The Leader News
BREAKING
Top Ad
Opinion

මේ වෙලාවෙ රනිල් තමයි (ලූ) !- (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

July 5, 2024 • 5:51 AM

මේ වෙලාවෙ රනිල් තමයි (ලූ) !- (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද අපි පෙට්‍රල් ගැනීමට දවස් ගණන් පෝලිම්වල රස්තියාදු නොවෙමු.
  • ඉතිං, අද එවැනි තත්වයක් නැති නිසා, අප වළෙන් ගොඩ ඇවිත් ඇතැයි ඇස් දෘෂ්ටියට පෙනෙයි.
  • ඇත්තෙන්ම, ගෝඨාභය රාජපක්ෂගේ සහ ඔහුගේ 'වියත් මඟේ' නුවණට වෙනස් ආකාරයේ ඕනෑම නුවණකට (සාමාන්‍ය බුද්ධියකට) මේ වැඩේ මේ ආකාරයෙන්ම කිරීමට පිළිවන්කම තිබේ.
  • උදාහරණයක් වශයෙන්, ඔබේ සාක්කුවේ සල්ලි ඉවර වී ඇත්නම් කිසි බඩුවක් ගැනීමට ඔබ වෙළෙඳසැලකට ඇතුළු නොවනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අද අපි පෙට්‍රල් ගැනීමට දවස් ගණන් පෝලිම්වල රස්තියාදු නොවෙමු. ගෑස් සිලින්ඩරයක් සොයාගැනීමට රට වටේ කරක් නොගසමු. ඉතිං, අද එවැනි තත්වයක් නැති නිසා, අප වළෙන් ගොඩ ඇවිත් ඇතැයි ඇස් දෘෂ්ටියට පෙනෙයි. එහෙත් එය විශ්වකර්ම වැඩක්ද?

උදාහරණයක් විදිහට, සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක එදා ගෝඨාභය රාජපක්ෂගෙන් අගමැති පදවිය භාරගෙන, පසුව ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපති පදවියට පත්වි‚ නම්, මේ කියන කරුණු සම්බන්ධයෙන් මීට වෙනස් ආකාරයකින් ඔවුන් කටයුතු කරතියි සිතීමට විශේෂ හේතුවක් තිබේද? ඇත්තෙන්ම, ගෝඨාභය රාජපක්ෂගේ සහ ඔහුගේ 'වියත් මඟේ' නුවණට වෙනස් ආකාරයේ ඕනෑම නුවණකට (සාමාන්‍ය බුද්ධියකට) මේ වැඩේ මේ ආකාරයෙන්ම කිරීමට පිළිවන්කම තිබේ.

  

වළෙන් ගොඩඒමේ පළමු පියවර වුණේ, 'ජාත්‍යන්තර මූල්‍ය අරමුදල' (අයි.එම්.එෆ්.) සමග ගිවිසුම්ගත වීමට සාකච්ඡා ඇරඹීමයි.
වළෙන් ගොඩඒමේ පළමු පියවර වුණේ, 'ජාත්‍යන්තර මූල්‍ය අරමුදල' (අයි.එම්.එෆ්.) සමග ගිවිසුම්ගත වීමට සාකච්ඡා ඇරඹීමයි. 

දෙවැනි වැදගත් කාරණය වුණේ, අත්‍යාවශ්‍ය නොවන ආනයන මුළුමනින්ම නතර කිරීමත්, අත්‍යාවශ්‍ය ආනයන පවා සීමා කිරීමත් ය. 

තෙවැනි වැදගත් කාරණය වුණේ, දේශපාලනඥයන්ගේ දෘෂ්ටිවාද මත පදනම්ව මහබැංකුව විසින්ම අඩාල කර තිබුණු මූල්‍ය ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා, දේශපාලනඥයාගේ පටු ග්‍රහණයෙන් මහබැංකුව නිදහස් කිරීම සහ මුදල් අච්චු ගැසීමේ සෙල්ලම නතර කිරීමයි. 

