මේ එක්සත් ජනපදයේ හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ රොබට් මැක්නමාරා වරෙක ප්‍රකාශ කර තිබූ අදහසකි. අද ශ්‍රී ලංකාවේ දේශපාලන සන්ධර්භය තුළ උත්කර්ශයට නංවා ඇති දේශපාලන චරිත හෝ පක්ෂ දෙස විමසිලිමත්වන්නෙකුට උක්ත පාඨය දෙතුන් වතාවක් සිහිකැඳවා ගැනීම, රටේ හෙට දවස වෙනුවෙන් අතිශය වැදගත් වනු නිසැකය.
නිර්පාක්ෂික දේශපාලනය

නිර්දේශපාලනික නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම වෙනුවෙන් යම් පූර්වාදර්ශයක් ලබාදුන් මෑත ඉතිහාසයේ දේශපාලන නායකයා වූයේ මංගල සමරවීරය. මංගල සමරවීර 2020 මහ මැතිවරණ අපේක්ෂකයකුව සිටිමින් පක්ෂ දේශපාලනයෙන් සමුගෙන නිර්පාක්ෂික දේශපාලනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් උරදී වැඩකටයුතු කළේය. එහිදී පක්ෂ දේශපාලනය ඇතුළේ රට වෙනුවෙන් නිවැරදිම තීන්දු ගැනීමේ අපහසුතාවන්, බාධාවන් සිදුවූ බව සහ සිදුවන බව අවධාරණය කළේය. අවාසනාවකට එම නව දේශපාලන සංස්කෘතිය මේ රට තුළ ස්ථාපිත කිරීමට ඔහුට නොහැකි වූයේ හදිසියේ සිදුවූ අභාවය නිසාය.
කෙසේ නමුත් මංගලගේ මරණයෙන් ඉතා කෙටි කලක් ගතවන තැන මෙරට ජනතාව විසින් දියත් කළ “ගෝඨා ගෝ හෝම්“ පළමු අර්ධයේ අරගලය කියන්නේ ද නිර්පාක්ෂික දේශපාලනයක් රට තුළ ගොඩනැගීම වෙනුවෙන් වූ නිර්පාක්ෂික අරගලයකි. කෙසේ වෙතත් අරගලය ත්‍රීව්‍ර වෙමින් ඉදිරියට යද්දී වාමවාදී පක්ෂ දේශපාලනය විසින් එය ග්‍රහණයට නතුකර ගත්තේය. එතැන් පටන් නිර්පාක්ෂික අරගල ක්‍රියාකාරීත්වය වෙනුවට පක්ෂග්‍රාහී, අන්තගාමී වගේම කුමන්ත්‍රණකාරීව කටයුතු කරන්නට විය. එම නිසාම එතෙක් පැවැති සාමකාමී අරගලයට ආයුබෝවන් කියමින්, රට පුරා කඩාකප්පල්කාරී, කොල්ලකාරී ස්වභාවයක් ගත් අතර ඉන් නොනැවතී විරුද්ධ පාක්ෂිකයන්ට පහරදීම්, නිවාස - දේපළ ගිනි ලෑම්, මිනිමැරුම් දක්වා වූ ම්ලේච්ඡ අරගලයක් බවට පරිවර්ථනය කළේය. ඒ පක්ෂ දේශපාලනයේ සාමාන්‍ය ස්වභාවයයි. නරුම ස්වභාවයයි.

රනිල්ගේ ආදර්ශය
එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 ජුලි මස මේ රටේ ජනාධිපතිධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ පළමුව ම්ලේච්ඡ ප්‍රචණ්ඩ අරගලය මැඩපවත්වා, රට තුළ සාමාකාමී වාතාවරණයක් ස්ථාපිත කළේය. එපමණකින් නොනැවතී නිර්පාක්ෂික අරගලයේ වුවමණාවන් අනුව කටයුතු කරමින් නිර්පාක්ෂික නව දේශපාලන සංස්කෘතියක් රට හමුවේ නිර්මාණය කිරීමට කටයුතු කළේය.
