The Leader News
BREAKING
Top Ad
Opinion

'යන්නේ කොහෙද - දන්නේ මොනවද' නොදන්නා උද්දච්ච ගැටයෝ - (කුසල් පෙරේරා)

T

The Leader Desk

July 18, 2024 • 5:58 AM

'යන්නේ කොහෙද - දන්නේ මොනවද' නොදන්නා උද්දච්ච ගැටයෝ - (කුසල් පෙරේරා) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැට පැන්නම රාජ්‍ය සේවයේ පැන්ෂන් යවන්නේ, ඊට පස්සේ වැඩ බැරි නිසා කියලත් මිනිහා කියනවා.
  • අනෙක තමයි “අවුරුදු 75 ක් රට කෑව එවුන් එළවන්න ඕනෙ” කියන කතාව.
  • වයසට යෑමේ ශාරීරික අපහසුතා නිසා රැකියා අත හැර යාම 19 වන සියවස වන විට එංගලන්තයේත් යුරෝපය පුරාමත් නිතර හමුවුන ගැටළුවක් වුනා.
  • ඒ පසුබිමෙහි, වයස 70 දී අනිවාර්යෙන් විශ්‍රාම යා යුතුයි කියා 1881 දී ජර්මනියේ රාජ්‍ය නායක ඔටෝ ෆන් බිස්මාක් තීන්දු කෙරුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හැට පැන්නම රාජ්‍ය සේවයේ පැන්ෂන් යවන්නේ, ඊට පස්සේ වැඩ බැරි නිසා කියලත් මිනිහා කියනවා. කැමරාවක් ඇල්ලුව ගමන් මොනවා හරි සද්දෙ දාලා කියන ගැටයින් දේශපාලන පක්ෂත් හදාගෙන, සමාජ මාධ්‍ය පුරා ලොකු කතා කියමින් යනවා.

ඔවුන්ගේ ජනප්‍රිය කතා දෙකක් තියෙනවා. එකක් තමයි “ඔය මහල්ලෝ දේශපාලනෙන් ඉවත් කරන්න ඕනෙ” කියන කතාව. අනෙක තමයි “අවුරුදු 75 ක් රට කෑව එවුන් එළවන්න ඕනෙ” කියන කතාව. ඉස්සෙල්ලා හැට පැනපු කතාවෙන් පටන් ගන්නම්.

 



වයසට යෑමේ ශාරීරික අපහසුතා නිසා රැකියා අත හැර යාම 19 වන සියවස වන විට එංගලන්තයේත් යුරෝපය පුරාමත් නිතර හමුවුන ගැටළුවක් වුනා. ඒ වනවිට ඔවුන්ගේ ශ්‍රම පලදායිතාවත් බොහෝ සේ අඩුව තිබුණා. ඒ පසුබිමෙහි, වයස 70 දී අනිවාර්යෙන් විශ්‍රාම යා යුතුයි කියා 1881 දී ජර්මනියේ රාජ්‍ය නායක ඔටෝ ෆන් බිස්මාක් තීන්දු කෙරුවා. එය පසුව 1916 දී අවුරුදු 65 දක්වා අඩු කෙරුනා. ඒ කාලයේ යුරෝපය පුරා මේ ප්‍රවනතාව දකින්න ලැබුණා.

මේ වයස් සීමා තීන්දු වුනේ කාරණා දෙකක් මත. එකක් ඒ සමාජයේ සාමාන්‍යයෙන් පිළිගැණුනු ශ්‍රමිකයාගේ ශාරීරික ශක්තිය හා පලදායිතාව අනුව. දෙවැන්න පුරප්පාඩු පුරවා ගැනීමට ඇති විරැකියාවේ සංඛ්‍යා මත. මතක තියා ගත යුතු වැදගත්ම කාරණාව නම් මේ යුගය, දෑතේ ශ්‍රමය මත නිෂ්පාදනය තීන්දු වූ යුගයක්. ඒ නිසා විශ්‍රාම වයස ගණන් හැදුනේ ශ්‍රමිකයාගේ ශාරීරික තත්ත්වය මත මිස, පාලකයාගේ වයස අනුව නොවේ.

