පසුගිය සතියේ මේ කියන සුබ ආරංචියට රජය විසින් විශාල ප්‍රචාරයක් ලබාදී තිබුනා. ඒ නිසා විපක්ෂයේ විවිධ කණ්ඩායම් මේ ප්‍රවෘත්තියට ගොඩාක් කලබල උනා.
මේක ඇත්තටම සුබ ආරංචියක් වේද කියල තමයි සමහරු කලබල උනේ. තවත් සමහරු මේ සුබ ආරංචිය ගැන වැඩි විස්තර දැනගන්නයි කලබලවුනේ. ඒ කෙසේවෙතත්, බැලූ බැල්මටම, ද්වීපාර්ශික ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීමට හැකිවීමත් ඒ නිසා නිල වශයෙන් බංකලොත් බාවයෙන් එලියට ඒමට හැකිවීමත් බංකොලොත් වී සිටින රටක රට වැසියන්ට සුබ ආරංචියක් වෙන්න ඕන.
විශේෂයෙන් තෙල් පෝලිම්වල ගෑස් පෝලිම්වල දුක්විදි ජනතාවටත් ණයවර ලිපි නොහොත් එල්සී විවෘතකර ගැනීමට තිබූ නොහැකියාව නිසා ව්‍යාපාර නවතාදැමීමට සිදුවූ ව්‍යාපාරික ප්‍රජාවටත් මෙය ඉතා සුබ ආරංචියක්. නමුත් නුදුරු අනාගතයේදී රාජ්‍ය බලය අල්ලාගැනීමට බලාපොරොත්තුවන දේශපාලන කණ්ඩායම් වලට මේ ආරංචිය එච්චර සුබ නොවූ බවක් තමයි පෙනුනෙ. විශේෂයෙන් මේ සුබවාදීයැයි කී ආරංචියට විරුද්ධව ප්‍රචාරක ව්‍යාපාරයක් සමාජ ජාලා හරහා දියත් කිරීමෙන් ඒක ප්‍රදර්ශනය වුනා.
බොහෝ විපක්ශ කණ්ඩායම් දේශපාලන වාසි ලබාගැනීමට නොයෙකුත් කාරනා මතුකලත් ඒවා දේශපාලන අභිප්‍රේරණයන් මත කරන උත්සාහයන් ලෙස තමයි පෙනුනෙ. මේ අය ඍණාත්මකව මතුකල කාරනාවලින් කියවුනේ ඇත්තටම ලංකාව බංකොලොත් බාවයෙන් උඩට එනවාට අකමැත්තක් තියෙන බවයි. නැත්නම් පවතින ආණ්ඩුවට තියෙන විරෝධයයි.
ශ්‍රී ලංකාව බංකොලොත්ද නැද්ද කියන කාරනය තීරනය කරන්නෙ ශ්‍රේණිගත කරන සමාගම් බවත් ඒ නිසා තවම ලංකාව බංකොලොත් තත්වයෙන් ඉහලට පැමිණ නොමැති බවටත් මේ අය තර්ක කලා. ඒ වගේම තවත් ජනප්‍රිය තර්කයක් වූයේ ණය මුදල් ගෙවන්නේ නැතිව බංකොලොත් බාවයෙන් නිදහස් වූයේ කෙසේද යන්නයි.
රටක් බංකොලොත් බාවයෙන් ගොඩ එනවා යන්නෙන් අදහස් වන්නේ සියලු ණය ගෙවා ණය බරින් සම්පූර්ණයෙන්ම නිදහස් වනවා යන්න නොවෙයි.
සමහරු දේශපාලන වාසි ලබාගැනීමට මෙවැනි කාරනා ඉදිරිපත් කලත් බොහෝ අය මේ පිලිබඳව එතරම් තේරුම් ගැනීමක නොසිටිය බවයි පෙනුනෙ. රටක් බංකොලොත් බාවයෙන් ගොඩ එනවා යන්නෙන් අදහස් වන්නේ සියලු ණය ගෙවා ණය බරින් සම්පූර්ණයෙන්ම නිදහස් වනවා යන්න නොවෙයි. බංකොලොත් බාවයෙන් ගොඩ එනවා කියන්නෙ ඉදිරියේදී තම රටට ණය නැවත ගෙවීමට තියෙන හැකියාව පිලිබඳව ඇගයීමක් කොට ජාත්‍යන්තරයෙන් ලබාගන්නා සහතිකයක්. ඒ සහතිකය, පිලිගැනීම, ලබාගන්නේ නැතිව බංකොලොත් වෙච්ච් රටකට ඉස්සරහට යන්න බෑ, ජාත්‍යන්තර වෙළද පොලේ මුදල් ගණුදෙනු කරන්න බෑ, ණය හිමියන් සමග එකගතාවයකට එන්න බෑ, ඒ නිසා එම ක්‍රියාවලිය ඉතා වැදගත් සහ අනිවාර්ය ක්‍රියාවලියක් වෙනවා.