සිව්වැනි කාරණය වුණේ, 'ණය ප්‍රතිව්‍යුහගත' කිරීමයි. 


ආනයන සීමා පැනවූ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ඔබ දන්නවා ද ?අත්‍යාවශ්‍ය නොවන ආනයන මුළුමනින්ම නතර කිරීමත්, අත්‍යාවශ්‍ය ආනයන පවා සීමා කිරීම

 

මින් පළමුවැන්න, එනම් 'ජාත්‍යන්තර මූල්‍ය අරමුදල' සමග සාකච්ඡා, බොහෝ පමා වි හෝ, ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය සමයේම පටන්ගන්නා ලදි. දෙවැන්න හෙවත්, ආනයන සීමාව සිදු කිරීම, වෙන ක්‍රියාමාර්ගයකට කිසි ඉඩක් නැති වීම නිසා, බලහත්කාරයෙන් තමන් වෙතම පනවාගැනීමට සිදු වූ සීමාවකි. උදාහරණයක් වශයෙන්, ඔබේ සාක්කුවේ සල්ලි ඉවර වී ඇත්නම් කිසි බඩුවක් ගැනීමට ඔබ වෙළෙඳසැලකට ඇතුළු නොවනු ඇත. එයද, කවුරු බලයට පත්වුණත් අනිවාර්යයෙන් කිරීමට බල කෙරෙන ක්‍රියාවකි. 

ඊළඟට, රටේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගත යුතුව තිබේ. එය තරමක් සංකීර්ණයි. එහෙත් එය පවා, අන්තෙටම වැටුණු විට, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කාටත් කිරීමට අනිවාර්යෙන් බල කෙරෙන්නකි. අවසාන වශයෙන්, මේ ප්‍රශ්න සියල්ලේ එක් ප්‍රධාන මූලයක් වන, 'ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ' මූලික පියවර ගත යුතුව තිබේ. හොඳින් මතක තියාගන්න: මේ සියල්ල කළ යුතුව ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ හෑරූ වළෙන් 'මේ මොහොතේ ගොඩඑම සඳහා' පමණි. රටේ සංවර්ධනයේ මාවත හෙවත් වළෙන් ගොඩ ආ පසු යා යුතු ගමන පටන්ගැනෙන්නේ ඉන් පසුවයි.

අද අප සිටින්නේ 2019 සිටි තත්වයේ ය

ඉන්ධන පෝලිම් අවසන් වන්නේ කවදා ද?2022 දී අප අත්දැක්කේ, අසාමාන්‍ය ඔලමොට්ටලකම් රාශියක එකතුවකි.

 

දැන් මෙසේ සිතන්න: පෙට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම්, පොහොර පෝලිම්, 1970-1977 සිරිමා බණ්ඩාරනායකගේ කාලයේ පවා තිබී නැත. 2022 දී අප අත්දැක්කේ, අසාමාන්‍ය ඔලමොට්ටලකම් රාශියක එකතුවකි. එය සාමාන්‍ය තත්වයක් නොව, අසාමාන්‍ය තත්වයකි. එවැනි තත්වයකට වැටෙන ඕනෑම රටක් යම් කාලයකින් පසුව, යථා තත්වයට පත්වනු ඇත. එනම්, අවුරුද්දකට හෝ දෙකකට කලින් තිබුණු පරණ තත්වයට යළි පත්වන බවයි. එකිනෙක රටේ ඒ සඳහා ගතවන කාල සීමාවේ වෙනස්කම් තිබිය හැකි මුත්, අවසානයේ කොයි රටත් යථා තත්වයට පත්වීම සාමාන්‍ය ස්වභාවයයි.

