ගියේ සභාපති සුදර්ශන ගුණවර්ධන.
මගේ අදහස වුනේ කාර්මික විප්ලවයෙන් පස්සෙ බිහිවුනු, කම්කරුවාගේ නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් නිර්මාණය වුනු, මේ වැඩ වර්ජන කියන යාන්ත්‍රණය අදට ගැලපෙන්නෙ නැති දෙයක් කියන එකයි. අපි දැන් ඉන්නෙ හතරවෙනි කාර්මික විප්ලවය ඉස්සරහ. අපේ වැඩ වර්ජන තියෙන්නෙ පළවෙනි කාර්මික විප්ලව යුගයෙ.
මේක අපි දැන් සලකන්න ඕන අර අලුත් අවුරුදු චාරිත්‍ර වගේ නටඹුන් රැක ගැනීමේ අදහසක් ඇතුවයි.
මේ වෙද්දි ලෝකයේම තියෙන ප්‍රවණතාවයක් තමයි වෘත්තිය සමිතිගත වීම විශාල වශයෙන් අඩුවෙමින් යනවා. ඒකට හේතුව අලුතෙන් රැකියා කරන අය තමන්ගේ අයිතිවාසිකම් ඉල්ල ඉල්ල කොම්පැනිය මත්තෙ හැපි හැපි ඉන්නෙ නෑ. උන් අලුත් රස්සා හොයාගෙන යනවා. තමන්ගෙ යූටියුබ් චැනල් එකක් හරි පටන් ගන්නවා.
මැරෙනකල් එකම රස්සාව කරමින් හිටපු කාලෙ දැන් ඉවරයි.
වැඩ වර්ජන කරන්නෙ තමන්ට වෙනත් රැකියාවකට යාගන්න බැරි පිරිස්. ඒ අයට රැකියාව තුල වටිනාකමක් නැති වෙමින් යනවා. වෙනත් විදිහකට කිව්වොත් ඒ අයගෙ රැකියාවෙ අදාලත්වය කෙමෙන් නැති වෙමින් යනවා. ඒ අයට සිද්ද වෙලා තියෙනවා වර්ජනයක් කිරීමෙන් තමන්ගේ වටිනාකම ප්‍රදර්ශනය කරන්න. වර්ජනය කිරීමෙන් තමන් අවශ්‍යයි කියල සේවායෝජකයාට දනවන්න වෙනවා කියන්නෙ තමන්ගේ වෘත්තිය ඒ තරමටම හෑල්ලු වෙලා කියන එක.
පෞද්ගලික අංශය පොඩ්ඩක් පැත්තකින් තියලා මේ කාලෙ වර්ජන කරන රාජ්‍ය අංශය සැලකුවොත් අපි පැහැදිලිව දන්නවා රාජ්‍ය අංශයේ රැකියාවලට යන්නෙ වෙනත් හොඳ රැකියාවකට යන්න බැරි අය. රාජ්‍ය අංශයේ පඩි අඩුයි. රැකියා සංස්කෘතිය ආදිකාලීනයි. ඒත් ඒ රැකියාව තෝරගන්න වෙනවා කියන්නෙ ඒ අයට වෙනත් තරගකාරී අංශයක රැකියාවක් හොයාගන්න ආමරුයි කියන එක. රැකියා දියව් දියව් කියල ඉල්ලලා රැකියාවලට යන්න වෙන්නෙ ඒකයි. රාජ්‍ය අංශයේ රැකියා හරියට සුබසාධන ව්‍යාපෘති වගේ.
මේ වර්ජන වලදි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි රාජ්‍ය අංශයේ වර්ජන සහ පෞද්ගලික අංශයේ වර්ජන කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රකාශන දෙකක්.
පෞද්ගලික අංශය වර්ජනය කරද්දි ඒ සේවකයන්ටත් පාඩුයි, අයිතිකාරයන්ටත් පාඩුයි. ඒ හින්ද සේවකයා බයයි තමන්ගේ කොම්පැනිය වැහිලා රස්සාව නැති වෙයි කියල. ඒ වගේම අයිතිකාරයාත් බයයි තමන්ගෙ කොම්පැනිය වැටෙයි කියල. ඒ හින්ද ඒ දෙපිරිස අතර කොම්පැනියේ අනාගතය පිනිස සාධනීය සාකච්ඡාවක්, එකගතාවයක් ඉක්මනින් ඇති වෙනවා. ඒ වර්ජන ඇත්තටම ආර්ථික නිදහස, අයිතිය මුල් කරගත්ත සාධාරණ වර්ජන කියන්න පුළුවන්.
