The Leader News
BREAKING
Top Ad
Opinion

අපි ණයත් නැහැ, බයත් නැහැ ! - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

July 12, 2024 • 5:16 AM

අපි ණයත් නැහැ, බයත් නැහැ ! - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ දුක්ගැනවිල්ල අධිකරණය ඉදිරියේ ගොනු කර තිබුණේ මේ වචනවලින්ම නොව.
  • ලෙනව නමැති ව්‍යාපාරිකයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ඒ කාරණය අරගෙන නැවත වරක් යාමට තීන්දු කෙළේද, එකී දේශපාලන සැලැස්මේ එක් අංගයක් වශයෙන් බවට සැකයක් නැක.
  • විය යුතු පරිද්දෙන්ම, ඔහුගේ ඉල්ලීම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වීසි කරන ලදි. මේ නඩුව, කිසිසේත් ජයගත නොහැකි දෙයක් බව කවුරුත් දැන සිටියහ.
  • රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවා, නඩු තීන්දුව ලැබීමටත් කලින් ජනාධිපති කාර්යාලය හරහා ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහුගේ දුක්ගැනවිල්ල අධිකරණය ඉදිරියේ ගොනු කර තිබුණේ මේ වචනවලින්ම නොව. එහෙත්, වෙනත් වචනවලින් වූවත් ඔහු කියා සිටියේ එම අදහසමයි. 

 


මෙය, මීට කලින් අඩු වශයෙන් දෙවතාවකදීවත්, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබුණු කාරණයකි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ යටි අවශ්‍යතා පිරිමැසීමේ කාර්යය, ලැජ්ජා-බය සීමාවෙන් ඔබ්බටත් ගෙන යාමේ රාජකාරිය භාරව සිටින රංගෙ බණ්ඩාර සහ වජිර අබේවර්ධන වැනි පුද්ගලයන්, ජනාධිපතිවරණයක් මේ අවස්ථාවේ පැවැත්වීමේ නිරර්ථක භාවය විවිධ හේතු කාරණා දක්වමින් සමාජය ඉදිරියේ දිගහැරීමට පියවර ගෙන දැන් සති කිහිපයක් ගතවෙයි. 

 



මේ කියන සී. ඩී. ලෙනව නමැති ව්‍යාපාරිකයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ඒ  කාරණය අරගෙන නැවත වරක් යාමට තීන්දු කෙළේද, එකී දේශපාලන සැලැස්මේ එක් අංගයක් වශයෙන් බවට සැකයක් නැක. විය යුතු පරිද්දෙන්ම, ඔහුගේ ඉල්ලීම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වීසි කරන ලදි. 

මේ නඩුව, කිසිසේත් ජයගත නොහැකි දෙයක් බව කවුරුත් දැන සිටියහ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවා, නඩු තීන්දුව ලැබීමටත් කලින් ජනාධිපති කාර්යාලය හරහා ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. එයින් කියැවුණේ මේ කියන සී. ඩී. ලෙනව නමැති පුද්ගලයා සහ තමන් අතර සම්බන්ධයක් නැති බවත්, මෙවැනි නඩු නිමිත්තක් ගැන තමාගේ නීතිඥයන් සමග ඔහු කිසි විටෙක කතා කර නැති බවත් ය. 

ජනාධිපතිවරයා කී ඒ කරුණුවල සත්‍යාසත්‍යතාව සොයාබැලීමේ අවශ්‍යතාවක් අපට නැත. මොන තර්කයක් යටතේවත්, ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් නොවන බව, අනිත් කාටත් වඩා හොඳින් වර්තමාන ජනාධිපතිවරයා දැන සිටිය යුතුය. එහෙත්, ජනාධිපතිවරණයක් අත ළඟ තියාගෙන, රංගෙ බණ්ඩාර සහ වජිර අබේවර්ධන වැනි දේශපාලනඥයන් මගින් මේ මතය සමාජය ඉදිරියේ අතහැරීම, හුදෙක් ජනතාව ව්‍යාකූලත්වයට පත්කිරීම අරමුණු කරගෙන සිදු කෙරෙන්නක් බව පෙනේ. ඒ ව්‍යාකූලත්වය, දැනට පවතින දේශපාලනික තත්වයන් පසුව වෙනස් වුණොත්, ජනාධිපතිවරණය කල්දමා ගැනීමේ ඉඩකඩක් අත්හදාබැලීමට යම් සහායක් වෙතැයි මොවුන් සිතනවා විය හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය නඩුවේ අභිමතාර්ථයත් එය විය යුතුය.

france el6y5rඑසේ සිතීමට ඔහුට බල කෙරුණේ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයයි. 