දැන් මෙසේ සිතන්න: ඒ අසාමාන්‍ය තත්වයට මේ රට පත්කළ පුද්ගලයන් කවුද? ඔවුන් අද සිටින්නේ කොහේද? අපේ මාතෘකාවට පමණක් සීමා විය යුතු නිසා, කෙටියෙන් මෙසේ කිව හැකිය: රනිල් වික්‍රමසිංහගේ වර්තමාන සමස්ත ඇමති මණ්ඩලයම සමන්විත වන්නේ, එකී 'අසාමාන්‍ය වළට' මේ රට ඇද දැමූ පුද්ගලයන්ගෙන්මයි. ජුලි 2 පාර්ලිමේන්තුවේ කතා කරමින් රනිල් වික්‍රමසිංහ වැදගත් කාරණයක් පෙන්වා දුනි. එනම්, 'සුභ ආරංචියක්' නමින් හඳුන්වන ලද, 'පැරිස් සාමූහිකය' සහ ඉන්දියාව, චීනය සහ ජපානය සමග ද්වි-පාර්ශ්වීක 'ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ' කාර්යය සඳහා වන සාකච්ඡා පැවැත්වූයේ තමා නොව, මුදල් රාජ්‍ය ඇමතිවරයා ඇතුළු නිලධාරීන් බවයි. 

 



ඒ මුදල් රාජ්‍ය ඇමතිවරයා, රට මේ වළට වැටෙන වෙලාවේ සිටියේ කොහේද? වළ හෑරූ පිරිස නියෝජනය කළ කඳවුරේ ය. දැන්, අපට වාසිදායක කොන්දේසි යටතේ, ද්වි-පාර්ශ්වීය ණය හිමියන් සමග සාකච්ඡා කර, අපට 'සුභ ආරංචිය' ගෙන ඒමට මූලික වී ඇත්තේද ඔහු ඇතුළු පිරිසකි. 

මෙහිදී, පොඩි කතාවක් කීමට තිබේ: ඔබ යමෙකුව වැවට තල්ලූ කරයි. ඉන්පසු, ඔබම වැවට පැන ඒ පුද්ගලයාව බේරා ගනියි. මෙය, සම්මානයට පාත්‍ර විය යුතු වීර ක්‍රියාවක්ද? වර්තමාන සමස්ත ඇමති මණ්ඩලයම වැටෙන්නේ, ඉහත කී සිද්ධියේ, වැවට තල්ලූ කර, අනතුරුව බේරාගන්නා පුද්ගලයාගේ පිරිසටයි. රට ගොඩගැනීමේ යහපත් ක්‍රියාව, රට වළට දැමීමේ අයහපත් ක්‍රියාවට හිලව් විය යුතු බව මේ පිරිස නොදනිති. අප මේ කතා කරන්නේ, රට ''ගොඩනැඟීමක්'' ගැන නොව, වැටුණු වළකින් රට ''ගොඩගැනීමක්'' ගැනයි. ඒ  දෙක අතරේ විශාල වෙනසක් තිබේ. 

ඔව්, කෙටිකාලීනව ගත් විට, ඒ  විශේෂිත වළ හැරීමේ ක්‍රියාවට රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නැති බව ඇත්ත. (කාලයක් තිස්සේ ඒ වළ ටිකෙන් ටික හෑරෙමින් තිබුණු බවත්, නිදහසේ පටන් මේ රට පාලනය කළ සහ ඒ පාලනයන්ට වරින්වර සම්මාදම් වී ඇති සියලූ අවශේෂ පක්ෂ සහ සියලූ පුද්ගලයිනුත් ඊට වගකිව යුතු බවත්, වෙනම සාකච්ඡාවට ගත යුතු කාරණයකි). ම

ගේ තර්කය මෙයයි: රනිල් වික්‍රමසිංහගේ වර්තමාන සම්මාදම, වෙන කිසි ජගතෙකුට කළ නොහැකි, අද්විතීය දෙයක් නොවේ. මෙසේ කීම, කුහක කතාවක් නොවීමට නම්, මේ ප්‍රශ්නයට අනුබද්ධ තවත් කාරණයක් ගැන අපේ සැලකිල්ල යොමු කළ යුතුය. එනම්, වළෙන් ගොඩට ගැනීමේ කාර්යය, වෙනත් කිසිවෙකු භාර නොගත්තේ මන්ද යන්නයි. මෙය, රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුව කඳවුරෙන් නිතර මතු කරන ප්‍රශ්නයකි. 

