The Leader News
BREAKING
Top Ad
Opinion

වොෂිංටන් 'කුමන්ත්‍රණ' සහ රනිල්ගේ විස්මිත 'ඩෙට් සස්ටේනබිලිටිය' - (කුසල් පෙරේරා)

T

The Leader Desk

July 9, 2024 • 6:53 AM

වොෂිංටන් 'කුමන්ත්‍රණ' සහ රනිල්ගේ විස්මිත 'ඩෙට් සස්ටේනබිලිටිය' - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් එම ගිවිසුම්වල අන්තර්ගත කොන්දේසි මොනවාදැයි මේ රටේ ජනතාවට කියා නැත.
  • විශේෂයෙන් ආර්ථිකයෙහි අනෙකුත් ක්ෂේත්‍ර වලට ඇති විය හැකි පිටාර ගැලීම් සමග, ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි ඇතිවන ප්‍රායෝගික බලපෑම් තිබිය යුතුය” යනුවෙනි.
  • මුදල් අමාත්‍යාංශය කියන්නේ විදේශ ණය ගැනීමට ලංකාණ්ඩුවට නැවත ඉඩ ලැබී ඇතැයි කියා ය.
  • ඔවුන් නොකියන්නේ මේ ගෝලීය වෙළඳපල ආර්ථිකයෙහි ණය ගැනීම් හැම විටම මෙන් භූ-දේශපාලනික ගැට ගැසීම් සමගින් වන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් එම ගිවිසුම්වල අන්තර්ගත කොන්දේසි මොනවාදැයි මේ රටේ ජනතාවට කියා නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන ගනු දෙනු මොනවාදැයි ජනතාව දන්නේ නැත. ගිවිසුම් අත්සන් කෙරුවේ තිරසර ණය කලමනාකරණයට නැතිනම් “Debt Sustainability” සඳහා යැයි කියුවට, එය කිසිවකුට තේරුම් ගත හැක්කක් නොවේ. 

 

ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වෙයි
ඒ ගිවිසුම් අත්සන් කිරීමෙන් දෙදිනකට පසු මුදල් අමාත්‍යාංශය කළ නිල පැහැදිලි කිරීමක තිබූයේ, “මෙහි වැදගත් බලපෑමක් වන්නේ, විදේශ ආයෝජන මත වන ආර්ථික වර්ධනය සඳහා නැවත අවකාශයක් ඇති වීමෙහිය. විශේෂයෙන් ආර්ථිකයෙහි අනෙකුත් ක්ෂේත්‍ර වලට ඇති විය හැකි පිටාර ගැලීම් සමග, ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි ඇතිවන ප්‍රායෝගික බලපෑම් තිබිය යුතුය” යනුවෙනි.

 

මුදල් අමාත්‍යාංශය කියන්නේ විදේශ ණය ගැනීමට ලංකාණ්ඩුවට නැවත ඉඩ ලැබී ඇතැයි කියා ය. ඔවුන් නොකියන්නේ මේ ගෝලීය වෙළඳපල ආර්ථිකයෙහි ණය ගැනීම් හැම විටම මෙන් භූ-දේශපාලනික ගැට ගැසීම් සමගින් වන බවය. එළෙසින්ම ආර්ථික බංකොලොත් බවට හේතු වූ යෝධ දූෂණ වංචා වලට වැඩිම ඉඩක් ලබා දුන්නේ දැවැන්ත ඉදිකිරීම් බව සහ යළි ඊට ඉඩ ලැබී ඇති බවය. ඔවුන් කියන පිටාර ගැලීම් සමාජීය බිඳ වැටීම් සඳහා විසඳුම් නොවන බවය. මේ කතාව, නැවත ගෝලීය වෙළඳ ආර්ථිකයෙහි භූ-දේශපාලනික ගැට ගැසීම් සම්බන්ධ නොකියන කතාවකි.

විරෝධයට හෙටක් සෙවීම - (කුසල් පෙරේරා)මේ මැදපංතික රොද බැඳීමට, සමාජ අග හිඟකම් හා ඔරොත්තු නොදෙන ජීවන වියදමට එරෙහිව මෝරමින් තිබූ ජනතා කෝපයද ගැට ගසනු ලැබිණ.