 

ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයේ මුල් වටයේ ඡන්දය ජුනි 30 වැනිදා පැවැත්වුණි. දෙවැනි වටයේ ඡන්දය, ජුලි 7 වැනිදා  පැවැත්වුණි. එය, ප්‍රංශ ජනාධිපතිවරයා විසින් මීට මාසයකට කලින් (ජුනි 9) හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා පවත්වන්ට තීන්දු කළ අකල් මැතිවරණයකි. ජනාධිපතිවරයාගේ තීරණය මෙසේ නොවු‚ නම්, එම මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2027 දී ය. තමන්ට වැඩි බලයක් තිබුණු  පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් නියමිත කාලයට කලින් එසේ හදිසියේ විසුරුවා හැරියේ ඇයි? එවැනි හදිසි මැතිවරණයකින් තමන්ට වැඩි වාසියක් අත්වෙතැයි ගණන් බැලීමෙන්ද? එසේත් නැත්නම්, තමන්ගේ ප්‍රතිවාදි කඳවුර පරාජය කිරීමට හොඳම මොහොත එය යැයි තීන්දු කළ නිසාද? ඒ කිසිවක් නිසා නොව, ඇත්තෙන්ම ඔහුගේ තීන්දුව පිහිටියේ එහි අනිත් පැත්තේ ය. එසේ සිතීමට ඔහුට බල කෙරුණේ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයයි. 

 

eu electioඑම මැතිවරණයේදී, ප්‍රංශ ජනාධිපතිවරයාගේ පක්ෂය ප්‍රංශය තුළ පරාජයට පත්කොට, අන්ත දක්ෂිණාංශික පක්ෂයක් ජයග්‍රහණය කෙළේය.
ජුනි 6 වැනිදා සිට 9 වැනිදා දක්වා යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණි. එම යුරෝපා පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 720 කි. එම ආසන සංඛ්‍යාව නියෝජනය කරන රටවල් ප්‍රමාණය 27 කි. එම මැතිවරණයේදී, ප්‍රංශ ජනාධිපතිවරයාගේ පක්ෂය ප්‍රංශය තුළ පරාජයට පත්කොට, අන්ත දක්ෂිණාංශික පක්ෂයක් ජයග්‍රහණය කෙළේය. එවැනි අවස්ථාවක, තමන් බලය හොබවමින් සිටින රටේ (ජාතික) පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට ව්‍යවස්ථාමය බලකිරීමක් ජනාධිපතිවරයාට නැත. යුරෝපා පාර්ලිමේන්තුව එකකි. ප්‍රංශ පාර්ලිමේන්තුව වෙනත් එකකි. ප්‍රංශ පාර්ලිමේන්තුවට ජනවරම ලැබී ඇත්තේ, යුරෝපා පාර්ලිමේන්තුවට ජනවරම ලැබුණු මැතිවරණයෙන් නොවේ. ඒ නිසා, යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ පරාජය කිසිසේත් තමා ලැබූ පරාජයක් වශයෙන් ප්‍රංශ ජනාධිපතිවරයා සැලකිය යුතු බවට නියමයක් නැත. 

 

5549948b 9d16 4458 a37e ece0b35339bfතමන්ගේ රටේ පාර්ලිමේන්තුව තුළ තමන් සතුව එතෙක් තිබූ නිල ජනවරම පාරිශුද්ධ එකකැයි කීමට තමන්ට පුළුවන්කමක් නැති බව ප්‍රංශ ජනාධිපතිවරයාට වැටහුණි.

එහෙත්, තමන්ගේ දේශීය ජනවරමට සෘජු සම්බන්ධයක් නැති වුවද, යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන්ගේ පක්ෂය පරාජයට පත් වූ පසු, තවදුරටත් තමන්ගේ රටේ පාර්ලිමේන්තුව තුළ තමන් සතුව එතෙක් තිබූ නිල ජනවරම පාරිශුද්ධ එකකැයි කීමට තමන්ට පුළුවන්කමක් නැති බව ප්‍රංශ ජනාධිපතිවරයාට වැටහුණි. යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද පරාජයත් සමගම තමාගේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් විසුරුවාහැර අලූත් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන ලද්දේ එබැවිනි. එහිදී, තමාගේ හෝ තම පක්ෂයේ වාසිය හෝ අවාසිය සිය තීරණය සඳහා හේතුවක් කරගත යුතු නැතැයි ඔහු තදින්ම විශ්වාස කෙළේය. 

b5yhhbcdකල් ඉකුත් වී ඇතැයි පෙනෙන ජනවරමක් අලූතෙන් උරගා බැලීමේ අවස්ථාව (තමාගේ පරාජයේ අවදානම පැහැදිලිව පෙනෙන්ට තිබියදී පවා) තම රටේ මහජනතාවට ලබාදීමයි

