ඉන් දින කිහිපයකට පසු කොළඹ දිස්ත්‍රික්කයේ එජාප සංවිධායක ධූරයෙන් පිදුම් ලැබුවා වූද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ලංකාවේ දේශපාලන දක්ෂිණාංශයට වැදගත් පණිවිඩයක් නිකුත් කොට තිබේ. එනම්, ඔහුම උපුටා දක්වන උපමාවකට අනුව, ගං වතුරකට හසු වූ නේකාකාර සතුන් තම ජීවිත ගලවා ගැනීම පිණිස එකම කොටයකට ගොඩ වන්නාක් සේ දැන් සියලුම දක්ෂිණාංශික කණ්ඩායම් එක් පෙරමුණකට පැමිණිය යුතුය යන්නයි.
වර්ණසිංහගේ කොට උඩ න්‍යාය
ජන විඥානයේ වත්මන් හැඩගැස්ම ගැන සංවේදී වන්නේ නම්, දක්ෂිණාංශයේ සියලු කොටස් වහාම එක් පෙරමුණකට පැමිණිය යුතුය යන්න වර්ණසිංහගේ අවධාරණයයි. ඒ මන්ද? සරලව, ඔහුගේම උපමාව අනුව, එසේ නොකළහොත් දකුණේ සියලුම දෙනා 'ගං වතුරට' ගසාගෙන යාමට ඉඩ ඇති බැවිනි. වර්ණසිංහගේ නිරීක්ෂණය, දේශපාලන ගණන් බැලීම සහ අනතුරු හැඟවීම නිවැරදිය යන්න මගේ අදහසයි. නමුත්, වත්මන් දේශපාලන තත්ත්වය වටහා ගැනීම සඳහා වඩාත් ප්‍රයෝජනවත් වන්නේ ඔහුගේ විශ්ලේෂණය තුළ ඔහු සෘජුව නොපවසන වැදගත් කාරණා දෙකක් බව පෙන්වාදීමට මම කැමැත්තෙමි. පළමුවැන්න, ඔහුගේම රචනයේ පේළි අතර සැඟව පවතින්නකි. එනම්, වර්ණසිංහ පවසන ගං වතුර කුමක්ද යන්නයි.

ජාජබ ගං වතුර

වර්ණසිංහ සඳහන් කරන ගං වතුර වන්නේ මෙරට ආර්ථික අර්බුදය, දේශපාලන හෝ සමාජ අර්බුදය වැන්නක් විය නොහැකිය. මන්ද යත්, ඔහුට අනුව මේ ගං වතුරෙන් අනතුරට ලක්ව ඇත්තේ දක්ෂිණාංශික දේශපාලනයයි. එය ඔහු නොසඟවා ප්‍රකාශ කරයි. මේ එජාපයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයාගේ වචනය;
"එය හරියට ම 1947 මහ මැතිවරණයෙන් වාමාංශික ආණ්ඩුවක් බිහිවෙන එක වැළැක්වීම සඳහා ඩී.එස්.සේනානායක දූරදර්ශීව කටයුතු කලා වගේ..1953 හර්තාලයෙදී හර්තාලය පරාජය කිරීම සඳහා සර් ජෝන් කොතලාවල කටයුතු කළා වගේ, 1962 හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා සිරිමා බණ්ඩාරනායක මැතිණිය කටයුතු කළා වගේ, 1971 කැරැල්ල මර්දනය කිරීම සඳහා බණ්ඩාරනායක මැතිණිය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සහය ඇතිව කටයුතු කලා වගේ, 1987-89 ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍ය බලය පැර ගැනීමේ උත්සාහය ව්‍යර්ථ කිරීම සඳහා ප්‍රේමදාස මැතිතුමා සිරිමා බණ්ඩාරනායක මැතිණිය සමග සහයෝගයෙන් කටයුතු කළා වගේ... 2005 මහින්ද රාජපක්ෂ මහතා බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සියලු ජාතිමාමක දේශප්‍රේමි ප්‍රජාතන්ත්‍රවාදී පැසිස්ට් විරෝධී බලවේග වල සහාය ලබාගෙන එය පරාජය කිරීමට කටයුතු කලා සේ.. මේ තීරණාත්මක මොහොතේ ඉල්ලා සිටින්නේ ද එයයි" (උපුටා ගැනීම: නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ ෆේස්බුක් සටහන, 31/08/2024).
ඉදින්, අර්බුදයට ලක්ව ඇත්තේ දේශපාලන දක්ෂිණාංශය වන්නේ නම්, වර්ණසිංහ සඳහන් කරන ගං වතුර විය හැක්කේ අන් කිසිවක් නොව ජාතික ජන බලවේගය වටා ගොඩ නැගෙමින් තිබෙන ජන රැල්ල බව වටහා ගැනීම අසීරු නොවේ. වර්ණසිංහද එය නොසඟවා ප්‍රකාශ කරයි. දැනට ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රධාන තරඟකරුවන් දෙදෙනා අතර ජාජබ අපේක්ෂකයා සිටින බව වටහා ගැනීමට විශේෂ දේශපාලන දැනුමක් වුවමනා වන්නේ නැත. මාධ්‍ය ලෝකය තුළ දේවල් කෙසේ ප්‍රක්ෂේපණය වුවද, පොදුජන ලෝකය තුළ දේවල් පෙළ ගැසෙමින් තිබෙන්නේ ඒ දිශාවටය. එය වටහා ගැනීමට කළ යුත්තේ දෛනික ජීවිතය තුළ පොදුජනයාට සවන් දීම සහ පොදුජන අවබෝධය වටහා ගැනීමට ප්‍රයත්න දැරීමයි. තම දේශපාලන පක්ෂපාතීත්වයන් අනුව දේවල් රාමුගත කොට දැකීම සඳහා ඇති නිසඟ පෙළඹීම ජයගැනීමේ අසීරු බුද්ධිමය ස්වයං විනයක්ද ඒ සඳහා අවශ්‍යය. ග්‍රාම්ස්චි බුද්ධියේ සර්ව-අසුබවාදය ලෙසින් තේරුම් කළේ දේවල් තමන් ආශා කරන ආකාරයෙන් නොව සැබවින්ම පවත්නා ආකාරයෙන් දැකීමේ මෙම අරගලයයි. දේශපාලන චලනයේ දිශානතිය පිළිබඳ රහස සැඟව ඇත්තේ බොබ් ඩිලන්ගේ වචනයෙන් කිව හොත්, "හමන සුළඟ තුළමය."

