ඒ ඔහු පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට නිතරගයෙන් ඒකමතිකව පත් කිරීමෙන් අනතුරුවය. සන්ධ්‍යා වරුවක අදාළ ස්ථානයට මා යන විටත් මා හඳුනන සහ නොහඳුනන වෘත්තීය බුද්ධිමතුන් කිහිපදෙනෙක් එහි රැස්ව සිටියහ. එදා ඇරඹි සංවාදයෙන් අනතුරුව දීර්ඝ සාකච්ඡා, හරබර විවාද සහ බාහිර පාර්ශවකරුවන්ගේ අදහස් විමසීම් ඇතුළු කාර්යබහුල දාමයක ප්‍රතිඵලයක් ලෙස “ඔබ වෙනුවෙන් දියුණු රටක් හදන නාමල් දැක්ම - ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ” පෙරේදා (2) ජනගත විය.

දේශපාලන ක්‍රියාකාරීත්වය කිසියම් අධ්‍යයන කුහුලකින් විමසන මා හට ඉහත ක්‍රියාවලියේ දුටු විශේෂ කරුණු ලියා තැබීම වටී. පළමුව මා නිරීක්ෂණය කළ කාරණය වූයේ නාමල් විසින් මෙම කාර්යය සඳහා තෝරා ගත් පුද්ගලයන්ය. ඔවුන් අතර පුද්ගලික අංශයේ සාර්ථක බුද්ධිමතුන් මෙන්ම, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද විය. එමෙන්ම දේශපාලන නියෝජිතයන්ද විය. එම පුද්ගලයන් එකට එකතු කර එක අරමුණකට ගෙන ඔවුන් මෙහෙයවූ ආකාරයෙන් මා තේරුම් ගත්තේ නාමල්ට කණ්ඩායම් හැදීමේ (Team Building) සූක්ෂම හැකියාවක් ඇති බවය. එම හැකියාව නායකත්වයට අතිශය වැදගත් බව ඕනෑම පළපුරුදු නායකයෙකු කියනු ඇත.

සාමාන්‍යයෙන් තම තමන්ගේ ක්ෂේත්‍රයේ ඉහළට ගිය අයට එකට වැඩ කිරීමට නොහැකිය. පුද්ගල මාන ගැටුම් ඇති වේ. එබැවින් මා වඩාත් සතුටට පත් වූයේ නාමල් තමන්ගේ කණ්ඩායම ඉතාම බුහුටි ලෙස වසර ගණනාවක අත්දැකීම් ඇත්තෙකු සේ කළමනාකරණය කළ ආකාරය දැකීමෙනි. ඕනෑම කණ්ඩායමක් සාර්ථක වීමට නම් කරුණු තුනක් අත්‍යවශ්‍ය වේ. 1) පුද්ගල ලක්ෂණ (Individual Attributes), උනන්දුව (Motivation) සහ සංවිධාන පහසුකම් (Organisational Support). මේ තුනෙන් එකක් හෝ නැත්නම් කාර්යසාධනයක් නොමැත. උදාහරණයක් ලෙස කෙතරම් බුද්ධිමතෙකු වුවත් උනන්දුව නැත්නම් වැඩේ කරන්නේ නැත. හැකියාව සහ උනන්දුව දෙකම තිබිලත් පහසුකම් නැත්නම් කාටවත් වැඩේ කරන්නට බැරිය. නාමල් මේ කරුණු තුන මනාව කළමනාකරණය කළේය.

