The Leader News
BREAKING
Top Ad
Opinion

ටකරන් ෂීට් බෙදා ඡන්ද කිරීමේ යුගය ඉවර ද? (රොහාන් සමරජීව)

T

The Leader Desk

August 28, 2024 • 6:29 AM

ටකරන් ෂීට් බෙදා ඡන්ද කිරීමේ යුගය ඉවර ද? (රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ මැතිවරණ වල දී සෙවිලි තහඩු බෙදීම පුරුද්දක් ලෙස පැවතිනි.
  • මිනිසුන්ට දැනෙන යමක් ලබාදුන් විට එය ලබා දෙන්නාට ඡන්දය දෙන්නට පෙළෙඹෙනු ඇතැයි විශ්වාස කෙරිණි.
  • දැන් අපි මෙම යෙදුම භාවිතා කරන්නේ උපමාවක් වශයෙන් ලෙස යැයි සිතමු.
  • මම කුඩා කාලයේ සහභාගී වූ ප්‍රචාරක රැස්වීම්වලදී අපේක්ෂකයින් නව තැපැල් කාර්යාල වැනි දේ ලබාදීම ගැන ගෞරවය ලබා ගන්නට උත්සාහ කල අයුරු මගේ මතකයේ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

1995-2013 ලංකාවේ මැතිවරණ වල දී සෙවිලි තහඩු බෙදීම පුරුද්දක් ලෙස පැවතිනි. මිනිසුන්ට දැනෙන යමක් ලබාදුන් විට එය ලබා දෙන්නාට ඡන්දය දෙන්නට පෙළෙඹෙනු ඇතැයි විශ්වාස කෙරිණි. දැන් අපි මෙම යෙදුම භාවිතා කරන්නේ උපමාවක් වශයෙන් ලෙස යැයි සිතමු.

 

20col180719 1806341120941073 7391415 02082018 LNW CMYමිනිසුන්ට දැනෙන යමක් ලබාදුන් විට එය ලබා දෙන්නාට ඡන්දය දෙන්නට පෙළෙඹෙනු ඇතැයි විශ්වාස කෙරිණි

විශාල ගොඩනැගිලි සමඟ සම්බන්ධ වී සිටීම ද නැවත තේරී පත්වීමට හිතකර ලෙස සැලකෙයි. මම කුඩා කාලයේ සහභාගී වූ ප්‍රචාරක රැස්වීම්වලදී අපේක්ෂකයින් නව තැපැල් කාර්යාල වැනි දේ ලබාදීම ගැන ගෞරවය ලබා ගන්නට උත්සාහ කල අයුරු මගේ මතකයේ ඇත. අද ඔවුහු තම දෙමාපියන් කරවූ ක්‍රීඩාංගන, අධිවේගී මාර්ග වැනි දේ සඳහා ගෞරවය ලබා ගන්නට උත්සාහ කරති. එහෙත්, හිඟයන් හා පෝලිම්වලින් මහජනයා පීඩාවට පත් නොවීමට වගබලා ගැනීම වැනි නොපෙනෙන ජයග්‍රහණ සඳහා දේශපාලකයන්ට ගෞරව ලැබී ඇත්තේ කලාතුරකිනි.

GOtabaya victer 2019.11.22ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වූවාක් මෙන්, ශ්‍රී ලංකාවේ භාවිතාව වී ඇත්තේ සිදුවීමෙන් පසුව පලවා හැරීම බව පෙනෙන්නට තිබේ. 

 

1977 දී බණ්ඩාරනායක මැතිනියට සහ ඉතා මෑතක දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වූවාක් මෙන්, ශ්‍රී ලංකාවේ භාවිතාව වී ඇත්තේ සිදුවීමෙන් පසුව පලවා හැරීම බව පෙනෙන්නට තිබේ. 

එසේ වුවත්, නරක දේ සිදු වීම වළක්වන දේශපාලඥයින් තෝරා පත් කර ගැනීම, හානිය සිදු වූ පසු ඔවුන් පන්නා දැමීමට වඩා යහපත් නොවන්නේ ද? පුරවැසියන් ලෙස අපට අවශ්‍ය පරිදි, අපගේ ජීවිතය වඩා හොඳින් ගත කිරීමට අවශ්‍ය කොන්දේසි නිර්මානය කරන දේශපාලකයන් තෝරා පත් කර ගැනීම සහ නැවත තෝරා පත්කර ගැනීම ඊටත් වඩා හොඳ නොවන්නේ ද? මගේ තේරීම නොවන, ගෙය රත් කරන ටකරන් ෂීට් එකක් ලබා දෙනවාට වඩා මගේ සෙවිලි ද්‍රව්‍ය තීරණය කිරීමට ශක්තිය මා සතු කිරීම හෝ එයට ඇති බාධා ඉවත් කිරීම යහපත් නොවන්නේ ද?