 

සජිත් - අනුර විවාදය : සජබට හැකි දිනය සති අන්තයේ දැනුම් දෙයිමේ කියන ''මඟහැර යාම'' සිදු වුණේ, අගමැති තනතුර සම්බන්ධයෙනි.
මේ කියන ''මඟහැර යාම'' සිදු වුණේ, අගමැති තනතුර සම්බන්ධයෙනි. ගෝඨාභය රාජපක්ෂ කිහිප දෙනෙකුට ආරාධනා කෙළේ, තමාගේ ජනාධිපති තනතුර සඳහා නොව, තමා යටතේ ඇති අගමැති තනතුර සඳහා ය. එවැන්නක්, සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක ප්‍රතික්ෂේප කිරීම වරදක් වන්නේ කෙසේද? ඊට මාස කිහිපයකට පසුව, 'අරගලය' හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වීමට සිදු වන බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුගේ අගමැති ධුරය භාරගත් කෙනා ජනාධිපති තනතුරට පත්වන බවත්, මේ කියන අවස්ථාවේ පෙරදැකිය හැකිව තිබුණු තත්වයක් නොවේ. ඇත්ත වශයෙන්ම, එවැනි වියහැකියාවක් රනිල් වික්‍රමසිංහ පවා දැන සිටියේ යැයි සිතීම උගහට ය. 

ඒ කෙසේ වෙතත්, තිබුණු පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතිනම්, භාරගන්නා ආණ්ඩුවක් ගෙනයාමට සිදුවන්නේ පොහොට්ටුවේ ආශීර්වාදය සහිතව පමණක් නම්, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක එවැනි තනතුරක් (අගමැති තනතුරක්) භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම, දේශපාලනික වශයෙන් ප්‍රඥාගෝචරයි. එය, අභියෝගයට මුහුණනොදී පලායාමක් නොව, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් යටතේ අභියෝගය භාරගත යුතුය යන ස්ථාවරයේ පිහිටා සිටීමකි. එවැනි ප්‍රශ්නයක් රනිල් වික්‍රමසිංහ අරභයා පැනනොනඟී. හේතුව, රටේ මුල්බැසගත් දේශපාලනික කඳවුරක් හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක් හෝ ඒ මොහොතේ ඔහුට නොමැති වීමයි. ඉතිං ඔහු එය භාරගැනීම සහ වළ හෑරූ පිරිස සමග එක්ව ඒ වළෙන් ගොඩඒමට මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග, ඔහුගේ එක්තරා සුවිශේෂී දුර්වලත්වයක ස්වාභාවික යාන්ත්‍රණයක් මගින් ඇති කරගත් සීමිත සාර්ථකත්වයක් යැයි හැඳින්වීම වරදක් නැත.

 