නමුත් රාජ්‍ය අංශයේ එහෙම නෙමෙයි. සේවකයො වර්ජනය කළා කියලා ඒ අයට ඇතිවෙන පාඩුවක් නෑ. ඒ අයව රැකියාවලින් අස් කරන්න බෑ. රාජ්‍ය අංශය පාඩුවීම ඒ සේවකයන්ට ඍජුව බලපාන්නෙ නෑ. ඒ වගේම රාජ්‍ය අංශය පාඩුවීම ආන්ඩුවට බලපාන්නෙත් නෑ. ඒ අය අවුරුදු පහකින් ගෙදර යනවා. ඒ පාඩුව බලපාන්නෙ ජනතාවට.
ඒ හින්ද හොඳට බැලුවොත් පේනවා රාජ්‍ය අංශයේ වැඩ වර්ජන කියන්නෙ ජනතාව අත්අඩංගුවට අරගෙන ජනතා මුදල් වැඩිපුර ලබාගැනීම පිනිස කරන ක්‍රමෝපායක් යන වග. ජනතාවගේ වෛරය පවතින ආන්ඩුවක් දිහාවට එල්ල කිරීමේ උපායක් යන වග. මේක පාවිච්චි වෙන්නෙම දේශපාලන ආයුධයක් විදිහට. රාජ්‍ය අංශයේ වර්ජන පිටිපස්සෙ තියෙන්නෙ ආර්ථික උවමනා නෙමෙයි, දේශපාලන උවමනාවන්.
ලෙනින්ගේ වචන වලින් රාජ්‍ය අංශයට කියන්න වෙන්නෙ ලේබර් ඇරිස්ටොක්‍රැට්ස් කියල. ඒ කියන්නෙ ශ්‍රම රදලයින්. ඒ අය පෞද්ගලික අංශයේ සේවකයන් වගේ පීඩිතයින් පිරිසක් නෙමෙයි. ඒ අය වැඩි වැටුප් පිනිස පීඩාවට පත් කරන්නෙ ඔවුන්ටත් වඩා පීඩිත ජනතාව.
ඒ අයව සේවයෙන් පහ කරන්න පුළුවන්කමක් නෑ. රැකියා ස්ථාවරත්වය උපරිමයි. ඒ අයට අනිවාර්යෙන් හඹා යායුතු ඉලක්ක නෑ. ලාභ උපරිම කිරීමේ උවමනාවක් නෑ. ඕන තරම් අයිතිවාසිකම් සහ නිදහස තියෙනවා. නිවාඩු තියෙනවා. විශ්‍රාම වැටුප් තියෙනවා. ඒ අයට ඕන නම් වැඩ කරනවා, නැත්තං නිකං ඉන්නවා. ඒ අයට පඩි ගෙවන්නෙ ජනතාව. වර්ජන හරහා ඒ අය පෙලන්නෙ ඒ පඩිගෙවන ජනතාව. ඇත්තටම රාජ්‍ය අංශයේ වර්ජනයක් කියන්නෙ ජනතාවට එරෙහි අරගලයක්.
ඒ වගේම මේ වෙද්දි රාජ්‍ය අංශය රටට බරක්. ඒ අයගෙ ඵලදායිතාවය අන්තිමයි. අපේ ආර්ථික බංකොලොත්භාවයට දරන්න බැරි තරම් විශාල රාජ්‍ය අංශයක් පැවතීම ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඇත්තටම දූෂණය වංචාව සහ නාස්තිය ප්‍රධාන වශයෙන්ම පවතින්නෙ මේ පරිණාමය නොවූ රාජ්‍ය අංශය ඇතුලෙ.
