The Leader News
BREAKING
Top Ad
Opinion

ජනපතිවරණය තුල 'වමේ' භූමිකාව..! - (රන්ජන සේනානායක)

T

The Leader Desk

September 18, 2024 • 6:58 AM

ජනපතිවරණය තුල 'වමේ' භූමිකාව..! - (රන්ජන සේනානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ලිපිය ආරම්භයේදීම කීමට ඇත්තේ "සකළ දේශවාසී නිර්ධනයිනි එක්වව්" නැමැති අතිශය වැදගත් මාක්ස්-එංගල්ස්ගේ වටිනා අදහස පවා මෙම ජනපතිවරණය තුලදී ඊට සහභාගි වන සියළුම වාමාංශික පාර්ශවයන් විසින් ඉතා ලැජ්ජා සහගත ලෙස අමු අමුවේ උල්ලංඝනය කොට ඇතිබවයි.
  • ලෝක නිර්ධනයින් හට කොතෙකුත් එක්වන ලෙස ලාංකීය "වම" 1935 සිට මේ දක්වා වේදිකාවල කොතරම් වැදිබණ දෙසා බෑවද ඔවුනොවුන්ගේ වාමාංශික පක්ෂ සහ සංවිධාන එක මිටකට එක්කොටගෙන එක තනි බලවේගයක් ලෙස තනි අපේක්ශකයෙකු මෙවර ජනාධිපතිවරණයේදීවත් ලාංකීය "වම" නියෝජනය කරමින් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් විය.
  • දිලිත් ජයවීර එසේ වමේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නොහැකිවූනා මදිවාට එක් එක් වමේ අපේක්ෂකයින් කීපදෙනෙකු වෙන වෙනම ඒ ඒ පක්ෂ ඉදිරිපත් කරමින් නිවැරදි වාම වැඩපිලිවෙල ඇත්තේ තමන්ගේ පක්ෂයට පමණක් බවටද වේදිකාවල පාරම්බාමින් සිටී.
  • මේ ජනපතිවරණය තුලදී වාමාංශික පාර්ශ්වයෙන් සිදුවූ එක් ජුගුප්සාජනක සිදුවීමක් නම්, 1935 දී ආරම්භවූ එමෙන්ම දොස්තර S.A වික්‍රමසිංහ, පීටර් කෙනමන්, වැනි නායකයින් බිහිකල ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලංකාවේ අතිජාතිකවාදී කණ්ඩායමක ජීවිත භුක්තියට සවිකොට දීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම ලිපිය ආරම්භයේදීම කීමට ඇත්තේ "සකළ දේශවාසී නිර්ධනයිනි එක්වව්" නැමැති අතිශය වැදගත් මාක්ස්-එංගල්ස්ගේ වටිනා අදහස පවා මෙම ජනපතිවරණය තුලදී ඊට සහභාගි වන සියළුම වාමාංශික පාර්ශවයන් විසින් ඉතා ලැජ්ජා සහගත ලෙස අමු අමුවේ උල්ලංඝනය කොට ඇතිබවයි. ලෝක නිර්ධනයින් හට කොතෙකුත් එක්වන ලෙස ලාංකීය "වම" 1935 සිට මේ දක්වා වේදිකාවල කොතරම් වැදිබණ දෙසා බෑවද ඔවුනොවුන්ගේ වාමාංශික පක්ෂ සහ සංවිධාන එක මිටකට එක්කොටගෙන එක තනි බලවේගයක් ලෙස තනි අපේක්ශකයෙකු මෙවර ජනාධිපතිවරණයේදීවත් ලාංකීය "වම" නියෝජනය කරමින් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් විය.

 

