ඇය මෙලෙස පැවසුවේ පසුගිය 23වන දින කොළඹ 07 කදිරගාමර් ශ්‍රවණාගාරයේ දී, මංගල සමරවීර අප අතරින් නික්ම ගොස් තෙවසරක් සැපිරීම නිමිත්තෙන් පැවති ‘මංගල මොහොතක්’ යන මැයෙන් වූ මංගල අනුස්මරණ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ රන්දුලා...
ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ අරුත

‘‘ඒබ්‍රහම් ලින්කන් කියපු විදිහට අපි ලේසියට කියනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ජනතාව වෙනුවෙන්, ජනතාව උදෙසා, ජනතාව විසින් පවත්වාගෙන යන ක්‍රමයක්. අපි තවත් නිතර කියන කතාවක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බහුතරයේ කැමැත්ත කියල. නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිවැරදි අදහසක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බහුතරයේ කැමැත්ත නියෝජනය වන අතරම, සුළුතරයේ අයිතීන් ද ආරක්ෂා කරන ක්‍රමයක්. අපි බොහෝ වෙලාවට ඒ දෙවෙනි කොටස මගහරිනවා. මතක තියාගන්න ඕන කාරණය තමයි බහුතරයේ කැමැත්ත නියෝජනය කරන ඒකාධිපති ක්‍රම පවා පැවතියා කියන එක.
රිගොබර්ටා මෙන්චු
හිට්ලර් කියන්නෙත් බහුතරයේ කැමැත්ත නියෝජනය කරපු පාලකයෙක්. මෙතන ඉන්න අපි හැමෝම දන්නවා ඒ පාලනය කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද කියල. සාමයට පවතින්න බෑ යුක්තිය නැතුව. යුක්තියට පවතින්න බෑ සාධාරණය නැතුව. සාධාරණයට පවතින්න බෑ සංවර්ධනය නැතුව. සංවර්ධනයට පවතින්න බෑ ප්‍රජාතන්ත්‍රවාදය නැතුව. ප්‍රජාතන්ත්‍රවාදයට පවතින්න බෑ අනන්‍යතාවයන්ට, සංස්කෘතීන්ට සහ පුද්ගලයාට ගරුත්වය නැතිව. මෙහෙම කියන්නෙ රිගොබර්ටා මෙන්චු කියන ගෝතමාලාවෙ නොබෙල් සම්මානලාභී සමාජ ක්‍රියාකාරිනිය.
ප්‍රජාතන්ත්‍රවාදය ජීවිත ක්‍රමයක්

මංගලගෙ දර්ශනය හරි පැහැදිලි එකක්. එයාගෙ ආර්ථික දැක්ම වුණේ මූලික සංවර්ධනය කියන්නෙ නිදහස් වෙළඳපොළ ක්‍රමය කියන අදහස. නිදහස් වෙළඳපොළ කියන්නෙ භාණ්ඩ හා සේවා විතරක් නෙමෙයි... ආකල්ප සහ සංස්කෘතීන් ද හුවමාරු වෙන අත්‍යාවශ්‍ය විවෘත වීමක් විදිහට මංගල දැක්කා. මංගල දේශපාලනය විදිහට දැක්කෙ: සියලු ජාතීන්ගේ, සියලු ආගම්වල, සියලු ලිංගිකත්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන ප්‍රජාතන්ත්‍රවාදයක්. අද කතාවට ගැනෙන මාතෘකා තුන එකිනෙකට සම්බ්න්ධ වෙන්නෙ මේ දැක්ම හරහා.
මේ අදහස් ඔස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොනවගේ දෙයක්ද කියල. ඒක හුදු පාලන ක්‍රමයක් ද නැත්නම් ඒක අපි ජීවත් විය යුතු ක්‍රමයක්ද...? ඒ කියන්නෙ ලයිෆ් ස්ටයිල් එකක් ද? අනෙකා කෙරෙහි ගෞරවය, අනෙකාගේ නිදහස අයිතිය පිළිබඳ දැනීම, මේ දේවල් අපිට ව්‍යවස්ථාවකින් හෝ පාර්ලිමේන්තුවකින් විතරක් ඇති කරන්න පුළුවන්ද...?
මංගලගේ ප්‍රජාතන්ත්‍රවාදය
මංගල Radical මැද හරහා සැබෑ දේශප්‍රේමියෝ කියන movement එක හදන්නෙ මේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතය, සංස්කෘතිය තරුණ පරම්පරාවට හුරු කරන්න; ඒගොල්ලොත් එක්ක එකතු වෙලා නව ප්‍රජාත්න්ත්‍රවදී රැල්ලක් ගොඩනගන්න.
