The Leader News
BREAKING
Top Ad
Opinion

රට අනුරට: රෝගී සමාජවලට ප්‍රජාතන්ත්‍රවාදය සිදුකරන අපහරණය - (ලක්ෂ්මන් අරවින්ද)

T

The Leader Desk

September 6, 2024 • 12:28 PM

රට අනුරට: රෝගී සමාජවලට ප්‍රජාතන්ත්‍රවාදය සිදුකරන අපහරණය - (ලක්ෂ්මන් අරවින්ද)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනසක් කිරීමට සැදී පැහැදී සිටින දකුණේ ජනතාවගේ මනෝභාවය තේරුම් නොගත්තොත් ඇතිවිය හැකි ප්‍රතිවිපාකය ගැන උතුරේ දෙමළ ජනතාව තේරුම් ගත යුතු බව ඔහු තවදුරටත් එහිදී අවදාරණය කළේය.
  • බලය ලබාගෙන රට ගිනි තැබූ හැම පාලකයාම හැසිරුනේ මෙලෙසය.
  • මෙවැනි ප්‍රකාශයක් මෙවැනි කාලයක සුමන්තිරන් හෝ ශ්‍රීධරන් සිංහලයින් වැඩියෙන් වාසය කරන ප්‍රදේශයකදී සිදු කළේ නම් අද වන විට ඇතිවිය හැකි තත්වය කෙබඳුද?
  • මාලිමාවන් පැමිණ ඔවුන්ට උතුර දකුණ හොඳම එකෙන් පෙන්වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙනසක් කිරීමට සැදී පැහැදී සිටින දකුණේ ජනතාවගේ මනෝභාවය තේරුම් නොගත්තොත් ඇතිවිය හැකි ප්‍රතිවිපාකය ගැන උතුරේ දෙමළ ජනතාව තේරුම් ගත යුතු බව ඔහු තවදුරටත් එහිදී  අවදාරණය කළේය. මෙය දෙමළ ජනතාවට කළ තර්ජනයකි. එහෙත් එය අලුත් දෙයක් නොවේ. බලය ලබාගෙන රට ගිනි තැබූ හැම පාලකයාම හැසිරුනේ මෙලෙසය.

 



මෙවැනි ප්‍රකාශයක් මෙවැනි කාලයක සුමන්තිරන් හෝ ශ්‍රීධරන් සිංහලයින් වැඩියෙන් වාසය කරන ප්‍රදේශයකදී සිදු කළේ නම් අද වන විට ඇතිවිය හැකි තත්වය කෙබඳුද? මාලිමාවන් පැමිණ ඔවුන්ට උතුර දකුණ හොඳම එකෙන් පෙන්වනු ඇත. තමන්ට දෙමළ ජනතාවගේ බහුතර කැමැත්තක් නැතිබව අනුර ඉතාම හොඳින් අවබෝධ කරගෙන ඇත. එසේම ඔහු අනියමින් ඔවුහුට බයානක තරජනයක් කරන්නේය. මේ මැතිවරණයෙන් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කළහොත් ඇතිවන ප්‍රතිවිපාක වල සංඥාවන්ය.

ජාතික ජනබල වේගය නියෝජනය කරන සමාජ කණ්ඩායමට මේ මොහොතේ බලය ලැබීම සමාජ අවශ්‍යතාවයක් ලෙස අර්ථ ගන්වා ඇත. ඒ සඳහා බොහෝ දෙනෙකුගේ මොළ ශෝධනය වී හමාරය. මේ නිසා ජාතික ජනබලවේගය විසින් නිකුත් කොට ඇති ළාමක ප්‍රතිපත්ති ප්‍රකාශනයට එතරම් වැදගත් තැනක් ඇතැයි සිතිය නොහැකිය. රටේ ඡන්ද දායකයින්ගෙන් සීයට අනූවක්ම මෙවැනි ප්‍රකාශන කියවා ඒවායේ ඇති කරුණු සිහි නුවණින් කල්පනා කොට ඡන්දය ලබාදෙන පිරිස් නොවේ.

 


මෙහිදී ජනබලවේගයේ ප්‍රතිපති ප්‍රකාශණය ගැන සඳහන් කළයුතු කාරණයක් තිබේ. එනම් ජවිපෙ ඉතිහාසය පුරාම ඔවුහු නිකුත් කරනු ලැබූ ලිඛිත ලියවිලි ඉතා සාරවත් සහ සහේතුක කරුණු වලින් පොහොසත් විය. එහෙත් මෙය ඊට හාත්පසින්ම වෙනස් දුර්වල ලියවිල්ලකි. එය මැතිවරණයේ ප්‍රතිඵලයට බලපාන බවක් පෙනෙන්නට නැති නමුත් බලය ලැබුණු පසු එහි ආනිසංස අත්විඳීමට සාමාජයට හැකිවනු ඇත. එවිට මදුසමය අවසන් වී සැබෑ ඇත්ත සිය දෑස් ඉදිරියේ පතිත වනුඇත.  