ජාත්‍යන්තර ශ්‍රේණිගත ආයතන විසින් බංකොලොත් වී ඇති රටක ශ්‍රේණිය ඉහල දමන්නේ මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිලිවලේ අතුරු ප්‍රතිපලයක් ලෙසටයි. ඇත්තටම ස්වෛරී බැඳුම්කර ඉතා ඉක්මනින් ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීමත් මේ කාරනයට අත්‍යාවශ්‍ය වනවා. ද්වීපාර්ශික ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීම ඒ පියවරට විශාල රුකුලක් වෙනවා. ඒ නිසා අපි පක්ශග්‍රාහී නොවී සිතනවනම් මේ ක්‍රියාදාමය අවතක්සේරු කිරීම වැරදියි.
ජනාධිපතිවරයා මේ ක්‍රියාවලිය සමානකලේ හුණුවටයේ කතාවේ ගෲශා වැල්පාලමේ දරුවත් අරන් ගිය අවදානම් ගමනටයි. මෑතකදී රූපවාහිනී සකච්චාවකට සහභාගීවූ ජාතික ජන බලවේගයේ නායකයා පැවසුවේද මේ වැල්පාලමේ ඉතුරු ටිකත් ගොස් ළමයා බේරා ගතයුතු බවයි. ඒ කියන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසගත් වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම සහ ද්විපාර්ශික ණය, බැදුම්කර ණය ඇතුලු සියලු ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීමයි. බලයට පැමෙනෙන කවර පාර්ශ්වයකට වුවත් මේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ නිසා මේ වැඩපිලිවෙලේ සාර්ථකත්වය ඉදිරියේදී බලයට එන කාටත් උපකාරී වෙනවා.
තවත් සමාජගතවී තිබෙන දුර්මතයක් තමයි හොරකම් වංචා නිසා රට බංකොලොත් වූවායැයි කියන අදහස. සමහර දේශපාලන කණ්ඩායම් මේ මතය දැඩි ලෙස ජනගත කරල තියෙනව. ඒ දේශපාලන වාසි ලබාගැනීමටයි. ඇත්තටම රට බංකොලොත් වූයේ අපි විශාල ණය උගුලක පැටලුනු නිසයි. ආපදා කිහිපකටම මුහුණ දෙන්න සිදුවූ නිසයි. මෑතකදී දිවයිනට පැමිනි "සංවර්ධන ආර්ථික විද්‍යාව" පිලිබඳව මහාචාර්යවරියක් වන ජයති ගෝශ් මහත්මිය ශ්‍රී ලංකාවේ බොහෝදෙනා රට බංකොලොත් වීම හොරකම් වංචා සහ වැරදි කළමනාකරණය කිරීම නිසා සිදුවුවක් ලෙස පෙන්වීම වැරදිබව පැවසුවා. මේ ප්‍රවනතාවය ලංකාවට ආවේනික දෙයක් නොවන බවත් ලෝකය පුරා රටවල් 72 ක් පමන මේ හා සමාන අර්බුදයන්ට මුහුනදෙමින් සිටින බවත් ඈ පැවසුවා.
මහාචාර්ය ජයති ගෝශ්
මෙය ධනවාදී ආර්ථික ක්‍රමයේ තිබෙන ආවේනික ප්‍රස්නයන් නිසා ඇතිවන අර්බුදයක්. විවිධ හේතූන් නිසා සමහර රටවලට ආයෝජන ගලා එනව එවායේ ප්‍රතිපලයක් ලෙස ආනයනය ප්‍රසාරණය වන අතර අපනයන අඩුවනව ඒ නිසා අපනයන තවදුටටත් ජාත්‍යන්තර වෙළදපොලේ තරගකාරී නොවන තත්වයක් මතුවෙනවා. එම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස වෙළද හිගයක් ඇතිවනව, කාලයත් සමග මෙම හිගය ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙනව, යම් මොහොතක ගන්නා වැරදි දේශපාලන තීන්දු, ප්‍රතිපත්ති තීරණ හෝ වෙනත් විපත්තින් නිසා විදේශීය ආයෝජන නැවතීමත් ඒවාගේම විදේශීය මුදල් රටින් ඉවත්කරගැනීමත් නිසා මූල්‍ය අර්බුදයකට මුහුන දීමට සිදුවන බව ඇය පැහැදිලි කලේය.
