The Leader News
BREAKING
Top Ad
Opinion

'රිදී රේඛාවක්' මතුවෙමින් තියෙනවා - (රසික ජයකොඩි)

T

The Leader Desk

September 14, 2024 • 7:21 AM

'රිදී රේඛාවක්' මතුවෙමින් තියෙනවා - (රසික ජයකොඩි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළමුවෙනි එක වන්නේ මෙතෙක් කලක් ලංකාවේ දේශපාලනය කියා තිබුණු පවුල් කිහිපයක් සහ ඒ පවුල් වටා ගොනු වී සිටින සහචරයන් අතර පැවති බලපොරය වෙනුවට වම-දකුණ අතර දෘෂ්ටිවාදීමය සටනක් නිර්මාණය වීමයි.
  • බත් පැකට් එකට, ගල් කාලට රැස්වීම්වලට එන මිනිසුන්, සල්ලිවලට සංවිධානය කරන රැස්වීම්, තාත්තාගෙන් පුතාට හෝ දුවට යන පක්ෂ තනතුරු, සල්ලි බලයෙන් කරන දේශපාලනය, පස්-ගල්-වැලි-බාර් පර්මිට්, පාරවල් බෝක්කු හදන කොන්ත්‍රාත් වැනි හැම දෙයක් ම ඒ බලපොරයේ ප්‍රතිඵල ලෙස නිර්මාණය වූ ඒවායි.
  • රට බංකොළොත්වීමේ සහ එයට එරෙහිව නැගුණු මහජන ප්‍රකෝපයේ ප්‍රතිඵලයක් ලෙස මේ සාම්ප්‍රදායික දේශපාලන මොඩලය ප්‍රතික්ෂේප වී තිබෙනවා.
  • එයට උත්තර ලැබෙන්නේ සැප්තැම්බර් 21 වන දා රාත්‍රියටයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පළමුවෙනි එක වන්නේ මෙතෙක් කලක් ලංකාවේ දේශපාලනය කියා තිබුණු පවුල් කිහිපයක් සහ ඒ පවුල් වටා ගොනු වී සිටින සහචරයන් අතර පැවති බලපොරය වෙනුවට වම-දකුණ අතර දෘෂ්ටිවාදීමය සටනක් නිර්මාණය වීමයි.

ලංකාවේ දේශපාලනය කියා අප සුලභව දකින හැම දෙයක් ම මේ පවුල් කිහිපයක් සහ ඒවායේ සහචරයන් අතර කාලාන්තරයක් තිස්සේ පැවති බල පොරය නිසා නිර්මාණය වූ ඒවයි. බත් පැකට් එකට, ගල් කාලට රැස්වීම්වලට එන මිනිසුන්, සල්ලිවලට සංවිධානය කරන රැස්වීම්, තාත්තාගෙන් පුතාට හෝ දුවට යන පක්ෂ තනතුරු, සල්ලි බලයෙන් කරන දේශපාලනය, පස්-ගල්-වැලි-බාර් පර්මිට්, පාරවල් බෝක්කු හදන කොන්ත්‍රාත් වැනි හැම දෙයක් ම ඒ බලපොරයේ ප්‍රතිඵල ලෙස නිර්මාණය වූ ඒවායි.

  බත් පැකට් එකට, ගල් කාලට රැස්වීම්වලට එන මිනිසුන්

ලංකාවේ දේශපාලනය මේ තරම් කිළිටි, වල් වැදුණු, ජරාජීර්ණ සහ බුද්ධිමය අතින් දුප්පත් එකක් වූයේ ද මේ බලපොරය නිසයි.

රට බංකොළොත්වීමේ සහ එයට එරෙහිව නැගුණු මහජන ප්‍රකෝපයේ ප්‍රතිඵලයක් ලෙස මේ සාම්ප්‍රදායික දේශපාලන මොඩලය ප්‍රතික්ෂේප වී තිබෙනවා. රටේ දැන උගත් මිනිසුන්ගෙන් බහුතරයක් එයට එරෙහිව ඡන්දය දිය යුතු ‍යැයි කියන මතයට ඇවිත් තිබෙනවා. රටේ සමස්ත ඡන්ද දායකයන් අතරින් එය කෙතරම් විශාල හෝ කුඩා පංගුවක් ද කියන එක සංඛ්‍යාත්මකව මා දන්නේ නැහැ. එයට උත්තර ලැබෙන්නේ සැප්තැම්බර් 21 වන දා රාත්‍රියටයි.