 

ඒ කතාවට මුල පිරිය යුත්තේ 2022 අප්‍රේල් පළමු සතියේ ගාලු මුවදොර පිටියේ #GotaGoHome යැයි ඉංග්‍රීසියෙන් පටන් ගත් ආර්ථික බිඳවැටීම් වලට එරෙහි නාගරික මැදිපංතික රාජපක්ෂ විරෝධයෙන් යැයි සිතමි. මේ මැදපංතික රොද බැඳීමට, සමාජ අග හිඟකම් හා ඔරොත්තු නොදෙන ජීවන වියදමට එරෙහිව මෝරමින් තිබූ ජනතා කෝපයද ගැට ගසනු ලැබිණ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ 2020 ඔක්තෝම්බරයේදී කල් නොපිරුණු ඉක්මන් විශ්‍රාමයක් ලබාගෙන ඕස්ත්‍රේලියාවට ගිය ආචාර්ය නන්දලාල් වීරසිංහව මහ බැංකුවේ අධිපති ධූරයට පත් කිරීම සඳහා 2022 අප්‍රේල් ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසියේ කැඳවනු ලැබුවේ එවැනි පසුබිමකය. ඔහු කලක් ජා.මූ. අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු වශයෙන් වොෂිංටනයේ සේවය කෙරුවෙකි. අප්‍රේල් මස 07 වන දින ලංකාවට පැමිණි ඔහු 08 වන දින පත්වීම භාර ගත්තේය. ඉන් දින සතරකට පසු අප්‍රේල් 12 වන දින ශ්‍රී ලංකාව සියලු විදෙස් ණය ගෙවීම් අත්හිටුවන බැව් ඔහු මහ බැංකු අධිපති ලෙස ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව බංකොලොත් යැයි ඉන් කියැවින.

 

nandaඅප්‍රේල් මස 07 වන දින ලංකාවට පැමිණි නන්දලාල් වීරසිංහ 08 වන දින පත්වීම භාර ගත්තේය.
ඒ ප්‍රකාශය ඔහු කෙරුවේ, ඊළගට සිදු විය හැක්කේ කුමක්දැයි හෝ සිදුවිය යුත්තේ කුමක්දැයි හෝ නොදන්නා ආණ්ඩු පෙරැළියක් ඉල්ලමින් ගාලුමුවදොර පිටියට ගාල් කෙරුණු රාජපක්ෂ විරෝධය හමුවේය. #GotaGoHome කියූවත් ජනාධිපති ගෝඨාභයට පෙර මැයි මස 09 වන දින අගමැති රාජපක්ෂව තනතුරෙන් සහ නිල නිවසින් ඉවත් කෙරුණේ ප්‍රචණ්ඩ අරාජික කඩා වැදීමකින්ය. ඉන් දින 03 කින් මැයි 12 වන දින සවස හදිසියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝඨාභය හමුවේ අගමැති ලෙස දිවුරුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත ඇතැයි ජනාධිපති විශ්වාස කරන මන්ත්‍රීවරයෙකු අගමැති ලෙස පක් කළ යුතු වූවත් විපක්ෂයේ තනි මන්ත්‍රී අගමැති කරන්නේ කවර දේශපාලන තක්සේරුවක් අනුව දැයි තවමත් නොකිය වෙන්නකි.

 

පෝලිම් අහිංසකයි, කැරලි තමයි භයානක - (ගාමිණී වියන්ගොඩ) අගමැති හැටියට ඔහුට වහා ඉන්ධන පෝලිම් සඳහා උත්තර සොයන්නට සිදුවිය.