දැන් අප නව සියවස සමග පැමිණ ඇත්තේ ශාරීරික ශ්‍රමය ගණන් නොහදන තාක්ෂණික ලෝකයකටයි

 

දැන් අප නව සියවස සමග පැමිණ ඇත්තේ ශාරීරික ශ්‍රමය ගණන් නොහදන තාක්ෂණික ලෝකයකටයි. මේ නිෂ්පාදනය යාන්ත්‍රීකරණය වූ යුගයක්. දැන් ගණන් හැදෙන්නේ කුසලතා සහ දැනුමයි. ඒ වගේම මේ අප ඉන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු අපේක්ෂිත ආයු කාලය ඉහළ ගිය නවීන ලෝකයකයි. 1950 දී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 52.2 යි. එය 1960 දී අවුරුදු 59.1 යි. දැන් 2023 වන විට අපේක්ෂිත ආයු කාලය අවුරුදු 77.6 ක්. වෛද්‍ය පහසුකම් සමග නාගරික මැද පංතියේ වයස අවුරුදු 90 ඉක්මවන සංඛ්‍යාවත් ටික ටික ඉහළ යනවා.

 

xy56තාක්ෂණිකව දියුණුවන ලෝකයේ අත්දැකීම් හා බුද්ධි වර්ධනය සමග පරිනත වෘත්තිකයින් හමුවන්නේ ගැටවර වයසේ නෙවෙයි. හැට පැන්නට පස්සෙයි.

ඒවගේම තව වැදගත් සාධකයක් තමයි තාක්ෂණිකව දියුණුවන ලෝකයේ අත්දැකීම් හා බුද්ධි වර්ධනය සමග පරිනත වෘත්තිකයින් හමුවන්නේ ගැටවර වයසේ නෙවෙයි. හැට පැන්නට පස්සෙයි. ඒ නිසා නවීන ලෝකයේ බොහෝ රටවල විශ්‍රාම යෑමේ අනිවාර්ය වයස් සීමාව එක්කෝ ඉහළ දානවා, නැතිනම් එය අනිවාර්ය නොකරන නිර්දේශිත වයස් සීමාවක් තීන්දු කරනවා. කැනඩාවේ අනිවාර්ය විශ්‍රාම යෑමක් නැහැ. ජාතික විශ්‍රාමික පහසුකම් ලැබීමට සුදුසු කම් ලබන්නේ අවුරුදු 60 දීයි. උපරිම පහසුකම් ලැබෙන්නේ අවුරුදු 65 න් පසු විශ්‍රාම ගිය විටයි. 2023 සිට ඕස්ත්‍රේලියාවේ විශ්‍රාම යෑමේ වයස 67 ක් කෙරුවා. පින්ලන්තයේ වයස අවුරුදු 64 ත් 69 ත් අතර විශ්‍රාම යා හැකියි. 2030 න් පසු විශ්‍රාම යෑමේ වයස් සීමාව ඔවුන්ගේ අපේක්ෂිත ආයු කාලය අනුව තීන්දු කරන්න සැළසුම්කර තියෙනවා. නෙදර්ලන්තයේ විශ්‍රාම යෑමේ වයස දැන් අවුරුදු 67 ක් වෙනවා. එය අපේක්ෂිත ආයු කාලය අනුව 2028 දී අවුරුදු 67 යි මාස 03 ක් කෙරෙනවා.

iStock older employeeමේ අප ඉන්නේ ඇඟේ හයියෙන් දර පලා මිටි බැඳ විකුණන යුගයේ නෙවෙයි. මේ මොලේ හයියෙන් ප්‍රශ්න විසඳන යුගයක්.

 

නූතන ලෝකය ගැන නොදන්නා ගැටවරයින්ට විශ්‍රාම යෑම ගැන කෙටියෙන් කියනවා නම්, මේ අප ඉන්නේ ඇඟේ හයියෙන් දර පලා මිටි බැඳ විකුණන යුගයේ නෙවෙයි. මේ මොලේ හයියෙන් ප්‍රශ්න විසඳන යුගයක්.