"මාලිමාව දැන් පෙනෙන්නේ රට තුල සිටින එකම දැවැන්ත දේශපාලනික බලවේගය ලෙසටය. එයට හේතුව දේශපාලනික දකුණ සමගි නොවීමයි" (උපුටා ගැනීම: ශිරාල් ලක්තිලකගේ ෆේස්බුක් සටහන, 23/08/2024).
මේ පණිවිඩය ශාස්ත්‍රාලීය නොවන බසකින් කාටත් දැනෙන ආකාරයෙන් ප්‍රකාශ කළ අයෙකු නම් දකුණේ එක්සත්කම වෙනුවෙන් ආයාචනා කරමින් තම පාර්ලිමේන්තු අසුනින් ඉල්ලා අස්වූ තලතා අතුකෝරළ මන්ත්‍රීවරියයි. නමුත් ශිරාල්, තලතා මෙන්ම වර්ණසිංහද සෘජුව හෝ වක්‍රව යෝජනා කරමින් සිටින්නේ දක්ෂිණාංශයේ අඩු ජනතා සහයෝගයක් සහිත අපේක්ෂකයෙකු වටා සෙසු දක්ෂිණාංශික කණ්ඩායම් එක්සත් විය යුතු බවයි!
වික්‍රමසිංහ පිළිබඳ මිත්‍යාව

ජනාධිපති ධූරයට පත් වූ පසුව ඔහු පළමුවෙන් තම ජන්ද පදනම පුළුල් කරගන්නට ප්‍රයත්න දැරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මත රඳා පවතිමින් නොව සමගි ජන බලවේගයේ සැලකිය යුතු කොටසක් තමන් වෙත දිනාගැනීම මගිනි. මේ ප්‍රයත්නය එතරම් සාර්ථක වූයේ නැත. විශේෂයෙන්ම ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිවලට විවෘතව සහයෝගය දැක්වූ හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න වැනි අය පවා වික්‍රමසිංහ පාර්ශවය සමග සෘජුව එක් නොවීමෙන් ගම්‍ය වූයේ ඔහුට ජනපතිවරණය ජය ගත හැකිය යන විශ්වාසයක් ඒ කිසිවෙකුට නොතිබූ බවයි. වික්‍රමසිංහ පොදුජන පෙරමුණේ ප්‍රධාන පෙළේ ඉල්ලීම් සියල්ල (අමාත්‍ය ධූර, මහා මැතිවරණය පළමුව පැවැත්වීම යනාදී) දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ අතර, නව අනුග්‍රාහක වැඩ පිළිවෙළවල් ඔස්සේ (අස්වැසුම, සහල් සහනාධාර බෙදීම, ඉඩම් ඔප්පු ප්‍රදානය යනාදී) තමන්ගේම ජන්දදායක පදනමක් නිර්මාණය කර ගන්නට ප්‍රයත්න දැරීය. 2022 අරගලයෙන් පසුව පොහොට්ටුවේ නියෝජිතයින් සහ ජන්දදායක ප්‍රජාව අතර එතෙක් පැවති ගිවිසුම බරපතල ලෙස බිඳී ගොස් ඇති වාතාවරණයක් තුළ මෙම ප්‍රවේශය වටහාගත හැකිය.

