The Leader News
BREAKING
Top Ad
Opinion

බංකොලොත් වීම හා ගොඩ ඒම : ජාත්‍යන්තර අත්දැකීම් -(අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

September 11, 2024 • 5:06 PM

බංකොලොත් වීම හා ගොඩ ඒම : ජාත්‍යන්තර අත්දැකීම් -(අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව ඉක්මනින් ආර්ථික අර්බුදයෙන් මිදීමට සමත් වූ රටක් බව බොහෝ දෙනෙක් කියති.
  • ආර්ථිකය ගොඩගැනීමේ ක්‍රියාවලියේ මූලිකාංගයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කරමින් තිබෙන වැඩසටහන වෙනස් කරන බවට ශපථ කරන නායකයෝ ද බලය ඉල්ලති.
  • ඔවුන්ගේ කතා පොරොන්දුවලින් පිරී ඇත.
  • ලෙබනනය, වෙනිසියුලාව, ග්‍රීසිය, ආර්ජන්ටිනාව, පකිස්තානය වැනි රටවල පැවති මැතිවරණවලදී ප්‍රතිසංස්කරණ විරෝධීන් බලයට පත්වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම රටවල් කබලෙන් ලිපට වැටී ඇති බව අප අමතක නොකළ යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාව ඉක්මනින් ආර්ථික අර්බුදයෙන් මිදීමට සමත් වූ රටක් බව බොහෝ දෙනෙක් කියති. එහෙත්, මෙතෙක් ආ මග හරහා දැන් මැතිවරණ වැටී තිබෙන අතර, මෙතෙක් ක්‍රියාත්මක කරන ලද වැඩසටහනට විරුද්ධ බලවේග ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබාගැනීමේ අවදානමක් තිබේ.

 ආර්ථිකය ගොඩගැනීමේ ක්‍රියාවලියේ මූලිකාංගයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කරමින් තිබෙන වැඩසටහන වෙනස් කරන බවට ශපථ කරන නායකයෝ ද බලය ඉල්ලති. ඔවුන්ගේ කතා පොරොන්දුවලින් පිරී ඇත. එහෙත්, පොරොන්දු ඉටු කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරගන්නා ආකාරය ඔවුන් පැහැදිලි කරන්නේ නැත. ලංකාව බංකොලොත් වීමට හේතු වූයේ ද දේශපාලකයන් මේ අයුරින් ආදායම ගැන නොසිතා වියදම් කිරීමට පෙළඹීම නිසාය.

ලෙබනනය, වෙනිසියුලාව, ග්‍රීසිය, ආර්ජන්ටිනාව, පකිස්තානය වැනි රටවල පැවති මැතිවරණවලදී ප්‍රතිසංස්කරණ විරෝධීන් බලයට පත්වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම රටවල් කබලෙන් ලිපට වැටී ඇති බව අප අමතක නොකළ යුතුය. එබැවින්, ජනාධිපතිවරණයක් අභිමුව සිටින අප ජනාධිපති ධුරයට පත්වීමේ හැකියාව ඇති සියලු අපේක්ෂකයන්ගෙන් ඔවුන්ගේ ආර්ථික වැඩසටහන කුමක්දැයි පැහැදිලිව අසා දැනගෙන බුද්ධිමත්ව අපගේ ඡන්දය ප්‍රකාශ කළ යුතුව තිබේ. එසේ නැතහොත් සිදු විය හැකි දේ පිළිබඳ පුරෝකථනයන් ඔබට මෙම කෘතියෙහි ඇති විවිධ රටවල අත්දැකීම් ඔස්සේ කරගත හැකිය.


2022 වසරේ ශ්‍රී ලංකාව බංකොලොත් වීමට ප්‍රධාන හේතුව වන්නේ රජය සිතූ පැතූ සම්පත් දිය හැකි සිතුමිණකැයි අප විසින් කාලාන්තරයක් මුළුල්ලේ සිතාගෙන සිටීමයි. දේශපාලකයන්, වරප්‍රසාද, විදේශ සංචාර, තීරු බදු සහන, තනතුරු, රැකියා, සහනාධාර, සුබසාධන ප්‍රතිලාභ ආදිය නිර්ලෝභී ලෙස බෙදූ අතර, දූෂණයේ ද සීමාවක් තිබුණේ නැත. රටේ ජනතාව ද තව තවත් රජයෙන්ම ඉල්ලා සිටියහ. රජය සුරබිදෙනක නොව අපේ ගෙදර වැනිම වූ ආදායම්, වියදම් තුලනය කරගත යුතු ආර්ථිකයක් බව රටේ වැඩි දෙනෙකු තේරුම් ගත්තේ ගත් ණය ගොඩගැසී, ණය ගෙවීමට තවත් ණය ගත නොහැකිව රජය බංකොලොත් වීමෙනුත් පසුවයි.


ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ආරම්භ වන්නේ නිදහසින් පසු දිගින් දිගටම පැවති රාජ්‍ය මූල්‍ය හිඟය හා ජංගම ගිණුමේ හිඟය යන ද්විත්ව හිඟයන්ගෙන්ය. 2016 සිට දැඩි නියඟයක්, ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් සහ පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළු කම්පන කිහිපයකින් ආර්ථිකයට පහර වැදුණි. මෙම සිදුවීම් ආර්ථික පදනම දුර්වල කළේය. 2019 දෙසැම්බරයේදී බදු අඩු කිරීම් ණය බර තවත් ඉහළ යාමට හේතු විය. 2020 දී රජය මහා පරිමාණයෙන් මුදල් මුද්‍රණය කිරීම ආරම්භ කළ අතර එය 2021 වන විට උද්ධමනය ඉහළ යාමට සහ 2021 මුල් භාගයේ සිට විදේශ විනිමය හිඟයට හේතු විය.

රට බංකොලොත් භාවයේ අද්දර සිටියදී, දේශීය විසඳුමක් අනුගමනය කරන බව පවසමින් එවකට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යාම ප්‍රමාද කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට පෙර ණයහිමියන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමේ අවස්ථාව අපට මග හැරී ගියේය. එවැනි එකඟතාවකට පැමිණියේ නම් රට බංකොලොත් වීම වළක්වා ගැනීමට ඉඩ තිබුණි.

"ගෙදර හැදූ" විසඳුම චීනයේ සහ ඉන්දියාවේ මහ බැංකු සමඟ මුදල් හුවමාරු ගිවිසුමකට එළඹීම විය. කෙසේ වෙතත්, මූල්‍ය අර්බුදය විසඳීමට මෙය ප්‍රමාණවත් නොවන බව එවක මහ බැංකු අධිපතිවරයාට අවබෝධ වූයේ නැත.

ග්‍රීසියේ මෙන් නොව, ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙනසක් වූයේ 2022දී රුපියල අවප්‍රමාණය වීමට ඉඩ නොදීමයි. ශ්‍රී ලංකා රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම රටේ ප්‍රකෘතිය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ආනයන මිල අධික වූ අතර එය ආනයන අඩු කර වෙළඳ හිඟය අඩු කිරීමට උපකාරී විය. ඒ අතරම, එය නීත්‍යානුකූල මාර්ග හරහා ප්‍රේෂණ ගලා ඒම දිරිමත් කළ අතර ශ්‍රී ලංකා අපනයන ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට වඩාත් තරඟකාරී සහ ආකර්ශනීය බවට පත් කළේය.


කෙසේ වෙතත්, බංකොලොත් වීමෙන් පසු ආර්ථිකය ගොඩගැනීමට රජය ගත් ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමට ලංකාවේ වගකීම් විරහිත විරුද්ධ පක්ෂ කෙතරම් උත්සාහ කළ ද මේ රටේ ජනතාව එම දුෂ්කර ප්‍රතිසංස්කරණ භාරගෙන දුක දරාගෙන රජයේ වැඩපිළිවෙලට උර දුන් බව ගෞරවයෙන් සඳහන් කළ යුතුය. කඩාකප්පල්කාරීන් කෙතරම් උත්සාහ කළත්, ඔවුන් එම වැඩසටහනට එරෙහිව තීරණාත්මක ලෙස වීදි බැස්සේ නැත. තැන තැන සුළු විරෝධතා නොතිබුණා නොවේ.


බංකොලොත්භාවයට පත් ග්‍රීසිය වැනි බොහෝ රටවල් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදු කළහ. එහෙත්, ශ්‍රී ලංකාව එවැනි ක්‍රියාමාර්ගවලට ගියේ නැත.

මේ වන විට අප හමුවේ තිබෙන අභියෝගය වන්නේ කඩාකප්පල්කාරීන්, බලලෝභීන් විසින් දෙසන බොරුවලින් ජනතාව මුළාවේ වැටීම වළක්වා ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ අධිෂ්ඨානයෙන් යුතුව කරන පාලක පිරිසක් පත් කර ගැනීමයි.

මෙම පොත් පිංචෙහි අරමුණ වන්නේ ලංකාව වැනිම වූ ණය අර්බුදයෙන් හිර වූ තවත් රටවල අත්දැකීම බෙදාගනිමින් අප හමුවේ ඇති පොදු වගකීම සැමට පෙන්වා දීමයි.


කෙටියෙන් කිවහොත්, වසර දෙකක් ඇතුළත ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමෙන් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය අනෙකුත් රටවල අත්දැකීම් හා සසඳන විට කැපී පෙනේ. බෙලීස් සහ ඉක්වදෝරය වැනි ජාතීන් වසරක් ඇතුළත ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට සමත් වූ අතර, ආර්ජන්ටිනාව සහ සැම්බියාව වැනි රටවල් වඩාත් දිගු ක්‍රියාවලීන්ට මුහුණ දුන්හ. සෑම රටකම ප්‍රතිව්‍යුහගත කිරීමේ කාලසීමාව ඒ රටේ ණය ප්‍රමාණය, ආර්ථික තත්ත්වයන් සහ ණයහිමියන් සමඟ සාකච්ඡා කිරීමේ ස්වභාවය ඇතුළු අනන්‍ය සාධක මත තීරණය විය. ශ්‍රී ලංකාව හා සමාන බංකොලොත් වීමකට මුහුණ දුන් ග්‍රීසියට අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දශකයකට වැඩි කාලයක් ගත විය.

book


AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk  හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...