ප්‍රාථමික ගිණුමේ අතිරික්තය

 

rupeeදළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 කට සමාන ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ලබාදෙන ලද පොරොන්දු අතරින් වඩාත්ම අභියෝගාත්මක කරුණ ලෙස සැලකෙයි.
ශ්‍රී ලංකාව දැනට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන යමින් සිටියි. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම අපගේ ණය කළමනාකරණය කළ හැකි බවට පත්කිරීමේ වැදගත්ම දර්ශකය වේ. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 කට සමාන ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ලබාදෙන ලද පොරොන්දු අතරින් වඩාත්ම අභියෝගාත්මක කරුණ ලෙස සැලකෙයි.

නිදහසින් පසු තේරී පත් වූ ආණ්ඩු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයන් අත්පත් කරගෙන ඇත්තේ අවස්ථා පහක දී පමණකි. එනම්, 1954 සහ 1955; 1992; සහ 2017 සහ 2018 වසරවල දී ය. ඒවා සාක්ෂාත් කර ගත් සෑම රජයක් ම ඉනික්බිතිව පවත්වන ලද 1956, 1994 සහ 2019  මැතිවරණවල දී ඡන්දයෙන් පරාජය කරනු ලැබීය. අවම වශයෙන් අපේ සමහර දේශපාලනඥයන් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයන් ලබා ගන්නේ කෙසේදැයි දන්නා බව පෙනෙන්නට තිබෙන නමුත් ඒවා සාක්ෂාත් කර ගැනීමෙන් පසු නැවත තේරී පත් වන්නේ කෙසේද යන්න ගැටලුවක් බව පෙනෙන්නට තිබේ. සාම්ප්‍රදායික රටාවට අනුව, ජනාධිපතිවරණයෙන් පසුව සිදු වීමට ඉඩ ඇති IMF ගිවිසුමේ නැවත සාකච්ඡා කිරීමක දී ප්‍රාථමික ගිණුමේ අතිරික්ත ඉලක්කය ප්‍රධාන කරුණක් වීමට ඉඩ බොහෝය.

 

IMF JS 23412ජනාධිපතිවරණයෙන් පසුව සිදු වීමට ඉඩ ඇති IMF ගිවිසුමේ නැවත සාකච්ඡා කිරීමක දී ප්‍රාථමික ගිණුමේ අතිරික්ත ඉලක්කය ප්‍රධාන කරුණක් වීමට ඉඩ බොහෝය.
ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් යන්නෙන් අදහස් වන්නේ පෙර වසරවල ලබාගත් ණය සඳහා පොලී සහ ආපසු ගෙවීම පසෙකලා, රජය යම් වර්ෂයක වියදම් කරනවාට වඩා වැඩි ආදායමක් වක්‍ර සහ සෘජු බදු ආකාරයෙන් සහ බදු නොවන ආදායම් මගින් ලබා ගැනීමයි. එවැනි අතිරික්තයක් පවත්වාගෙන යන රජයකට එම වසරේ වියදම් සඳහා විදේශීය හෝ දේශීය ණය ගැනීම්වල නිරත විය යුතු වීම අවශ්‍ය නොවේ. එවැනි ආණ්ඩුවක් 2020-2022 දී සිදු වූවාක් මෙන්, අධික ලෙස සිදු කළ විට වසරකට හෝ දෙකකට පසුව සියයට 70 ක උද්ධමනයක් ඇතිකරන අතර තවත් වසර ගණනාවකට මිල මට්ටම් ඉහළ නංවන ආකාරයෙන් මුදල් මූල්‍යකරණයේ (“මුදල් අච්චු ගැසීමෙහි”) නිරත විය යුතු වන්නේ  නැත.

