The Leader News
BREAKING
Top Ad
Opinion

අනුරට කරන්නට පුළුවන් වී ඇති සහ සජිත්ට කරන්නට බැරි වී ඇති එක ම දෙය ! - (රසික ජයකොඩි)

T

The Leader Desk

September 18, 2024 • 5:28 PM

අනුරට කරන්නට පුළුවන් වී ඇති සහ සජිත්ට කරන්නට බැරි වී ඇති එක ම දෙය ! - (රසික ජයකොඩි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවති තීරණාත්මක ම ජනාධිපතිවරණය වනු ඇති බවයි.
  • අඹ ගෙඩියක් ඔඩොක්කුවට වැටෙනවා සේ ගෝඨාභයගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා.
  • දූෂිත, පැරණි දේශපාලන ක්‍රමය වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක් ගෙන ආ හැකි බලවේගය තමන් බවට ජනතාවට ඒත්තු ගැන්වූවා.
  • මේවා දැකලා තමන් ගැන පැහැදිලා මිනිසුන් තමන්ට ඡන්දය දෙනු ඇතැයි ඔහු සිතුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවති තීරණාත්මක ම ජනාධිපතිවරණය වනු ඇති බවයි.

2022 පෙබරවාරි-මාර්තු වෙනකල් මේ ජනාධිපතිවරණය තිබුණේ සජිත් ප්‍රේමදාස ගේ අතේ යැයි කිව්වොත් නිවැරදියි. ඒ වන විට ගෝඨාභය ගේ ජනප්‍රියත්වය අන්තයට ම පිරිහී තිබුණා. ආණ්ඩු බලය තිබුණු පොහොට්ටුව නන්නත්තාර වී තිබුණා. අඹ ගෙඩියක් ඔඩොක්කුවට වැටෙනවා සේ ගෝඨාභයගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා.

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය - ඇසට නොපෙනෙන යෝධයා (පළමු කොටස - 1)2022 අප්‍රේල් මාසය උදා වුණේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ සුවිශේෂ ම සංසිද්ධිය වූ අරගලයත් සමගයි.

 

2022 අප්‍රේල් මාසය උදා වුණේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ සුවිශේෂ ම සංසිද්ධිය වූ අරගලයත් සමගයි. අරගලය මාස තුනකට අධික කාලයක් අඛණ්ඩව ඉදිරියට ඇදුණා. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ලංකාවේ සතර දිග්භාගයෙන් ම එයට එක්වුණා. මිනිසුන් සාම්ප්‍රදායික පක්ෂ ප්‍රතික්ෂේප කළා. අලුත් දේශපාලන ක්‍රමයක් ඉල්ලා සිටියා. ගෝඨාභය ජනාධිපතිකම අතහැර පළා ගියාට පසු බොහෝ දෙනෙකු මතුපිටින් නිහඬ වුණා. එහෙත් අලුත් දේශපාලන ක්‍රමයක් සඳහා වූ ඔවුන් ගේ පිපාසාව දිගට ම පැවතුණා.

මේ අලුත් දේශපාලන මොහොත අනුර ඉතා ම හොඳින් කියවා ගත්තා. ඔහු එය තමන් ගේ බල ව්‍යාපෘතිය වෙනුවෙන් හසුරුවා ගත්තා. සාම්ප්‍රදායික දේශපාලනය ගැන කළකිරුණු අයට එකතු වෙන්නට පුළුවන් විදියට ඔහු තමන් ගේ දේශපාලන වේදිකාව පුළුල් කළා. දූෂිත, පැරණි දේශපාලන ක්‍රමය වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක් ගෙන ආ හැකි බලවේගය තමන් බවට ජනතාවට ඒත්තු ගැන්වූවා.

saj manipai 1001සජිත්ට මේ දේශපාලන මොහොත තේරුණේ නැහැ. ඔහුට ඒ ගැන කිසිම අවබෝධයක් තිබුණෙත් නැහැ. ඔහු දිගට ම ක්‍රිකට් ගැහුවා.