 

ජාතික ජන බලවේගය නියෝජනය කරන 'වම' මේ ඡන්දයත් සමග ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන ධාරාවක් බවට පත් වී තිබෙනවා

කොහොම වුණත් ජාතික ජන බලවේගය නියෝජනය කරන 'වම' මේ ඡන්දයත් සමග ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන ධාරාවක් බවට පත් වී තිබෙනවා. මෙතෙක් කල් ප්‍රධාන ධාරාව වී තිබුණේ අර පවුල් හෝ පෙළපත් නම් කේන්ද්‍ර කරගෙන හැදුණු පක්ෂයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුව, සමගි ජන බලවේගය විදියට විවිධ වේශයන්ගෙන් පෙනී හිටියත් මේ හැම එකකම තිබුණේ එක ම ආකෘතියයි. මේ හැම එකක ම තිබුණේ සහචරවාදයයි. මේ හැම එකක ම රජ කළේ මුදල් බලය සහ ප්‍රභූ බලයයි. මේවා ඇත්තට ම විධිමත් පක්ෂවලට වලට වඩා නායකයන් වටා ගොනුවුණු සහචර කල්ලි යැයි කීවොත් නිවැරැදියි.


දැන් ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල වමට මුහුණ දෙන්නට ප්‍රබල දකුණක් අවශ්‍ය වෙනවා. නමට දකුණක් නොව දෲෂ්ටිවාදීමය වශයෙන් දකුණක් අවශ්‍ය වෙනවා. සහචරවාදය මත නොව 'කුසලතාවාදය' ( Meritocracy) මත ක්‍රියාත්මක වන, දක්ෂයන්ට ඉහළට මතුවිය හැකි දකුණක් අවශ්‍ය වෙනවා. බත් පැකට් එකට, අරක්කු කාලට, රුපියල් දෙතුන් දාහක් අතමිට මොළවා මිනිසුන් රැස්වීම්වලට ගෙන එනවා වෙනුවට ඇත්තට ම මිනිසුන් බලමුළු ගැන්විය හැකි, මිනිසුන්ට බලාපොරොත්තුවක් එන්නත් කරවිය හැකි දකුණක් අවශ්‍ය වෙනවා.

 

රනිල් දැන් කල් ඉකුත් වී අවසන්. සජිත් යම් හෙයකින් මේ ජනාධිපතිවරණය දිනුවත් ප්‍රබල වමක් තමන් ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන පසුබිමක ඔහු ඉතා ම දුර්වල ජනාධිපතිවරයෙකු බවට පත්වීම නොවැළැක්විය හැකියි.

රනිල් සහ සජිත් යන දෙදෙනාට ම මේ දකුණට නායකත්වය දිය නොහැකියි. රනිල් දැන් කල් ඉකුත් වී අවසන්. සජිත් යම් හෙයකින් මේ ජනාධිපතිවරණය දිනුවත් ප්‍රබල වමක් තමන් ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන පසුබිමක ඔහු ඉතා ම දුර්වල ජනාධිපතිවරයෙකු බවට පත්වීම නොවැළැක්විය හැකියි. ඒකට හේතුව ප්‍රබල වමකට මුහුණ දිය හැකි දෘෂ්ටිවාදයක් ඔහු සතුව නැතිවීමයි. එහෙම තත්ත්වයක් යටතේ වුණත් අර මම කියන හිඩැස ඉබේට ම හැදෙනවා. මම හිතන්නේ තවමත් ජනාධිපතිවරණය ජයගන්නට සජිත් සහ අනුර අතර 50:50 සම්භාවිතාවක් තියෙනවා.

එයින් පසු ලංකාවේ තියෙන්නේ ලිබරල් වම, රැඩිකල් වම සහ දක්ෂිණාංශය අතර සටනක්. රාජපක්ෂවාදීන් ගේ, ප්‍රේමදාසවාදීන් ගේ, රනිල්වාදීන් ගේ, බණ්ඩාරනායකවාදීන් ගේ සහ ඔවුන්ගේ ගජමිතුරන් ගේ යුගය එතැනින් නිමාවට පත්වෙනවා. මම හිතන්නේ මේක ලංකාවේ දේශපාලනයේ ඇති විය යුතු ම වෙනසක්. කවදා හෝ දවසක සිදුවන්නට නියමිතව තිබුණු වෙනසක්.

sajith wins 1මේ ජනපතිවරණයෙන් සජිත් දිනුවොත් අනුරට තියෙන්නේ තවත් අවුරුදු දෙක තුනක් විපක්ෂයේ බලය අල්ලාගෙන සිටීම විතරයි.

 

මේ ජනපතිවරණයෙන් සජිත් දිනුවොත් අනුරට තියෙන්නේ තවත් අවුරුදු දෙක තුනක් විපක්ෂයේ බලය අල්ලාගෙන සිටීම විතරයි. ඒක එච්චර අමාරුවක් හෝ අභියෝගයක් නැතුව සිදු කළ හැකි දෙයක්. මේ මැතිවරණය අනුර දිනුවොත් ඊළඟට අවස්ථාව උදාවෙන්නේ 'දකුණ'ට දෘෂ්ටිවාදීමය නායකත්වය ලබාදිය හැකි පුද්ගලයාට හෝ බලවේගයටයි. අනුර ගේ සහ ජාතික ජන බලවේගයේ 'අනෙකා'ටයි. ඒ කවුද කියා දැන් තියාම හිතන්නට යාම තවමත් කුස තුළ ඉන්න දරුවෙකුට වේලාපත්කඩය හදන්නට යාම වැනි තේරුමක් නැති වැඩක්. කේන්දරයේ ඉන්න ග්‍රහයන් ගැන සිතිය යුත්තේ දරුවා ඉපදුණු පසුවයි. ඒ නිසා මේ වෙලාවේ පුද්ගල චරිතවලට වඩා අවධානය යොමු කළ යුත්තේ එතන හැදෙන අවකාශයටයි.