එසේ වූවත් අගමැති හැටියට ඔහුට වහා ඉන්ධන පෝලිම් සඳහා උත්තර සොයන්නට සිදුවිය. ලෝක බැංකු තොරතුරු අනුව, 2021 වසරේ අප ඉන්ධන ලබාගෙන ඇත්තේ එක්සත් අරාබි ජනරජයෙන්, ඉන්දියාවෙන්, සිංගප්පුරුවෙන්, මලයාසියාවෙන් හා දකුණු අප්‍රිකාවෙන් ය. 2021 සිව්වන කාර්තුවේ සිට 2022 දෙවන කාර්තුව අවසන් වන විටත් අප බරපතල ඉන්ධන හිඟයකට හසුව සිටින්නට හේතු කාරණා දෙකක් තිබිය හැක. පළමුවැන්න තව දුරටත් ණයට ඉන්ධන දීමට ඒ රටවල් සූදානම් නැතැයි කීම විය හැක. දෙවැන්න, අපේ බලධාරීන් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණ කල් තබා ඇනවුම් නොකිරීමද විය හැක. බරපතල ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයක් සමග ඔහුගේ අභිමතය මත ඔහුට පත් කළ හැකි සහ ඔහුගේ යැයි කිව හැකි හරිහමන් ආණ්ඩුවක් නැති අගමැති වික්‍රමසිංහට, මාස දෙක තුනක් යන්නටත් පෙර ඉන්ධන ණයට දෙන්නට ඉදිරිපත්වන ජාත්‍යන්තර ඉන්ධන වෙළෙන්දෙකු සිටිය හැකිද?

 

මහ මැතිවරණයකින් පළමු වරට රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස ආණ්ඩු පාලනයට පත් වූයේ 2001 දෙසැම්බරයේදී ය. එකල මේ රටේ බරපතල ආර්ථික අර්බූද නොතිබුණි. එහෙත් ඔහුට තම අගමැති ධූරය වසර 03 ක් හෝ රඳවා ගැනීමට නොහැකි විය. නැවත 2015 ජනවාරියේ සිට අගමැති වූ රනිල් වික්‍රමසිංහට යහපාලන ආණ්ඩුව ස්ථාවරව පවත්වා ගැනීමට නොහැකි විය. යෝධ ගෝලීය ව්‍යාපාර නිරීක්ෂණයෙහි සහ ආර්ථික විශ්ලේෂනයේ යෙදෙන “ෆෝබ්ස් සඟරාව” 2016 සැප්තැම්බර 30 වන දින, ඒ ගැන කියූවේ “....වත්මන් ආණ්ඩු පාලනය කලින්වූ පාලනයට වඩා හොඳ යැයි ඉන් කිසිසේත් කියැවෙන්නේ නැත. 2015 වසර ආරම්භයේ බලයට පැමිණි ජනාධිපති සිරිසේනගේ සහ අගමැති වික්‍රමසිංහගේ පාලනය යටතේ දේශීය ණය ගැනීම් සියයට 12 කින් සහ විදේශ ණය ගැනීම් සියයට 25 කින් වැඩි වූයේ කිසිදු මහපරිමාන යටිතල පහසුකම් ව්‍යාපෘතියක් අලුතින් ආරම්භ කිරීමක්ද නොමැතිව” යැයි කියාය.

 

රනිල් ලෝක බැංකුවේ නියෝජිතයා හමුවේඅගමැති වික්‍රමසිංහ ජා.මූ.අරමුදලින් සමස්ථ ආධාර මුදල වූ ඩොලර බිලියන 02.2 ක් ලබා ගැනීමේ ගිවිසුම් අත්සන්කර තිබිණ.
ඒ වන විට අගමැති වික්‍රමසිංහ ජා.මූ.අරමුදලින් සමස්ථ ආධාර මුදල වූ ඩොලර බිලියන 02.2 ක් ලබා ගැනීමේ ගිවිසුම් අත්සන්කර තිබිණ. ජා.මූ.අරමුදල 2016 ජුනි 03 වන දින නිකුත් කළ නිවේදනයෙහි කියා තිබුණේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මාස 36 ක වැඩ සටහනකට ඔවුන් සහාය දක්වන බවය. ආර්ථික ප්‍රතිසංස්කරණ කෙසේ වෙතත් 2015 දී ඩොලර් බිලියන 43.9 ක් වූ විදේශ ණය, 2019 නොවැම්බරයේදී අගමැති වික්‍රමසිංහ ඉවත් වන විට ඩොලර් බිලියන 56.1 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

 

සාමාන්‍ය තත්ත්වයන් සමගින්ද ආණ්ඩු පාලනයක් ගෙන යාමට නොහැකි වූ අගමැති වික්‍රමසිංහ මේ බංකොලොත් රට ගොඩ දැමීමට තරම් අතිශය දක්ෂ පාලකයෙකු වූයේ කෙසේද? නාගරික සමාජය ඔහු ගැන කියන්නේ ඔහු නොවන්නට විදුලිය කප්පාදු සමග ඉන්ධන පෝලිම් තවමත් තිබෙනු ඇතැයි කියා ය. ඔවුන්ට අනුව 2022 ජුලි 20 වන දින ජනාධිපති ලෙස දිවුරුම් දුන් වික්‍රමසිංහගේ විශිෂ්ට නායකත්වය නොවන්නට, මේ රට ගොඩ දැමීමට වෙනත් කිසිවකු නොවුනි.