 

rishරිෂි සුනාක් - ෂි ජිංපිං - සිරිල් රැමෆෝසා - ශෙයික් හසිනා
රටක ප්‍රශ්න විසඳන්න පුළුවන් තරුණකමට නෙවෙයි. එය කදිමට ඔප්පු කෙරුවෙ වයස අවුරුදු 44 ක් වුන එංගලන්ත අගමැති රිෂි සුනාක්. එයා 2022 ඔක්තෝම්බරයේ සිට මාස 18 ක් අගමැතිකම කරලා පසුගිය ජූලි 04 වන දා මැතිවරණයෙන් බ්රිතාන්‍ය කොන්සවටිව් පක්ෂය අවුරුදු 180 ට පසු ලැබුව අන්ත පරාජයට පත් කෙරුවා. චීන අසහාය නායක, ජනාධිපති සී ජිංපිං වයස අවුරුදු 71 ක් වෙලා තාම යෝධ රටක යෝධ කොමියුනිස්ට් පක්ෂය මෙහෙයනවා. දකුණු අප්‍රිකාවේ දෙවන වරටත් ජනාධිපති ලෙස පත් කර ගත් සිරිල් රැමෆෝසා ගේ වසය අවුරුදු 72 ක්. බංගලාදේශ අගමැතිනි ශෙයික් හසිනාට දැන් වයස අවුරුදු 76 ක්.

යන්නේ කොහේදැයි නොදන්නා මේ අලුත් ගැටවරයෝ අවුරුදු 75 ක් රට කෑව එවුන් එළවමු කියන එකටත් කෙටියෙන් උත්තර දීලම නවතින්නම්. අවුරුදු 75 ට පෙර නිදහස් ලංකාව පාලනය කරන්න පාර්ලිමේන්තුවට සර්වජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් කිසිවෙක් අද නැහැ. වෙනකක් තියා 1970 පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් ඉන්නේ දෙන්නයි. මහින්ද රාජපක්ෂ සහ වාසුදේව විතරයි. දැන් එළවන්න ඉන්නේ පසුගිය අවුරුදු 45 ක් රට කෑව අය විතරයි.

2 lනිදහසින් පස්සේ එ.ජා.ප සහ ශ්‍රී.ල.නි.ප ප්‍රධාන වූ ‘56 ම.එ.පෙ ආණ්ඩුව පත් කරන විට, ලංකාවේ විධිමත් අධ්‍යාපනය කෙරුණේ ඉංග්‍රීසියෙන්

 

නිදහසින් පස්සේ එ.ජා.ප සහ ශ්‍රී.ල.නි.ප ප්‍රධාන වූ ‘56 ම.එ.පෙ ආණ්ඩුව පත් කරන විට, ලංකාවේ විධිමත් අධ්‍යාපනය කෙරුණේ ඉංග්‍රීසියෙන්. කොළඹ සහ පේරාදෙනිය විශ්ව විද්‍යාල වලට ඇතුළු වුනේ කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය වගේ ප්‍රධාන නගර කිහිපයේ තිබුණු ලොකු ඉස්කෝලවල ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තු ළමුන් විතරයි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සමාජයේ ප්‍රභූන්ට අයිති අධ්‍යාපනයක් වුනා. බහුතර සිංහල-දෙමළ ළමුන්ට උසස් අධ්‍යාපනයට ගොඩ වෙන්න ඉඩක් තිබුණේ නැහැ. ඒ විෂමතාව ඉවත් කෙරුවේ ‘57 න් පස්සේ මව් බසින් පාසල් අධ්‍යාපනය පටන් අරගෙනයි. තමන් ඉගෙන ගත්තේ ඒ දේශපාලකයින්ට පින්සිද්ධ වෙන්න කියලාවත් නොදන්න මේ අලුත් ගැටවරයෝ ඒ දේශපාලකයින් රට කෑවා කියන්නේ මොනවා දැන ගෙනද?