IMG 0986දිලිත් ජයවීර

එසේ වමේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නොහැකිවූනා මදිවාට එක් එක් වමේ අපේක්ෂකයින් කීපදෙනෙකු වෙන වෙනම ඒ ඒ පක්ෂ ඉදිරිපත් කරමින් නිවැරදි වාම වැඩපිලිවෙල ඇත්තේ තමන්ගේ පක්ෂයට පමණක් බවටද වේදිකාවල පාරම්බාමින් සිටී. මේ ජනපතිවරණය තුලදී වාමාංශික පාර්ශ්වයෙන් සිදුවූ එක් ජුගුප්සාජනක සිදුවීමක් නම්, 1935 දී ආරම්භවූ එමෙන්ම දොස්තර S.A වික්‍රමසිංහ, පීටර් කෙනමන්, වැනි නායකයින් බිහිකල ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලංකාවේ අතිජාතිකවාදී කණ්ඩායමක ජීවිත භුක්තියට සවිකොට දීමයි. රට විශාල වශයෙන් ජාතිවාදී අන්තයකට තල්ලුකල රාජපක්ෂ පාලනයට මුක්කු ගසා සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි දේශපාලන අනාථයන් සමග ඔවුන්ගේ ගැලවුම් කරුවා ලෙස හදිසියේ ආකාශ්මිතව පහලවූ දිලිත් ජයවීර නැමැති කෝටිපති ව්‍යවසායකයා ගේ මෙහෙයවීම හා අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය බිල්ලට ගෙන එම පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස මෙම කෝටිපති ව්‍යාපාරිකයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටී.

image 96979d3ae8

මේ දක්වා ලාංකීය වාමාංශික දේශපාලනය තුල දශක අටක් පමණ කාලයක් නිර්ධන පංතිය වෙනුවෙන් පෙනීසිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඒ අනුව මෙම ජනාධිපතිවරණයත් සමගම නිර්ධන පාංතික විමුක්ති දේශපාලනය ඉතා පැහැදිලි ලෙස අවසන් කරගෙන ඇත. මෙසේ තම මුල් අභිප්‍රායන් කිසිදු හිරිකිතයකින් හෝ ලැජ්ජාවකින් තොරවම කොමියුනිස්ට් පක්ෂය කෝටිපති ව්‍යාපාරිකයෙක් ප්‍රමුඛ අති ජාතිකවාදී කණ්ඩායමකට බිලි දුන් නමුත් එසේ බිලි දෙනු ලැබූයේ දිලිත් ජයවීර එකඟවූ කුමන ආකාරයේ දොළපිදේනියකට යටත්වීදැයි තවම පැහැදිලි නොවන නමුත් පක්ෂ කාර්‍යාලයට දිලිත් ජයවීර පැමිණෙන විට කොමියුනිස්ට් පක්ෂ නායකයින් ඉතා බයාදු ලෙස දිලිත්ව බදා වැළඳගැනීමෙන් දිලිත්ගේ මෙකී දොලපිදේනියේ තරම හිතාගැනීමට අපහසු නැත.

siriසිරිතුංග ජයසූරිය
අනෙත් අතට දීර්ඝ කාලයක් "වාමාංශික එක්සත් පෙරමුණ" ලෙසින් ක්‍රියාත්මක වුනු සිරිතුංග ජයසූරිය සහෝදරයාද මෙවරත් ජනාධිපතිවරණය සඳහා පෙනීසිටී. සිරිතුංග සහෝදරයාගේ ඉදිරිපත්වීමද ඔහු නියෝජනය කරන ජාත්‍යන්තර සහයෝගිතාවයේද තීරණයක් වියහැකි නමුත් මියයන තුරුම චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක ෂී ජින් පින් චීන ජනාධිපති ධූරය හොබවනවා සේම මියයන තුරුම වාමාංශික එක්සත් පෙරමුණේ ජනාධිපති ධූරාපේක්ෂකද සිරිතුංග ජයසූරිය සහෝදරයා වී ඇතිබවක් පෙනීයයි. ඔහු ජනාධිපතිවරණයක් පැමිණෙන හැම විටකම කිසිදු වාමාංශික සහයෝගිතාවකට නොගොස් තනිවමම තම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ශකයා බවට පත්වේ. මෙය එම පක්ෂයේ "වන් මෑන්" ෂෝ එකක් ලෙසද කෙනෙකුට තර්ක කල හැක්කේ වාමාංශික එක්සත් පෙරමුණේ තරුණයෙකුට ඒ අවස්ථාව හිමිවීම කවදා වේදැයි සිතාගත නොහැකි බැවිනි.