 

පුවත් - Results from #1980

 

ඒ වෙනුවෙන් නාගරික මැදපංතික විද්වත් පිරිස් මේ බරපතල බලහත්කාර ආණ්ඩු පෙරැළිය සාධාරණය කරන්නේ “ජනතා බලය” සතු ශක්තිය ගැන කීමෙනි. අප්‍රේල් මාසයේ සිට ජූලි පළමු සතිය අවසන් වනතෙක් ඉතා සාමකාමීව, කිසිදු බලහත්කාරයක් නොමැතිව #GotaGoHome විරෝධයට පූර්ණ ඉඩකඩ ලබා දුන් පොලීසිය හා ආරක්ෂක සේවා, තෙමසක විරාමයකින් පසු ජනාධිපති වික්‍රමසිංහ යටතේ සුපුරුදු රාජ්‍ය මර්දනය නැවත අතට ගත්තේ කෙසේදැයි මේ විද්වත් පිරිස් කතා කරන්නේ තබා අවධානය යොමු කරන්නේවත් නැත.

 

එනමුත් ආණ්ඩු මාරු කිරීමේ “කුමන්ත්‍රණ කතා” අපගේ වැනි බොහෝ රටවල නිතර අසන්නට ලැබෙන්නකි. ආර්ථික හා භූ-දේශපාලනික වුවමනාවන් මත සිදුවන ආණ්ඩු පෙරැළි ගැන කෙරෙන කුමන්ත්‍රණ කතා හැම විටම හිතලු නොවේ. ඇමෙරිකානු රජයේ තීන්දුවක් මත මැතිවරණයෙන් පත් කෙරුණු චිලියේ සල්වදෝර් අයන්ඩෙ ගේ වාමවාදී සභාග ආණ්ඩුව 1973 දී කුරිරු කුමන්ත්‍රණයකින් පෙරැළීම, හිස් කතාවක් නොවුනි. ඒ ගැන කෙටි සටහනක් තැබීම එනිසා වැදගත් යැයි සිතමි.

 

GettyImages 106500347චිලියේ සල්වදෝර් අයන්ඩෙ ගේ වාමවාදී සභාග ආණ්ඩුව 1973 දී කුරිරු කුමන්ත්‍රණයකින් පෙරැළීම, හිස් කතාවක් නොවුනි.
ආරම්භයේදීම කිව යුත්තේ මෙහි ඉදිරිපත් කෙරෙන උපුටා ගැනීම් සියල්ල “තොරතුරු දැනගැනීමේ නිදහස” නම් ඇමෙරිකානු පනත සහ “රාජ්‍ය රහස් වර්ගීකරණය” යටතේ ආරක්ෂක වාර්තා මුදා හැරීමේ පනතට අනුව ප්‍රසිද්ධ කෙරුණු නිල වාර්තා ඇසුරෙන් සහ එවැනිම වෙනත් නිල වාර්තා මගින් ලබා ගත් තොරතුරු වන බවය.