දෙවනුව, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වූ පසුව ඔහු කළේ ඒ වනවිටත් තම අපේක්‍ෂකත්වය ප්‍රකාශයට පත් කොට තිබූ සජිත් ප්‍රේමදාසගේ ජන්ද පදනම බෙදීමට ලක් වන පරිදි තමන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමයි. ඉනුත් පසුව, තම දේශපාලන අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවක සිටි පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා තම කණ්ඩායමට සම්බන්ධ කරගැනීමට දැරූ ප්‍රයත්නය තුළ වික්‍රමසිංහ කළේ ඒ වනවිටත් පැවැත්ම පිළිබඳ අර්බුදයකට මුහුණ දෙමින් සිටි රාජපක්ෂ කඳවුර ප්‍රතිචාරයක් සඳහා පෙළඹවීමයි. තම බල ජාලය වේගයෙන් හැකිළෙමින් පැවති වාතාවරණය තුළ කෙසේ හෝ තම කඳවුරේ ශේෂව පැවති පදනම ආරක්ෂා කරගැනීම සඳහා නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම හැර වෙනත් විකල්පයක් රාජපක්ෂවරුන් සතුව නොවීය. දකුණේ අපේක්ෂකයින් කිහිප දෙනෙකු අතරේ ජන්ද බෙදී යන තත්ත්වයක් නිර්මාණය වූයේ එසේය. මෙහි අතුරු ප්‍රතිපලයක් ලෙස ජනපතිවරණ ධාවන තරඟයේ තෙවන ස්ථානය සඳහා වික්‍රමසිංහ සහ රාජපක්ෂ අතර තරඟයක් නිර්මාණය වී තිබෙන බව පෙනේ.
ඉහත සිද්ධි දාමයෙන් පැහැදිලි වන්නේ වික්‍රමසිංහ පිළිබඳව ඔහුගේ අනුගාමික බුද්ධිමතුන් අතර පවතින ඇතැම් වටහාගැනීම් අතිශයින්ම මිත්‍යාමතික ඒවා බවයි. ඔහු තමන් නියෝජනය කරන ප්‍රභූ සංස්ථාපිතය වෙනුවෙන් සහ දේශපාලන ආර්ථික වැඩ පිළිවෙළ වෙනුවෙන් දිගුකාලීන උපායමාර්ගික දැක්මක් ඇතිව වැඩ කරන්නෙකුය යන අදහස ඔහුගේ වත්මන් චර්යාවෙන් බරපතල ලෙස ප්‍රශ්න කිරීමට ලක්වේ. ඔහුගේම උපමාවකට අනුව ඔහු වැල් පාළමෙන් එතෙර කරන්නට පොරොන්දු වූයේ අර්බුදයට ලක්ව පැවති මෙරට ප්‍රභූ සංස්ථාපිතය නම්, දැන් ඔහුම එම සංස්ථාපිතයේ පැවැත්මට වඩා තම පුද්ගලික දේශපාලන අභිමතාර්ථයන් තමන්ට වඩා වැදගත් බව ප්‍රායෝගිකව පෙන්වා දී ඇත.
වික්‍රමසිංහගේ උපායමාර්ගික තෝරාගැනීම් පිළිබඳව යෝජනා කළ හැකි එක් තේරුම් කිරීමක් මෙසේය; ඔහු සැබවින්ම ප්‍රයත්න දරමින් සිටින්නේ අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට මාවත සැකසීමත්, ඉන්පසුව පාර්ලිමේන්තු විපක්ෂයට තේරී පත්වීමත්, ඉනුත් පසුව දිසානායක පාලනයේ ඔහු උපකල්පනය කරන අසාර්ථකත්වයක් හමුවේ වඩා ජනප්‍රිය දක්ෂිණාංශික විකල්පය ලෙස යළිත් ඉස්මතු වීමත් විය හැකිය. නමුත්, එවන් වඩා ශූර, තියුණු හා දිගුකාලීන උපායමාර්ගික දැක්මක් අප ඔහු වෙත ආරෝපණය කළද, ඒ තුළ පවා දෘෂ්‍යමාන වන්නේ ඔහුගේ පුද්ගලික බල අභිලාෂවල ප්‍රමුඛතාවයි. ඔහුගේම ප්‍රභූ පැලැන්තියේ දේශපාලන අධිකාරත්වය අනතුරට හෙළීම සඳහා වූ ඔහුගේ දායකත්වය එයින් ප්‍රතික්ෂේප වන්නේ නැත.
වාම තත්කාර්යවාදී ගණන් බැලීමක්

ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිපලය කුමක් වේදැයි ටක්කෙටම කිව හැකි කිසිවෙකුත් අප අතර ඇතැයි මම නොසිතමි. නමුත්, වර්ණසිංහ, ශිරාල් ඇතුළු 'දේශපාලන දකුණේ' සිතන්නන් කිහිප දෙනෙකුම නිවැරදිව හඳුනාගෙන ඇති පරිදි ජාජබ ජන රැල්ල වනාහී හුදෙක් මාධ්‍ය නිර්මිතයක් නොව මහ පොළොවේ යථාර්තයක් බවත්, ඒ විසින් මෙරට මෙතෙක් කලක් පැවති ප්‍රභූ තන්ත්‍රයේ දේශපාලන අධිකාරත්වය අභියෝගයට ලක් කොට ඇති බවත් ඉතාම පැහැදිලිය. ජාජබ විසින් මෙරට රැඩිකල් වාමාංශය අපේක්ෂා කරන ආකාරයේ විප්ලවීය ආර්ථික වෙනස්කම් හෝ ජාත්‍යන්තර සබඳතා විෂයයෙහි වෙනස්කම් සිදු කෙරෙනු ඇතැයි කල්පනා කිරීම මනෝරාජික අදහසක් බැව් සැබෑය. ජාජබහි ජයග්‍රාහී මාවත සකසන ලද්දේ ජයදේව උයන්ගොඩ විශ්ලේෂණය කරන ආකාරයේ 'අණුක දේශපාලන පරිවර්තනයන්' විසින් නම්, පෙරළා ජාජබද අභ්‍යන්තරිකව එවන් අණුක පරිවර්තනයන්ට ලක්වෙමින් නොපවතීද යන න්‍යායික ප්‍රශ්නයද විමසා බැලීම වැදගත්ය.

නැපෝලියන් බොනපාර්ට් වරක් මෙසේ පවසා තිබේ; "ඔබගේ සතුරා බරපතල අත් වැරදීමක් කරන විට ඔහුට බාධා නොකර සිටින්න." උත්ප්‍රාසාත්මක ලෙස මේ මොහොතේ ප්‍රභූ තන්ත්‍රයේ බලය ප්‍රතිස්ථාපනය වීම වැලැක්වීම සඳහා අනුගමනය කළ යුතු හොඳම උපක්‍රමය වන්නේ වර්ණසිංහ සහ ලක්තිලක ඇතුළු පිරිස සහයෝගය දක්වන රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දුබල වීමට ඉඩ නොදී එය සජිත් ප්‍රේමදාසගේ ව්‍යාපාරය සමග කරට කට මට්ටමක රඳවා ගන්නට සැලැස්වීමයි! මධ්‍ය-වාමාංශයේ පැත්තෙන් ගත් කල වඩා වාසිදායක දර්ශනය වනු ඇත්තේ දක්ෂිණාංශයේ ප්‍රබල අපේක්ෂකයා වන ප්‍රේමදාසගේ ප්‍රචාරක ව්‍යාපාරය ඉදිරි සති තුන තුළදී මදක් පසුබෑමට ලක් වීමත්, දුබල අපේක්ෂකයා වන වික්‍රමසිංහගේ ව්‍යාපාරය මදක් වර්ධනය වීමත් ය. දකුණේ අපේක්ෂකයින් දෙදෙනා තුළම තමන්ට ජයග්‍රහණය කළ හැකිය යන ආත්ම විශ්වාසයක් පැවතීම යහපත්ය. කව්රුන්ගේ වුවත් ආත්ම විශ්වාසයට හානි කිරීම වමේ ගුණයක් නොවේ.
(සුමිත් චාමින්ද)කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
sumith.chaaminda@yahoo.com




