, එංගලන්තය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල සිටින ලාංකික සම්භවයක් ඇති අයට හා ඔවුන්ගේ දෙවන තුන්වෙනි පරම්පරාවලට, තම වෝඩ්රෝබ වලින් කපුරු බෝල ද සමග පරිස්සමෙන් එල්ලා ඇති සිංහයා මුද්‍රිත කහ පාට නිල් පාට ටී ෂර්ටය එළියට ගෙන අභිමානයෙන් ක්‍රිකට් තරඟ බැලීමට බොහෝ අවස්ථා ලැබේ. ලාංකීය පිල ක්‍රීඩා කරන සෑම අවස්ථාවක ම, ඕස්ට්‍රේලියානු හා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩා පිට්ටනි වටා ඇති ප්‍රේක්ෂකාගාර නිලෙන් කහෙන් පිරෙන්නේ එබැවිණි. එහෙත් මෙවන් වාසනාවක් මෙතෙක් නොලද ඇමෙරිකාවේ වෙසෙන ලාංකික සම්භවයක් ඇති අයට ලංකාවේ ක්‍රිකට් තරඟයක්  බැලීමට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය විය හැක. ඒ නිසා මේ පිරිස ජාතිකානුරාගයෙන් ඇවිළී නිල් කහ ටී ෂර්ට් හැඳ පැළඳ, සිංහ කොඩි ද වනමින් ඇමරිකානු ක්‍රීඩා ප්‍රේක්ෂකාගාර ආක්‍රමණය කළ හ. ඒ අතර, සිංහ කොඩියට අමතර ව, තමනට රිසි අනාගත ජනපති රුවක් මුද්‍රිත කාඩ්බෝඩ් ප්ලැකාඩ ද පිට්ටනියට ගෙන ආ හ. ඔතෙන්ටික ලාංකේය ක්‍රිකට් පරිසරය ඇමරිකාවේ උත්ථානය කරනු පිණිස පපරේ බෑන්ඩ් කණ්ඩායම් ද කොටහේන පැත්තෙන්, බර වියදමක් දරා, ආනයනය කරගත් බව සීඑන්එන් හා පොක්ස් නිව්ස් ඇන්කර පිට්ටනියට ම ඇවිත් ලොවට ම වාර්තා කළ හ.

 

මේ හයිපර ක්‍රිකට් ජ්වලිතභාවයේ අධි ආලෝකය එක් වර ම පියුස් එක ගියා සේ නැතිබංගස්ථාන වූයේ, ලාංකීය කණ්ඩායම ගසන ගසන තරඟය පරාජය වෙන්නට පටන් ගැනීමත් සමග ය. තරගාවලිය මැරතන් එකක් ලෙස තවදුරටත් යා යුතු නමුත්, මේ වන විට ලාංකීය ක්‍රිකට් එක්සේසත්භාවය ගිම්හානයේ දවාලක හිම කිරමක් සේ දිය වෙන්නට පටන් ගෙන ඇත. ඇමරිකානු පිට්ටනිවලට රොද බැඳ ආ ලාංකීය ක්‍රිකට් ලෝලීන්ගේ හයිපර උනන්දුවෙන් අරික්කාලක්වත්, ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තිබුණා නම් මේ වින්නැහිය අපට සිදු නොවෙනු ඇත. සුපුරුදු පරිදි පරාජය වූයේ අහවලා කණ්ඩායමේ අත මිරිකූ නිසා බව ද අහවලාගේ පොටෝ පිට්ටනියේ වැනීම නිසා බව ද ආදී අවලාද දස අතේ පැතිරිණ.    

කතාව එතනින් අවසන් වුණේ නැත. පරාජයේ තුවාලයට ලුණු පොල් කට්ටක්ද හැළිණ. එය සිදු වූයේ මෙයාකාරයට ය. නිල් කහ ටී-ෂර්ට්ධාරී ජවලිත ඇමෙරිකානු -ලාංකිකයනට (හෝ ලාංකික ඇමරිකානුවනට හෝ තවමත් ඇමරිකානු කඩදහි හැදී නැති අයවළුනට) අලුත් නමක් පටබැඳිණ. එය මීට පෙර එවන් කොට්ඨාශ හැඳින්වීමට භාවිතා කළ නමට වඩා සපුරා වෙනස් ය.