ප්‍රාථමික ගිණුමේ ශේෂය යනු යම් මුදල් අමාත්‍යවරයකුගේ සහ ඔහු/ඇය නියෝජනය කරන රජයේ කාර්ය සාධනය පිළිබඳ ඉතා සාධාරණ මිනුමක් වේ. අමාත්‍යවරයාගේ මූල්‍ය විශ්වාසවන්තබව තක්සේරු කරනු ලබන්නේ ඔහුගේ පාලනය යටතේ පවතින සාධක මගිනි. පොලී ගෙවමින් පවත්වාගෙන යා යුතු සහ ආපසු ගෙවිය යුතු ණය ගොඩ ගසා ගත් ඔහුගේ පූර්වගාමීන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ඔහුට වග කිව නොහැකි ය. නමුත් අතිරික්තයක් ලබා ගැනීමෙන්, එම අතිරික්ත රුපියල් ව්‍යාපාර සහ පුද්ගලයින් විසින් රට තුළට ගෙන එන ඩොලර් මිලදී ගැනීමට භාවිතා කළ හැකි අතර, එය 2019 දී මංගල සමරවීරයන් සිදු කළ පරිදි පෙර ණය සඳහා පොලිය ගෙවීමට භාවිතා කළ හැකිය.

Mangala 2021.12.22

 

ණය ගැනීම සඳහා රජය දේශීය වෙළෙඳපොළෙන් ඉවත්වුවහොත් පොලී අනුපාත පහළ යනු ඇත. ව්‍යාපාරවලට වඩා හොඳින් ක්‍රියාත්මක වීමටත් හොඳ වැටුප් සහිත රැකියා බිහි කිරීමටත් හැකි වනු ඇත. එම රැකියා ලැබෙන ජනතාවට සාධාරණ පොලියකට නිවාස ණය ලබා ගැනීමට හැකියාව ලැබෙයි. ආදායම් දර්ශක මත සහනාධාර නිවාස ණය සැපයීම වැනි සංකීර්ණ පොරොන්දු දීමට දේශපාලනඥයන්ට අවශ්‍ය නොවනු ඇත.
අතීතයේ දී එවැනි පොරොන්දු දුන් දේශපාලඥයින්ව ඡන්දදායකයින් විසින් පත්කර ගන්නා ලදි. එම පොරොන්දු ඉටු කිරීම සඳහා, විනාශකාරී මූල්‍ය හිඟයක් සහ සංකීර්ණ යෝජනා ක්‍රම කළමනාකරණය කිරීමට විශාල නියෝජිතායතන ඇති කිරීමට සිදුවේ. අපි ටකරන් බෙදීමේ දේශපාලනයෙන් සාර්ථකව පරිවර්තනය වී ඇත්නම්, ආන්තික අවස්ථාවන්හි දී හැර ප්‍රාථමික ගිණුමේ අතිරික්තයන් නඩත්තු කිරීමට කැපවී සිටින දේශපාලනඥයන් නැවත පත්වෙනු ඇත. අනාගතයේ තවත් ණය පැහැර හැරීම්, අත්‍යවශ්‍ය දේ සඳහා පෝලිම් සහ විදේශ කරා සංක්‍රමණයට තුඩු දෙන බලාපොරොත්තු සුන්වීම සඳහා කොන්දේසි නිර්මාණය කරන ටකරන් ෂීට් අනුරූපක පොරොන්දු දෙන සහ ක්‍රියාත්මක කරන අය වෙනුවට ඔවුන්ගේ ජීවිත යහපත් කර ගැනීමට කොන්දේසි නිර්මානය කරන දේශපාලනඥයන් ඡන්දදායකයින් විසින් නැවත තෝරා ගනු ඇත. 


ණය නැතිව කළ හැකි ද?

 

jp 2377ජාත්‍යන්තර වාණිජ ණය වෙත ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාවට තවමත් බැරිය.


ණය තිරසාර බව සඳහා වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ අරමුණ ගැන සමහර අය අසතුටට පත්ව සිටිති. ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව වුවද IMF ආකෘතියට අනුව ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95ක් වනු ඇත. මේ අයට අවශ්‍යව ඇත්තේ ණය නොමැති ක්‍රියා මාර්ගයකි.