ඒ වෙනුවෙන් වූ ආදර්ශය ජනාධිපතිවරයා විසින් ලබාදුන්නේ, සියලු දේශපාලන පක්ෂ වලට ආණ්ඩුකරණයට සම්බන්ධ වන ලෙස ආරාධනා කිරීමයි. තමන් නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයාට හෝ ඇමතිකම් දීමට කටයුතු නොකළේය. කෙසේ නමුත් විරුද්ධ පක්ෂ නායකයන්ට අගමැති ධුරය භාරගන්නා ලෙස ආරාධන කළ මොහොතේ ඔවුන් ඉදිරිපත් කළ කොන්දේසිවල මූලිකත්වය ලබාදී තිබුණේ තමන්ගේ පක්ෂයේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ඇමති මණ්ඩලයක් අවශ්‍ය බවය. තමන්ගේ හිතමිතුරන්ට රජයේ තනතුරු අවශ්‍ය බවය.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ගේ වැඩපිළිවෙල ගැන විශ්වාස කළේය. ඒ වෙනුවෙන් නිර්දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය විශ්වාස කළේය. ඒ නිසාම ඒවන විටත් ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වූ කැබිනට් මණ්ඩලයම, තමන්ගේ වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවීම සදහා මෙහෙය වූවේය. අරයා පොහොට්ටුවේ මෙයා ශ්‍රිලනිපෙ යැයි කියන්න ගියේ නැත. ධෛර්යයෙන් කටයුතු කළ හැකි පිරිසට ඉඩ දී අවශ්‍ය මග පෙන්වීම ජනපතිවරයා විසින් සිදුකළේය. එම නිසාම එහි ප්‍රගතිය අද රටට අත්කර දී තිබේ.
ලංකා ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයකු විසින් සිය පාලන කාලය තුළ කිසිවිටෙක පක්ෂ පාට භේද නොසලකා කටයුතු කිරීමේ ආදර්ශය රට හමුවේ සඵත කර සිටියේ එලෙසය.
එම නිසාම පසුගිය දෙවසර පුරාවට රටට අත්කර දුන් යම් ප්‍රගතියක් වේ නම් ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ රට තුළ නිර්මාණය කළ අලුත් දේශපාලන සංස්කෘතිය නිසාය.
එය තවත් පැහැදිලිව හඳුනාගත හැකි සාධකයක් මෙසේය. ජනාධිපතිවරයා තමන් නායකත්වය දරණ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීමට, තමන්ගේ ජනාධිපති බලතල භාවිත කරමින් කටයුතු කරන්නට ගියේ නැත. එසේම ගෙවුණු වසර ගණනාව පුරා පක්ෂය අතහැර විසිරී ගිය සිය පක්ෂ සාමාජිකයන් එකතු කරන්නට බලය යෙදවූයේ නැත. රාජ්‍ය දේපළ යෙදවූයේ නැත. එය නව දේශපාලනයේ පූර්වා දර්ශයකි.
පක්ෂ නොසැලකූ ඇමතිවරු

එසේම ජනාධිපතිවරයා පමණක් නොව, ජනාධිපතිවරයාගේ ආදර්ශය අනුව ගිය පොදු ජන පෙරමුණේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයන් වූ වර්තමාන ඇමති මණ්ඩලයේ කිසිවකු සිය ඇමතිකමේ බලතල යොදා ගනිමින් සිය පක්ෂ නඩත්තු කරන්නට ගියේ නැත. පාක්ෂිකයන් සතුටු කරන්නට ගියේ නැත. ඔවුන් සියලු දෙනාගේ ඒකායන අරමුණ වූයේ රට වැටී තිබූ අගාධයෙන් කෙසේ හෝ ගොඩගැනීම වෙනුවෙන් කටයුතු කිරීමය.
එපමණක් නොව ඒ කිසිවකු තමන්ගේ මනදොල සපුරා ගැනීම වෙනුවෙන් කටයුතු කළේ ද නැත. සරලව කිවහොත් තමන්ගේ මඩිය තරකර ගැනීමට කටයුතු කළේ නැත. ඒ නිසාම ගෙවුණු වසර දෙක පුරාවට දේශපාලන අධිකාරියේ කිසිවකුට හෝ දූෂණ චෝදනාවක් හෝ වංචාවක් සිදුකළ බවට චෝදනාවක් හෝ එල්ල වුණු අවස්ථා අවම විය. ඉතිහාසය තුළ අවම යුගය විය. එසේ චෝදනා එල්ල වූ යමෙක් වෙත්නම් ඔහුට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක විය. ස්වාධීන අධිකරණය විසින් දඬුවම් ලබා දුන්නේය. ඒ නිසාම මේ නව නිර්පාක්ෂික දේශපාලන සංස්කෘතිය රටට සුගතියක් මිස අගතියක් සිදු නොකළ බව නැවත නැවත කිව යුතු නැත.