 

624564565මැලේරියාව, වසූරිය, පෝලියෝව, බරවා රෝගය වැනි වසංගත මේ රටෙන් තුරන් කෙරුණේ 50-60 දසකවල පැවති ආණ්ඩු ක්‍රියාත්මක කළ රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාවන් නිසයි.

අනෙක මේ අය දැන් අහලවත් නැති දහස් ගණන් ජීවිත විනාස වූ මැලේරියාව, වසූරිය, පෝලියෝව, බරවා රෝගය වැනි වසංගත මේ රටෙන් තුරන් කෙරුණේ 50-60 දසකවල පැවති ආණ්ඩු ක්‍රියාත්මක කළ රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාවන් නිසයි. තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ යුගයේ ලාංකීය රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාව ගැන වෙනත් රටවලට කියනවා. රට කෑවා කියන්නේ ඒ දේශපාලකයින්ටද?

අලුත් ගැටවරයින්ට කියන්නම අවශ්‍ය තවත් වැදගත් කතා කීපයක් තියෙනවා. දැන් ඉන්න මන්ත්‍රීවරුන් දන්නෙත් නැතුව ඇති ඔවුන්ට නිදහස් වාර්ෂික දුම්රිය බලපත්‍ර තියෙන බව. නමුත් 50, 60, 70 දසක වල විශේෂයෙන් උතුරු-නැගනෙහිර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ආවේ රාත්‍රී තැපැල් දුම්රියෙන්. ගාල්ලේ මන්ත්‍රී දහනායකත් නිතර රුහුණු කුමාරියේ කොළඹ ආව ඇමතිවරයෙක්. නිකවැරටියේ මන්ත්‍රී මුදියන්සේ තෙන්නකෝන් කොළඹ ආවේ ලංගම බස් එකෙන්. කැස්බෑවේ මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල් පොල් අතු වහනකොට වහලට නගින මන්ත්‍රීවරයෙක්.

පශ්චාත් නූතන අරගලයේ නොවැම්බර් විලාපය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්නමේ තව කතා කීපයක්. 1965 සිට එක දිගට අවුරුදු 05 ක් අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමති යූ. බී. වන්නිනායක 1970 මැතිවරණයෙන් පරාජයවී, ගෙදර යන්න සූට් කේසයත් අරගෙන පිටකොටු යන බසයක් එනතුරු මේට්ලන්ඩ් පෙදෙසේ ශ්‍රාවස්ථිය ඉදිරිපිට බස් නැවතුම්පළේ සිටගෙන සිටිය වග දන්නවාද? ලාංකීය නියෝජිතයා වශයෙන් ‘65 ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති එම්. ඩී. බණ්ඩා රෝමයේ පැවති ලෝක ආහාර සංවිධානයේ සම්මේලනයට යන්නට පෙර, ඒ කාලය තුල තමන්ගේ නිවසට ලබාදී ඇති නිල දුර කතනය විසන්ධිකර තබන ලෙස දිස්ත්‍රික් විදුලි සංදේශ ඉංජිනේරුවරයාට ලිඛිතව දන්වන බව දන්නවාද? විවේකයක් අවශ්‍යයැයි සිතුණු විට හවසක, 70 මුදල් ඇමති වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කොල්ලුපිටියේ ලිබටි සිනමා ශාලාවේ චිත්‍රපටයක් බැලීමට ප්‍රවේශ පත්‍රය ගන්න පෝලීමේ ඉන්නා බැව් දන්නවාද? ඔහු මුදල් ඇමති වශයෙන් ආව ගියේ පෞද්ගලික වියදමින් ඉන්ධන ගසා ගෙන ඔහුගේ පෞද්ගලික වාහනයෙන් බැව් දන්නවාද? ඒ යුගයේ කිසිදු ඇමතිවරයෙක්, කිසිදු මන්ත්‍රීවරයෙක් හමුදා හෝ පොලිස් ආරක්ෂාවක් ලබා නොගත් බව දන්නවාද? පුළුවන් නම් හන්දියේ පුංචි කොමියුනිකේෂන් කඩයක් කරලා, පාර්ලිමේන්තු ආවට පස්සේ සනුහරේටම කොළඹ යෝධ ගෙවල් අරන් දීපු මේ කාලේ මන්ත්‍රීවරයකු වගේ එක මන්ත්‍රීවරයෙක් ඒ කාලෙන් හොයලා දෙනව ද?