ජාත්‍යන්තර වාණිජ ණය වෙත ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාවට තවමත් බැරිය. මෙම තත්වය තව දුරටත් පවත්වා ගෙන යෑම ණය නැතිව ජීවත් වීමේ එක් ක්‍රමයකි. අප ණය ගෙවීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රතික්ෂේප කළහොත් ණය නොමැතිව ජීවත් වීමට අපට බල කෙරෙනු ඇත. එයින් අදහස් වන්නේ වෙනත් දේ අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා ද තවත් ආයෝජනයක් නොකළ යුතු බව යි. ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආයෝජන විශාල වශයෙන් අඩාල වන බැවින් ව්‍යාපාර වසා දැමීම් සහ අදට වඩා පහළ ජීවන තත්ත්වයන්ට හැඩගැස්වීමට සිදුවීම එයින් අදහස් වෙයි. ලයිට් නැතුව, ගැස් නැතිව ජීවත් වීමට සිදු වන බවයි.

 Debt crisis 2021වර්තමානයේ අප පරිභෝජනය කරන දේ සඳහා ගෙවන ලෙස අනාගත බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටීමට වඩා ඔවුන්ටද ප්‍රතිලාභ ලැබෙන මෙම වියදම් සඳහා යම් වගකීමක් පැවරීම සාධාරණ බව පෙනෙන්නට තිබේ.

 

විශේෂයෙන්ම යටිතල පහසුකම් සඳහා ණය ගැනීම් අර්ථාන්විත වන්නේ එහිදී ආයෝජනය එකවර සිදුවන අතර ප්‍රතිලාභ භුක්ති විඳීම වසර ගණනාවක් පුරා සිදුවන හෙයිනි. වර්තමානයේ අප පරිභෝජනය කරන දේ සඳහා ගෙවන ලෙස අනාගත බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටීමට වඩා ඔවුන්ටද ප්‍රතිලාභ ලැබෙන මෙම වියදම් සඳහා යම් වගකීමක් පැවරීම සාධාරණ බව පෙනෙන්නට තිබේ. යටිතල පහසුකම් සඳහා කරන ආයෝජනයන් නිසි ශක්‍යතා අධ්‍යයනයන්ගෙන් යුතුව සහ අඩුම වියදමකින් මුදල් යෙදවීම සහතික කරමින් ණය ලබා ගැනීමේ වගකීමෙන් රජය නිදහස් වීමක් මෙමගින් සිදුවන්නේ නැත. එය දැනට ආපසු ගෙවමින් සිටින ශ්‍රී ලංකාවේ බොහෝ යටිතල පහසුකම් ණය ගැන කිව නොහැක.
යටිතල පහසුකම් සම්බන්ධයෙන්  වුවද, ගුවන් තොටුපළ හෝ ෆයිබර් ඔප්ටික් ජාල වැනි මතුපිටින් පෙනෙන දේවල් තැනීමට පමණක් ණය ගත යුතු නැත. නිසි රාජ්‍ය පෞද්ගලික සහභාගීත්ව ගිවිසුම් සහ නියාමන යාන්ත්‍රණ සැකසීමට විශේෂඥ දැනුම වැනි මතුපිටින් නොපෙනෙන දේවල් ද ණය භාවිතා කර ලබා ගත හැකි ය.


මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමට ගත් ණය නිසා වත්මන් සහ අනාගත බදු ගෙවන්නන්ට බර පැටවී ඇති නමුත් එමගින් ණය ගෙවීමට තබා මෙහෙයුම් වියදම් පියවා ගැනීමට තරම්වත් ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැත. නිසි ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට ණය ගෙන හෝ මුදල් වියදම් කළේ නම් (රුපියල් මිලියනයක් වැය වන අධ්‍යයනයක විහිළුවක් වෙනුවට), එවැනි නොපෙනෙන වියදම් මගින් අද දරන්නට වී ඇති බහු අවුරුදු පාඩු වළක්වා ගත හැකි වීමට ඉඩ තිබිණි.

 

Telecom2023.05.09එහි ප්‍රතිඵලයක් ලෙස සැපයුම්කරුවන් බහුත්වයකින් යුතු ටෙලිකොම් කර්මාන්තය වසර කිහිපයකින් යුතු සහන කාලය අවසන් වූ පසු ආපසු ගෙවීමට සිදුවන ණය ගෙවා දැමීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා බදු ආදායමක් උපයමින් සිටියි

1990 ගණන්වල ටෙලිකොම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා ලෝක බැංකුවෙන් සහනදායී කොන්දේසි මත ලබාගත් තාක්ෂණික ආධාර වියදම් මගින් (මෙම කටයුත්තට මමද දායක වුනෙමි), වගකිවයුතු ඇමැතිවරයාට ඔහුගේ ඊළඟ මැතිවරණ ව්‍යාපාරයේ දී පෙන්වා දිය හැකි ආකාරයේ ගොඩනැඟිලි නොලැබුණා විය හැකිය. නමුත් එම අදෘශ්‍යමාන වියදම් වල ප්‍රතිඵලය වූයේ දුරකථන සඳහා වූ පොරොත්තු ලේඛනය සහ අනුශාංගික දූෂණය ඉවත් කිරීම යි. එමගින් ව්‍යාපාරිකයන්ට සහ පුරවැසියන්ට ඉමහත් ප්‍රතිලාභ ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස සැපයුම්කරුවන් බහුත්වයකින් යුතු ටෙලිකොම් කර්මාන්තය වසර කිහිපයකින් යුතු සහන කාලය අවසන් වූ පසු ආපසු ගෙවීමට සිදුවන ණය ගෙවා දැමීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා බදු ආදායමක් උපයමින් සිටියි. යෙදවුම් ඇසට නොපෙනෙනුද, නමුත් එම ණයවල ප්‍රතිලාභ අදද අපි භුක්ති විඳිමින් සිටින්නෙමු. 

ටකරන්වලින් ඔබ්බට

 

Man 2023.08.12

රාජපක්ෂ පාලනයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ, පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක දී සියලු දෙනාම අත්විඳි දුක් ගැහැට මගින් අපේ ජනතාවගේ ආර්ථික හා දේශපාලන සාක්ෂරතාව ඉහළ නැංවීම සිදු වී ඇතැයි අපේක්ෂා කල හැක. බඩු බෙදන්න වියදම් කරන මුදල් දෙව්ලොවෙන් වැටෙන්නේ නැති බව දැන් බොහෝ දෙනා දනිති. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම්වලට ගෙවන්න වන්නේ වැඩි වැඩියෙන් සහ ඉහළ බදු ගෙවීමෙන් බව ද දැන් ඔවුහු දනිති. 2024 ජනවාරි මස ලබා දුන් වැටුප් වර්ධක සහ ඒ හා සම්පාතව සිදු කෙරුණු VAT අනුපාත වැඩි කිරීම අතර ඇති හේතු-පල සම්බන්ධය සබුද්ධිකව බලන කෙනෙකුට පෙනෙන්නට ඇත.

මුදල් හොයාගන්නේ කොහොමද කියන එකත් කියන්න යයි පොරොන්දු දෙන දේශපාලනඥයන්ගෙන් ජනතාව ඉල්ලා සිටින්නේ මෙම සාක්ෂරතාවය නිසා ය. කලකට පෙර වැට් බද්ද අහෝසි කරන බවට පොරොන්දු දුන් දේශපාලකයා මේ වන විට අධ්‍යාපනික සහ සෞඛ්‍ය සේවා සඳහා වැට් බද්ද ඉවත් කරන බව කීම දක්වා පසු බැස ඇත (මෙම සේවාවන් බොහොමයක් දැනටමත් වැට් බද්දෙන් නිදහස් කර ඇති බව පසෙක තිබිය දී). එසේ වූ විට පවා, එම අඩුව පියවන්නේ කෙසේද යන්න පැහැදිලි කරන ලෙස ඔහුට අභියෝග එල්ල වේ.


මෙයින් ඇඟවෙන්නේ ටකරන් යුගය අවසාන වීමේ ලක්ෂණ විද්‍යාමාන බව යි. නමුත් සත්‍ය මිනුම වන්නේ බදු වැඩිකිරීම් සහ වියදම් කප්පාදුව වැනි ප්‍රාථමික ගිණුමේ ශේෂයට බලපාන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විවිධ දේශපාලනඥයන් ගන්නා ස්ථාවරය කුමක්ද යන්න යි. නමුත් ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා වන කොන්දේසි වෙනුවට ජනතාව දීමනා ඉල්ලා සිටින තාක් කල්, එවන් පොරොන්දු දෙන අපේක්ෂකයන් හට ඡන්දය දෙන තාක් කල්, ටකරන් යුගය අවසන් නොවනු ඇත.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...