යම්කිසි හෙයකින් බලය නොලැබුණොත් නුදුරු අනාගතේ දිනෙක ඊට බලය ලබාගැනීමට ඇති වටපිටාවක් සමාජයේ නිර්මාණය වී තිබෙන බව අපි පිළිගත යුතුය. බලය ලබාගන්නා තෙක් වෘත්තීය සමිති දමා විනාශ කරඇති රාජ්‍ය ආයතන තවදුරටත් විනාශ කරනු ඇත. විනාශ කර ඇති විශ්ව විද්‍යාල පද්ධතිය තව දුරටත් කෙළසනු ඇත. ඒ අනුව අපි අවබෝධ කරගත යුත්තේ, කාලයක් තිස්සේ සිදුවන සුපුරුදු රැවටීමක තවත් එක් ජවනිකාවක් වන මෙය හරහා ගමන්  කිරීමට අපි සියල්ලටම සිදුවී ඇති බවයි.  ජොකියා සහ අශ්වයාගේ පාට මාරු කිරීමෙන් සන්දර්ෂණය වෙනස් කළ හැකිය, නමුත් ව්‍යුහය එලෙසම පවතිනු ඇති බව යළිත් අපට තේරුම් කරදෙනු ඇත.  

ශ්‍රී ලංකාව තුළ තම තනුවට අනුව නර්තනයේ යෙදෙන දුර්වල ආණ්ඩුවක් නිර්මාණය කිරීම භාහිර පාර්ශව විසින් කාලාන්තරයක් තිස්සේ සිදුකළ එනම් ජේ. ආර්. ජයවර්ධන ලෝක බැංකුවෙන් ණයක් ගෙන මෙරට ආර්ථික මොඩලය උඩු-යටිකුරු කළ මොහොතේ පටන් සිදුකළ කටයුත්තකි. නමුත් ජයවර්ධනට සිය කැබිනට් මණ්ඩලය තනාගැනීම සඳහා ජවසම්පන්න පරිසක් සිටියහ. අනුර කුමාර ඇතුළු දේශපාලන කණ්ඩායමට එවැන්නක් පේනතෙක් මානයකවත් නැත. එසේම ඔහු කියන කාරනා බොහෝමයක් එකිනෙකට නොගැලපෙන්නේය.

 

පාස්කු බෝම්බයේ සැඟවූ රහස් : කවුද මේ අබුහින්ද්, පොඩි සහරාන්, සහ ජමීල් -  (පළමු කොටස)
උදාහරණයක් ලෙස අනුර කුමාර දිසානායක පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන යළි සිදුකරන්නේ නම් එහි නොවිසඳුණු කොටසක් තිබේනම් එය නතර වී ඇත්තේ ඉන්දියාවේ බව බොහෝ දෙනෙකු කියන්නේය. ඒ නිසා ඔහුගේ ආණ්ඩුවට ඉන්දියාව ප්‍රශ්න කිරීමට සිදුවනු ඇත. නමුත් එය ප්‍රායෝගික නැත. ඊට ප්‍රතිචාර වශයෙන්, තම අසමත්බව වසා ගැනීමට තෝරාගත් සැකකරුවන් කිහිපදෙනෙකු හිරේදමා  නාට්‍යයක් පෙන්වා කිහිප දෙනෙකු සතුටු කළ හැකිය. එසේම පුනර්ජනනීය බලශක්තියට අදාළ ව්‍යපෘති ඔස්සේ රටට විදේශ ආයෝජන රැගෙන එන බව ඔහු කියන්නේය. ඒ  ඉන්දීය අදානිට, සිය ව්‍යපෘති සිදුකිරීමට අවශ්‍යය පහසුකම් සැලසීමට දැන්මම එකඟවී ඇති ස්වාභාවකිනි. ඊට අමතරව ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කොට ඒවායේ තෙල් ගබඩා කොට ඒවා වෙනත් රටවලට සපයා ලබාදෙන බව කියන්නේය. එයද ඉන්දීය ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතියට අනුව විෂකාපට්ටන් සහ ත්‍රිකුණාමලේ තෙල්ටැංකි යාකොට ඒවා ඉන්දියාවේ අවශ්‍යතාවයන් පිරිමසා ගැනීම සඳහා භාවිතා කරන බව ඉන්දීය සාගර ප්‍රතිපත්තියේ පැහැදිළිව සඳහන් කොට ඇත. ඒ අනුව පෙනී යන්නේ මෙම පක්ෂය ඉදිරිපත් කරන හිතළු ඉහළ පන්තියෙන් පහළ පන්තියට බල පෙරලියක් කොට පොඩි මිනිහාගේ ආර්ථිකය දියුණු කිරීමක් නොව තම පටු අරමුණු දිනාගැනීම සඳහා ඕනෑම පාර්ශවයක් සමග ඕනෑම සම්මුතියකට එළඹීමට ඇති හැකියාවයි .

ජාතික ජනබලවේගයේ නැගීම ගැන ඇතැම් පිරිස් නව අදහසක් ඉදිරිපත් කොට තබේ. එනම් සිදුවීමට නියමිත මෙම දේශපාලන වෙනස නිදහසින් පසු පවුල් කිහිපයක් එනම් "ප්‍රභූ පන්තිය" යැයි කියාගන්නා කොටස විසින් සිදුකළ පාලනය "කම්කරු (නිර්ප්‍රභූ) පන්තිය" වෙත සිදුවන බල සංක්‍රමණයක් ලෙස පුරෝකතනය කර ඇත. මෙය අතිශය ප්‍රවේශමෙන්  සත්‍යය විකෘති කරමින් සිදුකර ඇති අර්ථ ගැන්වීමකි. මෙය සමජයට දුන් හොඳම ලණුවකි. එම ලණුව ඉතා හොඳට සමාජයයේ බහුතරක් අනුබව කර ඇත. නමුත් සත්‍යය නම්, ජාතික ජනබලවේගය යනු ශ්‍රී ලංකාව මුහුණ දුන් සමාජ ඛේදවාචක රැසකට පසු පසු රට හමුවේ තිරගත වෙමින් තිබෙන ප්‍රහසනයනයේ දෙවැනි කොටසයි. මෙම ප්‍රහසනයේ පළමු කොටස විරුවෙක් ජනාධිපතිධූරයට කැන්දාගෙන එමෙන් පසු තිරගත විය.

මේ මොහොත වන විට ජවිපෙය පිටුපසට දමමින්, ජාතික ජනබලවේගය සිදුකර ඇත්තේ බලකාමී පාදඩ පවුල් කිහිපයක් විසින් නිදහසින් පසු සිදුකළ සමාජ සහ ආර්ථික සූරා කෑමට එරෙහිව හැටේ දශකයේ අගභාගයේ සිට මෙරට සෑම ජනවර්ගකටම අයත් පීඩිතයින් විසින් සිදුකළ දැවැන්ත අරගලය ඉතා තුච්ඡ අන්දමින් පාවාදී ඊට ලස්සන වෙස්මුහුණක් පළඳවා කොල්ලකෑමය. මෙම කොල්ල කෑම, ජයදේව උයන්ගොඩ වැනි කුලවාදය නිසා විශාල පීඩාවකට පත්වූ බුද්ධිමතුන් පවා සමාජ පරිවර්තනයක් ලෙස විග්‍රහ කිරීම විගඩමක් පමණක් නොව එය මෙරට බුද්ධිමතුන්ගේ බරපතළ දිරායෑම සනිටුහන් කරන්නකි.

 

රනිල්-ගෝඨා අශුද්ධ සංධානය'ට එරෙහි ජවිපෙ ගේමට බසී !
අනුරගේ දේශපාලන නැගීම තුළ වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි තවත් කාරණයක් තිබේ. එනම්, බලය ලබා ගැනීම සඳහා අවශ්‍යය වන්නේ වඩාත් ප්‍රවේශමෙන් තම අණසකට යටත්ව සිදුකරණ දේශපාලන සහවාසයන් මිස ප්‍රතිපත්ති නොවන බවයි. එවැනි සමීකරණයකට බලය ලබාගත්තද ඊට ගමන්කළ හැකි දුර බොහෝ සීමිතය. එසේම මෙම බලවේගය තුළ සිදුවීමට නියමිත අභ්‍යන්තර ආරවුල් මීට පෙර ජවිපෙ තුළ සිදුවූ දෑ වලට වඩා වෙනස් සහ ඉතා සංකීරණ වනු ඇත. එවැනි තත්වයකදී අනුර දිසානායක වැනි චරිත වලට සිදුවන්නේ රූකඩ පාලකයින් වීමට සහ සිය තනතුර රැකගැනීම සඳහා ඕනෑම අන්දමේ එකඟතාවයකට ගමන් කිරීමටය. බලය ලබා ගැනීමෙන් පසු එය රැකගැනීම සඳහා සිදුකිරීමට සිදුවන මර්ධනය සහ මර්ධනය අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදෙන විට පලායාම, මෙවැනි දේශපාලන ප්‍රවණතාවයන් මුහුණදෙන සැබෑ යථාර්තයකි. 

අප කැමති වුවත් අකමැති වුවත් ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ප්‍රමාණයකට අනුරාලගේ සිහිනය තමන්ගේ සිහිනය සේ සලකා ප්‍රායෝගිකව අත්විඳීමට අවශ්‍යය වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය මෙවැනි රෝගී සමාජවලට සිදුකරන අපහරණය එයයි. මහ ජනතාව විසින් විප්ලවය යැයි සිතාගෙන අනෙකාට ඇති වෛරය නිසා මෝඩ දේශපාලන පෙරළියක් සිදුකළ පසු නියත වශයෙන්ම සමස්ථ ජනතාවට අත්විඳීමට සිදුවන කටුක යථාර්තයට මුහුණ දීම සඳහා හිත හදාගැනීම පමණක් මෙහිදී වැදගත් වේ. මෙවැනි මොහොතක රිප් වෑන් වින්කල් මෙන් වසර කිහිපයක නින්දට ගොස් 2028 දී පමණ අවධි වීමට හැකිනම් එය අප ලබන වාසනාවකි.

(ලක්ෂ්මන් අරවින්ද)
luxmanaravind@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...