 

ඔහු සිතූ පරිදිම, ඔහුගේ පක්ෂය මේ (ප්‍රංශ) මැතිවරණයෙන්ද පරාජයට පත් විය. එහෙත් ඔහුට අවශ්‍ය කෙළේ එක් වැදගත් කාරණයකට මුල්තැන දීමටයි. එනම්, කල් ඉකුත් වී ඇතැයි පෙනෙන ජනවරමක් අලූතෙන් උරගා බැලීමේ අවස්ථාව (තමාගේ පරාජයේ අවදානම පැහැදිලිව පෙනෙන්ට තිබියදී පවා) තම රටේ මහජනතාවට ලබාදීමයි. (ඔහු ගත් එම තීරණයෙන් ඔහුගේ පක්ෂය පරාජයට පත්වූවත්, රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණය, එනම්, ජාතිවාදී අන්ත දක්ෂිණාංශය පරාජය කරදැමීමට අවස්ථාවක් රටවැසියාට උදා කර දීම වෙනම ලිපියකට පාදක විය යුතුය.)

එහෙත් අපේ රටේ තත්වය කුමක්ද? අවුරුදු 5 ක් සඳහා වන ජනවරමකින් බලයට පත් ජනාධිපතිවරයෙක් තමාගේ ධුරයත් හැරදමා රටින් පැන ගියේය. ඔහුගේ පක්ෂයේ මැති ඇමතිවරුන්, තම ජීවිත ආරක්ෂාව පතා, යටිබිම්ගත විය. තනතුර අතහැර පලාගිය ජනාධිපතිවරයාගේ වැඩිමහල් සහෝදරයා හෙවත් එම කඳවුරේ කුලදෙටුවා සහ සංකේතීය පියා වන හිටපු ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ජීවිත රැකවරණය සපයාගත හැකි වුණේ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරක සැඟවීමෙනි. 

 

ජනාධිපතිවරයා තනතුර අතහැර රටින් පලායාමම, ඔහුගේ තනතුරේ පමණක් නොව, ඔහුගේ කඳවුර බහුතර බලය හොබවන පාර්ලිමේන්තුවේ පවා වලංගු භාවය සහ සුජාත භාවය අහෝසි කෙරුණු මොහොතක් වශයෙන් සැලකිය යුතුව තිබුණි. 

කරුණු එසේ තිබියදී, තවමත් ඒ සියලූ දෙනා පාර්ලිමේන්තුවේ ය. අවලංගු වූ පාර්ලිමේන්තුවත් එසේම ය. පලාගිය ජනාධිපතිවරයා වෙනුවට, අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කරගෙන ඇත. ඒ  පත්වීම ලැබුණේ, අවසාන වරට පැවති (2020) ජනතා ඡන්දයෙන් අන්ත පරාජයට පත්කරන ලද රනිල් වික්‍රමසිංහට ය. ඔහුගේ පත්වීම අනුමත කෙළේ, සුජාත භාවය නැති කරගෙන අවලංගු තත්වයට පත්ව ඇති පාර්ලිමේන්තුවෙනි. දැන්, පස් අවුරුදු ජනාධිපති ධුරයේ ඉතිරි කාලය අවසන් වෙන අවස්ථාවේ පවා ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි කියා උසාවි යන්නේ එවැනි තත්වයක් යටතේ ය. 

කළුතර සංගායනාව

 



මේ සියලූ දෙනා, එනම් තනතුර අතහැර පලාගිය ජනාධිපතිවරයා, ජීවිත ආරක්ෂාව පතා ත්‍රිකුණාමලයේ නාවික කඳවුරේ සැඟවුණු කුලදෙටුවා සහ ඒ දෙන්නාගේම ආශීර්වාදයෙන් අන්තර්-වාර ජනාධිපති තනතුරට පත් වර්තමාන ජනාධිපතිවරයා පසුගිය සතියේ එක දේශපාලන වේදිකාවක වාඩි වී සිටියේය. ඒ , කළුතරදී ය. අර කුලදෙටු පවුලේ 'මහ මොළකරු' යැයි සැලකෙන බැසිල් රාජපක්ෂ එහිදී කතාවක් පැවැත්වීය. මෑත ඉතිහාසයේ ලංකා දේශපාලනයේ වඩාත් උත්ප්‍රාසනීය ප්‍රකාශය අපට අසන්ට ලැබුණේ ඔහුගේ කතාවෙනි. ඔහු වර්තමාන ජනාධිපතිවරයා අමතා මෙසේ කීවේය: ''අපි ඔබතුමාට ණයත් නැහැ, බයත් නැහැ! ''

රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා නොවී ඒ මොහොතේ එම වේදිකාවේ සිටියේ විපක්ෂ දේශපාලනඥයෙකු වශයෙන් නම්, අර ප්‍රකාශයට ඔහු දෙන දීර්ඝ සහ සාරගර්භ පිළිතුර අපට සිතාගත හැකිය. ''කවුද හොරා? කවුද හොරා?'' යැයි මීට ටික කලකට ඉහතදී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ එකී රනිල් වික්‍රමසිංහ නමැති විපක්ෂ දේශපාලනඥයා, ''කවුද ඔහේලගේ ජීවිත බේරලා දුන්නෙ? ඔය තත්වෙන් චණ්ඩි කතා කියන්න පුළුවන් හයිය ඔය දිවට හදලා දුන්නේ කවුද?'' යන ප්‍රශ්නය එහිදී ඔහුගෙන් පෙරළා ඇසෙනු ඇත. එහෙත් අවාසනාවක මහත! මෑත අතීතයේ රටම දන්නා නීරස පාඩමක් එසේ වමනය කිරීම, මෑත අනාගතයේ උරගාබැලීමට නියමිත ස්වකීය පුද්ගල බල තණ්හාව කුජීත කරවනසුළු බව, 'ජනාධිපති' රනිල් වික්‍රමසිංහ දැන සිටියේය. ඊටත් වඩා හොඳින් එය දන්නෝ රාජපක්ෂවරු ය. 

 



බැසිල් රාජපක්ෂ එසේ කියන්නේම, රනිල් වික්‍රමසිංහගේ සීමාව දැනගෙනයි. එවැනි අවස්ථාවක, මුවින් නොබැන සිටීම හැර රනිල් වික්‍රමසිංහට කළ හැකි වෙන දෙයක් නැත. 

මා මෙහිදී මතු කිරීමට සහ අවධාරණය කිරීමට බලාපොරොත්තු වන මුල්ම පාඩම මෙයයි: රනිල් වික්‍රමසිංහගේ මුහුණට බැසිල් රාජපක්ෂ එසේ කීම අපට ප්‍රශ්නයක් නැත. එහෙත් එම ප්‍රකාශය තුළ ප්‍රකාශිත මනෝභාවය රටේ සමස්ත දේශපාලනයට ආදේශ කළ විට, රාජපක්ෂවරුන් විසින් රටට මෙතෙක් කරන ලද පරණ අනර්ථය තවත් වටයකින් කිරීමට කිසිසේත් නොපැකිළෙන බව ඉඳුරා ගම්‍ය කෙරේ. ඉතිහාසයෙන් කිසි පාඩමක් උගෙනීමට සූදානමක් නැති බව එහි අදහසයි. එවැනි දේශපාලනික මනෝභාවයක තබා එම ප්‍රකාශය අර්ථකථනය කළ විට කියැවෙන්නේ මෙවැන්නකි: ''රාජපක්ෂවරුන් වන අපි, ඔය කියන සබුද්ධික රටවැසියන් යන නරපණුවන්ට ණයත් නැහැ, බයත් නැහැ ! ''

එතකොට 'අරගලය' ? 

 

image 14df93ee69කළුතර වේදිකාවේ ප්‍රධාන ආසන සැරසූ සියලූ මුහුණු, මේ ආර්ථීක ප්‍රපාතයට වගකිව යුත්තන් බව මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම තීන්දු කර තිබේ
'' ඔව්, එතනදී අපි හැංගුණා තමයි. බලය අතඇරලා පැනලා ගියා තමයි. එත් , දැන් මොකද කියන්නෙ? ඊළඟ වටයට අපි දැන් ලෑස්තියි.''

දෙවැනි පාඩම මෙයයි: රනිල් වික්‍රමසිංහ මේ රට ගොඩනැඟීමට යන්නේ, එවැනි අසාධනීය සහ අධම පිරිසක් සමගයි. එදා කළුතර වේදිකාවේ ප්‍රධාන ආසන සැරසූ සියලූ මුහුණු, මේ ආර්ථීක ප්‍රපාතයට වගකිව යුත්තන් බව මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම තීන්දු කර තිබේ. ඔවුන්ගේ වාසනාවට, එකී නඩු තීන්දුවේ ඔවුන් අරභයා වන්දියක් නියම වී නොතිබුණි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේනට නියම කළ දඩය වැනි වන්දියක් කළුතර ආසන හෙබැවූ මෙම පිරිසටත් නියම වි‚ නම්, රනිල් වික්‍රමසිංහට කෙසේ වෙතත්, මේ රටට සහ ජනතාවට ඔවුන් ගෙවිය යුතු ණය කන්දරාව කොපමණදැයි අපට දැනගැනීමට තිබුණි.  

ඔහු කුරුසයේ තබා ඇණ ගසමු ද? - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...