නාමල්ට කණ්ඩායමක mood එක හොඳට කියවා ගත හැකි බව මාගේ විශ්වාසයයි. අවශ්‍යතාවය අනුව ඔහුට සිය නායකත්ව ශෛලිය වෙනස් කර ගත හැකිය. උදාහරණයක් ලෙස කණ්ඩායමට සෘජු දිශානතියක් අවශ්‍ය විට නාමල් එයට අවශ්‍ය ආකාරයට හැසිරේ. තවත් අවස්ථාවක කණ්ඩායම ශක්තිමත්ව මතයක ඉන්නා විට නාමල් එයට නිදහස දී සිටියි. කළමනාකරණ විද්‍යාවේ අප උගන්වන්නේ නූතන නායකයන් මේ ආකාරයට අවස්ථාවෝචිතව වෙනස් විය යුතු බවය (Situational Leadership Theory). වයස 38 ක තරුණයෙකු හැටියට නාමල්ගේ එම නායකත්ව හැකියාව ඉතා ඉහළය.
සියලු කරුණු එකතු කර මුලින්ම හැදුණු ලියවිල්ල ඉතා දිගය. නාමල් අපට කීවේ “Perfection is achieved not when there is nothing else to be added, but when there is nothing else to be removed” කියාය. එනම් ඕනෑම දෙයක් පරිසමාප්ත වන්නේ එයට තවත් එකතු කිරීමට දෙයක් නැති වූ විට නොවේ. එයින් තවත් කිසිවක් ඉවත් කිරීමට නොමැති වූ විටය කියාය. ඇතැමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන බඩවැල වගේ දිගය. හැම එකාම කියූ හැම මගුලම එහි ඇත. ඒ නිසා ඒවා පරස්පරය. විකාර රූපීය. අප කළේ අත්‍යවශ්‍ය නොවන සියල්ල ඉවත් කරමින් හැකිතරම් කෙටි කිරීමය. එයින් අපට ඉතාම සරල, ප්‍රායෝගික, නැවුම් සංවර්ධන වැඩපිළිවෙළක් ලැබී තිබේ. එය හඳුන්වන්නේ “සහසබැඳි සංවර්ධන ආකෘතිය” (Integrated Development Model) කියාය.

ලස්සනට චාම්ව මුද්‍රණය කර ඇති නාමල් දැක්ම දැන් කියවන විට මා කල්පනා කරන්නේ එහි කොපමණ නම් කරුණු නාමල්ගේම අදහස්ද කියාය. නාමල් ඉතා දක්ෂ ලෙස ඔහුගේ මනසේ ඇති දැක්ම අප විසින් වචනයට නගා ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවට හරවා ඇත. එය නායකයෙකු සතු දුර්ලභ හැකියාවකි. බොහෝ නායකයන්ට වෙන්නේ අනුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තමන්ගේ වගේ කියන්නටය. නමුත් නාමල් දැක්ම සැබැවින්ම නාමල්ගේය. නාමල් තරමක පණ්ඩිතයෙකි. ඔහුට බොහෝ අංශ කෙරෙහි ප්‍රායෝගික දැනුමක් තිබේ. ඔහු දැනුම උරා බොන්නෙකි. ලෝක දැනුම ඔහු වෙත ගලා ඒමට ඔහුටම අනන්‍ය ක්‍රමයක් ඔහු හදාගෙන තිබේ. මා දැනුම ලබන්නේ පොතපත කියවීමෙනි. නමුත් නාමල් දැනුම ලබන්නේ මිනිසුන් කියවීමෙනි. මේ ව්‍යාපෘතිය ඉතාම රසවත් අත්දැකීමක් වූ බව කිය යුතුමය. මාගේ සහෘද කණඩායම එයට එකඟ වෙනු නොඅනුමානය. නාමල් රාජපක්ෂ නමැති තරුණයා මේ රටේ විශිෂ්ට නායකයෙකු වන බවට මට විශ්වාස මෙන්න මෙවැනි කාරණා නිසාය. ධර්මය ඔබට මග වේවා!
නාමල් දැක්ම කියවීමට සහ භාගත කරගැනීමට පිවිසෙන්න
[එරන්ද ගිනිගේ]
(MPM Sp. B.Admin. USQ, Aus., BSc. Sp. Genetics, BU, Ind.)
හිටපු ජනාධිපති උපදේශක
නිර්මාතෘ - Social Enterprise Lanka
බ්‍රිතාන්‍ය කවුන්සිලයේ හිටපු නව්‍යකරණ ප්‍රධානී
2024 සැප්තැම්බර් 4