 

58d6cc60a88904a25c22d55d07c562a43d3bc315පානි විජේසිරිවර්ධන
"සමාජවාදී සමානතා" පක්ෂයේ මෙවරත් සුපුරුදු ලෙස ජනාධිපති අපේක්ශකයා ලෙස පානි විජේසිරිවර්ධන සහෝදරයා පත්කොට ගෙන ඇත. හතර වන ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස මහත් ආඩම්බරයෙන් පසුවන එමෙන්ම පැබ්ලෝවාදී සංශෝධනවාදීන් පට්ට ගසමින් හතරවන ජාත්‍යන්තරයේ අණසක ලංකාව පුරා පුනස්ථානය කිරීමක් මේ ජනාධිපතිවරණ කැම්පේන් එකතුලින් සිදුකිරීමට උත්සාහ ගන්නවාදැයි පැහැදිලි නොවන නමුත් රටක තියෙන ජනාධිපතිවරණයකදී හෝ මහා මැතිවරණයකදී ඒ රටේ පවතින තම ශාඛාවට ඒ රටේ පවතින අනෙකුත් වාමාංශික බලවේග සමඟ එකතුවී එකී මැතිවරණවලට මුහුණ දෙනලෙස පැවසීමට තරම් මේ කියන ජාත්‍යන්තරවලට කොමන් සෙන්ස් එකක් නැත්තේ කෙසේදැයි මට තේරුම් ගැනීමට නොහැක. 

 

FB IMG 1693509741901
1964 දී ට්‍රොස්ට්කිවාදී පක්ෂයක් වුනු සමසමාජ පක්ෂයේ ශ්‍රීලනිපය සමග හවුල් වීමේ මහා පාවාදීමට එරෙහිව එයින් එලියට පැමිණ 1968 දී පමණ ගොඩනගාගත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (වර්ථමානයේ සමාජවාදී සමානතා පක්ෂය) මේවනවිට අවුරුදු දශක 6 ක් පමණ වාමාංශික දේශපාලනයේ යෙදෙන පක්ෂයකි. පසුගිය ජනාධිපතිවරණයේදීද ලබාගත හැකිවූයේ සියයට දශම ගණනකි.(0.02%) එමෙන්ම ඔවුන්ගේ දේශපාලන පණිවිඩය මැතිවරණ වේදිකාව ප්‍රයෝජනයට ගණිමින් ජනතාව අතරට විශේෂයෙන් කම්කරුවන් අතරට ගෙනයන බව පැවසූවද ඔවුන්ගේ දේශපාලන පණිවිඩය කම්කරුවන් අතරට මේ දශක 6 තුලදීම ගිය බවක් නොපෙනේ. එහෙත් සමාජවාදී සමානතා පක්ෂයේ ඕනෑම කථිකයෙක් කරන ඕනෑම කථාවකදී අනිවාර්‍යයෙන් නොවරදවාම ඇසිය හැකි ප්‍රකාශයක් නම් ඔවුන් ලංකාව තුල වාමාංශික දේශපාලනය තුල නිවැරදිම පක්ෂය ඔවුන් පමණක් බවය. ඒ ප්‍රකාශය මෙවර ජනාධිපතිවරණය තුලදීද ඔවුන්ගෙන් යලි යලිත් ප්‍රකාශවෙන නමුත් ඔවුන්ම කියන ආකාරයට ඔවුන් පමණක් නිවැරදිම සමාජවාදී පක්ෂය බවට දී ඇති සහතිකය කවුරුන් කෙසේ කුමන කාරණා සලකා බලා දුන් සහතිකයක් දැයි ඔවුන්ම නොදනී. සමාජවාදී සමානතා පක්ෂයේ ඇති විශේෂ ලක්ෂණයක් නම් කිසිවිටෙක අනිත් සමාජවාදී පක්ෂ සමඟ කිසිම අයුරින් සන්ධාන ගතව සහයෝගිතාවයෙන් කිසිවක් කිරීමට ඇති නොකමැත්තයි. එයත් වෙනස් වීමට නම් ලියොන් ට්‍රොස්කි වළදැමූ තැනින් නැගිට පැමිණ ඔවුනට එසේ එක්විය යුතුබවට කිවයුතුය. නැතහොත් එවැනි කිසිම වමේ සංධානයකට සමාජවාදී සමානතා පක්ෂයනම් එක්වන්නේ නැත. එය තවදුරටත් කල්ට් එකක් ලෙසම පැවතීම ඉදිරි දශක ගණනාවකදීත් දැකගත හැකිවනු ඇතිබව මගේ හැඟීමයි.

