රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ තරඟය අතහැර ඇති බවක් හැගේ. දැන් ඔහුගේ මුළුවැර යොදන්නේ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද අඩු කිරීමට ය. යන යන රැස්වීමක් පාසා රනිල් පවසන්නේ සජිත් අනුරට පරාජය වන බව ය.
සජිත් අනුරට පරාජයවන බව ප්‍රකාශ කරන්නට ජනාධිපතිවරණ අපේක්ෂකයකු මුළුවැර යෙදීමේ යටි අරමුණ තමන් පරාජය පිළි අරගෙන බව ප්‍රකාශ කිරීම ය. තමන්ට නැත්නම් තමන්ගේ ප්‍රතිවාදියාට ද නැති බව කීම මරාගෙන මැරෙන මානසිකත්වයකි. එවැනි තත්ත්වයකට රනිල් පත්වූයේ තමන්ගේ පරාජය සක්සුදක් සේ පැහැදිලි නිසා ය.
යූඑන්පීය කඩා බිද දමා සමගි ජන බලවේගය නිර්මාණය කරන්නට සජිත් ප්‍රේමදාසට සිදුවූයේ දීර්ඝ කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ විසින් එහි බලය අල්ලාගෙන සිටි නිසා ය. මැතිවරණ පිට මැතිවරණ පරාජය වෙද්දී ද නායකත්වය අතහැරීමට තරම් රනිල් වික්‍රමසිංහට ලිබරල් හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තියක් නොවීය. ඔහුට දිගින් දිගටම අවශ්‍ය වූයේ පක්ෂය තුළ විජේවර්ධන පරම්පරාවේ බලය ස්ථාවර කිරීම ය.
රනිල් වික්‍රමසිංහ යනු මහින්ද රාජපක්ෂ මෙන්ම ආකර්ශනීය ජන නායකයකු නොවේ. මහින්ද වයෝවෘද්ධව ඇතත් ඒ ආකර්ශනය පහව ගොස් නැත. නමුත් රනිල්ට ඉතුරු වී ඇත්තේ සාගල රත්නායක, අකිල විරාජ් හා රවි කරුණානායක වැනි පුද්ගලයන් පමණි. ඊට අමතරව එල්ලෙන්නට වැල් නැතිව සිටි පොහොට්ටවේ පිරිසක් ද රනිල් වික්‍රමසිංහගේ කරේ එල්ලුණි. ඒ හැරෙන්නට වයෝවෘද්ධව සිටියදීත් නායකත්වයක් දරන්නට හැකි පෞරුෂයක් රනිල් වික්‍රමසිංහට නැත. ජේ.ආර් ජයවර්ධන 1988 දී තම අනුප්‍රාප්තිකයාට බලය පවරා විශ්‍රාම යනවිටත් යූඑන්පිය තුළ ඔහුට විශාල බලයක් තිබුණි. එමෙන්ම විශාල පෞරුෂයක් තිබුණි. නමුත් රනිල් වික්‍රමසිංහගේ නිවට නියාළු හැසිරීම නිසා යූඑන්පීකාරයන් තුළ ඔහු ගැන ඇත්තේ හාස්‍යයකි.

රනිල් වික්‍රමසිංහ ස්වාධීනව තරඟ කරමින් එක්සත් ජාතික පක්ෂය අතහැරි අයෙකි. ඒ සියල්ල කළේ බල කෑදරකමට ය. තමන් ජනාධිපතිවරණයෙන් පරාජයවන බව තේරුම් ගන්නට තරම් නොහැකියාවක් එහෙව් රනිල් වික්‍රමසිංහට තිබිය නොහැක. ඒ නිසා ඔහු කරන්නේ තම ප්‍රතිවාදීයාවන සජිත් ප්‍රේමදාසව ද හෑල්ලු කිරීම ය. රනිල් ගාමිණී අතුකෝරල විනාස කළේ ය. කරු ජයසූරිය විනාස කළේ ය. නැගී එන හැම නායකයාම ඔහු විනාස කළේය. ඉතුරු කර ගත්තේ තමන්ට කීකරු සුකිරි බටිල්ලන් ස්වල්පය පමණි. අවුරුදු තිහක් තිස්සේ පක්ෂයකට එකම පුද්ගලයකු නායකත්වයදීම එහි විනාශයට හේතුවක් බව අමුතුවෙන් කිව යුතු ද?
රනිල් වික්‍රමසිංහ මුලින්ම ජනාධිපතිවරණයකට තරඟ කළේ 1999 දී ය. විළිලැජ්ජාව වන්නෙ ඊට වසර විසිපහකට පසුත් ඔහු ජනාධිපතිවරණයට තරඟ කිරීම ය. තමන්ට ජයග්‍රහණය කළ නොහැකි නම් කට්ටිවාදී නොවන නායකයකු කළ යුත්තේ තම පිළේම ප්‍රතිවාදියාට සහායදීම ය. නමුත් රනිල් වික්‍රමසිංහට එය කළ නොහැක. ඊට හේතුව එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති විය යුත්තේ විජේවර්ධන පරම්පරාවේ පුද්ගලයකු බව රනිල් වික්‍රමසිංහ සිතීම ය.

රනිල් වික්‍රමසිංහ කොහොමත් යටි කූට්ටු වැඩ කිරීමට දක්ෂයෙකි. 1994 දී තම ප්‍රතිවාදියා වූ ගාමිණී දිසානායකට එරෙහිව යටිකූට්ටු වැඩ කළේ ය. විපක්ෂ නායක ධූරයට ගාමිණී පත්වූ පසුව ඔහු දේශපාලනයෙන් පළා ගියේය. ඔහු යළි දේශපාලනයට ආවේ ගාමිණී ඝාතනය කළ පසුව ය.
රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළහොත් යූඑන්පීකාරයන්ට එහි ඉඩක් නැත. එහි අරක් ගන්නේ ඔහුගේ සුකිරි බටිල්ලන් ය. රාජපක්ෂවාදී හැතිකරය ය. අද ඔළුව පහත් කරගෙන ඉන්නා දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි වැනි රාජපක්ෂවාදීහු ජනාධිපති කාර්‍යාලයේ අරක් ගනු ඇත.
රනිල් වික්‍රමසිංහ යනු ජන නායකයකු නොවේ. යූඑන්පිකාරයන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ පක්ෂයේ පාලනයකි. ඒ සදහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විය යුතුම යැයි සම්මතයක් නැත. එය කොල්ලුපිටියේ ප්‍රභූවරුන්ගේ සිහිනයක් පමණි.
(පිලිප් ශාන්ත)
shan.info1978@gmail.com