චිලියේ සල්වදෝර් අයන්ඩෙ බලයට පැමිණියහොත් චිලිය තවත් කියුබාවක් නැතිනම් තවත් සෝවියට් ලැදි රටක් විය හැකි යැයි නික්සන් පාලනය විශ්වාස කළේය. එනිසා ඔහු බලය ගැනීම වැලැක්වීමටත් බලය ගතහොත් ඉවත් කිරීමටත් ඇමෙරිකාව තීන්දු කරන්නේ 1970 සැප්තැම්බර 04 වන දින චිලියේ ජනාධිපතිවරණයටද කලින් ය. ඒ මැතිවරණයෙන් අයන්ඩෙට අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණය නොලැබුණෙන් වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයා ලෙස ඔහු පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයක් ලබා ගත යුතු විය. එබැවින් වොෂිංටනයේ සැළසුම් දෙකක් විය. එකක් වූයේ පාර්ලිමේන්තුවෙහි අයන්ඩෙ විරෝධයක් හැදීම ය. ඒ වෙනුවෙන් වියදම් කිරීමට චිලියේ ඇමෙරිකානු තානාපති එඩ්වඩ් කෝරිට ඩොලර් මිලියන 10 ක් ලබා දී තිබිණ. දෙවැන්න වූයේ අයන්ඩෙ ජනාධිපති ලෙස පත් වුවහොත් ඔහුගේ පාලනයට එරෙහි ජනතා විරෝධයක් සමග හමුදා කුමන්ත්‍රණයක් සංවිධානය කිරීමය. ඒ තීන්දු ක්‍රියාත්මක කෙරුණේ රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංග ගේ සභාපතිත්වයෙන් ජනාධිපති රචඩ් නික්සන් පත් කළ “40 කමිටුව” මගින් ය.

4398 p 8 9 2සල්වදෝර් අයන්ඩෙ

 

අයන්ඩෙ පාලනය කෙසේ හෝ අවසන් කිරීමේ ඇමෙරිකානු අවශ්‍යතාව වූයේ සෝවියට් ඇසුරක් ඇති තවත් රටක් බිහි වීමේ අවදානමට වඩා ඔවුන්ගේ ව්‍යාපාරික ආධිපත්‍ය පවත්වා ගැනීම ය. ලොව විශාලම තඹ නිෂ්පාදකයා චිලියයි. ඒ සමාගම් වල බහුතර අයිතිය ඇමෙරිකානු සමාගම් සතු විය. එවගේම ඇමෙරිකානු යෝධ නිෂ්පාදන සමාගමක් වන අයි.ටී.ටී සමාගම චිලියේ දුරකතන සමාගමවූ “චිටෙල්කො” සමාගමේ සියයට 70 ක් කොටස් හිමිකර ගෙන තිබුණි. අයන්ඩෙ පාලනයක් යටතේ ඒවා ජනසතු කෙරෙනු ඇතැයි නික්සන් පාලනය අනුමාන කළේය. එනිසා ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවාව වසර දෙකක් තිස්සේ අයන්ඩෙ බලයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළේය. 

“නිව් යෝක් ටයිම්ස්” පුවත් පත, 1974 සැප්තැම්බර 20 වන දින “ජනාධිපති සල්වදෝර් අයන්ඩෙ ගොසෙන් බලයෙන් පහ කෙරෙන තෙක් ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවාව වර්ජනය කළ වෘත්තීය සමිති හා වෙළඳ සංගම් මාස 18 ට වැඩි කාලයක් රහස්‍ය ලෙස නඩත්තු කළ බැව්, බුද්ධි අංශ අද පිළිගත්හ” යනුවෙන් වාර්තා කළේය. 

 

2015 02 03 Chile Pinochet Kissingerබොහෝ විශ්ලේෂකයින්ගේ මතය වූයේ ප්‍රචණ්ඩ බල මාරුවක් වැළැක්විය නොහැකි වූ බවකි

මෙයද අපට වැදගත් ය. “තතු දත් අය කියූ පරිදි විශාල වශයෙන් වැය කරණු ලැබුවේ 1972 සරත් සෘතුවේ දින 26 ක් ජාතික ප්‍රවාහන වර්ජනයක නිරත වූ ලොරි හිමියන් වෙනුවෙන්ය.” එය චිලියානු ආර්ථිකය බරපතල ලෙස අඩාල කළ, ජනාධිපති අයන්ඩෙ මුහුණ දුන් පළමු දැවැන්ත කම්කරු විරෝධතාව වූයේ යැයිද වාර්තාවෙහි සඳහන් විය. ඒ සමග එහි සඳහන් වූයේ “1973 දී ඒ වර්ජන රැල්ලේ උච්චතම අවස්ථාව වන විට, එය වර්ජනය කළ ලොරි රියැදුරන් සමග සාප්පු සේවකයින් සහ වෙනත් වෘත්තිකයින් 2,50,000 ට වැඩියෙන් හවුල් වූ, මැදපංතික සමාජ ව්‍යාපාරයක් විය. ඒ සමග බොහෝ විශ්ලේෂකයින්ගේ මතය වූයේ, ප්‍රචණ්ඩ බල මාරුවක් වැළැක්විය නොහැකි වූ බවකි.”  