අතුරුගිරියේ වෙඩි තැබීමට 6ක් අත්අඩංගුවට - සුරේන්ද්‍ර වසන්ත පෙරේරා කියන්නේ  කව්ද ?අද වගේ “ටී-56” පාතාල චණ්ඩි එදා හිටියේ නැහැ.

 

ඒ කාලයේ අද වගේ දූෂණ ගැන කතා අහන්න තිබුණේ නැහැ. ස්ත්‍රී දූෂණ ගැන අහම්බෙන්වත් අහන්න තිබුණේ නැහැ. “රන්ජනී කැබ්ස්”, දොස්තර කුලරත්න, පෝලින් කෲස් වගේ මිනී මැරුම් නඩු ගැන අහන්න ලැබුණේ ඉතාම කලාතුරකින්. ඒවා කොයිතරම් පුදුමාකර සිදුවීම්දැයි කිව්වොත්, ඒවා ගැන ලියූ කවි කොළ බස්වලත් විකිණුවා. අද වගේ “ටී-56” පාතාල චණ්ඩි එදා හිටියේ නැහැ. නමුත් ගමේ “සයිඩර්” පෙරුව චණ්ඩි හිටියා. ජනප්‍රිය වුනේ කර්තේලිස්, පොන්සේකා මහත්තයා, චොප්පෙ වගේ අතේ පයේ හයියෙන් පොලීසියටත් අභියෝග කළ ප්‍රසිද්ධියේ හිටිය නගරයේ ඇත්ත චණ්ඩි. අද වගේ කුඩු ජාවාරම්කාරයෝ හිටියෙත් නැහැ. එදා ගංජා, අබිං සාමාන්‍ය මත්ද්‍රව්‍යයක් හැටියට තමයි පහළ සමාජයේ තිබුණේ. 

නිදහසින් පසු පළමු අවුරුදු 30 ක පමණ කාලය, වෙනමම යුගයක්. වෙළඳාම සිංහල, දෙමළ, මුස්ලිම් කියලා බෙදා ගෙන තිබුණට, සමාජයේ හැමෝම එකට හිටියේ. සුහදත්වයක් තිබුණා. සංස්කෘතික ගනු දෙනු තිබුණා. ඒ බෙදීම් ප්‍රචණ්ඩ ලෙස, මෘග බෙදීම් ලෙස සමාජයට ගෙනාවේ 77 ජයවර්ධන යුගයේ සිටයි. 

ඒ පැහැදිලිවම එකිනෙකට වෙනස් යුග දෙකක්. පළමු යුගය මානුෂීය යුගයක්. ශිෂ්ඨ යුගයක්. ඒ යුගයේ ආණ්ඩු, රට සංවර්ධනය කරන්න ඉදිරිපත් කළ සැළසුම්වල තිබූ වැරදි දේශපාලන ගණන් හැදීම් ගැන අපි කතා කරමු. නමුත් “රට කෑම” පටන් ගන්නේ 1977 න් පසු ජයවර්ධන ජනාධිපති තහවුරු කළ නිදහස් වෙළඳපල ආර්ථිකය සමග බව තරුණ පරම්පරාව දැන සිටිය යුතුයි. එනිසා, අවුරුදු 45 ක් රට කෑව පරම්පරා වලට දැන් ඉන්න අලුත් පරම්පරාවේ හැමෝමත් අයත් වෙනවා. මේ විනාශයට වගකිව යුතු වෙනවා. දේශපාලකයින් අවුරුදු 75 ක් රට කෑවා කියා නිකම් බොරුවට කෑ ගසමින් තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න හදන්නේ නැතුව, ඒ ඇත්ත ඉතිහාසය පිළිගෙන මේ වංචාකාරී, දූෂිත සමස්ථය වෙනස් කරන්න කතා කරමු.

මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )

2024 ජූලි 17 වන දින

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...