දැන් මේ රාජ්‍ය සේවකයන් ඉල්ලන වැටුප් දෙන්න නං එක්කො වැට් වැඩි කරන්න වෙනවා. ඒ කියන්නෙ සියලු ජනතාවගේ ජීවන මිළ ඉහළ යනවා. එතනදි මේ රදළ ශ්‍රමිකයන් වගේ නෙමෙයි එදාවේල හොයාගෙන ජීවත් වෙන අවිධිමත් කම්කරුවා හාමතේ මැරෙන්න නියමිතයි. නැත්තං ව්‍යාපාරවලින් ලැබෙන බදු වැඩි කරන්න වෙනවා. එහෙම වුනොත් විශාල ව්‍යාපාර ප්‍රමාණයක් මේ රට ඇත්ඇරලා වෙන රටවලට යනවා. ආයෝජකයො පැත්ත බලන්නෙ නැති වෙනවා. විශාල පිරිසකට රැකියා නැති වෙනවා. එහෙම නැත්තං බැසිල්ගෙ ක්‍රමය. ඒ කියන්නෙ සල්ලි අච්චු ගහන එක. එහෙම පුළුවන් අපිට ආපහු බංකොලොත් වෙන්න.
ඇත්තටම බැලුවොත් රාජ්‍ය අංශයට කිසිම අයිතියක් නෑ වැඩ වර්ජන කරන්න. රාජ්‍ය අංශය යෙදිලා ඉන්න සේවා කර්මාන්ත ඔක්කොමගෙම වගේ තියෙන්නෙ මොනොපොලියක්. ඒ වෙනුවට වෙනත් ආදේශක නෑ. උදා විදිහට වෙන කොම්පැනියක සේවකයො වර්ජනයක යෙදුනොත් පාරිභෝගිකයාට පුළුවන් තවත් කොම්පැනියකින් තමන්ගේ භාණ්ඩය හෝ සේවාව ලබා ගන්න. ඒත් රාජ්‍ය අංශයේ දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපන වගේ සේවාවන්වලට එහෙම ආදේශක නෑ. එක්කො මේ වගේ මොනොපොලියක් පවතින අංශවලට වර්ජන තහනම් කරන්න ඕන. නැත්තං ඒවා පුද්ගලීකරණය කරලා ජනතාවට තෝරාගැනීම් ලබා දෙන්න ඕන.
සේවකයන්ගේ අයිතීන් දිනාදීම ගැන ලොකු පුරසාරම් දෙඩුවත් නූතන ලෝකයේ ශ්‍රමයේ නිදහස සහ අයිතිය වෙනුවෙන් ලොකුම වැඩ කොටසක් කරන්නෙ තාක්ෂණය. තාක්ෂනය විසින් ගෙදර ඉඳන් වැඩ කරන්න පහසුකම් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රම මූලික රැකියා බොහොමයක් යන්ත්‍රවලට බාරදීලා මිනිස්සුන්ව නිදහස් කරනවා. නිර්මාණශීලී රැකියා තෝරාගන්න මිනිස්සුන්ට අවස්ථා ඇති කරනවා. ඉස්සර වගේ කවරුවත් දැන් මැරෙනකල් කරන රස්සාවක් තෝරගන්නෙ නැත්තෙ ඒකයි. අවුරුදු පහෙන් පහට රැකියාවන් මාරු වෙනවා. සම්පූර්ණයෙන්ම වෙනස් රැකියා පරාසයක් නිර්මාණය වෙනවා.
මේ තත්වෙට මුහුණ දෙන්න අපිට සිද්ද වෙනවා. රජයක් පැත්තෙන් උනන්දු විය යුත්තෙ වැඩ කරන අයට බය නැතුව මාරු වෙන්න පුළුවන් සේෆ්ටි නෙට් එකක් හදන එක. එතකොට කෙනෙකුගෙ සේවය අවශ්‍ය නැත්තං එයාව අයින් කරන්න පුළුවන්. වෙනත් රැකියාවක් හොයාගන්න කල් එයාට රජයෙන් දීමනාවක් ලැබෙනවා. ඒ හින්ද ආයෝජකයන්ට තියෙන බර අඩුවෙනවා. සේවකයන්ට අලුත් රැකියා හොයාගෙන යන්න බය නැති වෙනවා.
අනාගතය මනරංජන වෙන්නෙ අන්න ඒ වගේ තත්වයක් අපි නිර්මාණය කරගත්තොත් තමයි.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)