2023 අයවැය : නව යෝජනා මොනවාද?අරගලය' හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වීමට සිදු වන බවත්, ඔහුගේ අගමැති ධුරය භාරගත් කෙනා ජනාධිපති තනතුරට පත්වන බවත්, මේ කියන අවස්ථාවේ පෙරදැකිය හැකිව තිබුණු තත්වයක් නොවේ.
රනිල්ට තිබුණු සැබෑ ශක්තිය වන්නේද, සත්‍ය වශයෙන්ම ඔහුට තිබුණු එකී දුර්වලත්වයයි. එනම්, ඔහුට පක්ෂයක් නොවීම සහ ඔහුගේ පක්ෂය බවට, රට මේ තත්වයට ඇදවට්ටපු පක්ෂයම පත්වීමයි. එබැවින්, ඔහුට ඔවුන්ගෙන් කිසි දෝස්මුරයක් වැටුණේ නැත. අමතක නොකරන්න: මේ සියල්ලන් ඊට මාස කිහිපයකට කලින් සිටියේ තමන්ගේ දේපළ ගිනිබත් කරගෙන, සෑබෑ ජීවිත තර්ජනයට පවා මුහුණදෙමිනි. එවැනි අවස්ථාවක ඔවුන්ගේ ආරක්ෂාවත් සලසමින්, ඔවුන්ගේ ආරක්ෂාව නැති කළ තත්වය තාවකාලිකව හෝ නතර කරන කෙනෙකුට සහාය දීම හැර පොහොට්ටුවට කළ හැකි වෙන කිසිවක් තිබුණේ නැත. පැවති පාර්ලිමේන්තුව විසුරුවා නොහැර එසේම තියාගනියි නම්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වඩාත් පහසු වනුයේ, අපරාධයේ වගඋත්තරකරුවන් සමගම වැඩේට අතගැසීමයි. මේ දක්වා ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ කර ඇත්තේද එයයි. 

එහෙත්, සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක ජනාධිපති වී, එදා තිබුණු පාර්ලිමේන්තුව විසුරුවා හැර හෝ නැතිව, අයි.එම්.එෆ්. ගියේ නම් සහ 'පැරිස් සාමූහිකය' වෙත ගියේ නම්, ගිය සතියේ අපේ ආණ්ඩුවට ඔවුන් සැලකූ ආකාරයට වෙනස් විදිහේ නරක ආකාරයකින් ඔවුන් අපට සලකතියි කීමට ඇති තර්කය කුමක්ද? ඊටත් වඩා, ඔවුන්ගෙන් කෙනෙකු ජනාධිපති වී, පාර්ලිමේන්තුවත් විසුරුවා හැර අලූත් ආණ්ඩුවක් පත්කරගත්තේ නම්, ඒ A ආණ්ඩුවට අර කියන විදේශීය බලවේග වෙනස් ආකාරයකින් සලකතියි කියන්නේ කෙසේද?  

මාවත් දෙක තුනක් නැත. ඇත්තේ එකකි

 

Sri Lanka Economic Crisisවැටුණු රට ගොඩගැනීමේ මාවත් කිහිපයක් තිබුණේ නැත. තිබුණේ එක මාවතක් පමණි.

වැටුණු රට ගොඩගැනීමේ මාවත් කිහිපයක් තිබුණේ නැත. තිබුණේ එක මාවතක් පමණි. එනම්, ලෝකයත් සමග යළි සමාදානයකට යාමයි. 'අපේ ක්‍රමය' හෙවත් ඊනියා 'දේශීය ක්‍රමය' පැත්තකින් තියා, ලෝක ක්‍රමයට අනුගත වීමයි. කොටින්ම, ලෝක ප්‍රාග්ධනය හැසිරෙන ක්‍රියාන්විතය සමග යම් අවබෝධයකට පැමිණිමයි. එය, රනිල් වික්‍රමසිංහ නොව, සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක ආවත්, (ඉදිරියේදී පවා) කාට වුණත් කිරීමට සිදු වන දෙයකි. 