එසේම අනාගතයේ දී ද රටතුළ කොල්ලකාරී ජාවාරම්කාරී දේශපාලනයක් යළි ඇති නොවන්නට අවශ්‍ය පරිසරය ගොඩනැගීම වෙනුවෙන් අණපනත්, නීති රෙගුලාසි වගේම ව්‍යවස්ථාමය ප්‍රතිපත්ති නිර්මාණය කළේය. එය ද පක්ෂ දේශපාලනයට ගැති නොවීමේ ජයග්‍රහණයකි.
අලුත් නොවූ විපක්ෂය

කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයක් අබිමුව සිටිමින් විපක්ෂයේ දේශපාලකයන් විසින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල කරමින්, නව දේශපාලනයක් ඔවුන් විසින් ගොඩනගන බවට දස අතේ දිවුරමින් රටේ ජනතාව මුලාවේ හෙළමින් සිටී.
නමුත් ඔවුන්ගේ සෑම චෝදනාවක් ම මීට වසර ගණනාවකට එපිට මේ රට තුළ සිදු වූ හෝ සිදු කළ ක්‍රියාවන් ඉලක්ක කරගනිමින් විනා වික්‍රමසිංහ පාලනයේ ගෙවුණු දෙවසරට අදාළව නොවේ. වික්‍රමසිංහ පාලනයේ සාධනීය තත්වයන් ඔවුන් නොදකී. ඔවුන් නැවතත් මේ රට තුළ ස්ථාපිත කිරීමට උත්සාහ දරණුයේ පැරණි යල්පීනූ පක්ෂ දේශපාලන සංස්කෘතියම ය. සාම්ප්‍රදායික දේශපාලනයම ය. තමන්ට එරෙහි විරුද්ධවාදියකු නිර්මාණය කර නොගෙන ඔවුන්ට දේශපාලනයේ යෙදීමේ හැකියාවක් නැත.
එපමණක් නොව 76 වසරක ශාපයක් ගැන නන්දොඩවන කිසිවකු ඊට හේතු පාදක වූ ඇත්ත හේතුව සමාජගත කරන්නේ ද නැත. ගෙවුණු වසර 76 පුරාවට මේ රටේ සංවර්ධන ප්‍රගතියට, යම් හානියක් සිදුකළේ නම් ඒ පක්ෂ දේශපාලනය විසිනි. එක හේතුවක් වන්නේ වසර පහෙන් පහට මාරුවන පක්ෂ දේශපාලනයන් විසින් තම තමන්ගේ සිතැගියාවන් අනුව කටයුතු කරන්නට යාමය. දෙවැන්න නම් වාමවාදී ප්‍රචණ්ඩ දේශපාලන කල්ලි කණ්ඩායම්වල ම්ලේච්ඡත්වය විසින් සිදුකළ බාධා කිරීම් ය. එසේ නොවන්නට දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රමිකව වසර 10 ක් හෝ මේ රට තුළ ක්‍රියාත්මක වූවේ නම්, විපක්ෂය විසින් අද රට තුළ නඟන 76 වසරක අඳෝනාව නොඇසෙන්නට ඉඩ තිබුණි.
මේ අනුව අනාගතයේ රටට යම් සුගතියක් අත්කර දීමට නම් පූර්වාදර්ශයක් සැපයූ පසුගිය දෙවසර අනුව යමින් කටයුතු කළ යුතුව තිබේ.
යම් හෙයකින් එසේ නොවුණහොත් අපේ දරු පරපුරේ වගේම රටේ අනාගතය ද ආදානග්‍රාහී පක්ෂ දේශපාලනයට ගොදුරු වෙන්ට ඉඩහැර, තවත් වසර ගණනාවකට පසුවත් එකි නෙකාට චෝදනා කරමින් අඳෝනා ගී කවි කියමින් ජීවත් වන්නට සිදුවනු ඇත.
- CSK තුෂාර