මංගල කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ජීවිත ක්‍රමයක් කියල විශ්වාස කරපු කෙනෙක්. මට මංගල මුනගැහෙන්නෙ පක්ෂ දේශපාලනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න බෑ කියල එළියට බැහැපු මොහොතක. මංගල Radical මැද හරහා සැබෑ දේශප්‍රේමියෝ කියන movement එක හදන්නෙ මේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතය, සංස්කෘතිය තරුණ පරම්පරාවට හුරු කරන්න; ඒගොල්ලොත් එක්ක එකතු වෙලා නව ප්‍රජාත්න්ත්‍රවදී රැල්ලක් ගොඩනගන්න. ඒ පරිශ්‍රයටයට එන තැන ගහල තිබුණ board එක කාටත් මතක ඇති. ‘මෙහි සර්ල මැඩ්මල අක්කල අයියල නැත. කාටත් නම කියා කතාකරන්න.’ ඔහු සමානාත්මතාවය පටන්ගත්තෙ අපි නොදැනුවත්වම අප වටේ ගොතාගෙන හිටපු තාප්ප නැති කරලා.
සියලු ජාතීන්ට ආගම්වලට සහ ලිංගිකත්වයන්ට ගරු කිරීම, සැබෑ දේශප්‍රේමියෙකුගේ ශික්ෂාවක් බව මංගල කිව්වා. පුද්ගල නිදහස සහ අයිතීන්ට ගරු කිරීම මූලික කාරණයක් විදිහට මංගල දැක්කා. ආගමික සංස්ථා එක්ක පවා පුද්ගල නිදහස වෙනුවෙන් ගැටුණා. මංගල මේ පෙනී සිටීම් නිසා දේශපාලකයෙක් විදිහට ලාබ ඡන්ද බොහොමයක් අහිමි කරගත්තා. නමුත් ඒ ප්‍රජාතන්ත්‍රවාදියෙක් හැටියට, ඒ තමයි මංගල. මංගල කියන්නෙ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදියෙක්. එයා හැම වෙලාවකම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා තවත් පුළුල් කරන්න, ඒ අන්ත එක්ක හැප්පුණා.
ආඩම්බරකාර සමනලයා
බහුතරයේ බලයට නොනැමෙන ජවයක් මංගලගේ පෞර්ෂයේ තිබුන. ඒ තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ හයිය.
අපේ රටේ තමන්ගේ ලින්ගිකත්වය විවෘතව පිළිගත් එකම දේශපාලකයා මංගල. සමහරු එයාට සමනළයා කියල අපහාස කළා. ඒ වෙලාවෙදි මංගල කිව්වෙ, මං ආඩම්බර වෙනවා සමනළයෙක් වීම ගැන, ලේ උරාබොන කූඩැල්ලෙක් නොවී කියල. බහුතරයේ බලයට නොනැමෙන ජවයක් මංගලගේ පෞර්ෂයේ තිබුන. ඒ තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ හයිය.
ලංකාවෙ අපි දීර්ඝතම ප්‍රජාතන්ත්‍රවාදී උරුමයක් සහිතව පැවතෙන රටක්. ඒ නිසාම අනෙක් බොහෝ රටවල් මුහුණ දෙන ඛේදවාචකමය තත්ත්වයන්ගෙන් අපි ගැලවිලා තියෙනවා. අපේ අරගලය බංග්ලාදේශයේ වගේ බිහිසුණු එකක් වුණේ නෑ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය නිසාම අපිට අපේ බංකොලොත්භාවයෙන් ඉක්මනට නැගිටින්න පුළුවන් වෙලා තියෙනවා. ඒක පාලකයාගේ දක්ෂකමට එහා ගියපු ප්‍රජාතන්ත්‍රවාදයට හුරුවුණු පුරවැසියන්ගේ හැකියාව. අපිට නැවත ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ කියන කුලුණු තුන ස්ථාවර කරගැනීමට පුළුවන්කම ලැබුණා.
නමුත් හිතට එකඟව, ලංකාවේ ඇත්තටම අනාගතයට බාරදෙන්න පුළුවන් විදිහෙ නැත්තම් වර්තමානයේ සතුටු වෙන්න පුළුවන් තරමෙ, ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද කියන එකත් අපි ආපහු කල්පනා කරලා බලන්න ඕන. මංගල ඒ ගැන කිව්වෙ මේ විදිහට.
‘ප්‍රජාතන්ත්‍රවාදය, එහි සියලු අඩුපාඩුකම් එක්ක වුනත් මේ 21 වෙනි සියවසේ පවතින හොඳම ආණ්ඩු ක්‍රමය කියල අපිට පිළිගන්න සිද්ධ වෙනවා. නමුත් අපි මැතිවරණ පැවැත්වීම පමණක් ප්‍රජාතන්ත්‍රවාදය කියල හිතන හින්දම 1970 ඉඳන් අපේ ආයතන පද්ධතිය ඒකාධිපතී ලක්ෂණ පිළිඹිඹු කරන නායකයන් විසින් අත්පත් කරගන්නා ස්වරූපයක් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සඳහා අවශ්‍ය සංවරණ හා තුලන තත්ත්වයන් අපි නොතකා හැරලා තියෙනවා. විශේෂයෙන් ම විධායක ජනාධිපති ක්‍රමයක් ඇති වුණාට පස්සෙ. අපේ රට වේගයෙන් මේ විධායක ජනාධිපති බලය, හමුදා බලය සහ ආගමික සංස්ථාවල බලය සමග ඒකාධිපති ක්‍රමයකට ගමන් කරන මෙවන් වකවානුවක අපි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇපකැප වෙන්න වුවමනායි. නැත්නම් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන දෙකම හුදු විධායකයේ රබර් සීල් එකක් විතරක් වෙන්න ඉඩ තියෙනවා’.
