කවර හෝ හේතුවක් නිසා සියයට පනස් අටකට ආසන්න ජනතාවක් මේ මොහොතේ ඔහුගේ ප්‍රතිපත්ති සමග එකඟ නැත. මා නම් දකින්නේ එය ධනාත්මක කරුණක් ලෙසිනි.
අති විශාල බහුතරයකින් ජයග්‍රහණය කල නායකයින් ජයග්‍රහණයෙන් උදම්ව සියල්ල උඩුයටිකුරු කරගත් අවස්ථා අප දැක ඇත. ජයග්‍රහණයෙන් උමතුවීම මානව ඉතිහාසයේ සිටම දැක ගතහැකි කරුණක් වූවත්, සැබෑ නායකත්වය විය යුත්තේ බලයෙන් ඇස් නිලංකාර කර නොගෙන එයින් ඔබ්බට දැකිය හැකි දුරදර්ශී දැක්මක් ඇති කර ගැනීමයි.

බලය දූෂණයට නැඹුරු වන අතර අතිමහත් බලය සම්පූර්ණයෙන්ම දූෂිත වේ ("Power tends to corrupt and absolute power corrupts absolutely") යන කියමන රටේ පුරවැසියන් මැනවින් අත්විඳ ඇත. අති විශාල බහුතරයක් නොමැතිවීම නව ජනාධිපතිවරයාට වෙස්වළාගත් ආශිර්වාදයකි. මක්නිසාදයත් දීර්ඝ කාලීන පැවැත්මට නම් ඔහු දැන් රාජ්‍යය පාලනය කලයුත්තේ අතුරේ යන්නකු මෙන් මනා සංයමයකින් සහ අවධානයකිනි. තම ප්‍රතිපත්ති සමග එකඟ නොවූවන් එසේ නොවුනේ ඇයිදැයි යන්න පිළිබඳව සොයා බලා ඒ සඳහා හැකි විසඳුම් ලබාදීමට උත්සුක වීමයි.
ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිවූ පරිදිම ඉතා චාම් පදවි ප්‍රාප්තියක් දැකගත හැකිවිය. මහජන මුදල් බෙහෙවින් අවභාවිතවූ අතීත පදවි ප්‍රාප්ති සමග සසඳනවිට එය බෙහෙවින් ආදර්ශමත්ය.
එසේම ශ්‍රීලංකාව බහු ආගමික, බහු වාර්ගික රටක් වන බැවින් එක් ජන කොටසකට පමණක් විශේෂයෙන් වැදගත්වන ස්ථානයකට වඩා ජනාධිපති ලේකම් කාර්යාලයය වැනි පොදු ස්ථානයක් පදවි ප්‍රාප්තිය සඳහා තෝරා ගැනීම අගය කලයුතු කරුණක් වන්නේ ඔහු එක් ජන කොටසක පමණක් නොව මුළු මහත් රටේම ජනාධිපතිවරයා වන බැවිනි.
ඔහු රිදී හැන්ද මුව දරාගෙන මෙලොව එළිය දුටුවකු නොවේ. ජනාධිපතිවරණයේදී ඔහුගේ ප්‍රතිවාදීන් දෙදෙනකු හිටපු ජනාධිපතිවරුන්ගේ පුතුන් වූ අතර අනෙකා හිටපු ජනාධිපතිවරයකුගේ බෑණා විය. දේශපාලන ඉණිමඟ නැඟීමේදී ඔවුන් තිදෙනා පඩිපෙළ නැඟීම පටන් ගත්තේ කුමන පඩියෙන්දැයි වටහා ගැනීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.

හිටපු ජනාධිපතිවරයා වැල් පාලමේ රැගෙන ගිය දරුවාගේ කරදඬු දැන් උස් වෙමින් පවතී, දරුවාට දැන් කිරි පමණක් නොව ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි බොහෝ දේ අවශ්‍යව ඇත. අසහනකාරී වීමට නියමිත, තාරුණ්‍යයට එළැඹෙන දරුවාට ඒ සියල්ල සැපයීමට සිදුවන්නේ නව ජනාධිපතිවරයාටයි. දේශපාලන ගමනේ අනුර කුමාර දිසානායකයන් පසුකොට ආවේ රෝසමල් ඇතුරූ සොඳුරු මාවතක් නොව කටුකොහොලින් පිරි කටුක මාවතකි. ඉදිරියද එතරම් පහසු නොවනු ඇත. එමෙන්ම ඔහුට දැන් පළඳා ඇත්තේද කටු ඔටුන්නකි. නමුත් තමා අභියෝග හෝ පරාජය හමුවේ වුවද පසුබාන්නකු හෝ තැති ගන්නකු නොවන බවද ඔහු පෙන්වා ඇත.
මේ සියළු අසීරු අභියෝග වලට සාර්ථකව, එඩිතරව මුහුණ දීමට මෙන්ම විසඳුම් සෙවීමට නව ජනාධිපතිවරයාට හැකිවේවා!!!
(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com