 

සජිත්ට මේ දේශපාලන මොහොත තේරුණේ නැහැ. ඔහුට ඒ ගැන කිසිම අවබෝධයක් තිබුණෙත් නැහැ. ඔහු දිගට ම ක්‍රිකට් ගැහුවා. බාස්කට්බෝල් සෙල්ලම් කළා. පාසල් ගාණේ ගොස් බස් එලෙව්වා. පියානෝ වාදනය කළා. පරිගණක, ස්මාට් පංති කාමර බෙදමින් ගියා. මේවා දැකලා තමන් ගැන පැහැදිලා මිනිසුන් තමන්ට ඡන්දය දෙනු ඇතැයි ඔහු සිතුවා. ඔහු දේශපාලනය අල්ලා ගත්තේ මේ වගේ ඉතා ම සරල, බොළඳ, සිල්ලර තැනකිනුයි.

අනුර තමන් ගේ පැරණි සමාජවාදී ප්‍රතිපත්ති පස්සට දමා ලිබරල්කරණය වූ වමක් ජනතාවට පෙන්වූවා. රතු පාට පක්ෂය වෙනුවට දම්පාට දේශපාලන ව්‍යාපාරයක් ඉස්සරහට ගෙනාවා. මේ දම්පාට දේශපාලන ව්‍යාපාරය යටතේ අලුත් මුහුණු කරළියට ගෙනාවා. ජනතාවට අලුත් බලාපොරොත්තුවක් නිර්මාණය කර දුන්නා. ඔහු මේවා කළේ කොච්චර අවංකව ද කියන ප්‍රශ්නය මේ වෙලාවේ එතරම් අදාළ වෙන්නේ නැහැ. මේ වෙලාවේ වැදගත් වෙන්නෙ ජනතාව පිටත සිට දකින මේ චිත්‍රයයි. ඒවා මොන තරම් අවංකව, අව්‍යාජව කළාද කියන ප්‍රශ්නයට උත්තර හම්බ වෙන්නේ ආණ්ඩු බලය ලැබී ටික කාලයක් ගත වුණු පසුවයි.

5 IMG 2810 SLFP agree to support Sajith 07.08.2024

සජිත් ගෝඨාභයගෙන්, පොහොට්ටුවෙන් ගැලවෙන කුණු රොඩු ඉවක් බවක් නැතුව තමන් ගේ පැත්තට දාගත්තා. යන එන මං නැතිව සිටි ඔවුන් එනකොට ගෝඨාභයගේ 69 ලක්ෂයක ඡන්ද පදනමෙන් විශාල පළුවක් ගලවාගෙන එනු ඇතැයි යන බොළඳ විශ්වාසයේ සජිත් සිටියා. ඒක මේ මොහොතේ මහ පොළොවේ දේශපාලනය ගැන අබමල් රේණුවක අවබෝධයක් නැති කෙනෙකු ගේ ගණනය කිරීමක්. යමක් කමක් තේරෙන මධ්‍යම පාංතික ජනතාවට මේ ගෙම්බන් පැනීම ජුගුප්සාජනක දෙයක් වුණා. ඔවුන් ගේ සිතේ පැසවමින් තිබුණු "උනුත් හොරු - මුනුත් හොරු" කතාව මෙයින් වඩාත් තහවුරු වුණා.

මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපාන තවත් ඉතා ම තීරණාත්මක සාධකයක් තියෙනවා. 

සජිත් හැමදාම කතා කළේ තමන්ට ඡන්දය දේ යැයි සියයට සියයක් ම විශ්වාස ලක්ෂ 40-45ක් පමණ වූ සමාජ තීරුවකටයි. සජිත් දිගට ම මේ පිරිස පිනවීම වෙනුවෙන් කතා කළා. දිගට ම මේ පිරිසේ වීරයා වන්නට උත්සාහ කළා. මේ පිරිස තමන් ඔසවා ගෙන ගොස් සිංහාසනයේ වාඩි කරවනු ඇතැයි සජිත් තරයේ විශ්වාස කළා. මෙතනින් පිටස්තර කිසිවෙකු ආකර්ෂණය කරගත හැකි කිසිම දෙයක් ඔහු කීවේ හෝ කළේ නැහැ. සජිත් තමන්ට දැනට ම පක්ෂපාතී පිරිස පිනවන්නට කළ කී දේ එයින් පිටස්තර අයට විශාල විහිළුවක් බවට පත් වුණා.  