thumbnail 2020 09 19T205539.036


තිස් වසරක ජනවාර්ගික ගැටුම සමයේ සිංහල මාධ්‍ය විසින් භාවිතා කළ නම වූයේ කොටි ඩයස්පෝරාව ය. කොටි කෑල්ල නැතත් ඩයස්පෝරාව කියන විට, ඉන් හැඟවන්නේ ලකට එරෙහි ව පිටරට වෙසෙන, මෙරටට වින කටිණ දමිළ සම්භවයක් ඇති ලාංකිකයන් බව ය. පිටරට වෙසෙන සිංහල ජනවාර්ගික කොටස් නියෝජනය කිරීමට නමක් නොනිල වශයෙන් බෞතිස්ම වූයේ 'ඩයස්මීවරු' ලෙස ය. 2019 වසරේ දක්නට ලැබූ උග්‍ර දේශපාලන ජ්වලිතභාවය නිසා, පිටරට වෙසෙන ලාංකිකයෝ දහස් ගණනින් අහසියාන්තරාවල පැට වී මව්බිමට ආවෝ තමන්ගේ දේශපාලන විශ්වාසය අනුව එක්තරා පුද්ගලයෙක් ජනපති කරගැනීමට ය. මෙලෙස ආ අය අතර බ්‍රිස්ටල් බෝඩයක මාකර් පෑනකින්, මම ඩය්ස්මී යන්නෙන් පටන් ගෙන කෙටි සීගිරි පන්නයේ කවි පංතියක් ලියාගෙන ආ තරුණ මහතා ස්මරණය කරනට, ලාංකීය වාග්වේදියෝ 'ඩයස්මීවරු' නමැති තාක්ෂණික පදය සංක්‍රමණ විෂය පථයට එක්කාසු කළ හ.

මෙවර ඇමරිකාවේ සිට ජාතිකානුරාගය අභ්‍යාස කරමින් බවුන්ඩරි-සික්සර පොටෝ වැනූ පිරිසට පටබැඳුණු අභිනව නාමය වන්නේ 'හෝම්-සික්-කාරයෝ' ය. හෝම්-සික් යන ඉංග්‍රීසි යෙදුමට හරි හමන් සිංහල වචනයක් මා දන්නේ නැත. මා ඊට 'ගෘහ රෝග' ලෙස යොදා ඇත්තේ හුදු වාච්‍යාර්ථය ඔස්සේ කෙරුණු වියලි පරිවර්තනයක් බව දැන දැන ය. එය හුදෙක් තාවකාලික සිංහල යෙදුමක් ලෙස හෝම්ය-සික්වරුන් හැඳින්වීමට මා භාවිතා කරන නමුත් වඩා හොඳ යෙදුමක් පාඨක ඔබෙන් පතමි.

Untitled Artwork 7 2 1

 

හෝම්-සික් හි ඉඩියමැටික අර්ථය වන්නේ, යමෙකු තම නිවසෙන් හෝ වටාපිටාවෙන් හෝ රටෙන් හෝ බැහැර, අන් පරිසරයක ජීවත්වන විට, තමා මුලින් සිටි නිවස, වටාපිටාව හෝ රට නිතර ම සිහි වීම යි. තමා මුලින් සිටි පරිසරයේ ආසාවෙන් කළ චර්යාවන් හා ගතකළ ජීවිතය, හුරු පුරුදු කියුම් කෙරුම් කෑම බීම ඥාති හා යාළු මිත්‍රාදීන් අලුතෙන් සිටින රටේ කරනට දකිනට නොහැකි වීම නිසා සිත් තැවුලට පත්වීම යි. ඇත්තෙන් ම සමහර උදවිය මේ ආකාරයෙන් ශාරීරික ව ද අසනීප වෙන අවස්ථා ද ඇත. පිටරට ඕනෑ ම ඩයස්‌පෝර කඩයකට ගොඩවුණු විට, මේ අසනීපයට අත්දුටු බෙහෙත් වන නෙක්ටෝ, ලෙමන් පෆ්, කොහොඹ සබන් ආදී අයිතම පහසුවෙන් ලබා ගත හැකි ආකාරයකට නිතර ම ඒවා ඉස්ටොක් කර තබන්නේ ඒ නිසා ය. මෙහි ම දිගුවක් ලෙස, ලංකාවේ බත් මාළු පිනි කොත්තු හා ගල් අරක්කු සිංහල සින්දුවක් අහන ගමන් කෑමට බීමට අවස්ථා සපයන්නේ ද ගෘහ රෝගී තත්ත්වය සමනය කරනු පිණිස ය. ප්‍රියා සුරියසේන හා ඇන්ජලින් ගුණතිලක සිට කසුන් කල්හාර හා ඇන්ද්‍රියා ෆැලන් ද සති අන්තයකට ආනයනය කරගන්නේ ද මේ ව්‍යාධියට ප්‍රිවෙන්ටිව් මෙසරයක් ලෙසිණි.

එහෙත් 'ගෘහ රෝගී වාට්ටුවේ' සිටින සමහරුන් නෙක්ටෝවකින් හෝ කොත්තුවකින් සමනය කර ගත නොහැකි ඇකියුට්-හෝම්-සික් මට්ටමකින් පෙළෙන බව කියැවේ. ඔවුන්ගේ තත්ත්වයට අහන එක ම ඖෂධය දේශපාලනය ය. තමන් වෙසෙන රටේ දේශපාලනය ගැන වැරදිලාවත් නොසිතන නොතකන, බොහෝ විට ඒ ගැන හාංකවිසියක්වත් නොදන්නා මේ සුවිශේෂී කොට්ඨාශය, උදේ අවදිවන වේලාවේ සිට රාත්‍රියේ නිදාගන්නා තුරු හා අතරතුර කරන්නේත් ලංකාවේ දේශපාලන ය. සමහරවිට නිදාගන්නා විට සිහිනෙන් දකින්නේත් ලාංකේය දේශපාලන කරළිය ගැන ම විය යුතු ය.


බාබර බැරෝමීටර - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෘහ රෝග - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader