ඒ හිස්තැන පිරවිමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම් විය යුතු බවත් ඒ සදහා ප්‍රතිපත්තිමය හා වැඩපිළිවෙලමය තැන්මාරුවකට එම පක්ෂය සූදානම්විය යුතු බවත් දිගින් දිගටම පැවසුවෙමු. එහෙත් අපේ යෝජනාවන්ට සම්මුඛ නොවී මඟ හැරගිය පෙරටුගාමීහු වැලේ වැල් නැතිව ඉන්නා රාජ්‍ය කේන්ද්‍රීය වාම කණ්ඩායම් කිහිපයක් සමඟ සංධාන ගතව ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටී.
දැන් ඔවුන් කරන්නේ ජාතික ජනබලවේගයට කැට කැබැලිති වලින් දමා ගැසීමේ හාස්‍යජනක ක්‍රියාවයි. වරෙක ජාතික ජන බලවේගය සමාජවාදය වෙනුවෙන් පෙනී නොඉන්නා බව කියයි. තවත් වරෙක ජාතික ජන බලවේගය අහවල් දේ නොකරන බව කියයි. තවත් වරෙක ජාතික ජනබලවේගය අන්න අර වැඩේට බැහැලම සෙට් වෙලා යැයි කියයි. මේ කැට කැබලිති වලින් දමා ගැසීම මුළුමනින්ම වෛරය හා කට්ටිවාදය මත පදනම් වූවක් බව පෙනේ.

ජාතික ජන බලවේගය සමාජවාදී නොවන බව ඇත්තකි. ජාතික ජන බලවේගය මේ රටේ නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී නොසිටන බව ඇත්තකි. ජාතික ජන බලවේගය වාම අපේක්ෂා බොද කරන බව ඇත්තකි. ප්‍රශ්නය වන්නේ ජාතික ජන බලවේගය නිර්මාණය වී ඇත්තේ ඔය එකක්වත් කිරීමට නොවීමයි. ඒ බව තේරුම් නොගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇඳිවත අතට ගෙන දෝෂාරෝපණය කරමින් සිටී.

ජාතික ජන බලවේගය සම්පූර්ණ කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාවකි. ඒ දේශපාලනය තුළ සදාචාරවාදී සීමාවන් තුළ කටයුතු කළ නොහැක. මැතිවරණ දේශපාලනය කියන්නේම ජනප්‍රියවාදී දේශපාලනයක් මිසක් පරමාදර්ශී දේශපාලනයක් නොවේ. එනිසා බොහෝවිට උපයෝගීතාවයට යොමු වන්නට සිදුවේ. එය තාර්කිකයකි. ප්‍රශ්නය වන්නේ මෙය තේරුම් නොගෙන විමුක්තිවාදී දේශපාලනය තුළ කළ යුත්ත පසෙක තබා ජාතික ජනබලවේගය තම අනෙකා කර ගැනීමේ හාස්‍යජනක කිරිකොරහ නැටීමට පෙරටුගාමීන් පෙළඹීමයි.
ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අධිපති බලය පවත්වාගෙන යා හැක්කේ ලිබරල්වාදීන්ට හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට පමණි. නව ලිබරල්වාදය හා ඔට්ටු වෙමින් ක්‍රමය අභ්‍යන්තර අර්බූදයකට තල්ලු කළ හැක්කේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට පමණි. ඒ තුළ සමාජවාදීන්ට කිසිම කාර්‍යභාරයක් නොමැත. එනිසා එම අවකාශයේ දී දේශපාලනය ජාතික ජනබලවේගයට පවරා තමන්ගේ වැඩක් බලා ගැනීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වගකීමයි.
එහෙත් එහි නායකයන් නිතරම උත්සාහ ගන්නේ ධනේශ්වර රාජ්‍යයේ මජර විවේචනය කරමින් රසවිදීමටයි. එකෙක් රාජ්‍යයේ වංචා දූෂණ ගැන කියයි. තවකෙක් IMF මූල්‍ය බැඳීම් ගැන කියයි. තවත් එකෙක් ඉන්දියානු ආයෝජන මෙරටට ගලාඒම ගැන කියයි. මේ සියළු සටන් පාඨ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අයත් වූවක් බව පෙරටුගාමීහු නොදනී.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විප්ලවවාදී විමුක්තිවාදී පක්ෂයක් නම් ඔවුන් කළ යුත්තේ ධනේශ්වර රාජ්‍යය පිරිපහදු කරමින් එය රැක ගැනීමේ අරගලය නොවේ. එහෙත් අවාසනාව වන්නේ IMF යෝජනා විවේචනය කරමින්, රාජ්‍යයේ වංචා දූෂණ විවේචනය කරමින්, ඉන්දියානු ආයෝජන විවේචනය කරමින් ඔවුන් පදනම් වී ඇත්තේ රාජ්‍යය පිරිපහදු කර ගැනීමටවීම ය.
ධනේශ්වරයේ නෛසර්ගිකය වන්නේ අභ්‍යන්තර අර්බූදය හමුවේ එය කඩාගෙන වැටීමයි.එලෙස කඩාවැටීමට ගතවන කාලය අවම කර ගැනීම විප්ලවවාදී විමුක්තිවාදී දේශපාලනයේ වගකීමයි. ඒ තුළ ධනේශ්වර එහි උපරිමයට සංවර්ධනයවීමට ඉඩහරිමින් අභ්‍යන්තර අර්බූදය මෝදු කිරීම කළ යුතුය. එසේම ධනේශ්වර වෙළෙද පළ කඩාවැටෙන මොහොතේ විමුක්තිවාදී යාන්ත්‍රණයක් එහි හිස්තැන පිරවීමට නිර්මාණය කර ගත යුතුය. මේ සියල්ල විමුක්තිවාදීන්ගේ කරමත වැටී ඇති අත් හල නොහැකි වගකීම් ය. ඒවා දුෂ්කර හා කටුක කැපකිරීම් මතින් වෙහෙස මහන්සි වී කළ යුතු දේශපාලන ක්‍රියාවන් ය.

එහෙත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඔවුන් මෙන්ම ගතානුගතිකව හා ආචින්නකල්පිතව සිතන වාමවාදී කොටස් සමග සංධාන ගතව ඇත්තේ මේ කැපවී වෙහෙස මහන්සියෙන් කළ යුතු කාර්‍යට නොවේ. ප්‍රති ධනපති නිෂ්පාදන මාදිලියක් ගැන මේ රටේ විමුක්තිවාදීන්ට වගේ වගක් නැත. ප්‍රති ධනපති වෙළෙද පළක් ගැන මේ රටේ විමුක්තිවාදීන්ට වගේ වගක් නැත. ප්‍රති ධනපති බෙදා හැරීමේ ක්‍රමයක් ගැන මේ රටේ විමුක්තිවාදින්ට වගේ වගක් නැත. ඔවුන්ට කළ හැකි එකම දේ සුබසාධනවාදී රාජ්‍යය රැක ගැනීම සදහා පාරට බැස උගුර ලේ රහවන තුරු කෑ ගැසීම පමණි.
තවමත් විමුක්ති දේශපාලනය තුළ හිස් අවකාශයක් ඇත්තේ එබැවිනි.
(පිලිප් ශාන්ත)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
shan.info1978@gmail.com