 

2020 මහ මැතිවරණය: ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක

අනුරට මෙහෙම වාඩි වී සිටින්නට තරම් විශාල ඡන්ද බැංකුවක් තිබුණේ නැහැ. රේස් එක පටන් ගන්නා විට ඔහුට තිබුණේ ඡන්ද 445000 යි. එනම් මුළු ප්‍රතිශතයෙන් සියයට 3යි. මේ නිසා ම අනුර දිගට ම කතා කළේ මේ ගොඩට අයත් නැති මැද සිටින පිරිසටයි. කළකිරී හෝ කෝපයෙන් සිටින පාවෙන ඡන්ද දායකයාටයි. දේශපාලනය ගැන බලාපොරොත්තු කඩ වී සිටි තරුණයාටයි. දේශපාලනය එපා වී සිටි වෘත්තිකයාටයි.

මේ නිසා රට බංකොළොත් වීම සහ අරගලය නිසා සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ එපා වී 'මැදට' පැමිණි මිනිසුන් ඉතා ම ඉක්මනට අනුරට ආකර්ෂණය වුණා. ඉතා ම ලෙහෙසියෙන් අනුර වටා රැල්ලක් ගොඩනැගුණා. 

මේ තරගයේ ඉතා ම තීරණාත්මක කොටස වන්නේ අරගලයත් සමග සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ එපා වෙන මිනිසුන් 'මැදට' පැමිණෙන බව දැන සිටීම, එහෙම මැදට පැමිණෙන මිනිසුන්ට ආමන්ත්‍රණය කිරීම සහ ඔවුන්ට එකතු විය හැකි දේශපාලන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමයි.

 

anura t y

මේ ජනාධිපතිවරණයෙන් කවුරු දිනයිද කියන එක මම දන්නේ නැහැ. ඒ වුණත් මේ දේශපාලන මොහොත කියවා ගැනීම අතින් සජිත්ට වඩා අනුර ආලෝක වර්ෂ ගණනක් ඉදිරියෙන් ඉන්නවා. ඡන්ද ප්‍රතිඵලය කුමක් වුණත් ඔහු සියයට 3 සිට මේ තාක් දුර පැමිණි ආකාරය ප්‍රශංසනීයයි. 2019 දී ලක්ෂ 55ක් ඡන්ද සහිතව මේ ජනාධිපතිවරණය අත උඩ දිනන්නට සිටි සජිත් මේ මොහොත වෙන විටත් අවිනිශ්චිත දේශපාලන ඉරණමක පැටලී සිටින ආකාරය ශෝචනීයයි.

සජිත්ට තේරෙන ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම් එය හරියට ම කඩුලු 10කින් පහසුවෙන් දිනන්නට සිටි තරගයක් අන්තිම ඕවරයේ අවසන් පන්දුව තෙක් ජයග්‍රහණය අවිනිශ්චිත තැනකට ගෙන ආවා වැනි අසාර්ථක පිතිහරඹයක්. 

දේශපාලනය කියන්නේ අන් කිසිම දෙයක් නොව "මේ මොහොත" හරියට කියවා, තමන් සතු කරගැනීමයි (Capturing the moment). 

අනුරට කරන්නට පුළුවන් වී ඇති සහ සජිත්ට කරන්නට බැරි වී ඇති එක ම දෙයත් එයයි. 

අනුර දිනනවා නම් දිනන්නේත්, සජිත් පරදිනවා නම් පරදින්නේත් මේ සාධකය මතයි. 

කවුරු දිනුවත් පැරදුණත් ශ්‍රී ලංකාවට යහපතක් ම වේවා!

2025 නාමල් සමග සටනට එජාපයෙන් රුවන්! - රසික ජයකොඩි කියන 'අප්ෂට්' කතාවක්
rasikajayakody2@gmail.com
(Rasika Jayakody ගේ ෆේස්බුක් පිටුවෙන්..)
18 - 09 - 2024 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනුරට කරන්නට පුළුවන් වී ඇති සහ සජිත්ට කරන්නට බැරි වී ඇති එක ම දෙය ! - (රසික ජයකොඩි) | The Leader