මේ කතාව මංගල කියන්නෙ දෙදහස් විස්සෙ දී.
මංගලගේ ප්‍රීතිමත් ම දවස්

මේ කියන අනතුර මගහරවා ගන්න ඡන්දෙන් නියෝජිතයො පත් කරලා විතරක් අපිට පුළුවන්කමක් නෑ. අපිට සිද්ධ වෙනවා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැදිහත් වෙන්න. මංගල ඒ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ පාර්ලිමේන්තුව අත්හැරලා ජනතාව එක්ක දේශපාලනය කරන්න එළියට බැස්ස වකවානුවෙදි මට කිව්වෙ ඒ තමයි එයාගෙ ජීවිතේ ප්‍රීතිමත්ම දවස් කියල.
Participatory democracy කියන මාතෘකාව ලොකයේ විවිධ රටවල්වල කතාබහට විතරක් නෙමේ අයර්ලන්තේ වගේ රටවල පාර්ලිමේන්තු තුළ පවා පර්යේෂණයටත් ලක් වෙමෙන් පවතිනව. දෙදහස් විසි දෙකේ දී මේ කරුණු ගැන මෙහෙත් සෑහෙන කතාබහට ලක්වුණා. අරගල භූමියේ තරුණ කතිකාවල වගේම විද්වත් කතිකාවලත් මේ තත්ත්වය පැවතුණා.
ප්‍රජාතන්ත්‍රවාදය සහ බුදු දහම
හැම ජන කොටසක්ම, හැම ලිංගිකත්වයක්ම, ආගමික, සංස්කෘතික නියෝජනයක් ම නමට විතරක් තිබිලා වැඩක් නෑ. මැතිවරණ කාලෙට විතරක් මතක් වෙලා තේරුමක් නෑ. ඒක ආණ්ඩුවේ, ආණ්ඩුකරණයේ, පාර්ලිමේන්තුවේ, අධිකරණයේ විතරක් නෙමෙයි සමාජයේ සහා මහජනතාව තුළත් මිනිස් අයිතීන් ගැන පවතින්න ඕන අදහසක්. අපි උනන්දු වෙන්න ඕන ඇතුළතින් පිටතටත් පිටතින් ඇතුලටත් දිවෙන දේශයේ ස්නායු පද්ධතිය බවට පත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ගැනයි. ඒ තමයි අපි ගමන් කළ යුතු අනාගත ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත කියල මට හිතෙන්නෙ. මංගල විශ්වාස කළේ ඒ විදිහට හැම කෙනෙකුට ම මේ මගේ ජාතියයි කියන හැගීම ඇතිවෙන ශ්‍රී ලාංකික ජාතියක් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ගැනයි.
මංගල ප්‍රජාතන්ත්‍රවාදය දැක්කෙ ඒ බුදු දහමේ අභාෂයත් ඇතුව.
ප්‍රජාතන්ත්‍රවාදය අපිට බටහිරෙන් ආපු දෙයක්ම නෙමෙයි. අපිට හුරුපුරුදු බුදු දහම ඇතුළෙ ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා. ඒක බටහිර අර්ථයකට වඩා ගැඹුරින් ජීවන දර්ශනයක් විදිහට තිබුණා. මංගල ප්‍රජාතන්ත්‍රවාදය දැක්කෙ ඒ බුදු දහමේ අභාෂයත් ඇතුව.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා...!
ඕක තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. මංගල කිව්වෙ එහෙමයි.
එහෙනං අපි ඇත්තට ම ප්‍රජාතන්ත්‍රවාදියො ද කියල අපිට කල්පනා කරන්න වෙන්නෙ අපි කොයිතරම් අනුන් කෙරෙහි මෛත්‍රීසහගත ද කියන කාරණයත් සිහියට අරගෙන. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ම ඔබේ අයිතිය පමණක් නෙමෙයි; ඔබ අනෙකාගේ අයිතිය වෙනුවෙන් කොයිතරම් මැදිහත් වෙනවාද, කොයිතරම් ගරු කරනවා ද කියන ජීවිත නැඹුරුවයි.
ප්‍රජාතන්ත්‍රවාදයක මංගල මොහොත ඇතිවෙන්නෙ අන්න ඒ වගේ තැනක.
සබැඳි ලිපි :
Mangilogy : ‘මංගල මොහොතක’ මංගල අදහස - (කේෂාල් ජයසිංහ)