ගිය සතියේ රතිඥා පත්තු කෙළේ එකී ක්‍රියාන්විතයේ සමාරම්භයක් වෙනුවෙනි. 'උන්න හැටියට මළා මදිද?' වැනි තත්වයක් පවා අහිංසක ලෙස සැමරීම වරදක් නැත. එහෙත්, එය අපේ ඇස් නිලංකාර කිරීමට තරම් හාස්කමක් වශයෙන් භාරගත යුතු නැත. මේ කියන 'සාර්ථකත්වය' ඇත්තෙන්ම කුමක්ද? මම ඔබට, යම් පොලියක් සහිතව, රුපියල් ලක්ෂයක ණයක් දෙමි. මේ ණය සහ පොලිය ගෙවීම, යම් දවසක ඔබ පැහැරහරියි. අතේ සල්ලි තියාගෙන නොව, ඇත්තටම ඔබේ අතේ සල්ලි නැති නිසා ය. දැන් මම කළ යුත්තේ කුමක්ද? ඔබව ඝාතනය කිරීමද? නැතිනම්, ඔබට යම් සහනයක් සලසා, මේ වසරේ ගෙවීමට තිබූ ණය තව වසර හතරකට හෝ පහකට පසු (2027) ගෙවන ලෙස ඔඛෙන් ඉල්ලා සිටීමද? අවුරුදු දහයකින් ගෙවා නිම කිරීමට තිබූ ණය ප්‍රමාණයක්, අවුරුදු විස්සකින් ගෙවා නිම කිරීමට කල් ලබාදීමද? හැකියාවක් ඇතොත්, මුළු ණය ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් කපාහැරීමට එකඟ වීමද? ඒ  සමගම, කලින් එකඟ වී සිටි පොලී අනුපාතය ටිකක් අඩු කරගැනීමට එකඟ වීමද? (''ණය ප්‍රතිව්‍යුහගත කිරීම'' යනුවෙන් අදහස් කරන්නේ, ඒ සමස්ත ක්‍රියාවලියයි). මොළේ ඇති ඕනෑම ණය හිමියෙකු පිවිසෙනු ඇත්තේ එවැනි ක්‍රියාවලියකටයි.

 



ඇත්ත වශයෙන්ම ගිය සතියේ රතිඥා පත්තු කෙරුණේ රනිල් සඳහා යැයි කීවාට, ඒවායේ සැබෑ හිමිකරුවන් වන්නේ, 'පැරිස් සාමූහිකය' සහ ඉන්දියාව, චීනය සහ ජපානය වැනි අපට ණය සපයා ඇති රටවල් කිහිපයකි. (ඔවුන් සමග ඇති කරගත් ඒ එකඟතාව පිළිබඳ සියලූ තොරතුරු පවා තවම අප අතට පත්කර නැති බව මතක තියාගන්න).

''මේ වෙලාවෙ රනිල් තමයි'' කියන්නේ එකී සන්දර්භය තුළයි. මේ වෙලාව යැයි කියන්නේ, ඊළඟ ජනාධිපතිවරයා තෝරාගැනීමට නියමිත වෙලාවයි. එහෙත්, ගත වූ වසර දෙකක කාලය තුළ පැවති, ඉහතින් සඳහන් කළ ප්‍රශ්නවල ස්වභාවයත්, ඊළඟ ජනාධිපතිවරණයකින් පසුව අලූත් ආණ්ඩුවක් ඉදිරියේ තිඛෙන, දීර්ඝ කාලීන සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක ස්වභාවයත් අතර විශාල වෙනසක් තිබේ. ඊළඟට තියෙන්නේ, ගෝඨාභය හෑරු වළෙන් ගොඩඒම වැනි සරල කාරණයක් නොව, නිදහසේ පටන් සියලූ පාලකයන් එක්ව හෑරූ මහා අගාධයෙන් ගොඩඒම පිළිබඳ මහා ප්‍රශ්නයට මුහුණදීමයි. 

ඊට සාර්ථකව මුහුණදීමට වඩාත් සුදුස්සන් කවුරුන්ද යන්න වෙනම සාකච්ඡාවට ගත යුතු මාතෘකාවක් වෙතත්, ගෝඨාභයගේ වළෙන් ගොඩඒම තරම් එය ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව නම් කිව හැකිය. කොළඹ නගරය ලස්සණ කළ, ආරක්ෂක ආමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ රටේ වගකීම භාරගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර තිබුණු වෙනස මෙහිදී සිහිපත් කරගැනීම වටී. 

ඔහු කුරුසයේ තබා ඇණ ගසමු ද? - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...