ලංකාවෙ මෙය සිදුවන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් අනවශ්‍ය ව්‍යාප්පෘති සදහා වැඩි පොලියට ගත් විශාල ණය ප්‍රමාණයත්, ණය උගුලේ හිරවී සිටින මොහොතේ සිදුකල පාස්කු ප්‍රහාරයත්, බලයට පැමිනි ගෝටාබය රාජපක්ෂ පොරොන්දුවූ විශාල බදුසහන ලබාදීම නිසා භාණ්ඩාගරය හිස්වීමත්, රසායනික පොහොර ගෙන්වීම නැවත්වීම නිසා කෘෂිකර්මාන්තයේ සිදුවූ කඩාවැටීමත්, ඉන් පසු පැමිනි කෝවිඩ් වසංගතයත් නිසායි. මේ වැරදි ප්‍රතිපත්තීන් සහ ආපදාවන් නිසා රටට ලැබෙන ප්‍රේෂණ අඩුවූ අතර සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ඩොලර් ආදායම සම්පූර්ණයෙන්ම පාහේ නැවතුනා. ඒ වාගේම ඇගලුම් කර්මාන්තය ඇතුලු දේශීය කර්මාන්තවලද විශාල කඩාවැටීමක් ඇතිවුනා.
ඇත්ත වශයෙන් ණයප්‍රතිව්‍යහගත කරනය කරගැනීමේ වැඩපිලිවෙල සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කල වැඩපිලිවෙල පටු දේශපාලන වාසි ලබාගැනීම සදහා විවේචනය කරනවාට වඩා රටේ අභිවුර්දිය ගැන සිතා ගැඹුරෙන් විශ්ලේෂණය කල යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක ධනවාදය පවත්වාගෙන යෑම සදහා සුවිශේෂ වැඩකොටසක් ඉටු කරනු ලබනව. මේ ආයතනයේ පාලන බලය හසුරුවන්නේ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපයයි. බංකොලොත් වූ රටක් නැවත ගොඩනැගීමට ඔවුන් උදව් උපකාර කලත් ඔවුන් පැහැදිලිවම නියෝජනය කරන්නේ ණය හිමියන් සහ ඔවුන්ගේ ඕනෑ එපාකම්. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීමේදී බංකොලොත් වූ රටට ලබාදෙන ඉලක්ක ඉතා අසීරු ඉලක්ක වේ. ඒ නිසාම ණය තිරසාරත්වය පවත්වාගෙන යෑම ඉතා අපහසු වෙනව. ඒ නිසා නැවත නැවතත් මේ ණය අර්බුදයට මුහුනදීමේ අවදානම අප ඉදිරියේ තියෙනව.
ණයප්‍රතිව්‍යහගත කරනය කරගැනීමේ වැඩපිලිවෙල සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කල වැඩපිලිවෙල පටු දේශපාලන වාසි ලබාගැනීම සදහා විවේචනය කරනවාට වඩා රටේ අභිවුර්දිය ගැන සිතා ගැඹුරෙන් විශ්ලේෂණය කල යුතුයි.
උදාහරණයකට රටේ ජාතික දළ දේශීය නිෂ්පාදිතය සහ ණය ප්‍රමාණය අතර තිබෙන අනුපාතය 95% ක් වූ වහාම අප විසින් ණය නැවත ගෙවීම ආරම්භ කල යුතු වන්නේය. මේ ඉලක්කය ඉතා අසාධාරණ සහ යථාර්ථවාදී නොවන ඉලක්කයකි. විශේෂයෙන් පසුගිය දශකයේ ලංකාව ණය ලබාගත්තේ මීට කලින් ගත් ණයවල වාරික සහ පොලී ගෙවීම සදහායි. ඒ නිසා අපි ණය උගුලක හිරවී සිටින බව මේ ණය හිමියන් හොදින් දැනගෙන සිටියේය. ඒ නිසාම බංකොලොත් වීමට ඉතා ඉඩක් තියෙන රටකට ණය දීමේ අවදානම ඔවුන් හොදින් දැනගෙන සිටියේය. ඒ නිසාම ඔවුන් තම ණය මුදල් සදහා ඉහල ප්‍රතිලාභ ඉල්ලා සිටියේය. ඒ ඔවුන්ට ඇති අවදානම අවම කර ගැනීමටය. එසේ වැඩි ප්‍රතිලාබ ලබාගෙන දුන් ණය දැන් සම්පූර්ණයෙන්ම ගෙවන ලෙස ඉල්ලා සිටීම ඉතා වැරදිය, කෑදරය, අසාධාරණය.