 

IMG 0987ප්‍රියන්ත වික්‍රමසිංහ

මෙවර ජනාධිපතිවරණය සඳහා වාමාංශික පක්ෂ අතරින් තරඟ කරන තවත් පක්ෂයක් නම් නව සමසමාජ පක්ෂයයි. ඔවුන්ද මේ මැතිවරණයේදී සියළු වාමාංශික පක්ෂ වල පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට උත්සාහගත් බවක් නොපෙනුනද ඔවුන්ගේ සුළු ජනවර්ග සම්බන්ධව දක්වන අදහස් බොහෝ වාමාංශික පක්ෂවල ස්ථාවරයන්ට වඩා දියුණු බව කිවයුතුය. ඔවුන්ගේ අපේක්ශකයා වන ප්‍රියන්ත වික්‍රමසිංහ සහෝදරයාගේ චන්ද සටන එහි හිටපු නායක වික්‍රමබාහු සහෝදරයාගේ චන්ද ව්‍යාපාර තරම් ප්‍රභල තත්වයකට පත්වී ඇති බවක් පෙනුනේ නැත. කෙසේ වෙතත් ඔවුන් කම්කරු පංතිය පිළිබඳව වඩාත් මැදිහත්වීමක් කරන පක්ෂයක් බව කිවයුතුය. එසේ වුවද මේ ජනාධිපතිවරණය තුලදී ඔවුනට චන්දදායකයින් විශාල ප්‍රමානයක් ආකර්ශණය කරගැනීමේ හැකියාවක් නොපෙනේ.

IMG 0989නුවන් බෝපගේ

 

ඊලඟට වාමාංශික කංඩායම් අතරින් ප්‍රධාන කංඩායමක් ලෙස "පෙරටුගාමී සමාජවාදී පක්ෂය" සහ ගෝල්ෆේස් අරගලය තුල ක්‍රියාත්මක වුනු ක්‍රියාකාරිකයින් ඇතුළුව ශිෂ්‍ය කංඩායම්ද සමගින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වුණු "කුඩය" යටතේ තරඟ වදින ජන අරගල සංධානයද මෙවර ජනාධිපතිවරණය සඳහා ඔවුන්ටම සුවිශේෂ වුනු සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් ඔවුන්ගේ අපේක්ශකයා ලෙස නුවන් බෝපගේ සහෝදරයා ඉදිරිපත් කොට ඇත. IMF මර උගුලක් ලෙස හඳුන්වා දෙමින් ඊට විරුද්ධව විකල්ප වැඩපිලිවෙලක් සඳහා යායුතු බවත්, පවතින අර්බුධයට විසඳුම "සමාජවාදය" බවත් යෝජනා කරන ඔවුන් ක්‍රමය වෙනස් කිරීම සඳහා ජනතා බලයක් වෙනුවෙන් පෙනී සිටී. මෙම කංඩායමේ දැඩි අධිෂ්ඨානය වූයේ පසුගිය කාලය පුරාම දියවන්නාවෙන් පිටත බලයක් සෑදීමයි. එහෙත් එම දියවන්නාවෙන් පිටත බලය සාදා නිමකිරීමටත් පෙර ජනාධිපතිවරණයක් පැමිණි බැවින් දැන් ඔවුන් මේ ජනාධිපතිවරණ කැම්පේන් එකතුල ඔවුන්ගේ දේශපාලන පණිවිඩය ජනතාව අතරට මෙවරත් ගෙනයාමට උත්සාහ දරණ බවක් පෙනෙන්නට තිබේ.

ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරණය හමාරවූ සැනින් පාර්ලිමේන්තු මැතිවරණයක් මේ වසර තුලම පැමිණීමට බොහෝවිට ඉඩ ඇති බැවින් එහිදීද ඔවුන් දියවන්නාවෙන් පිටත බලයක් සෑදීම පසෙක තබා දියවන්නාවේ මැතිසබයට යාමට තරඟ වැදුනහොත් එයද පුදුම විය යුතු කරුණක් නොවේ. එයට හේතුවනම් පවතින යථාර්ථයෙන් පිටත කුමන කතා කීවද තමන් ඉදිරිපිට අභිමුඛවන යථාර්තයේ කොන්දේසි අතික්‍රමණය කිරීම පහසු කාරණයක් නොවන බැවිණි. පසුගිය ජනාධිපතිවරණය තුලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂ අපේක්ශකයා ලබාගත් චන්ද ප්‍රතිශතය 0.06% ක් පමණි. එනම් ඉතාමත් සුළු චන්ද ප්‍රමාණයකි.