මා තවදුරටත් රනිල් ගැන කතා කරන්නට වෙලාව නාස්ති නොකරන්නේ මහා ප්‍රාතිහාර්‍යයකින් නොවන්නට රනිල්ට මේ ජනාධිපතිවරණය ජයගන්නට නොහැකි නිසයි. බැරි වෙලාවත් එහෙම මහා ප්‍රාතිහාර්යයක් පෙන්වන්න පුළුවන් වුණොත් රනිල් ගේ පිළිම හදා වන්දනා කළත් පාඩුවක් වන්නේ නැහැ.

 

 125845323 gettyimages 1228031350.jpgගෝඨාභය රාජපක්ෂ බලයට එන කාලයේ දී යි.. ඊට කලින් මාධ්‍යවේදීන් මරපු, සුදු වෑන්වලින් උස්සපු, පහර දීපු, පිහියෙන් ඇනපු ඉතිහාසයකුත් ඔවුන්ට තිබුණා

තවත් සමහරුන් හිතන්නේ මේ මැතිවරණය ජාතික ජන බලවේගය ජයගතහොත් ඔවුන් මර්දනයෙන්, රාජ්‍ය බලයෙන්, 'ලාල් කාන්ත' කියන ක්‍රමයෙන් අනෙක් දේශපාලන බලවේග සියල්ල මර්දනය කරනු ඇති බවයි. මම හිතන්නේ ඒක හුඹස් බියක්. මේ භීතිකාව දැනට වඩා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ බලයට එන කාලයේ දී යි.. ඊට කලින් මාධ්‍යවේදීන් මරපු, සුදු වෑන්වලින් උස්සපු, පහර දීපු, පිහියෙන් ඇනපු ඉතිහාසයකුත් ඔවුන්ට තිබුණා. ඒ භීෂණය මැද පවා මිනිස්සු වැඩ කළා. ඒ භීෂණය මැද පවා මහින්ද ගේ නහයට යටින් මෛත්‍රිපාල සිරිසේනට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නට පුළුවන් වුණා. මහින්ද රාජපක්ෂට මැදමුලන ජනේලයේ එල්ලෙන්නට වුණා.

 



2019 දී ගෝඨාභයට ඡන්දය දුන්න අය දුන්නෙත් "හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න" කියලයි. ඒ කාලයේ එහෙම කියපු ප්‍රසිද්ධ කතා තවමත් බොහෝ අයට මතකයි. ඇත්තට ම ඒකත් ගෝඨාභයට ලැබුණු ජනවරමේ අප්‍රකාශිත කොටසක්. ඒත් ගෝඨාභය ජනාධිපති වුණාම ඒ මර්දන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ගෝඨාභය හිට්ලර් කෙනෙකු හෝ මර්දකයෙකු වෙනුවට විහිළුකාරයෙකු බවට පත්වුණා. කාට වුණත් ලංකාවේ දේශපාලන නිදහසට එහෙම අත තියන්න අමාරුයි. එහෙම අත තැබුවොත් වසර දෙක තුනක් තුළ අත්වන්නේ බංග්ලාදේශයේ අවාමි ලීගයට සහ ෂීක් හසීනාට අත්වුණු ඉරණමට සමාන එකක්. ඒ නිසා මොළය කළඳක් හෝ තිබෙන කිසිවෙකු ඒ අවදානමට අත වනයි කියලා හිතන්නට බැහැ.


election news ffමේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් ඒ ප්‍රතිඵලය තුළ කාලයක් තිස්සේ එන්නට කල් බලමින් සිටි 'රිදී රේඛාවක්' තියෙනවා.


ඒ නිසා ම මේ මොහොතේ ලංකාවේ දේශපාලනය ගැන මට තියෙන්නේ සුබවාදී කියවීමක්. මේ පෙරළිය නොවන්නට ලංකාවේ සාමාන්‍ය දෙමව්පියන් ගේ දැන උගත්, යමක් කමක් තේරෙන දරුවන්ට පක්ෂවල නායකයන් ගේ යටිපතුල් ලෙවකන්නේ නැතුව තමන් ගේ දක්ෂකම්වලින්, කුසලතාවලින් දේශපාලනයේ ඉහළට එන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ.

ඒ නිසා මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් ඒ ප්‍රතිඵලය තුළ කාලයක් තිස්සේ එන්නට කල් බලමින් සිටි 'රිදී රේඛාවක්' තියෙනවා. මා ඒ දෙස බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා.


Rasika
(රසික ජයකොඩි)
rasikajayakody2@gmail.com

(Rasika Jayakody ගේ ෆේස්බුක් පිටුවෙන්..)
13 - 09 - 2024

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...