ඒ වාගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල තුලින් ක්‍රියාත්මක වන කප්පාදු කිරීම් නිසා රට තුල මුදල් සංසරණය අඩුවන අතර ඒ නිසා රටේ ආර්ථිකය තවත් සංකෝචනය වීමේ අවදානමක් තිබේ. එසේ වුවහොත් ණය ගෙවීමේ ඉලක්ක ලගාකර ගැනීමට අපහසු විය හැකියි. ඒ නිසාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිලිවෙලෙන් පරිබාහිරව, නිවැරැදි විශ්ලේෂණයක් කොට, අපේම වැඩපිලිවෙලක් සකස්කර ගැනීම අත්‍යාවශ්‍ය බව මහාචාර්ය ජෝති ගෝෂ් අවධාරණය කරනව. ඇය පැවසුවේ ණය අහෝසි කිරීමේ වැඩපිලිවෙලක් නොමැතිව ධනවාදී ආර්ථික ක්‍රමය පැවතිය නොහැකි බවයි. එය නිරන්තරයෙන් වෙළදපොල ආර්ථිකය තුල සිදුවන ක්‍රියාදාමයක් බවත් වාර්ෂිකව ලෝකයේ විශාල සමාගම්වල ණය මෙසේ අහෝසි කරන බවත් ඇය පැවසීය. 1953 බංකොලොත් වූ ජර්මනිය විශාල දියුනුවක් ලබාගත්තේ ඔවුන්ගේ විශාල ණය කන්දරාව මෙසේ අහෝසි කල නිසාය. එය පැහැදිලිවම සිදුවූයේ භූ දේශපාලන අවශ්‍යතා මතයි. ලංකාව වැනි කේවල් කිරීමේ බලයක් නැති කුඩා රාජ්‍යන්ට මෙවැනි සහන ලබාගැනීම අසීරු කාරණයක් වෙලා තියෙනවා.
ජාත්‍යන්තර බැදුම්කර වැනි ණය ලබාගැනීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය, දේශපාලකයන් වගවීමට ලක්කිරීම අත්‍යාවශ්‍ය සහ අනිවාර්ය කාර්යක්
මේ අසාධාරණ තත්වයන් වඩාත් යහපත් කරගැනීම පිනිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නායකත්වයෙන් වැඩපිලිවෙලක් සකස් කරගැනීමේ උත්සාහයක් ආරම්භ කර තිබෙන බව මහාචාර්යවරිය පවසනව. ඒ ක්‍රියාවලිය සාර්ථක වුවහොත් රටක් බංකොලොත් වූ විගස එම රටේ ණය ප්‍රමාණයට පොලිය එකතුකිරීම වහා නැවත්වීමටත් එමගින් ණය ප්‍රමාණය වැඩිවීම වැලක්වීමත් සිදුවනව. ඒ නිසා ඉක්මනින් ණයප්‍රතිව්‍යහගත කිරීමේ උනන්දුව ණය හිමියන්ට ඇතිවෙනව. ඒ වාගේම සියලු ණය හිමි පාර්ශ්වයන්, පෞද්ගලික ණය හිමියන්ද ඇතුලුව, එකම සාකච්ඡා මේසයකට ඒමට බලකෙරෙන බවත් ඇය පවසයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැනට තිබෙන කෝටා ක්‍රමය අහෝසි කර එහි ඇති අරමුදල් ඒ ඒ රටවල දළ ජාතික ආධායමේ අනුපාතයට අනුව "විශේෂ ණය පහසුකම්" යටතේ ණය අවශ්‍ය කරන රටවලට ලබාදිය යුතුයි. දැනට තිබෙන කෝටා ක්‍රමය අනුව කවදාවත් ණයට මුදල් අවශ්‍ය නොවන රටවලටද මුදල් වෙන්කරන බවත් එය පල රහිත බවත් ඇය පවසයි. මේ කාරනා සාර්ථක කරගැනීමට නම් තුන්වන ලෝකයේ ණය බරින් සිරවී සිටින සියලු රටවල් එක්වී හඩක් නැගිය යුතුබවත් ඒ මගින් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරගතයුතු බවත් ඇය අවධාරනය කරයි.
එලෙසම ජාත්‍යන්තර බැදුම්කර වැනි ණය ලබාගැනීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම අත්‍යාවශ්‍ය සහ අනිවාර්ය කාර්යක් කලයුතු බවත් ඒ සම්න්ධයෙන් දේශපාලකයන් වගවීමට ලක්කිරීම අත්‍යාවශ්‍ය බවත් ඇය අවධාරනය කලාය.
(අජිත් රාජපක්ෂ)
ajith823@gmail.com
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)