එවැනි නිල වාර්තා සියල්ල සම්පිණ්ඩනය කළ විට කතාව වන්නේ,

(1) නාගරික මැදපංතික අයන්ඩෙ විරෝධය, ඇමෙරිකානු මුදල් මත හැදුවකි 

(2) නාගරික විරෝධතා පාරට ගෙන එන්නට මාධ්‍ය, වෘත්තීය සමිති සහ වෘත්තිකයින්ගේ සංවිධාන වලට ඇමෙරිකානු ඩොලර පොම්ප කරනු ලැබිණ 

(3) චිලියානු හමුදාවෙහි අයන්ඩෙ විරෝධි නායකත්වයක් හදනු ලැබිණ 

(4) ඒ සියල්ල සන්තියාගෝ නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ විශේෂ නිලධාරියෙකු මගින් සම්බන්ධීකරණය කරනු ලැබිණ.


1540555749 404186 1540556238 noticia normal“චිකාගෝ බෝයිස්”
ඔගුස්තො පිනොචෙ බලයට එන්නේ ලේ වැකි හමුදා මර්දනයක් සමග සැප්තැම්බර 11 වන දින අයන්ඩෙ ඝාතනය කිරීමෙනි. මේ මෘග ආණ්ඩු මාරුවෙන් පසු පිනොචෙ, “චිකාගෝ බෝයිස්” යනුවෙන් ප්‍රසිද්ධ වූ ආර්ථික උපදේශන කමිටුවක් පත් කළේය. ඒ ආර්ථික කමිටුව සමග ජා.මූ.අරමුදල චිලියේ ආර්ථිකය නිදහස් වෙළඳපල ආර්ථිකයක් ලෙස ස්ථාපිත කළේය. ඒ වෙනුවෙන් පළමු වරට 1974 දී ජා.මූ.අරමුදල ඩොලර මිලියන 79 ක ණය ආධාරයක්ද චිලියට ලබා දුන්නේය.

දැන් අප ගැන කතා කළහොත් අපගේ වැදගත්කම ලොව බලවතුන්ට ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ පිහිටීමෙහි ය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2022 අප්‍රේල් මාසයේ නිදහස් කළ “ශ්‍රී ලංකාව - ඒකාබද්ධ උපාමාර්ග” නම් වාර්තාවෙහි පළමු වාක්‍ය කිහිපයෙන් ශ්‍රී ලංකාවේ ඉතා “සංවේදී” දේශපාලනික ස්ථානගතවීම සඳහන් කෙරෙන්නේ “21 වන සියවසේ කලාපීය බලපෑම සඳහාවන අරගලයේ ආකර්ශනීය සංවේදී කේන්ද්‍රය වන ශ්‍රී ලංකාව, තර්කයකින් තොරව, කලාපයේ මුහුදු ගමන් මගෙහි වඩාත්ම උපාමාර්ගික ලෙස පිහිටා ඇති එකම දේශය වන්නේය. වසරකට නැව් 60,000 ට අධික සංඛ්‍යාවක් - මුහුදු මගින් ප්‍රවාහනය කෙරෙන ලොව බොර තෙල් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් ඇතුළුව බහළුම් ප්‍රවාහන නැව් වලින් අඩක්ද, 05 වන හා 07 වන නාවික සේනාංක අතර ගමන් ගන්නා සියලු ඇමෙරිකානු නැව් සංඛ්‍යාවද ශ්‍රී ලංකා මුහුදු මාර්ග ඔස්සේ ගමන් කරති” යනුවෙනි.

චිලියේ සන්තියාගෝ නුවර අයන්ඩෙ විරෝධයත් ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර පිටියේ රාජපක්ෂ විරෝධයත් අනතුරුව දෙරටෙහි ඊළග දේශපාලන වර්ධනයත් ඊට වැඩි සංසන්දනයකට තබන්නට අවශ්‍ය නැතැයි සිතමි.

මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2024 ජූලි 07


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වොෂිංටන් 'කුමන්ත්‍රණ' සහ රනිල්ගේ විස්මිත 'ඩෙට් සස්ටේනබිලිටිය' - (කුසල් පෙරේරා) | The Leader