කිසියම් මැතිවරණයකදී සාමාන්‍යයෙන් වාමාංශික පක්ෂයක සියළුම සාමාජිකයින්ද, ඔවුන්ගේ හිතවතුන්ද එම පක්ෂයට නොවරදවාම චන්දය දෙනු ලබයි. සාමාන්‍යයෙන් ප්‍රධාන පෙලේ පක්ෂයක් 5% කට වැඩිය චන්ද ලබාගන්නා තත්වයක් තුල වාමාංශික පක්ෂයක් අවම වශයෙන් චන්ද 1% ක් වත් ලබාගැනීමේ හැකියාව ඇතිකර ගතයුතුය. මේ 1% ක් වත් චන්ද ලබාගැනීමට නොහැකිනම් ඔවුන් නැවත වරක් තමන් අනුගමනය කරන උපාය මාර්ග සහ ඔවුන් ජනතාව ඉදිරියේ තබන දේශපාලන පණිවිඩයට ජනතාව ඇහුම්කන් නොදෙන්නේ ඇයිදැයි විශේෂයෙන් සොයා බැලිය යුතුය. මැතිවරණයක් යනු පවතින ධනවාදය තුල ඔවුනට කැමති ලෙස සෙල්ලම් කිරීමට ඇටවූ පිටියක් වියහැකි වූවද ඒ පිටිවල සෙල්ලම් කිරීමේ හැකියාව වාමාංශිකයින් ප්‍රගුණ කල යුතුවේ.

කෙසේ වෙතත් මේ ලංකාවේ ක්‍රියාත්මක වන සියළුම පාහේ වාමාංශික කංඩායම් වල ඇත්තටම පෙනෙන්නට තිබෙන කරුනක්නම් ඔවුන් කිසිදාක එකම වාමාංශික පෙරමුණක් යටතේ කිසිදා එක්වීමේ විභවයක් කිසිසේත් අත්පත් කර නොගන්නා බවය. තවද එසේ අත්පත් කරගැනීමට අවශ්‍ය විභවය තබා ඒ ඒ වාමාංශික පක්ෂවලට ඉදිරියේ තම කටයුතු පවත්වාගෙන යාමේ විභවයක් පවා ඇද්දැයි සැකසහිතය. බොහෝවිට ඒවායේ පවත්වාගෙන යනු ලබන කල්ට් ස්වභාවයද, ඉදිරිපත් කරන දේශපාලන පණිවිඩය ජනතාවට සංවේදී නොවීමද, කාලයට සාපේක්ෂව ඔවුන්ගේ ක්‍රියාමාර්ග යාවත්කාලීන නොවීමද, පවතින යථාර්ථය තුල තම සංකල්ප එලි දැක්වීමට ඇති නොහැකියාවද මේ මැතිවරණ වලින් වාමාංශික පක්ෂ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට හේතුවනවා ඇත.

මේ ජනාධිපතිවරණය කෙසේ වෙතත් ඊලඟට එන මහ මැතිවරණයේදී වත් තනි තනිව ඉදිරිපත් නොවී වාමාංශික පෙරමුණක් ලෙස සියළුම වාමාංශික කංඩායම් එක්වී තරඟ කලහොත් වාමාංශිකයින් හට ඔවුන්ගේ අපේක්ෂකයින් අවම වශයෙන් එක් අයෙකු හෝ පාර්ලිමේන්තුවට යැවිය හැකිබවත් එතැනින් "වම" එසවීමේ වැඩපිලිවෙල ඇරඹිය හැකිබවත්, නොඑසේනම් මේ තනි තනිව විසිරී සිටින වාමාංශික පක්ෂ "ලෝක කම්කරුවනි එක්වව්" කියමින් පමණක් තවත් දශක ගණනාවක් කුඩා කුඩා කංඩායම් ලෙස තමන් පමණක් සැබෑ සමාජවාදීන් යැයි වහසිබස් දොඩමින් සිටිය හැකිබවත් මතක් කරදීමට කැමැත්තෙමි.

Ranjana Senanayaka(රන්ජන සේනානායක)
සමාජ හා දේශපාලන විශ්ලේශක
(අද්‍යයන කවය) "89-සහෝදරත්වය"
kaya4842@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...